Thursday, October 29, 2015

ඉලෙක්ට්‍රොනික්ස් II (Electronics) - 19


මේ ලෙසම අපට දැන් කැපෑසිටරයක් හා ඉන්ඩක්ටරයක් ශ්‍රේණිගතව හා සමාන්තරගතව සම්බන්ධ කළ හැකියි නේද? ඔව්. මෙවැනි සර්කිට් LC circuit හෝ resonant circuit හෝ tuning circuit හෝ tuned circuit හෝ tank circuit යන නම්වලින් හැඳින්වේ. ඉතාම ප්‍රයෝජනවත් ගති ගුණයක් (අනුනාදය) මෙම සර්කිට් එකේ ඇත.
 
ශ්‍රේණිගත LC පරිපථය මුලින්ම සලකමු. මෙහි අවුට්පුට් සංඥාව උපාංග දෙක මැදින් ගන්නා විට, විභව බෙදුම් පරිපථයකි. අනෙක් විභව බෙදුම්වලට වඩා මෙය අපූරුය. ඊට හේතුව උපාංග දෙකම සංඛ්‍යාතය මත ප්‍රතිබාදක වෙනස් කර ගන්නා අතර, එසේ වෙනස් කර ගන්නේද විරුද්ධවාදින් ලෙසයි. එනම්, සංඛ්‍යාතය වැඩි වන විට කැප් එකේ ප්‍රතිබාදකය අඩු වුවත් කොයිලයේ ප්‍රතිබාදකය වැඩි වේ.
 


මඳක් සිතා බලන්න එවිට විභවය බෙදෙන අනුපාතයට කුමක් වේද? එය අනෙක් විභව බෙදුම්වලට වඩා සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. මෙහි ධාරිත්‍රකයක් තිබෙන නිසා විචලනය නොවන ඩීසී විදුලිය මෙම පරිපථය හරහා ගමන් නොකරන බව ප්‍රථමයෙන්ම මතක තබා ගන්න. කැප් එකේ අගය මයික්‍රොෆැරඩ් 1ක් නම් හා කොයිලයේ අගය මිලිෆැරඩ් 1 නම්, ඉහත පරිපථය හරහා සංඛ්‍යාතය හර්ට්ස් 10ක සංඥාවක් ගලා යන විට විභවය බෙදෙන අනුපාතය බලමු. මෙම සංඛ්‍යාතයේදී ධාරිත්‍රක ප්‍රතිබාදකය ඕම් 16000ක් වන අතර, කොයිලයේ ප්‍රතිබාදකය ඕම් 0.063කි. ඒ අනුව විභවය බෙදෙන අනුපාතය 16000:0.063 හෙවත් 16000000:63 වේ. ඒ කියන්නේ සැපයුම් විදුලියෙන් අතිවිශාලම පංගුව පිහිටන්නේ කැප් එක හරහාය. දැන් මෙම පරිපථයට කිලෝහර්ට්ස් 100ක සංඥාවක් යොමු කරමු. එවිට ධාරිත්‍රක ප්‍රතිබාදකය ඕම් 1.6ක් වන අතර, ඉන්ඩක්ටර් ප්‍රතිබාදකය ඕම් 630කි. ඒ කියන්නේ විභවය බෙදෙන අනුපාතය 1.6:630 හෙවත් 4:1575 කි. මෙවිට වැඩිපුර වෝල්ටියතාවක් පිහිටන්නේ ඉන්ඩක්ටරය හරහාය. බැලූ බැල්මට මෙය ප්‍රබල හයිපාස් ෆිල්ටරයකි. ඉහත ඇටවුමෙහි උපාංග දෙක උඩු යටි මාරු කර තැබූ විට, ඉන් ප්‍රබල ලෝපාස් ෆිල්ටරයක ක්‍රියාකාරිත්වය ලැබේ. රියැක්ටිව් උපාංග දෙකක් ඇති නිසා මේවා සෙකන්ඩ් ඕර්ඩර් පැසිව් ෆිල්ටර් වේ. එනිසා රෝල්-ඕෆ් (බෑවුම) 12dB/octave වේ.
 
ඉහත පරිපථය ගැන තවත් විස්තර කිව හැකියි. උපාංග දෙක හරහාම ගලන ධාරාව එකයි. එම ධාරාව කැප් එකේ වෝල්ටියතාවට වඩා අංශක 90ක් ඉදිරියෙන් ගමන් කරන අතර, කොයිලයේ වෝල්ටියතාවට වඩා අංශක 90ක් පසුපසින් ගමන් කරනවා. ඒ කියන්නේ ධාරිත්‍රක වෝල්ටියතාව හා ප්‍රේරක වෝල්ටියතාව අතර අංශක 180ක කලා වෙනසක් පවතිනවා.
 

 
මින් අදහස් වෙන්නේ උපාංග දෙකෙහි වෝල්ටියතාවන් දෙක හැමවිටම එකිනෙකට ප්‍රතිවිරුද්ධව ක්‍රියා කරනවා යන්නයි. මෙය තමයි LC සර්කිට් එකක තිබෙන අපූරුතම හැසිරීම. සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි වේගෙන යන විට, ධාරිත්‍රක වෝල්ටියතාව ක්‍රමයෙන් අඩු වේගෙන යනවා; ඒ සමගම ප්‍රේරක වෝල්ටියතාව ක්‍රමයෙන් වැඩිවේගෙන යනවා. කෙසේ හෝ වේවා මෙම වෝල්ටියතා දෙකෙහි සමක අගය (මුලු අගය) සැපයුම් වෝල්ටියතාවට සමාන විය යුතුයි නේද? ඔව්. උදාහරණයක් වශයෙන් යම් මොහොතක භාහිර (එනම් මෙම පරිපථයේ ඉන්පුට්) වෝල්ටියතාව වෝල්ට් 5 නම්, එහි සංඛ්‍යාතය කුමක් වුවත්, එම උපාංග දෙපස වෙන වෙනම ඩ්‍රොප් වන වෝල්ටියතාව කුමක් වුවත්, අවසාන වශයෙන් එම උපාංග දෙකෙහි සමක වෝල්ටියතාව භාහිර වෝල්ටියතා අගය වන වෝල්ට් 5ට සමාන විය යුතුයි.
 
දැන් අපි බලමු එක් එක් උපාංගය දෙපස ඩ්‍රොප් වන වෝල්ටියතාව, මුලු ධාරාව ආදිය ගණනය කරන අයුරු. පළමුවෙන්ම සම්භාධක අගය ගණනය කරමු. ඊට පෙර මෙය දැනගන්න. කැප් එකේ හා ඉන්ඩක්ටරයේ වෝල්ටියතා දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ (එනම් කලා වෙනස අංශක 180ක්) වේ. එනිසා ධාරිත්‍රක වෝල්ටියතාව + ලෙස සැලකුවොත් කොයිලයේ වෝල්ටියතාව - ලෙස සැලකීමට හැකියි. එහෙත් ඉහත ෆේසර් ඩයග්‍රැම් එක බලන විට, කොයිලයේ වෝල්ටියතාව + ලෙසත්, ධාරිත්‍රකයේ වෝල්ටියතාව - ලෙසත් සැලකීම සුදුසුය. මෙලෙස ධණ ඍණ සැලකීම ධාරාවටද පොදුය. මෙහිදීද කලා වෙනසක් තිබෙන බැවින් දෛශික ආකලනය යෙදිය යුතුය. එහෙත් මෙම අවස්ථාව සුවිශේෂි අවස්ථාවකි මොකද කලා වෙනස හැමවිටම අංශක 180කි. එමනිසා, අමුතුවෙන් පෛතගරස් ක්‍රමයට ගණනය කිරීම් කිරීමට අවශ්‍ය නැත; කෙලින්ම ප්‍රතිභාදක අගයන් දෙකේ වෙනස ගන්න; එනම් වැඩි අගය සහිත ප්‍රතිභාදකයෙන් අඩු අගය අඩු කරන්න (XL ~ XC). මෙසේ වෙනස ගැනීමේදි ඇතිවන අවස්ථා තුනක් ඇත; ඒ අවස්ථා තුනට නම් තුනක්ද ඇතපරිපථයේ වැඩි වශයෙන් පවතින්නේ ධාරිත්‍රක ගුණාංගද ප්‍රේරක ගුණාංගද යන්න මත එය තීරණය වේ. පහත එම අවස්ථා තුන ප්‍රතිබාදක ඇසුරිනුත් වෝල්ටියතා ඇසුරිනුත් දක්වා තිබෙනවා. ශ්‍රේණිගත පරිපථවලදී වෝල්ටියතාව ඇසුරින් තමයි බොහෝ ගණනය කිරීම් සිදු කරන්නේ. එහි උපාංග දෙක හරහාම යන්නේ එකම පොදු ධාරාවක් බැවිනුත් V = IR (හෝ V = IX) බැවිනුත්, දෙපස තිබෙන එකම I පදය කැපී ගොස් අවසානයේ ප්‍රතිබාදක පද ඉතිරි වේ (උදා: VL > VC → IXL > IXC → XL > XC).
 
1. XL > XC (හෝ VL > VC) → inductive
2. XL < XC (හෝ VL < VC) → capacitive
3. XL = XC (හෝ VL = VC) → zero impedance = resonant
 
 
ඉහත කියූ ආකාරයට ඉතාම පහසුවෙන් සම්භාදකය ගණනය කර ගත් පසු, සැපයුම් වෝල්ටියතාව ඉන් බෙදීමෙන් ධාරාව ගණනය කළ හැකියි. එම ධාරාවෙන් එක් එක් උපාංගයේ ප්‍රතිබාදකයන් ගුණ කිරීමෙන් ඒ ඒ උපාංග දෙපස ඩ්‍රොප් වන විභවයන් ගණනය කළ හැකියි. අංශක 180 කලා වෙනස නිසා, මෙම විභවයන් දෙක හැමවිටම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වේ. විචලනය නොවන සරල ධාරාවේදී (එනම් සංඛ්‍යාතය 0 දී) සැපයුම් විභවය සම්පූර්ණයෙන්ම ධාරිත්‍රකය දෙපස පමණක් ඩ්‍රොප් වේ. එම උපරිම වෝල්ටියතාවේ සිට ක්‍රමයෙන් අඩු වෝල්ටියතාවක් දක්වා කැප් එකේ වෝල්ටියතාව අඩු වෙනවා සංඛ්‍යාතය වැඩි වේගෙන යන විට. ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාව කොයිලයේ සිදු වේ. සංඛ්‍යාතයේ 0 දී (එනම්, ස්ථාවර වෝල්ටියතාවකදී) එහි වෝල්ටියතාව 0 වන අතර, සංඛ්‍යාතය වැඩි වේගෙන යන විට, වෝල්ටියතාව ක්‍රමයෙන් වැඩි වේගෙන යයි (උපරිම අගය වන සැපයුම් වෝල්ටියතාව දක්වා). මෙම ක්‍රියාවලිය ඉහත සම්බාධක අවස්ථා ඇසුරින්ද දැන් පැහැදිලි කළ හැකියි. ඉන්ඩක්ටිව් අවස්ථවේදී (එනම්, ප්‍රේරකයේ ප්‍රතිබාධකය ධාරිත්‍රකයේ ප්‍රතිබාදකයට වඩා වැඩියෙන් තිබෙන විට) සැපයුම් වෝල්ටියතාවෙන් බහුතර ප්‍රමාණයක් රඳවා ගන්නේ කොයිලය දෙපසය. එලෙසම, කැපෑසිටිව් අවස්ථාවේදී සැපයුම් වෝල්ටියතාවෙන් වැඩි ප්‍රතිශතයක් රඳවා ගන්නේ කැප් එක දෙපසය. හරියටම මෙම අගයන් දෙක සමාන වන තැනදී සැපයුම් වෝල්ටියතාවෙන් 50% බැගින් එම උපාංග දෙපස ඩ්‍රොප් වෙනවා. මෙම අවස්ථාව "අනුනාදී අවස්ථාව" (resonance) ලෙස හැඳින් වෙනවා. මෙම අනුනාදී අවස්ථාව උදා වෙන්නේ සංඥාව යම් නිශ්චිත සංඛ්‍යාතයකින් යුක්ත වූ විටයි. මෙම සංඛ්‍යාතය අනුනාද සංඛ්‍යාතය (resonant frequency) ලෙස හැඳින් වෙනවා.
 
සටහන
අනුනාදය යනු විද්‍යාව හා තාක්ෂණය තුළ තිබෙන ඉතා වැදගත් සංසිද්ධියකි. මෙය සංඛ්‍යාතය හා බැඳුණු දෙයකි. විවිධ ස්වරූපවලින් අනුනාදය පවතී. ඒ සෑම අවස්ථාවකදීම පවතින පොදු ගතිගුණය නම්, අනුනාදය පවතින විටක, සලකා බලන ලක්ෂණය/ගුණය උපරිම වීමයි. අනුනාදය එදිනෙදා අපට පෙනෙන දැනෙන අවස්ථා කිහිපයක් බලමු.

 
ගොරවන විටකදී සමහරවිටක ජනෙල් දොරවල් හෝ වෙනත් ඕනෑම දෙයක් විශාල ලෙස (“ඩක ඩක ගාලා") සෙලවෙන අවස්ථා ඔබ දැක ඇති. මීට හේතුව ගොරවන විට ඇති වන ශබ්ද තරංගයේ සංඛ්‍යාතය එම දෙදරන භාණ්ඩයේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන හෝ බොහෝ ළඟින් පැවතීමයි. ඔව්, ලෝකයේ ලොකු කුඩා සෑම දේකටම ඊටම අනන්‍ය වූ ස්වාභාවික සංඛ්‍යාතයක් (natural frequency) පවතිනවා. භාණ්ඩයේ හැඩය, ඝනත්වය, සාදා තිබෙන ද්‍රව්‍ය, එහි අවකාශීය විසිරීම ආදී නොයෙක් සාධක මත එම සංඛ්‍යාතය තීරණය වෙනවා. මෙම ස්වාභාවික සංඛ්‍යාතයේ තිබෙන වැදගත්කම මෙයයි. යම් භාණ්ඩයක් (යමකින් ගසා හෝ වට්ටා හෝ වෙනත් ඕනෑම ක්‍රමයකින්) කම්පනය කරන්නට උත්සහ කළොත්, පිටතින් ලබා දෙන කම්පන ශක්තිය එය කම්පනය කිරීමට තරම් ප්‍රමාණවත් නම්, එම භාණ්ඩය කම්පනය වන්නට වැඩිම කැමැත්තක් දක්වන්නේ තමන්ගේ ස්වාභාවික සංඛ්‍යාතයෙනි. ඒකෙන් කියවෙන්නෙ නැහැ වෙනත් සංඛ්‍යාතවලින් එය කම්පනය නොවන බව. වෙනත් සංඛ්‍යාතයකින් එය කම්පනය කිරීමට වැඩි ශක්තියක් වැය කිරීමට සිදු වේ. තවද, වෙනත් සංඛ්‍යාතයකින් කම්පනය වන වස්තුවක් ඉතා ඉක්මනින්ම කම්පනය නතර කිරීමටද උත්සහ දරනවා. එය හරියට ඔබට සිංදුවක් කියන්න කියා අනෙක් අය බල කරනවා වැනිය. ඒ අයගේ බල කිරීම ප්‍රමාණවත් නම් ඔබට සිංදුව කියන්නට පෙළඹෙන්නට තරම්, ඔබ කියන්නේ ඔබ කැමතිම සිංදුවයි. එහෙත් ඔවුන් කැමැති (එහෙත් ඔබ අකමැති) සිංදුවක් වුවත් කියාවි ඔවුන්ගේ බල කිරීම ඉතා වැඩි නම් නේද? ඉතිං මෙලෙස යම් භාණ්ඩයක් තමන්ගේ ස්වාභාවික සංඛ්‍යාතයෙන් කම්පනය කරවීමට අවශ්‍ය වන්නේ සාපේක්ෂව කුඩා ශක්තියකි. ඒ කියන්නේ කුඩා ශක්ති ප්‍රමාණයකින් උපරිම කාර්යක් සිදු වෙනවා. මෙය අනුනාදයයි. ඒ අනුව ගොරවන විට අැති වූ ශබ්ද තරංගය අර දෙදරන භාණ්ඩයේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වන විට, අනුනාදය හේතුවෙන් එම භාණ්ඩයද අධිකව කම්පනය වෙනවා. ඔබ යම් සංගීත භාණ්ඩයක් කම්පනය කරන විට (බෙරයක් නම් ඊට ගැසීමෙන්, ගිටාරයක් නම් කම්බිය ගැස්සීමෙන් ආදී ක්‍රමවලින්), ඉන් මිහිරි හඬක් නිකුත් වෙනවා. එම හඬවල්ද ඒ ඒ භාණ්ඩය (බෙරයක් නම් එහි සමද, ගිටාරයක් නම් එහි තත් කම්පනය වීමෙන්) අනුනාදය වීමෙන් සිදු වන ස්වාභාවික සංඛ්‍යාතයන්ගෙන් සිදුවන කම්පනයන්ය
  
ඔරලෝසුවක පැද්දෙන බට්ටාද පැද්දෙන්නේ අනුනාදය යොදාගෙනය. එහි ස්වාභාවික සංඛ්‍යාතයෙන් පැද්දෙන නිසා තමයි එකම විදියට දීර්ඝ කාලයක් එක දිගට පැද්දෙමින් තිබෙන්නේ. මේ සඳහා බට්ටා වැය කරන ශක්තිය සාපේක්ෂව අඩුයි. ගැස්සෙන පැද්දෙන සෑම දේකටම මෙම ලක්ෂණය පවතී. ඔන්චිල්ලාවක් ගන්න. ඔබ ඔන්චිල්ලා පැද ඇති; තල්ලු කර ඇති. කෙනෙකු ඔන්චිල්ලාවේ වාඩි වූ පසු, එය පැද්දීමට යම් රිද්මයක් ලැබේ (ස්වාභාවික සංඛ්‍යාතය). වාඩිවෙන කෙනාගේ බර අනුව එම රිද්මයද වෙනස් වේ. බර වැඩි කෙනෙක් වාඩි වූ විට, එය ඉහල පහල පැද්දෙන්නේ තරමක අඩු වේගයකිනි (ඔබටම මෙය අත්හදා බලන්න පුලුවන්). ඒ කියන්නේ වාඩි වෙන කෙනාගේ බර අනුව අනුනාද සංඛ්‍යාතය වෙනස් වෙනවා. එය වරක් තල්ලු කරන විට, එහි ස්වාභාවික සංඛ්‍යාතයෙන් පැද්දීමට පටන් ගනී. වාතයේ ඝර්ෂණය නිසා එම පැද්දීම ක්‍රමයෙන් නවතින බැවින් ඔබ එය නැවත නැවත තල්ලු කරනවා නේද? ඔබ එය තල්ලු කරන විදිය ගැන මතක් කර බලන්න. ඔන්චිල්ලාවේ පැද්දෙන වේගයෙන් තමයි ඔබ එය තල්ලු කරන්නේ නේද? ඔබේ ඉතා කුඩා තල්ලුවකින් ඔන්චිල්ලාව එන්න එන්නම උඩට යයි. ඔන්චිල්ලාව එවැනි හපන්කමක් කරන්නේ ඊට ඔබෙන් ලැබෙන තල්ලුව එහි ස්වාභාවික පැද්දෙන සංඛ්‍යාතයට සමාන වී අනුනාදය වන නිසාය.
 
සමහරවිට ඔබ දැක ඇති සමහර ශබ්ද මඟින් වීදුරු ආදිය කැඩී යනවා. මීට හේතුවත් අනුනාදයයි. ශබ්දයේ සංඛ්‍යාතය එම වීදුරුවේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වී එය උපරිම ලෙස කම්පනය වී බිඳී යනවා. ගුවන් යානා හා වෙනත් වාහනවලද මෙය බරපතල ප්‍රශ්නයකි. උදාහරණයක් ලෙස, ගුවන් යානයේ එන්ජින් එක ක්‍රියා කිරීම නිදා දෙදරීමක් ඇති වෙනවනේ. එම දෙදරන සංඛ්‍යාතය ගුවන් යානයේ කුමක් හෝ වැදගත් කොටසක (ගුවන් යානයේ බඳ කොටස වැනි) ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වූවොත් පහසුවෙන්ම එම කොටස කැඩී ගොස් ගුවන් යානය/වාහනය විනාශ විය හැකියි.
මේ ආදී ලෙස අනුනාදය ස්වාභාවිකවත් කෘත්‍රිමවත් වාසියටත් අවාසියටත් යෙදෙන අවස්ථා ඕනෑ තරම් කිව හැකියි. විදුලියේදී අනුනාදය යන්නෙන් හඳුන්වන්නේ කුමක්ද? යම් විදුලි සංඥා සංඛ්‍යාතයකදී වෝල්ටියතාව හෝ ධාරාව හෝ සම්භාදකය උපරිම වේ නම්, එතැන (විදුලි) අනුනාදයක් පවතිනවා යනුවෙන් සැලකිය හැකියි. මෙහිදී මතක තබා ගත යුතු තවත් දෙයක් නම්, සලකනු ලබන යම් ගතිගුණයක් අනුනාදය නිසා උපරිම වන විට, තවත් ගතිගුණයක් අවම අගයද ගත හැකියි. උදාහරණයක් ලෙස, අනුනාදය නිසා ධාරාව උපරිම වන විට, එයම අපට කිව හැකියි සම්භාදකය අවම වෙනවා කියා අනුනාදී අවස්ථාවේදී. එහෙත් හැමවිටම අනුනාදය පොදුවේ ගත් විට යම් ගතිගුණයක් උපරිම වන බව නම් සත්‍යයක් (අවම වීමක් ඇති නම්, පළමුව උපරිම වන්නේ කුමක්ද යන්නද සොයා බලන්න).
 
ඉහත සඳහන් කළ ආකාරයට ප්‍රතිභාදක දෙක සමාන වන අවස්ථාව අනුනාද අවස්ථාවයි. එවිට සම්භාදක අගය ශූන්‍ය වේ. සම්ප්‍රයුක්ත සම්භාදකය ශූන්‍ය වුවත් තවමත් එහි ප්‍රතිභාදක පවතී. එහෙත් මෙම ප්‍රතිභාදක දෙක පවතින්නේ එකක් ධන හා එකක් ඍණ වශයෙන් (එනම් එකිනෙකට විරුද්ධ දිශාවලට) බැවින් එම අගයන් දෙක සමාන වන විට, එකිනෙකට කැපී යනවා. ඕම් නියමය අනුව, ඕනෑම වෝල්ටියතාවක් ශූන්‍යයෙන් බෙදූ විට ලැබෙන ධාරාව අනන්තයකි. ඒ කියන්නේ අනුනාද සංඛ්‍යාතයේදී පරිපථ කොටසේ ධාරාව අනන්තයක් බවයි. සෛද්ධාන්තිකව (එනම් ගණිතයට අනුව; සූත්‍රයට අනුව) එසේ ප්‍රකාශ කළත්, සත්‍ය ලෙස කිසිදු දෙයක අනන්තයක් අපට හමු වන්නේ නැත (විශේෂයෙන් විදුලියේදී වෝල්ටියතාවක් හෝ ධාරාවක් හෝ ප්‍රතිරෝධයක් අනන්ත අගයක් සහිතව ලැබෙන්නේ නැත). එහෙත් මින් කියන්නේ අනුනාදී අවස්ථාවේදී ධාරාව ඉතා විශාල උපරිම අගයක් ලැබෙන බවයි.
 
සත්‍ය ලෝකයේදී ඉහත අනුනාද අවස්ථාවේදී අනන්ත ධාරාවක් නොලැබීමට හේතුව මෙයයි. ප්‍රතිබාධක අගයන් දෙක එකිනෙකට කැපී යනවා. එය සත්‍යයක්. එලෙස ප්‍රතිබාධක අහෝසි වුවත්, හැමවිටම කිසිදා අහෝසි කළ නොහැකි ප්‍රතිරෝධය එතැන ඇත. අයිඩියල් ධාරිත්‍රක හා අයිඩියල් කොයිල්වල හා අයිඩියල් වයර්වල අප ප්‍රතිරෝධකතා නැතැයි උපකල්පනය කළත්, සැබෑ ධාරිත්‍රක, සැබෑ කොයිල්, සැබෑ වයර්වල කුඩා ප්‍රතිරෝධකතා තිබෙනවා. ප්‍රතිබාධකය අහෝසි වුවත් මෙලෙස ඇති ප්‍රතිරෝධක අගය නිසා ධාරාව අනන්තයක් නොවී එහෙත් විශාල අගයක්ව පවතිනවා.
 
මේ අනුව ඉහත පැහැදිලි කිරීම් මෙසේ සාරාංශගත කළ හැකියි. අනුනාද අවස්ථාවේදී (ඒ කියන්නේ අනුනාද සංඛ්‍යාතය (resonant frequency) සහිත විදුලි සංඥාවක් LC පරිපථය හරහා ගලා යන විට), කිසිදු සම්භාදකයක් නැත. එවිට ගලා යන ධාරාව උපරිම වේ. එහෙත් කිසිමවිටක ශ්‍රේණිගත LC පරිපථයේ භාහිර සැපයුම් වෝල්ටියතාව රිසොනන්ට් සර්කිට් එකේ උපාංගවල ක්‍රියාකාරිත්වය නිසා වෙනස් නොවේ. V=IR අනුව, V නියත විට, R ගේ විචලනය ඍජුවම බලපාන්නේ I ටයි. ඒ කියන්නේ සම්භාදකය අඩු වන විට ධාරාව වැඩි වේ. පහත රූපයේ දැක්වෙන්නේ රිසොනන්ට් පරිපථයක ධාරාව හා සම්භාදකයන් සංඛ්‍යාතය සමග වෙනස් වන ආකාරයයි. මෙහි පැහැදිලිවම පෙනෙනවා එක් නිශ්චිත සංඛ්‍යාතයකදී (එනම් අනුනාද සංඛ්‍යාතයේදී) ධාරාව උපරිම වී (හෙවත් සම්භාදකය අවම වී), එම සංඛ්‍යාතයට අඩු හා වැඩි සංඛ්‍යාත සඳහා ක්‍රමයෙන් ධාරාව අඩු (හෙවත් සම්භාදකය වැඩි) වීගෙන යන බව. මෙම රූපය හා විස්තරය හොඳින් මතක තබා ගැනීම ප්‍රයෝජනවත්ය.



අයිඩියල් රිසොනන්ට් සර්කිට් එකක් ගන්න (ඒ කියන්නේ ධාරිත්‍රක, ප්‍රතිරෝධක, හා වයර්වල කිසිදු ප්‍රතිරෝධක නැතැයි උපකල්පනය කළ අවස්ථාව). එහි අනුනාද සංඛ්‍යාතය කුමක්ද? ඔබ දන්නවා අනුනාදය සිදු වන්නේ ප්‍රතිබාදක අගයන් දෙක සමාන වූ අවස්ථාවයි. එනිසා,
 

 
ඒ අනුව මෙම සූත්‍රයෙන් එකවරම ඔබට දැන් ඉහත රිසොනන්ට් සර්කිට් එකේ රිසොනන්ට් ෆ්‍රීක්වන්සි එක සොයා ගන්න පුලුවන්. රිසෝනන්ට් පරිපථයේ කිසිදු ප්‍රතිරෝධකයක් නැති නම් (ඒ කියන්නේ ධාරිත්‍රකය, ප්‍රේරකය, වයර් යන තුන් වර්ගයේම ප්‍රතිරෝධ ශූන්‍යයි; තුනම අයිඩියල් උපාංගයි), එම පරිපථයට අනුනාද සංඛ්‍යාතයෙන් යුතු විදුලි සංඥාවක් යොමු කර, එම භාහිර විදුලි සම්බන්ධතාව එකවර විසන්ධි කළ විට, කුමක් වේවිද? (පහත රූපය). කෙනෙකුට අවශ්‍ය නම් මෙය සමාන්තරගත LC පරිපථයක් ලෙසද හැඳින්විය හැකියි. එහෙත් මෙහිදී කර තිබෙන්නේ සංඥාව ලබා දුන් සැනින් භාහිර විදුලි සැපයුම ඉවත් කර පරිපථය ෂෝට් කිරීමයි.
 

 
එවිට, රිසෝනන්ට් සංඛ්‍යාතයේදී ප්‍රතිබාදකයද ශූන්‍ය නිසා, පරිපථයේ ප්‍රතිරෝධයත් ශූන්‍ය නිසා, කිසිදා නොනැසී දිගටම (අවුරුදු කෝටි ගණනක් වුවද) එම සංඥාව දෝලනය වෙමින් පවතීවි.
 
සටහන
දෝලනයක් (oscillation) යනු සලකා බලන යම් දෙයක් අවස්ථා දෙකක් අතර මාරුවෙන් මාරුවට යම් රිද්මයකින් පැවතීමයි. ඔරලෝසුවේ බට්ටා උදාහරණයට ගන්න. එය දෙපැත්තට යම් රිද්මයකට පැද්දෙනවා. එහිදී බට්ටා වරක් වම් පැත්තේ යම් උසක් දක්වා ගමන් කරයි. එම අවස්ථාවේදී බට්ටා තුළ උපරිම විභව ශක්තියක් (potential energy) පවතින අතර එම ක්ෂණයෙහි එය උඩට යන ගමන නවත්වා ආපසු ගමන ඇරඹීටම සැරසෙන නිසා චලනයක් නැති අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. එවිට, එම අවස්ථාවේ එහි චාලක ශක්තිය (kinetic energy) ශූන්‍ය හෙවත් අවම අගය වේ. දැන් බට්ටා පහලට ගමන අරඹයි. මුලින් සෙමින් පටන් ගෙන ක්‍රමයෙන් වේගය වැඩි කර ගෙන, හරි මැදට බට්ටා පැමිණි විට, එහි වේගය උපරිම වේ. ඒ කියන්නේ චාලක ශක්තිය උපරිම වේ; මෙවිට එහි විභව ශක්තිය අවමය වේ. නැවතත් බට්ටා එම මැද ස්ථානය පාස් කරන් දකුණු අත පැත්තේ ඉහළ යම් ස්ථානයක් දක්වා ගමන් කරයි. ඒ යන අතරේ වේගය සෙමින් අඩු වී ඉහලම ලක්ෂයේදී මොහොතකට නිශ්චල වේ. මෙම අවස්ථාව පෙර වම් අත පැත්තේ සිදු දේට සමානය. එනම්, එම අවස්ථාවේදී චාලක ශක්තිය අවම වන අතර, විභව ශක්තිය උපරිම වේ. මේ සිදුවීම නොකඩවා නැවත නැවත සිදු වේ. මෙවැන්නක් තමයි දෝලනයක් කියා පවසන්නේ. මෙම උදාහරණයේදී බට්ටාගේ චාලක ශක්තිය හා විභව ශක්තිය දෙක අතර වරින් වර මාරු වුණා. බට්ටා උඩම කෙලවරේ සිටින විට තිබූ විභව ශක්තිය ක්‍රමයෙන් චාලක ශක්තිය බවට පත් කළා බට්ටා හරි මැදට එන තුරු. හරි මැද අවස්ථාවේදී සියලු විභව ශක්තිය වැය කොට අවසන්. එහෙත් මෙම අවස්ථාවේ තිබෙන චාලක ශක්තිය නිසා තවදුරටත් බට්ටා අනෙක් පසින් උඩට ගමනේ යෙදෙනවා. එවිට එම චාලක ශක්තිය ක්‍රමයෙන් වැය වී නැවත විභව ශක්තිය බවට පරිවර්තනය වෙනවා. අනෙක් කෙලවරේ උඩටම පැමිණි විට, චාලක ශක්තිය අවම වීම නිසා බට්ටා නතර වෙනවා. එහෙත් එවිට එම චාලක ශක්තිය විභව ශක්තිය ලෙස ගබඩා වී තිබෙන නිසා, එය වැය කරමින් සුපුරුදු ලෙසම ආපස්සට චලනය වෙනවා.
 

 
මෙය ඉවරයක් නැතිව දිගින් දිගටම සිදු වෙනවා නේද? ඔව්. එහෙත් එය නොනවත්වාම සිදු වීමට එක් කොන්දේසියක් අවශ්‍යයි. එය නම්, බට්ටා ගමන් කරන විට, ඊට කිසිදු ඝර්ෂණයක් නොදැනිය යුතුයි. ඒ කියන්නේ ප්‍රතිරෝධි බලයක් ඊට නොදැනිය යුතුයි. සැබෑ ලෝකයේදී ඔබ දන්නවා බට්ටා සවිකර තිබෙන කොටස සමග ඇතිල්ලීම නිසාද, වාතය සමග ගැටෙන නිසාද ප්‍රතිරෝධි බලයක් පවතිනවා. එවිට, බට්ටා එක වරක් උස්සා අත් හැරිය විට, එය දෝලනය වන උස ක්‍රම ක්‍රමයෙන් අඩු වී අවසානයේ හරි මැද නතර වෙනවා (මෙය ඔබට සුපුරුදු අත්දැකීමක්නෙ). මෙවැනි ක්‍රමයෙන් ශක්තිය හීන වී ගෙන යන දෝලනයක් "පරිමන්දිත දෝලන" (damped oscillation) යන නමින් හැඳින්වෙනවා. පරිමන්දනය නොවී ගමන් කරන විට, එම දෝලනය ලස්සනට සයිනාකාර තරංගයකින් දැක්විය හැකියි. එහෙත් පරිමන්දනය වන විට, ක්‍රමයෙන් විස්තාරය අඩු වී ගෙන යන සයිනාකාර තරංගයක් හැටියටයි එක දක්වන්නේ.
 

 
බට්ටා පැද්දුනාක් මෙන්ම තවත් බොහෝ දේවල් දෝලනය වෙනවා. විදුලියද දෝලනය කළ හැකියි. උදාහරණයක් ලෙස, විදුලිය විදුලි ක්ෂේත්‍රයක් හා චුම්භක ක්ෂේත්‍රයක් අතර දෝලනය වීමට සැලැස්විය හැකියි. ඉහත LC පරිපථය එවැන්නකට උදාහරණයකි. ඉලෙක්ට්‍රොනික්ස්වල දෝලන ඉතාම වැදගත්. දෝලනය අැති කරන පරිපථ කොටස් දෝලක (oscillator) යනුවෙන් හැඳින්වෙනවා. විවිධ නම්වලින් විවිධාකාරයේ ඔසිලේටර් සර්කිට් තිබෙනවා (ඒවා පසුව පැහැදිලි කෙරේ). පරිගණක තාක්ෂණය මෙන්ම මුලු ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ක්ෂේත්‍රයම රඳා පවතින්නේ දෝලක මතයි. දෝලක නැතිනම්, පරිගණක නැත. එවිට, ලෝකය මෙතරම් තාක්ෂණිකවත් විද්‍යාත්මකවත් දියුණු නොවී පැවතීමට ඉඩ තිබුණා. විදුලි දෝලකයදී සලකන්නේ විදුලිය ගමන් කරන මාර්ග/විදිය ගැනයි. එනම්, විදුලිය අඛණ්ඩව යම් මාර්ගයක් දිගේ ගමන් කරනවා නම් එතැන දෝලනයක් නැත. එහෙත් එම විදුලිය එම මාර්ගය (අවම වශයෙන්) මාර්ග දෙකක මාරුවෙන් මාරුවට ගමන් කරනවා නම් එය දෝලනයකි. ඉලෙක්ට්‍රොනික්ස්වල (හා පොදුවේ ගත් කළත්) පොදුවේ දෝලක වර්ග තුනක් තිබේ.
 
1. monostable oscillator - මෙහිදී විදුලිය/සංඥාව A සිට B ට මාරු වී (A හා B යනු විදුලිය ගමන් කරන මාර්ග දෙකකි), යම් කාලයකට පසුව නැවත තමන් පෙර සිටි A වෙතට මාරු වී දිගටම එතැන පවතිනවා. Stable යන ඉංග්‍රිසි වදනෙහි සිංහල තේරුම "ස්ථායි" යන්නයි. ඉතිං නමින්ම කියවෙන පරිදි මෙම දෝලකයේ ස්ථායි ස්ථාන තිබෙන්නේ එකක් පමණි (mono යන උපසර්ගයේ තේරුම "එක" යන්නයි). අනෙක් ස්ථානය (හෝ ස්ථාන) අස්ථායි වේ; වැඩි කාලයක් එතැන නොරැඳේ. අස්ථායි ස්ථානයේ රැඳී සිටිය යුතු කාලය අපට පරිපථයේ යොදන අගයන් වෙනස් කිරීමෙන් සකසා ගත හැකියි.
 
2. bistable oscillator - මෙහි ස්ථාන දෙකම ස්ථාවර වේ (bi යන උපසර්ගයේ තේරුම "දෙක" යන්නයි). ඒ කියන්නේ විදුලිය/සංඥාව එක තැනක ඕනෑම කාලයක් තිස්සේ දිගටම පැවතිය හැකියි. එහෙත් යම් ක්‍රමයකින් (ට්‍රිගර් එකකින්) එම ස්ථානය අනෙකට මාරු කළ හැකියි. එවිට, එම නව ස්ථානයත් ස්ථායි බැවින් දිගටම එම ස්ථානයේම පැවතිය හැකියි. නැවතත් ට්‍රිගර් කිරීමෙන් තමයි අනෙකට මාරු කළ හැක්කේ. මෙහිදී කාලයක් සකසන්නට නැත. එහෙත් එකකින් අනෙකට මාරු වීමට ට්‍රිගර් එකක් සැකසිය යුතුයි.
 
3. astable/unstable oscillator - මෙය තමයි බහුලවම භාවිතා කරන ඔසිලේටරය. මෙයම multi-vibrator යන නමින් හැඳින් වෙනවා. නියම ඔසිලේටර් ක්‍රියාවලිය සිදු වන්නේ මෙහිය. නමින්ම කියවෙන පරිදි ස්ථාන දෙකම අස්ථායි වේ. ඒ කියන්නේ එක් අවස්ථාවක විදුලිය එක අග්‍රයකින් පිට කරනවා. එලෙස ටික වෙලාවක් එතැන රැඳී සිට, ඉබේම ඊ ළඟ අග්‍රයට මාරු වෙනවා. එතැනත් මොහොතක් රැඳී සිට නැවතත් සිටපු තැනට මාරු වෙනවා. මේ විදියට නොනවත්වාම එකකින් අනෙකට මාරු වෙවී පවතිනවා. එක ස්ථානයක රැඳී සිටින කාලය අපට අවශ්‍ය විදියට සැකසිය හැකියි උපාංගවල අගයන් වෙනස් කිරීමෙන්. රේඩියෝ සිග්නල්, ඕඩියෝ සිග්නල්, ඩිජිටල් සර්කිට්වලට අවශ්‍ය පලස් සියල්ලම සාදන්නේ මෙවැනි ඇස්ටේබල් ඔසිලේටර් එකකින්ය.
 
එය විග්‍රහ කිරීමට කොතැනින් හෝ පටන් ගත යුතුය. යම් මොහොතක කැප් එක තුළ විද්‍යුත් ක්ෂේත්‍රයක් ලෙස එම විදුලිය සම්පූර්ණයෙන්ම ගඩබා වී පවතිනවා. එවිට, පරිපථයේ කිසිදු ධාරාවක් ගලා යන්නේ නැත. ඒ කියන්නේ මෙවිට කොයිලයේ චුම්භක ක්ෂේත්‍රයක්ද නැත. එහෙත් කැප් එක දැන් සංවෘත පරිපථයක් ලෙස පවතින බැවින්, කොයිලය හරහා එය ඊට ලාක්ෂණික ආකාරයට (ධාරිත්‍රකය චාජ්/ඩිස්චාජ් වන ලාක්ෂණික ආකාරය වන්නේ ඝාතීය ශ්‍රිතයේ ආකාරයටයි) ඩිස්චාජ් වෙන්න පටන් ගන්නවා. එවිට, පරිපථයේ ධාරාවක් ගලා යනවා. මෙම ධාරාව නිසා ප්‍රේරකයේ චුම්භක ක්ෂේත්‍රයක් හට ගන්නවා. ධාරිත්‍රකය ක්‍රමයෙන් ඩිස්චාජ් වෙන විට, එහි විද්‍යුත් ක්ෂේත්‍රය ක්‍රමක්‍රමයෙන් හීන වෙන අතර, චුම්භක ක්ෂේත්‍රය ක්‍රමයෙන් ප්‍රබල වෙනවා. යම් මොහොතක කැප් එක සම්පූර්ණයෙන්ම ඩිස්චාජ් වෙනවා; එවිට විද්‍යුත් ක්ෂේත්‍රයක් නැත. මේ මොහොතේදී කොයිලයේ චුම්භක ක්ෂේත්‍රය උපරිම වී ඇත. තවදුරටත් පරිපථය හරහා ධාරාවක් ගලන්නේ නැත. මෙනිසා චුම්භක ක්ෂේත්‍රය දැන් ඩිස්චාජ් වෙන්න පටන් ගන්නවා ධාරිත්‍රකය හරහා (ඊටම ලාක්ෂණික ක්‍රමයට; මෙයද ඝාතීය ශ්‍රිතයක් ආකාරය ගනී). එවිට පරිපථයේ ධාරාවක් ගලනවා. මේ විදියට චුම්භක ක්ෂේත්‍රය ක්‍රමයෙන් හීන වෙමින් ධාරිත්‍රකයේ විද්‍යුත් ක්ෂේත්‍රය ප්‍රබල වෙනවා. මෙම ක්‍රියාවලිය නොකඩවා ඇති වෙනවා. ධාරිත්‍රකය චිස්චාජ් වන වේගයෙන්ම කොයිලය චාජ් වීමද, කොයිලය ඩිස්චාජ් වෙන වේගයෙන් ධාරිත්‍රකය චාජ් වීමද සිදු විය යුතුයි. මෙය හරියට දෙන්නෙක් එකතු වී කරන නැටුමක් වගේ. දෙන්නා පාද තැබිය යුත්තේ එකම රිද්මයටයි. ඒ කියන්නේ මෙම ක්‍රියාවලිය සිදු වීමට යම් රිද්මයක් නොහොත් සංඛ්‍යාතයක් තිබෙනවා. එය තමයි අනුනාද සංඛ්‍යාතය. ඉහත සිදු වූයේ විදුලි දෝලනයකි. චුම්භක ක්ෂේත්‍රයත් විද්‍යුත් ක්ෂේත්‍රයත් අතර දෝලනයකි (හරියට ඔරලෝසු බට්ටා විභව ශක්තියත් චාලක ශක්තියත් අතර දෝලනය වූවා වාගේ).
 
නැවත අප ශ්‍රේණිගත LC පරිපථය බලමු. එහි අනුනාද සංඛ්‍යාතයේදී ධාරාව උපරිම වේ (සම්බාධකය අවම වේ). එම සංඛ්‍යාතයට දෙපසින් පවතින සංඛ්‍යාතයන් වලදී ධාරාව සීඝ්‍රයෙන් පහල යයි. මෙය එක්තරා විදියක ෆිල්ටරයකි. එනම්, අනුනාද සංඛ්‍යාතය මැදි කොට ගත් යම් සංඛ්‍යාත පරාසයක් පමණක් ඉතිරි වී අනෙක් සංඛ්‍යාතයන් ෆිල්ටර් වේ. ඒ කියන්නේ මෙය බෑන්ඩ්පාස් ෆිල්ටර් එකක්. මෙහි -3dB ස්ථාන දෙක half-power point යනුවෙන් හැඳින්වෙනවා. ඔබට දැන් වැටහිය යුතුයි ඇයි එම නම එලෙස යෙදුවේ කියා (-3dB යනු ජවය හරි අඩකින් අඩුවන අවස්ථාව). මෙම හාෆ්-පවර් ස්ථාන දෙක අතර පරාසය තමයි පාස්බෑන්ඩ් එක හෙවත් බෑන්ඩ්විත් එක කියන්නේ. පහත රූපය බලන්න. මෙම බෑන්ඩ්විත් එක ගොඩක් පටුයි. ඒ කියන්නේ සංඛ්‍යාත පරාසය පටුයි. ඊට හේතුව ෆිල්ටර් රෝල්-ඕෆ් (බෑවුම) ඉතාම වැඩි වීමයි.


 
දැන් අපි සමාන්තරගත LC පරිපථයක් බලමු.


 
මෙහි සැපයුම් වෝල්ටියතාව තමයි උපාංග දෙකටම පොදු වන්නේ (එනම්, උපාංග දෙකෙහිම හැමවිටම මෙම වෝල්ටියතාව පවතිනවා). එහෙත් මේ දෙකෙන් ගලා යන ධාරාවන් වෙනස්. මෙම පරිපථයට විචලනය නොවන ඩීසී වෝල්ටියතාවක් ලබා දුන් විට, ධාරිත්‍රකය හරහ ධාරාවක් ගලා නොයන බැවින් ධාරිත්‍රකය නැතිව තනිවම ඉන්ඩක්ටරය පවතින පරිපථයක් බවට සරල වන බව ඔබට පෙනෙනෙවා නේද? දැන් විචලනය වන විදුලියක් යන අවස්ථාව ගමු. මෙහි ෆේසර් ඩයග්‍රැම් එක පහත දැක්වේ.
 

 
පළමුවෙන්ම මෙහි සම්භාදකය සොයමු. අංශක 180ක කලා වෙනස නිසා, අමුතුවෙන් දෛශික ආකලනය නොකර කෙලින්ම ඒ වෙනස ගත හැකියි. එනම්,
 
1/Z = 1/XC ~ 1/XL හෝ Y = BC ~ BX
 
(මෙහි ~ යන සලකුණින් කියන්නේ දෙකෙහි වෙනසයි. ඒ කියන්නේ පළමු පදයෙන් දෙවැනි පදය අඩු කරන හෝ දෙවැනි පදයෙන් පළමු පදය අඩු කරන ලෙසයි. සාමාන්‍යයෙන් වැඩි අගයෙන් අඩු අගය අඩු කෙරේ.) 
  
මෙහිදීද ශ්‍රේණිගත අවස්ථාවේදී මෙන් පහත අාකාර (mode) තුන පවතී. ශ්‍රේණිගත අවස්ථාවේදී නම් ආකාරය තීරණය කරන්නේ වෝල්ටියතාව පදනම් කරගෙනයි. එනම්, උපාංග දෙකෙන් කොයි එකේද වැඩිපුර වෝල්ටියතාවක් ඩ්‍රොප් වුණේ කියන එක මත. එනිසා ප්‍රතිබාදකය වැඩි අවස්ථව තමයි සැලකුවේ. එහෙත් සමාන්තරගත අවස්ථාවේදි එය තීරණය කරන්නේ ධාරාව මතයි. ඒ කියන්නේ වැඩිපුරම ධාරාව ගලා යන උපාංගය තමයි ආකාරය තීරණය කරන්නේ. ඒ අනුව පහත ආකාර ගැන සිතන්න.
 

1. 1/XC > 1/XL (IC > IL) – capacitive
2. 1/XL > 1/XC (IL > IC) – inductive
3. 1/XL = 1/XC හෙවත් XL = XC (IL = IC) – resonant
 
දැන් ඉහත සැපයුම් වෝල්ටියතාව ධාරිත්‍රක ප්‍රතිබාදකයෙන් බෙදීමෙන් ධාරිත්‍රකය හරහා යන ධාරාවද, සැපයුම් වෝල්ටියතාව ප්‍රේරක ප්‍රතිබාදකයෙන් බෙදීමෙන් ප්‍රේරකය හරහා යන ධාරාවද වෙන වෙනම ගණනය කළ හැකියි. ඉන්පසු (කලා වෙනස නිසා) එම දෙකෙහි දෛශික ආකලනයෙන් මුලු ධාරාව ලබා ගත හැකියි. එහෙත් මෙහිදී පෙර සේම, අංශක 180 කලා වෙනස නිසා, අමුතුවෙන් දෛශික ආකලනයක් කිරීමට අවශ්‍ය නැත; කෙලින්ම ධාරාවන් දෙකෙන් වැඩි අගයෙන් අඩු අගය අඩු කරන්න. එසේ නැතිනම්, දැනටමත් ඔබ සම්බාදකය ගණනය කර අවසන් නිසා, සැපයුම් වෝල්ටියතාව එම සම්බාදකයෙන් බෙදීමෙන් ලැබෙන්නේද මුලු ධාරාවයි.
ඉහත සමානතරගත LC පරිපථයේ සංඛ්‍යාතයන් වෙනස් වීමේදී හැසිරෙන ආකාරය බලමු. අඩු සංඛ්‍යාතයකදී ධාරිත්‍රක ප්‍රතිබාදකය ඉහල නිසා ඒ තුලින් ගලන ධාරාව ඉතාම අඩුය. අඩු සංඛ්‍යාතවලදී ප්‍රේරක ප්‍රතිබාදකය ඉතාම පහල නිසා ඒ තුලින් ගලන ධාරාව ඉතාම වැඩිය. දැන් සංඛ්‍යාතය වැඩි කර බලන්න. වැඩි සංඛ්‍යාතයන්හිදි ධාරිත්‍රක ප්‍රතිබාදකය අඩු වී ඒ හරහා ගලන ධාරාව වැඩි වන අතර, ප්‍රේරක ප්‍රතිබාදකය වැඩි වී ඒ හරහා ගලන ධාරාව අඩු වේ. මෙය පහත ආකාරයට ප්‍රස්ථාරගත කළ හැකියි.

 
ඉහත ප්‍රස්ථාරයත් ශ්‍රේණිගත LC පරිපථයේ ප්‍රස්ථාරයට නෑකමක් දක්වනවා. මෙම ප්‍රස්ථාරයේදී යම් සංඛ්‍යාතයකදී පරිපථයේ සම්බාදකය අනන්තය (එනම්, උපරිම) වේ. එවිට, ධාරාව අවම වේ. මෙය ශ්‍රේණිගත අවස්ථාවේ විරුද්ධ ක්‍රියාව නේද? අනන්තය ලෙස දක්වා තිබුණත් සැබෑ තත්වය නම්, මෙහි සම්බාදකය අති විශාල එකක් වගයි.


ඉලෙක්ට්‍රෝනික්ස් (electronics) ...

No comments:

Post a Comment