Tuesday, September 8, 2015

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 25

Printer Class සැකසීම

ලිනක්ස්හි printer class යනුවෙන්ද දෙයක් තිබේ. ප්‍රින්ටර් ක්ලාස් එකක් යනු ප්‍රින්ටර් කිහිපයක එකතුවකි. යම් නමකින් යුතුව ප්‍රින්ටර් ක්ලාස් එකක් සාදා, ඊට ඔබේ පරිගණකයේ කුමන ආකාරයෙන් හෝ ඉන්ස්ටෝල් කරපු (ලෝකල් හෝ නෙට්වර්ක් හෝ) ප්‍රින්ටර් ඇතුලත් කළ හැකියි. ඉන්පසු, ඔබ සාමාන්‍යයෙන් ප්‍රින්ටර් එකකට ප්‍රින්ට් ජොබ් එකක් යවා ප්‍රින්ට්අවුට් ගන්නා පරිදිම, ප්‍රින්ටර් ක්ලාස් එකකටද ප්‍රින්ට් ජොබ් යැවිය හැකියි (ඒ කියන්නේ භාහිරට ප්‍රින්ටර් ක්ලාස් එකක් පෙනෙන්නේ නිකං ප්‍රින්ටරයක් මෙන්ය). එවිට, එම ක්ලාස් එකේ ඇති එම මොහොතේ ක්‍රියාත්මක වන එක ප්‍රින්ටරයකින් එය ප්‍රින්ට් වේවි. සාමාන්‍යයෙන් ක්ලාස් එකේ සාමාජිකත්වය දරන ප්‍රින්ටර් එහි තිබෙන අනුපිළිවෙල අනුව ප්‍රින්ට් වේවි (ඒ කියන්නේ යම් ප්‍රින්ටරයක් තෝරා ගැනීමේදී පළමුව බලන්නේ ක්ලාස් එකේ ලිස්ට් එකේ ඉහළින්ම තිබෙන ප්‍රින්ටර් එකයි).

ප්‍රින්ටර් ක්ලාස් එකක් Printers ඇප්ලට් එකෙන් සාදාගන්නේ මෙසේය. එහි Server → New → Class යන්න තෝරන්න. එවිට අලුත් වින්ඩෝ එකක් ඒවි. එය ඔබ මීට පෙර දුටු ප්‍රින්ටරයක් ඇඩ් කරන විට දුටු ආකාරයේ වින්ඩෝ එකකි. එහි ක්ලාස් එකට නමක්, විස්තරයක්, ස්ථානය දී Forward ක්ලික් කරන්න. එවිට පහත ආකාරයට වින්ඩෝ එක වෙනස් වේවි. මෙහි දකුණු කොටසේ දැක්වෙන්නේ දැනට මෙම පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ප්‍රින්ටර් වේ. එම ප්‍රින්ටර්වලින් කැමති එකක් හෝ කිහිපයක් හෝ සියල්ලම හෝ වම් අත පැත්තට යවන්න (ක්ලාස් එකට ඇඩ් කරන්න). මැද තිබෙන ඊතල වලින් දෙපැත්තට ප්‍රින්ටර් හුවමාරු කරගත හැකියි. වම්පසට ප්‍රින්ටර් ඇඩ් කරනවිට, ඒවායේ අනුපිළිවෙල වැදගත්වන බව ඉහතදී මා පැවසුවා. ඉන්පසුව Apply කරන්න. එවිට අසාවි ටෙස්ට් ප්‍රින්ට් එකක් දෙන්නද කියා (කැමති නම් ටෙස්ට් කර බලන්න).


දැන් සාමාන්‍ය ප්‍රින්ටරයක් මෙන්ම ක්ලාස් එකත් පෙනේවි Printers ඇප්ලට් එක තුළ. එය මත රයිට් ක්ලික් කර, සාමාන්‍යයෙන් ප්‍රින්ටරයකට සිදුකළ බොහෝ දේවල් (Shared, enabled, rename, ආදි ලෙස) ක්ලාස් එකටද කළ හැකියි. එහි Properties ගොස් සුපුරුදු ලෙසම සෙටිංස් වෙනස් කළද හැකියි. යම් ප්‍රින්ටර් ක්ලාස් එකක් තවත් ප්‍රින්ටර් ක්ලාස් එකක සාමාජිකයෙක්ද විය හැකියි (ඒ කියන්නේ ප්‍රින්ටරයක් ඊට ඇඩ් කරගන්නා පරිදි වෙනත් ක්ලාස් එකක්ද ඇඩ් කරගත හැකියි).

PDF (Virtual) printer

සාමාන්‍යයෙන් ප්‍රින්ටරයක් යනු තිරයේ දිස්වන දෙයක් කොලයකට ගැනීමට තිබෙන උපකරණයක්. එහෙත් සමහර ප්‍රින්ටර් තිබෙනවා කොලයකට ප්‍රින්ට් කරනු වෙනුවට PDF (හෝ වෙනත් ෆයිල් ෆෝමැට්) ෆෝමැට් එකක් ඉන් සාදන. මේවා සොෆ්ට්වෙයාර් ප්‍රින්ටර් නිසා, virtual printer එකක් ලෙස සැලකිය හැකියි නේද? ඔබ සාමාන්‍යයෙන් ප්‍රින්ටරයකට ප්‍රින්ට් ජොබ් එකක් යවන විධියටම මෙවැනි ප්‍රින්ටරයකටත් ප්‍රින්ට් ජොබ් එකක් යවන අතර, එවිට එම ප්‍රින්ට්අවුට් එක පීඩීඑෆ් ෆයිල් එකක් ලෙස ලැබේ. මෙය යම් ෆයිල් එකක් පීඩීඑෆ් එකක් බවට පත් කරන පහසුම ක්‍රමයක්ද වේ. මෙමඟින් කොලද ඉතිරි වේ. දැන් අපි බලමු පීඩීඑෆ් ප්‍රින්ටරයක් ඉන්ස්ටෝල් කරගන්නා අයුරු.

සුපුරුදු ලෙසම Printers ඇප්ලට් එක රන් කරන්න (වෙබ් බ්‍රවුසර් ක්‍රමයද කැමැති නම් යොදාගත හැකියි). එහි Add බට්න් එක ක්ලික් කර, එවිට මතුවන New Printer ඩයලොග් බොක්ස් එකේ Generic CUPS-PDF යන්න තෝරා Forward ඔබන්න. දැන් හුරුපුරුදු වින්ඩෝ එකක් පෙනෙන අතර, එහි ඔබට කැමැති නමක් (හා වෙනත් විස්තර) ලබා දෙන්න (PDF Printer වැනි නමක් දීම වඩා උචිතයි). ඉන්පසු Apply කරන්න. එච්චරයි. මෙම වර්චුවල් ප්‍රින්ටරයෙන් ප්‍රින්ට් කරන විට සේව් වන පීඩීඑෆ් ෆයිල් ඔබේ හෝම් ෆෝල්ඩර් එක තුල තිබෙන PDF යන ෆෝල්ඩර් එකේ දැකිය හැකියි.

Bluetooth සැකසීම

ඔබ දන්නවා බ්ලූටූත් යනු ළඟපාතක ඇති උපකරණ කිහිපයක් වයර් නැතිව (වයර්ලස්) එකිනෙකට සම්බන්ධ කරන තාක්ෂණයක් කියා. ඔබේ පරිගණකයේ බ්ලූටූත් හැකියාව තිබේ නම්, මොබයිල් ෆෝන්, කැමරා ආදී වෙනත් බ්ලූටූත් උපකරණ, බ්ලූටූත් හරහා පරිගණකයට සම්බන්ධ කළ හැකිය. වයිෆයි සේම බ්ලූටූත්ද යොදගන්නේ රේඩියෝ තරංග වන අතර, එම තාක්ෂණයන් දෙකම යොදාගන්නේ එකම සංඛ්‍යාත පරාසයද (2.4GHz) වේ. ඔබේ පරිගණකයේ ඉබේම (inbuilt) බ්ලූටූත් හැකියාව නැතිනම්, බ්ලූටූත් ඩොන්ගල් (bluetooth dongle) එකක් USB පෝට් එකක් හරහා කනෙක්ට් කිරීමෙන් එම හැකියාව ලබා ගැනීමටද හැකියි (එවැනි බ්ලූටූත් ඩොන්ගල් එකක් රුපියල් දෙතුන්සියයකට පමණ මිලදී ගත හැකියි).



බ්ලූටූත් යනු සම්බන්ධක තාක්ෂණික ක්‍රමවේදය පමණි. එහි දත්ත ගමන් කරන වේගය, එහි රේඩියෝ තරංග විහිදෙන පරාසය, කළ හැකි දේවල් උපකරණයෙන් උපකරණයට වෙනස් විය හැකියි. ඒ හරහා ෆයිල් මෙන්ම සජීවිව ශබ්ද පවා යැවිය හැකියි (ෆෝන් එක හා කනේ රඳවන බ්ලූටූත් හෑන්ඩ්ස්ෆ්‍රී සෙට් එක යනු මෙවැනි සජිවී ශබ්ද යවන අවස්ථාවක්). ඔබ සතුව බ්ලූටූත් ස්පීකර් ඇත්නම්, පරිගණකයේ ශබ්ද බ්ලූටූත් හරහා එම ස්පීකර්වලට යැවිය හැකියි. එලෙසම වෙනත් උපකරණයක (මොබයිල් ෆෝන් වැනි) ශබ්ද පරිගණකයේ ස්පීකර් හරහාද යැවිය හැකියි.

සටහන
කාලයත් සමග බ්ලූටූත් තාක්ෂණයේ වැඩිදියුණු කිරීම් ගණනාවක්ම (version) බිහිවී තිබේ. බ්ලූටූත් උපකරණ දෙකක් එකිනෙකට කනෙක්ට් කර (pair) ක්‍රියාත්මක වන විට, ඉන් එකක් master (ස්වාමියා) ලෙසද, අනෙක slave (වහලා) ලෙසද සැලකේ. උපකරණ දෙක ක්‍රියාත්මකව පවතින අතරමඟදී අවශ්‍ය නම් මාස්ටර් හා ස්ලේව් යන භූමිකා දෙක මාරු කරගතද හැකියි. සාමාන්‍යයෙන් එක් මාස්ටර් භුමිකාව පවත්වාගෙන යන බ්ලූටූත් උපකරණයකට ස්ලේව් ලෙස පවතින බ්ලූටූත් උපකරණ කිහිපයක්ම (හයක් හතක් පමණ) එකවර සම්බන්ධ කළ හැකියි (සේවා සැපයිය හැකියි).


එක් මාස්ටර් කෙනෙකුට ස්ලේව් කිහිප දෙනෙක් සම්බන්ධ වූ විට, එයත් එක්තරා විධියක කුඩා නෙට්වර්ක් එකක් නේද? එය හැඳින්වෙන්නේ piconet කියාය (පිකෝ යන්නෙහි තේරුම "ඉතා කුඩා" යන්නයි; එය සංඛ්‍යාත්මකව දහයේ ඍණ දොලොස්වන බලය වේ -- 10-12). පිකෝනෙට් කිහිපයක් එකිනෙකට සම්බන්ධ කළ විට, එය scatternet යනුවෙන් හැඳින්වේ. පිකෝනෙට් එකක් සාමාන්‍ය ලෑන් එකක් ලෙස සැලකුවොත්, ස්කැටර්නෙට් එකක් යනු ලෑන් කිහිපයක් එකිනෙකට කනෙක්ට් කර සාදාගන්නා වෑන් එකක් වැනිය. මෙහිදී, එක් පිකෝනෙට් එකක සිටින මාස්ටර් උපකරණයක් තවත් පිකෝනෙට් එකක ස්ලේව් කෙනෙකු වශයෙන් සිටිය හැකියි. මේ අනුව පෙනෙන්නේ ස්කැටර්නෙට් එකකදී යම් බ්ලූටූත් උපකරණයකට එකවර මාස්ටර් හා ස්ලේව් යන භූමිකා දෙකම පවත්වාගෙන යා හැකි බවයි.





Personal Area Network (PAN) යනුවෙන් හැඳින්වෙන නෙට්වර්ක් වර්ගයක් ඇත. ඇත්තටම මෙය විශේෂිත ලෑන් එකකි. උපකරණ කුඩා ගණනක් ඇති, පැතිරීමෙන්ද ඉතා කුඩා, හා දත්ත සම්ප්‍රෙෂණය වන වේගයද අඩු පෞද්ගලික මට්ටමේ ලෑන් එකක් මේ නමින් හැඳින්විය හැකියි. ඉහත පිකෝනෙට් (හා බොහෝ ස්කැටර්නෙට් පවා) පෑන් එකකට උදාහරණ ලෙස දැක්විය හැකියි. පරිගණකයක් මාස්ටර් වී, තවත් උපකරණ (මේවා පරිගණක හෝ මොබයිල් ෆෝන් හෝ වෙනත් බ්ලූටූත් උපකරණ විය හැකියි) ස්ලේව් ආකාරයට බ්ලූටූත් තාක්ෂණය උපයෝගි කරගෙන එකිනෙකට කනෙක්ට් කිරීමෙන් පහසුවෙන්ම පෑන් එකක් සෑදිය හැකියි.

බ්ලූටූත් උපකරණයක් ක්‍රියාත්මකවන උපරිම දුරක් ඇත. වැඩිපුර දුර ප්‍රමාණයකට තරංග විසුරුවාලීමට වැඩිපුර විදුලියද (මිලිවොට් ගණන) වැය වේ. ප්‍රධාන කාණ්ඩ/පංති (class) 3ක් මෙහි ඇත. එහි Class 3 යනු අඩුම දුරක් වන එක මීටරයක් පමණ ඈතට තරංග විහිදුවන කාණ්ඩයයි. මෙහි දළ වශයෙන් මිලිවොට් එකක් (1mW) පමණ වැය වේ. Class 2 මීට වඩා තරමක් බලවත්ය. එහි විදුලිය 2.5mW ක් පමණ වැය වන අතර, උපරිම දුර 10m ක් පමණ වේ. සාමාන්‍යයෙන් බහුලවම තිබෙන උපකරණ සියල්ලම මෙම ක්ලාස් දෙක සපෝට් කරනවා. Class 1 යනුවෙන්ද කාණ්ඩයක් තිබෙන අතර, මෙහි මීටර 100ක් පමණ ඈතට තරංග විහිදුවයි. ඊට මිලිවොට් 100ක විදුලියක් වැයවේ. එකිනෙකට කනෙක්ට් කරන උපකරණ දෙකෙහි තිබෙන අඩුම ක්ලාස් එක තමයි එම උපකරණ දෙක භාවිතා කරන්නේ. උදාහරණයක් ලෙස, එක් උපකරණයක් ක්ලාස් 1 නම්, අනෙක් උපකරණය ක්ලාස් 2 නම්, මේ දෙකම යොදාගන්නේ ක්ලාස් 2 වේ.

මීට අමතරව, බ්ලූටූත් වර්ෂන් කිහිපයක් පවතින අතර, ඒවායේ විවිධ දත්ත වේගයන් පවතී. වර්ෂන් 1.2 (v1.2) හි උපරිම දත්ත වේගය තත්පරයට මෙගාබිට් 1 (1Mbps) පමණ වූවා (සත්‍ය වේගය ඇත්තටම මීටත් වඩා බොහෝ සෙයින් අඩුය). v2.0 (v2+EDR) හි උපරිම වේගය 3Mbps පමණ වේ (EDR = Enhanced Data Rate). v2.1, v3.0+HS හා v4.0 වැනි වඩා වේගවත් ක්‍රමද සම්මත කරගෙන ඇත. යම් උපකරණ දෙකක් එකිනෙකට දත්ත හුවමාරු කරගන්නා විට, එම උපකරණ දෙකෙන් වඩා අඩු වේගය සහිත උපකරණයේ වේගයෙන් තමයි එම උපකරණ දෙක කනෙක්ට් වන්නේ.

බ්ලූටූත් හරහා විවිධ වැඩකටයුතු කළ හැකි බව ඔබ දන්නවා. මේ එක් එක් වැඩකටයුත්ත bluetooth profile හෝ bluetooth service ලෙස හැඳින්වෙනවා. එක් එක් ප්‍රොෆයිල් එකක් භාවිතා කරන විට, සමහරවිට එ් ඒ ප්‍රොෆයිල් එක සඳහාම වෙන් වූ සෙටිංස්ද තිබිය හැකියි. මෙවැනි ප්‍රොෆයිල් විශාල ප්‍රමාණයක් තිබෙනවා. PAN, DUN, HID, HCRP ආදි ලෙස කෙටි කරපු වචනවලින් මෙම ප්‍රොෆයිල් සාමාන්‍යයෙන් දක්වනු ලැබේ. සම්මත ප්‍රොෆයිල් සේම තවමත් සම්මත වී නොමැති අතිවිශාල ප්‍රොෆයිල් සංඛ්‍යාවක් තිබේ. අදාල බ්ලූටූත් උපකරණය ඉන් ප්‍රොෆයිල් කිහිපයක් පමණයි සපෝට් කරන්නේ. ඔබට එම සපෝට් කරන ප්‍රොෆයිල් ලිස්ට් එක එම උපකරණයේ යම් තැනක (මෙනු එකක) දැකගත හැකියි (supported services යන නමින් බොහෝවිට දක්වන්නේ එයයි). උදාහරණ ලෙස සම්මත ප්‍රොෆයිල් කිහිපයක් පහත දැක්වේ.
  • මොබයිල් ෆෝන් එකක් හා හෑන්ඩ්ස්ෆ්‍රී හෙඩ්සෙට් එකක් අතර කනෙක්ෂන් එක සාදන ප්‍රොෆයිල් එක (පැරණිතම මෙන්ම මූලිකතම ප්‍රොෆයිල් එකද මෙයයි) (Handsfree profile)
  • පරිගණකයට බ්ලූටූත් හරහා කීබෝඩ්, මවුස් ආදිය සම්බන්ධ කරන විට යොදාගන්නා ප්‍රොෆයිල් එක
  • OBEX ප්‍රෝටොකෝල් එක යොදාගනිමින් බ්ලූටූත් උපකරණ දෙකක් අතර ෆයිල් හුවමාරු කිරීම
  • ෆෝන් එක මොඩෙම් එකක් ලෙස සලකාගෙන ෆෝන් එකේ ඉන්ටර්නෙට් පහසුකම පරිගණකයට ලබා ගන්නා ප්‍රොෆයිල් එක
  • Advanced Audio Distribution Profile (A2DP)
පරිගණකයේ ඇති බ්ලූටූත් ඇඩැප්ටර්/ඩොන්ගල් එක සපෝට් කරන සර්විසස්/ප්‍රොෆයිල් බලාගැනීමට පහත දැක්වෙන කමාන්ඩ් එක ටර්මිනල් එකේ රන් කරන්න. එවිට, පහත දැක්වෙන ලෙස බ්ලූටූත් එකට අදාල මූලික විස්තර පෙනේවි.

hciconfig -a


පරිගණකයට සම්බන්ධිත බ්ලූටූත් ඇඩැප්ටර්/ඩොන්ගල් ලිනකස්හි hci0, hci1 ආදී ලෙසයි හඳුනාගන්නේ. මෙම පරිගණකයේ ඇත්තේ එක බ්ලූටූත් ඇඩැප්ටර් එකක් නිසා, එය hci0 ලෙස දැක්වෙන අතර, ඊට අදාල මූලික විස්තරද ඒ සමගම දැක්වේ. Type: BR/EDR යනුවෙන් දක්වන්නේ මෙය v2.x ජාතියේ එකක් කියාය. එහි මැක් ඇඩ්‍රස් එක තමයි BD Address එකට පසුව දැක්වෙන්නේ. මෙම මොහොතේ මෙම ඇඩැප්ටර් එක සක්‍රියව පවතින බව UP යන්නෙන් දැක්වෙනවා (එය DOWN ලෙස ඇත්නම්, ඒ කියන්නේ අක්‍රිය බවයි). බ්ලූටූත් එකකට මැක් ඇඩ්‍රස් එකට අමතරව අපට කැමති නමක්ද දිය හැකි අතර, එය Name: යන්නට පසුව පෙන්වනවා. Service Classes: යන්නට පසුව පෙන්වන්නේ මෙය සපෝට් කරන ප්‍රොෆයිල් ලිස්ට් එකයි.

ඕනෑම බ්ලූටූත් උපකරණයක් තවත් ඕනෑම බ්ලූටූත් උපකරණයකට නිකංම කනෙක්ට් විය නොහැකියි. ආරක්ෂිත උපක්‍රමයක් ඊට යොදවා තිබේ. එය pair කිරීම ලෙස හැඳින්වේ. යම් උපකරණ දෙකක් එකිනෙකට කනෙක්ට් කර වැඩ කිරීමට පෙර, ඒ දෙක පෙයාර් කළ යුතුය. එක් උපකරණයක යම් කී (පාස්වර්ඩ්) එකක් ටයිප් කරන අතර, එම කී එකම අනෙක් උපකරණයෙන්ද ගැසීමයි පෙයාර් කිරීමේදී බැලූබැල්මට සිදුවන්නේ.

සමහර අවස්ථාවල කිසිදු අමතර සැකසීමකින් තොරවම බ්ලූටූත්වලට අදාල ඩිවයිස් ඩ්‍රයිවර් හා සොෆ්ට්වෙයාර් ඉබේම ඉන්ස්ටෝල් වී තිබිය හැකියි. එසේ නොමැති නම්, සිනැප්ටික් එකට ගොස් blueman නම් ප්‍රෝග්‍රැම් එක ඉන්ස්ටෝල් කරගන්න (bluez යන නමින් ඇති ප්‍රෝග්‍රෑම් එකකුත් මේ සඳහා ඉන්ස්ටෝල් වී තිබිය යුත් වෙනවා). ඒ සමගම pulseaudio, pulseaudio-module-bluetooth, pavucontrol, obexftp, obexfs යන පැකේජයන්ද සිනැප්ටික් එකෙන්ම ඉන්ස්ටෝල් කරගන්න (මෙම අමතරව ඉන්ස්ටෝල් කරන ප්‍රෝග්‍රැම්වලින් තමයි බ්ලූටූත් හරහා සිදු කළ හැකි විවිධ කටයුතු ගැටලුවලින් තොරව සිදු කිරීමට මඟ සැලසෙන්නේ). මේ සියල්ල එකවරම ටර්මිනල් එකේ පහත ආකාරයට කමාන්ඩ් එක රන් කරමින්ද සිදු කළ හැකියි.

sudo apt-get install pulseaudio pulseaudio-module-bluetooth pavucontrol obexfs obexftp

ඉන්පසු (අත්‍යවශ්‍ය නොවුණත්) පරිගණකය රීස්ටාර්ට් කිරීම සුදුසුයි. සමහරවිට පරිගණකයේ තිබෙන්නට පුලුවන් බ්ලූටූත් (හා වයිෆයි) ඔන් ඕෆ් කරන ස්විචයක්. එවැනි විටක, එයද ඔන් කරන්න. මෙතැන් සිට කරන්නට තිබෙන්නේ සාමාන්‍යයෙන් බ්ලූටූත් උපකරණ දෙකක් එකිනෙකට සම්බන්ධ කරන විට කරන සුපුරුදු ක්‍රියාවලියයි. බොහෝවිට සිස්ටබ් ට්‍රේ එකට බ්ලූටූත් අයිකන් එකක් ඒවි. එම අයිකන් එකෙන් සියලුම බ්ලූටූත් සෙටිංස් සැකසිය හැකියි.

3 comments:

  1. මගේ ලැප් එකෙ බ්ලූටූත් තියනව ඒත් linux වලදි drivers පෙන්වන්නෑ.. ඒ නිසා මම
    sudo apt-get install pulseaudio pulseaudio-module-bluetooth pavucontrol obexfs obexftp
    කොම්මාන්ඩ් එක රන් කලා ඒත් bluetooth divice install වෙලා නෑ.මට දැන් තියන ලොකුම අවුල මම නෙට් ගියෙ මගෙ ෆෝන් එකේ hotspot on කරල දැන් ඒක ලැප් එකට connect වෙන්නෑ.

    ReplyDelete
  2. sudo apt-get install pulseaudio pulseaudio-module-bluetooth pavucontrol obexfs obexftp
    මේක uninstall කරන්නේ කොහොමද එහෙම කරොත් හරියයිද....

    ReplyDelete
  3. ඒ කොමාන්ඩ් එකේ install වෙනුවට uninstall අාදේශ කරන්න. ඔයා මගේ පාඩම් කියවලා නැහැ... කියෙව්ව නම් අන්ඉන්ස්ටෝල් කරන හැටි කියල තියෙනවා...

    ReplyDelete