Monday, August 17, 2015

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 9

File System හා Computer

පරිගණකයේ ඇති සියලු ෆයිල් හා ෆෝල්ඩර් බැලීමට වින්ඩෝස් පද්ධතිය තුළ My Computer යනුවෙන් විශේෂිත ෆෝල්ඩර් එකක් තිබෙනවා සේම, ලිනක්ස්හි Computer නම් විශේෂිත ෆෝල්ඩර් එකක් තිබෙනවා. එය ඩෙස්ක්ටොප් එක මත හා ප්‍රධාන මෙනුවෙහි Places කොටස යටසේ දක්නට ලැබෙනවා. එය ඕපන් කළ විට, ඔබට ඔබේ පරිගණකයේ මේ මොහොතේ සම්බන්ධව ඇති (මවුන්ට් කර ඇති) සියලු ඩ්‍රයිව් හා පාටිෂන් දක්නට ලැබෙනවා. ඊට අමතරව File System යනුවෙන්ද අයිකන් එකක් දක්නට ලැබෙනවා. මෙය රූට් ෆෝල්ඩර් (/) එක නියෝජනය කරයි; එනම් එය ඕපන් කළ විට ඔබට රූට් ෆෝල්ඩර් එක දර්ශනය වේ. ඉහතකදී මා පැහැදිලි කළා ඔබේ පරිගණකයට සම්බන්ධව ඇති සියලු ඩ්‍රයිව් හා පාටිෂන් සියල්ලම මවුන්ට් කළ යුත්තේ රූට් ෆෝල්ඩර් එක යටතේ ඇති විවිධ ෆෝල්ඩර් මත බව. ඇත්තටම, Computer වින්ඩෝ එකේ දර්ශනය වන ඩ්‍රයිව් හා පාටිෂන් අයිකන් සියල්ලම රූට් ෆෝල්ඩර් එකේ මවුන්ට් කර ඇති ඒ ඒ ෆෝල්ඩර්වල විශේෂිත ෂෝට්කට් වේ. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඩ්‍රයිව් හා පාටිෂන් වෙන වෙනම පෙන්වන නිසා, අන්න එම මෙහෙයුම් පද්ධතිය සමග බොහෝ දෙනා දැනටමත් හුරු නිසා, එම හුරුබව ලිනක්ස්වලට ලබාදීමටයි මෙලෙස එය සකස් කර ඇත්තේ. (ඇත්තටම රූට් ෆෝල්ඩර් එක පමණක් තිබීම ප්‍රමාණවත් මක්නිසාද එමගින් සියලු ඩ්‍රයිව් හා පාටිෂන් වෙතට ළඟා විය හැකියි.) ඒ විතරක්ද නොවේ, ඔබේ ඩ්‍රයිව් හා පාටිෂන්වලට ෂෝට්කට් ඩෙස්ක්ටොප් එක මතද ඉබේම පතිත වේ (මෙය සෙටිංස්වලින් වෙනස් කළ හැකිය). මෙය වැදගත් වන්නේ පෙන්ඩ්‍රයිව්, මෙමරිකාඩ් ආදිය පරිගණකයට සවිකරන විටයි. එවිට ඒවා ඉක්මනින් ඕපන් කළ හැකියි.

සටහන
ෆයිල් සිස්ටම් යන්න ඉහතදී යොදාගෙන ඇත්තේ රූට් ෆෝල්ඩර් එක (හා එමගින් පරිගණකයට සම්බන්ධ කර ඇති සියලුම ඩ්‍රයිව් හා පාටිෂන්වලට හා ඒවා තුළ ඇති සෑම ෆයිල්/ෆෝල්ඩර් එකකටමත් ලඟාවිය හැකි ක්‍රමය) යන තේරුමින්ය.
මීට අමතරව වෙනත් පුළුල් තේරුමක්ද ඊට ඇත. එනම්, සෑම මෙහෙයුම් පද්ධතියකම ෆයිල් හා ෆෝල්ඩර් ඩ්‍රයිව් තුළ ගබඩා කර ගන්නා තාක්ෂණික ක්‍රමවේදයටත් කියන්නේ File system කියාය (එය හරියට කුස්සියක ඉවුම්පියුම්වලට යොදාගන්නා කළමනා ඔබ නිසි තැනක තබන්නාක් වැනි වැඩකි). ඕනෑම ඩ්‍රයිව් එකක් (සීඩී, ඩීවීඩී, පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක්, මෙමරිකාඩ්) මත දත්ත (ෆයිල් හා ෆෝල්ඩර්) ගබඩා කර ගන්නේ කුමක් හෝ ෆයිල් සිස්ටම් එකකින්ය. ඒ කියන්නේ යම් මෙහෙයුම් පද්ධතියක් මගින් එවැනි ඩ්‍රයිව් එකක ඇති දත්ත කියවීමට හා ඒ මත දත්ත ලිවීමට නම්, එම ඩ්‍රයිව් එකේ ෆයිල් සිස්ටම් එක මෙහෙයුම් පද්ධතිය විසින් පළමුව දත යුතුය. ඇත්තටම ඕනෑම මෙහෙයුම් පද්ධතියකට ප්‍රධාන ෆයිල් සිස්ටම් කිහිපයක් සමග වැඩ කිරීමේ හැකියාව තිබේ (ඒකනේ සීඩී, ඩීවීඩී, පෙන්ඩ්‍රයිව්, හාඩ්ඩිස්ක් ආදිය සමග ඊට වැඩ කළ හැක්කේ). එවැනි ප්‍රධාන ෆයිල් සිස්ටම් කිහිපයක් ඇත. උදාහරණ ලෙස, FAT (FAT16, FAT32), NTFS, Linux (EXT3, EXT4), swap ආදීය දැක්විය හැකියි. ඕනෑම මෙහෙයුම් පද්ධතියක් ඉහත කුමන හෝ ෆයිල් සිස්ටම්වලින් එකක් (හෝ කිහිපයක්) ඊටම අයත්/ආවේනික/නිසඟ (native) ප්‍රධාන ෆයිල් සිස්ටම් එක ලෙස සලකනවා. උදාහරණ ලෙස FAT, NTFS යන දෙවර්ගය වින්ඩෝස්හි නිසඟ (ප්‍රධාන) ෆයිල් සිස්ටම් දෙක වේ (මේ අතරිනුත් NTFS යන්න FATට වඩා උසස්ය). ලිනකස්හි නිසඟ ෆයිල් සිස්ටම් එක Linux හෙවත් EXT4 (හෝ EXT3 හෝ) එක වේ.
තවද, ඔබ ඩ්‍රයිව් එකක් format කරනවා කියන්නේද එම ඩ්‍රයිව් එක පැවතිය යුතු ෆයිල් සිස්ටම් එක එම ඩ්‍රයිව් එක මත ස්ථාපනය කිරීමයි (මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස එම ඩ්‍රයිව් එකේ දැනට ඇති සියලු ඩේටා මැකී යයි). බොහෝ දෙනා එකවර මුලු ඩ්‍රයිව් එකම මකා දැමීමට අවශ්‍ය වූ විට, එය ෆෝමැට් කිරීමටද දැන් පුරුදුව ඇත. ඇත්තටම එහි වරදක් නැති අතර, එය වඩා ඉක්මන් හා පහසුද වේ. මෙහිදී වැදගත් දෙයක් සිහිතබා ගත යුතුය. ෆෝමැට් කළ විට, සියලු ඩේටා මැකී ගියත් ඒ සියලු ඩේටා නැවත ලබා ගත (recover) හැකි සොෆ්ට්වෙයාර් පවතී. ඔබේ රහස්‍ය ලියවිලි හා රූප ආදිය මෙලෙස අන් අයට ලබා ගත හැකියි. ඔබ යම් ඩ්‍රයිව් එකක් වෙනත් කෙනෙකුට දෙන විට, එහි ඇති රහස්‍ය ෆයිල් මැකීමට අවශ්‍යයි නම්, ඒ සඳහාම සෑදූ විශේෂිත ප්‍රෝග්‍රෑම් පවතී. මේ ගැන වැඩිදුර සවිස්තරාත්මකව පසු පාඩමක දැක්වේ.
ඔබේ පරිගණකයේ දැනටමත් ඇති ඩ්‍රයිව් හා පාටිෂන් සියල්ලම ඉබේම (කිසිදු සෙටිං එකක් සැකසීමකින් තොරව) Computer හි පෙන්වයි. මෙහිදී සිදු වන්නේ පරිගණකය බූට් වන විට, ඉබේම අදාල ඩ්‍රයිව්/පාටිෂන් මවුන්ට් වීමයි. මීට auto-mount යැයි පවසනවා. එහෙත් එසේ පෙන්වන්නේ මෙහෙයුම් පද්ධතියට හඳුනාගත හැකි ෆයිල් සිස්ටම් එකකින් එම ඩ්‍රයිව් පවතින විටයි. දැනට තිබෙන ෆයිල් සිස්ටම් එක ලිනක්ස් විසින් හඳුනාගන්නේ නැතිනම් කළ හැකි ප්‍රතිකර්ම දෙකක් තිබේ. එකක් නම්, එම හඳුනා නොගත් ෆයිල් සිස්ටම් එක කුමක්දැයි සොයාගෙන එම ෆයිල් සිස්ටම් එක හඳුනාගැනීමේ හැකියාව ලබාදීමට ලිනක්ස් මත අදාල ප්‍රෝග්‍රෑම් එකක් ඉන්ස්ටෝල් කිරීමයි. මේ සඳහා ඔබට යම් කාලයක් හා ශ්‍රමයක් වැය වේ (ඔබේ ඩ්‍රයිව් එකේ ෆයිල් සිස්ටම් එක කුමකුදැයි සොයා ගැනීමටත්, ඉන්පසු ඊට ගැලපෙන සොෆ්ට්වෙයාර් එකක් සොයා ගැනීමටත්). පහසුම ක්‍රමය නම් දෙවැනි ක්‍රමයයි. එහිදී එම ඩ්‍රයිව් එක ලිනක්ස් විසින් දැනටමත් හඳුනාගන්නා ෆයිල් සිස්ටම් එකකින් ෆෝමැට් කරනු ලැබේ (එවිට එම ඩ්‍රයිව් එකේ සියලු ඩේටා මැකෙන බවද සිහිතබා ගන්න). සුදුසු ක්‍රමය ඔබ තීරණය කරන්න. එම ඩ්‍රයිව් එකේ දැනට තිබෙන ඩේටා මැකීම නුසුදුසු නම්, පළමු තරමක් අපහසු ක්‍රමය අනුගමනය කරන්න. එහෙත් වර්තමානයේ මෙලෙස ලිනක්ස් විසින් හඳුනා ගන්නට බැරි ෆයිල් සිස්ටම් තිබෙන ඩ්‍රයිව් හමුවන අවස්ථා නැති තරම්ය. මෙම හැකියාව සලකන විට, ඇත්තෙන්ම ලිනක්ස් වින්ඩෝස්වලට වඩා ගව් ගණනක් ඉදිරියෙන් සිටී (මක්නිසාද, ලිනක්ස්වලට විශාල ෆයිල් සිස්ටම් ගණනක් හඳුනා ගැනීමේ හැකියාව ඇත).
සමහරවිට ෆයිල් සිස්ටම් එක හඳුනාගත්තත් ඩ්‍රයිව් එක ඔටෝ-මවුන්ට් වෙන්නේ නැති අවස්ථාද තිබිය හැකියි. ඊට හේතුව සෙටිංස් වැරදියට තිබීමයි. එවිට, එම සෙටිංස් නිවැරදි කිරීමෙන් පහසුවෙන්ම ඩ්‍රයිව් මවුන්ට් නොවීමේ ප්‍රශ්නය විසඳාගත හැකියි. පරිගණකට සවි කරන සියලුම ඩ්‍රයිව්/පාටිෂන් මවුන්ට් (හා ඔටෝ-මවුන්ට්) කිරීමේ සෙටිංස් සාදන්නේ එක තැනකින්ය (එනම්, එක ඩයලොග් බොක්ස් එකකින්ය). එය කන්ට්‍රෝල් සෙන්ටර්හි Disks යන ඇප්ලට් එකයි. එය රන්/ඕපන් කර බලන්න. පහත රූපයේ දිස්වන ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් ලැබේවි.

මෙහි වම් අත පැත්තේ දැක්වෙන්නේ ඔබේ පරිගණකයේ මේ මොහොතේ සවි කර ඇති සියලුම ඩ්‍රයිව් (පාටිෂන් නොව) වේ. ඉහත රූපයේ ඩ්‍රයිව් තුනක් පරිගණකයට සම්බන්ධ වී ඇති බව පෙනේ. එකක් ගිගාබයිට් 250ක් විශාල හාඩ්ඩිස්ක් (එහි වර්ගය Fujitsu ලෙසද දැක්වේ) එකක්ද, ඩීවීඩී ඩ්‍රයිව් එකක්ද, ගිගාබයිට් 2ක් විශාල පෙන්ඩ්‍රයිව් එකක්ද ඇති බව කියයි. එන් යම් ඩ්‍රයිව් එකක් සිලෙක්ට් කළ විට, දකුණු අත පැත්තේ කොටසේ එහි වැඩි දුර විස්තරද දැක්වෙනවා. එහි Volumes යන කොටසේ එම ඩ්‍රයිව් එකේ පාටිෂන් විස්තරය පෙන්වනවා (පාටිෂන් කළ හැකි ඩ්‍රයිව් සඳහා). ඔබට එක් එක් පාටිෂන් එක මත ක්ලික් කර ඒ ගැන විස්තරද (පහළින්) දැක ගත හැකි වෙනවා. ඒ ඒ පාටිෂන් එකේ කැපෑසිටි (සයිස්) එක, දැනට ඉතිරි (free) ඉඩ ප්‍රමාණය, ෆයිල් සිස්ටම් එක, එම පාටිෂන් එක රූට් යටතේ කුමන ෆෝල්ඩර් එකේ මවුන්ට් වී ඇත්ද, පාටිෂන් එකේ පාත් (නේම්) එක ආදී විස්තර ඔබට දැකිය හැකියි. ඉහත රූපයේ පාටිෂන් පහක් පෙන්වනවා. සාමාන්‍යයෙන් උපරිම තිබිය හැක්කේ පාටිෂන් 4ක් පමණි. Swap පාටිෂන් එකක් ලෙස ගත්තද, එය විශේෂිත පාටිෂන් එකක් ලෙස සලකන්න. ඉහත Partition1 එකේ විස්තර පැහැදිලිව පෙනේ. එහි කැපෑසිටි එක ගිගාබයිට් 153ක් බවත්, ඉන් 28ක කැපෑසිටි එකක් තවමත් ඉතිරිව තිබෙන බවත් (ඒ කියන්නේ පාටිෂන් එකේ මුලු කැපෑසිටි එකෙන් 82%ක් පිරී තිබෙන බව) එහි දැක්වේ. පාටිෂන් ටයිප් එක EXT4 (version 1.0) බවත්, එම පාටිෂන් එක රූට් එකේ මවුන්ට් වී ඇති බවත්. (ඒ කියන්නේ / යනුවෙන් ඇත්තේ මෙම පාටිෂන් එක බවයි. ඇත්තටම ඔබේ ඩ්‍රයිව් සියල්ලේම ඇති පාටිෂන් සියල්ලම ගත් විට, ඉන් එකම එක පාටිෂන් එකක් පමණක් හැමවිටම / ලෙස සැලකේ; එනම් / ලෙස මවුන්ට් වේ.) තවද මෙම පාටිෂන් එක Linux (Bootable) ලෙසද කියයි. ඒ කියන්නේ මෙම පාටිෂන් එකේ Linux ඔපරේටිං සිස්ටම් එකක් තිබෙන බවත්, එය වෙනත් භාහිර උපකාරයක් (මෙම උපකාරය boot loader ලෙසයි හැඳින් වෙන්නේ) නැතිව තනිවම බූට් විය හැකි බවත්. තවද, මෙම පාටිෂන් එකේ ඩිවයිස් පාත් එක (නේම් එක) /dev/sda1 ලෙස දැක්වේ.
සටහන
මෙහෙයුම් පද්ධතියක බූට් ලෝඩර් නම් ඉතා කුඩා ප්‍රෝග්‍රෑම් එකක් ඇත. එහි රාජකාරිය වන්නේ පරිගණකයක් පවර් ඔන් කළ විට, එහි BIOS එක රන් වී POST ටෙස්ටිං එක සිදු කර අවසානයේ ඔබේ පරිගණකයේ ඇති යම් මෙහෙයුම් පද්ධතියක් ලෝඩ් කිරීමයි. එක මෙහෙයුම් පද්ධතියක් වෙනුවට කිහිපයක්ම ඇති විටක එම මෙහෙයුම් පද්ධති කිහිපයම පෙන්වීමත් මෙහි වගකීමක්. එවිට, කැමති එකක් ලෝඩ්/බූට් කළ හැකියි. සමහරවිටක ඔබ විසින් සිදු කරන වෙනස්කම් නිසා මෙම බූට් ලෝඩර් එක මැකී යාමට පුලුවන්. එවිට ඔබට මෙහෙයුම් පද්ධතිය ලෝඩ් කර ගත නොහැකියි. මෙවිට සමහරුන් සිතන්නේ ඔබේ මෙහෙයුම් පද්ධතිය වියවුල් වී එය "නැවත ඉන්ස්ටෝල්" (reinstall) කිරීමට සිදුවන බවයි. ඔබ දන්නවා මෙහෙයුම් පද්ධතියක් රීඉන්ස්ටෝල් කිරීමේදී එය ඉන්ස්ටෝල් වන පාටිෂන් එකේ ඇති සියලු දත්ත මැකී යනවා. ඒ විතරක් නොවේ නැවත අලුතින්ම සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්නටත් සිදු වෙනවා. අලුතින්ම නැවත සෙටිංස් සකසන්නත් සිදු වෙනවා. මෙවැනි බූට් ලෝඩර් එක අප්සෙට් ගිහිපු වෙලාවට, කිරීමට තිබෙන්නේ බූට් ලෝඩර් එක නැවත ඉන්ස්ටෝල් කිරීමට පමණි. ඒ සඳහා ගත වන්නේ විනාඩි දෙක තුනකි. ඔපරේටිං සිස්ටම් එකට කිසිදු හානියක්ද සිදු නොවේ. බූට් ලෝඩර් එකක් අප්සෙට් වීම පහසුවෙන් හඳුනාගන්නට පුලුවන්. බූට් වෙන්න හදන කොට, ඔබට එරර් මැසේජ් එකක් පෙනේවි ඔපරේටිං සිස්ටම් එකක් නැහැ කියා. එහෙත් ඔබ දන්නවා අනිවාර්යෙන්ම එහි ඔපරේටිං සිස්ටම් එකක් තිබූ බව. එවිට නිගමන කරන්නට තියෙන්නේ බූට් ලෝඩර් එක අප්සෙට් ගොස් ඇති බවයි.

සටහන
මුලදිත් සඳහන් කළා ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සෑම උපකරණයක්ම (device) සලකන්නේ ෆයිල් එකක් ලෙස බව. මෙම ෆයිල් device files ලෙස හැඳින්විය හැකියි. සියලු ඩිවයිස් ෆයිල් ඇත්තේ /dev යන විශේෂිත ෆෝල්ඩර් එක තුළයි. එම ෆෝල්ඩර් එක දැන් නිකමට ඕපන් කර බලන්න. ඔබේ පරිගණකයේ කොතරම් උපකරණ ප්‍රමාණයක් පවතීද යන්න ඉන් දැකගත හැකියි. ඇත්තටම ඔබට එක් උපකරණයක් ලෙස පෙනෙන දේ ලිනක්ස් විසින් උපකරණ කිහිපයක් ලෙස දැකිය හැකියි. උදාහරණයක් ලෙස, ඔබ හාඩ්ඩිස්ක් එක දකින්නේ තනි එක් උපකරණයක් ලෙස වුවත්, එය තනි උපකරණයක් ලෙස මෙන්ම ඒ තුළ ඇති තනි තනි පාටිෂන් වෙන වෙනම උපකරණ ලෙසත් ලිනක්ස් සලකනවා. තවද, සැබැවින්ම අතින් ඇල්ලිය නොහැකි උපකරණද ලිනක්ස් විසින් සාදා ගන්නවා. ඒවා virtual devices හෝ software devicesලෙස හඳුන්වන්න පුලුවන්. උදාහරණ ලෙස, රැම් එකෙන් කොටසක් ඔබට ඩ්‍රයිව් එකක් (RAM drive) ලෙස සකසා ගන්නට පුලුවන් (මෙහිදී සත්‍ය වශයෙන්ම ඩ්‍රයිව් එකක් නැතත්, රැම් ඩ්‍රයිව් එක උපකරණයක් ලෙස සැලකේ). සත්‍ය වුවත් වර්චුවල් වුවත් ලිනක්ස්වලට වෙනසක් නැත.
Free Space යනුවෙන් ඇති කොටස පාටිෂන් එකක් නොවේ. එය කිසිදු පාටිෂන් එකකට ඇතුලත් නැති කොටසකි. ඔබේ ඩ්‍රයිව් එකේ ඇති සම්පූර්ණ සයිස් (කැපෑසිටි) එකම පාටිෂන් එකකට හෝ කිහිපයකට තමන්ට අවශ්‍ය පරිදි වෙන් කිරීමට වගබලා ගන්න. උදාහරණයක් ලෙස ඔබේ හාඩ්ඩිස්ක් එක ගිගාබයිට් 400ක් නම් හා එම ඩ්‍රයිව් එක ගිගාබයිට් 100 හා ගිගාබයිට් 200 ලෙස පාටිෂන් දෙකකට පමණක් සකස් කර ඇති විටක, කිසිදු ප්‍රයෝජනයකට නොගෙන එහි තවත් ගිගාබයිට් 100ක් ඉතිරිව තිබෙනවා. එය නාස්තියක්. මෙවැනි ප්‍රයෝජනයකට නොගන්නා ඉඩ තමයි ෆ්‍රී ස්පේස් ලෙස හැඳින් වෙන්නේ. එහෙත් ෆ්‍රී ස්පේස් ඉබේම සෑදෙන තවත් අවස්ථාවක් තිබෙනවා (ඉහත රූපයේ සිදු වී ඇත්තේ අන්න එයයි). එනම්, ඔබ ඩ්‍රයිව් එක පාටිෂන් කරන විට, ඉතා කුඩා ප්‍රමාණයක් (මෙගාබයිට් කිහිපයක) බොහෝවිට ඉතිරි වෙනවා. ඊට හේතුව තාක්ෂණිකයි (අලයින්මන්ට් ප්‍රශ්නයක්). එම ඉතිරිවන ඉඩ ප්‍රමාණය ඉතා කුඩා නිසා එය නාස්තියක් නොවේ. එය ඔබේ දෝෂයක්ද නොවේ. එනිසා, එලෙස ඇති වන ෆ්‍රී ස්පේස් ගණන් ගන්න එපා.
ඉහත දැක්වූ පරිදි තොරතුරු දැන ගැනීමට පමණක් නොව, සෙටිංස් සැකසීමටත් මෙම වින්ඩෝ එකෙන් කළ හැකියි. පළමුව බලමු පාටිෂන් එකක් මකන හැටි. යම් පාටිෂන් එකක් මත ක්ලික් කර (සිලෙක්ට් කර) එහි ඇති - සලකුණ සහිත බට්න් එක ක්ලික් කරන්න. එවිට ඔබෙන් නැවත අසාවි මකන්නද කියා. එහිදී Delete මත ක්ලික් කරන්න. මැකුවට පසුව නැවත එය රිවර්ස් කරන්නට හෙවත් undoකරන්න බැහැ. දැන් බලමු අලුත් පාටිෂන් එකක් සාදන අයුරු. දැනටමත් පාටිෂන් 4ක් සාදා තිබේ නම්, තවත් පාටිෂන් සෑදිය නොහැකි බව සිහිතබා ගන්න. free space යන කොටස මත ක්ලික් කර, + යන බට්න් එක ක්ලික් කරන්න. එවිට පහත රූපයේ ආකාරයේ වින්ඩෝ එකක් මතු වේවි.

මෙහි Partition Size යන කොටසෙහි පාටිෂන් එකේ සයිස් එක දෙන්න. එය හැමවිටම දැනට තිබෙන ෆ්‍රී ස්පේස් එකට සමාන හෝ අඩු විය යුතුය. ඔබ පාටිෂන් සයිස් එකට යම් අගයක් දෙන විට, Free Space Following යන කොටසේද යම් අගයක් දක්වාවි. ඉන් කියන්නේ ඔබ අලුත් පාටිෂන් එකට ලබා දෙන සයිස් එක ෆ්‍රී ස්පේස් එකට වඩා කුඩා වන විට, එම පාටිෂන් එකට පසුව තවත් කොපමණ ෆ්‍රී ස්පේස් එකක් ඉතිරි වෙනවාද යන්නයි. Type යන්නෙන් සකසන්නේ එම පාටිෂන් එක සෑදීමේදී කුමන ෆයිල් සිස්ටම් එකකින් ෆෝමට් විය යුතුද යන්නයි. එහි ඔප්ෂන් කිහිපයක් ඇත. එම වාඛ්‍යවල අවසානයට වරහන් තුළ පැහැදිලවම ඔබ දැනටමත් දන්නා ෆයිල් සිස්ටම්වල නම් ඇත. පෙන්ඩ්‍රයිව් එකක් නම් FAT හෝ FAT32 යොදාගන්න මොකද එම ෆයිල් සිස්ටම් එක සෑම මෙහෙයුම් පද්ධතියකම වාගේ හඳුනාගන්නවා. ස්ථිරවම පරිගණකයේ සවි කර තිබෙන හාඩ්ඩිස්ක්/පාටිෂන් සඳහා ext4 තෝරන්න. Name යන්නට තමන් කැමති නමක් (label) දෙන්න. Erase යන්නට ඔප්ෂන් දෙකෙන් කැමති එකක් තෝරන්න (ඔප්ෂන්වල කුමක් කීවත් ෆෝමැට් කරන විට තිබෙන ඩේටා මැකී යයි.)
සටහන
ඩ්‍රයිව් එකක තිබිය හැක්කේ උපරිමව පාටිෂන් හතරකි. පාටිෂන් වර්ග තුනක් තිබෙනවා primary, extended, logical වශයෙන්. පාටිෂන් හතරම ප්‍රයිමරි විය හැකියි. එවිට පෙර කී ලෙසම ඩ්‍රයිව් එකේ පාටිෂන් හතරකට පමණක් සීමා වේ. එහෙත් මීට වඩා පාටිෂන් සාදා ගැනීමට අවශ්‍ය නම් හතරම ප්‍රයිමරි නොකර උපරිම තුනක් දක්වා ප්‍රයිමරි පාටිෂන් සාදා එකක් එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකක් බවට පත් කළ යුතුය. ඩ්‍රයිව් එකක් තුළ එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් තිබිය හැක්කේ එකක් පමණි. මෙහි එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකක් සෑදූ පලියටද ඉන් ප්‍රයෝජනයක් නැත. එම එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එක තුළ ලොජිකල් පාටිෂන් අවශ්‍ය ප්‍රමාණයක් සාදා ගත යුතුයි. ඒ අනුව කිව හැක්කේ එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකක් යනු ලොජිකල් පාටිෂන් සියල්ල කැටි කරපු නිකංම භාජනයක් පමණක් බවයි. පහත රූපයේ දැක්වෙන්නේ එලෙස ඩ්‍රයිව් එකක් (පෙන්ඩ්‍රයිව් එකක්) ප්‍රයිමරි පාටිෂන් දෙකකටත් එක් එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකකටත්, එම එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එක තුළ ලොජිකල් පාටිෂන් පහක්ද සාදා තිබෙන ආකාරයයි (ඒ අනුව සම්පූර්ණයෙන් පාටිෂන් හතක් එහි ඇත). එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකෙන් පිට අැති ෆ්‍රී ස්පේස් වලින් ලොජිකල් පාටිෂන් සෑදිය නොහැකියි. පහත රූපය බලන විට ඔබට පේනවා එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එක ඇතුලත හා පිටත හොඳින් වෙන් වෙන්ව හඳුනාගත හැකි බව.


ප්‍රයිමරි පාටිෂන් එකක් සෑදීමට අවශ්‍ය වූ විට (එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකෙන් පිටත ඇති ෆ්‍රී ස්පේස් මත ක්ලික් කර) + ක්ලික් කර එහි type ඉදිරියෙන් ඇති ඔප්ෂන්වලින් තමන් කැමති ෆයිල් සිස්ටම් එකක් තේරීමෙන් සිදු කර ගත හැකියි (අමුතුවෙන් ප්‍රයිමරි පාටිෂන් එකක් සාදනවා කියා දෙයක් සිදු කරන්නේ නැත). එහෙත් එම ලිස්ට් එකේ අග තිබෙනවා Extended partition (for logical partitions) කියා ඔප්ෂන් එකක් (දැනටමත් එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකක් ඩ්‍රයිව් එක තුළ සාදා නොමැති නම්). එය තේරූ විට ඔබේ නව පාටිෂන් එක එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එකක් බවට පත් වේ. දැන් එම එක්ස්ටෙන්ඩඩ් පාටිෂන් එක ක්ලික් කර, සුපුරුදු ලෙස + ඔබා ඔබට අවශ්‍ය ප්‍රමාණයක් ලොජිකල් පාටිෂන් සාදාගත හැකියි. ප්‍රයිමරි, එක්ස්ටෙන්ඩඩ්, ලොජිකල් යන ඕනෑම පාටිෂන් එකක් සුපුරුදු ලෙස - බට්න් එක ක්ලික් කර ඉවත් කළ හැකියි. (අභ්‍යාසයක් විදියට මෙය සිදු කරන්න ඔබේ පෙන්ඩ්‍රයිව් එක සමග.) පාටිෂන් විශාල ගණනක් සෑදීමට හැකි වූ පලියට එය කරන්නට එපා. ගිගාබයිට් 400ක පමණ හාඩ්ඩිස්ක් එකක පාටිෂන් දෙකක් හෝ තුනක් පමණක් සාදා ගන්න. පෙන්ඩ්‍රයිව් සඳහා නම් එක් පාටිෂන් එකක් ප්‍රමාණවත්.
පාටිෂන් සෑදු පසු ඒවා මවුන්ට් කළ හැකියි. ඒ සඳහා කිරීමට ඇත්තේ මවුන්ට් කිරීමට අවශ්‍ය පාටිෂන් එක තෝරා ඊතල හිස (ප්ලේ බට්න් එක) මත ක්ලික් කිරීමයි. එවිට එය සුදුසු ෆෝල්ඩර් එකක මවුන්ට් වේ. එම පාටිෂන් එකට ෂෝට්කට් එකක්ද ඩෙස්ක්ටොප් එක මත වැටේ. මවුන්ට් කළ පාටිෂන් මත කුඩා ඊ හිසක්ද මතු වේ. මවුන්ට් කළ පාටිෂන් එකක් අන්මවුන්ට් කිරීමට එම පාටිෂන් එක තෝරා කොටුව (ස්ටොප් බට්න් එක) මත ක්ලික් කරන්න.
යම් පාටිෂන් එකක් ෆෝමැට් කිරීමට අවශ්‍ය නම්, එම පාටිෂන් එක තෝරා යටින් අැති දැතිරෝද බට්න් එක මත ක්ලික් කර එහි Format යන්න ක්ලික් කරන්න. එවිට, ඔබට සුපුරුදු ලෙස ෆෝමැට් කිරීමට අවශ්‍ය ෆයිල් ටයිප් එක තෝරා පහසුවෙන් එය ෆෝමැට් කළ හැකියි.
යම් පාටිෂන් එකක් සිලෙක්ට් කර, යටින් ඇති දැතිරෝද බට්න් එක ක්ලික් කර ඉන් Edit Partition යන්න තෝරා ඔබට එම පාටිෂන් එකේ ෆයිල් සිස්ටම් එක කුමක්දැයි පරිගණකයට කිව හැකියි. ඔබ යම් පාටිෂන් එකකට එය සිදුකර බලන්න. විශාල ෆයිල් සිස්ටම් සංඛ්‍යාවක් එම ලැයිස්තුවේ ඇත. පරිගණකය විසින් යම් පාටිෂන් එකක ෆයිල් සිස්ටම් එක ඉබේම හඳුනාගත නොහැකි විට, මෙලෙස "මැනුවලි" ෆයිල් සිස්ටම් එක සෙට් කරන්න. එහි Bootable යන්න තේරූ විට ඉන් කියන්නේ මෙම පාටිෂන් එකේ බූට් ලෝඩර් එකක් තිබෙන බවයි. යම් පාටිෂන් එකක නම/ලේබල් එක වෙනස් කිරීමට දැතිරෝද බට්න් එක ක්ලික් කර ඉන් Edit Filesystem… යන්න තෝරා අලුත් නමක් දෙන්න (ඇත්තටම මෙහි තිබිය යුත්තේ Edit Filesystem Label යනුවෙනි).
යම් පාටිෂන් එකක් සිලෙක්ට් කර, දැතිරෝද බට්න් එක ක්ලික් කර ඉන් Create Disk Image යන්න තෝරා ගත් විට, එම මුලු ඩ්‍රයිව් එකේම "ඩිස්ක් ඉමේජ්" එකක් සාදාගත හැකියි. පහත රූපය බලන්න.

මෙහි ඩිස්ක් ඉමේජ් ෆයිල් එකට නමක්ද, එය සේව් වෙන තැනක්ද ලබා දෙන්න. මතක තබා ගන්න හැමවිටම ඩිස්ක් ඉමේජ් ෆයිල් එකේ සයිස් එක වන්නේ එම පාටිෂන් එකේ සම්පූර්ණ සයිස් එකමයි. එනිසා, එම පාටිෂන් එකේ ඇත්තටම පවතින්නේ ෆයිල් කිහිපයක් පමණක් වුවද, ඉමේජ් ෆයිල් එක කුඩා නොවේ. දැතිරෝද බට්න් එක එබූ විට එහි Restore Disk Image යනුවෙන්ද ඇත. ඉන් කියන්නේ දැනටමත් සාදා තිබෙන ඩිස්ක් ඉමේජ් එකක් අලුත් පාටිෂන් එකක් මත ස්ථාපනය කිරීමයි (එනම්, ඉහත ඩිස්ක් ඉමේජ් සෑදීමේ විරුද්ධ ක්‍රියාවලිය මෙයයි). තනි තනි ෆයිල් කොපි කරනවාට වඩා මෙම ක්‍රමය පහසුය. තවත් අමතර වාසි ඇත.
ඔටෝ-මවුන්ට් සෑදීමට යම් පාටිෂන් එකක් තෝරා, දැතිරෝදය මත ක්ලික් කර Edit Mount Options යන්න තෝරන්න. එවිට පහත රූපයේ ආකාරයේ වින්ඩෝ එකක් ඒවි. එහි Automatic Mount Options හි ON මත ක්ලික් කරන්න. එවිට ඔටෝ-මවුන්ට් ක්‍රියාත්මක වේ. ඉන්පසු Mount at startup යන්න තෝරන්න. ඉන් කියන්නේ පරිගණකය බූට් වීමේදී හෝ ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කිරීමේදි ඉබේම ඩ්‍රයිව් එක මවුන්ට් කරන ලෙසයි. Show in user interface යන්න තේරූ විට, ඉන් කියන්නේ මවුන්ට් වෙච්ච ඩ්‍රයිව්/පාටිෂන් එකේ ෂෝට්කට් ඩෙස්ක්ටොප් එකේ, Computer එකේ, හා වෙනත් අවශ්‍ය තැන්වල පෙන්වන ලෙසයි. Filesystem type යන්නෙහි එම ඩ්‍රයිව්/පාටිෂන් එකේ ෆයිල් සිස්ටම් එක නිවැරදිව දක්වන්න. එතැන auto යනුවෙන් ඇති විට, එහි නිවැරදි ටයිප් එක ලිනක්ස් විසින්ම හඳුනාගනී. ඔබ ඇත්තටම ෆයිල්සිස්ටම් එක දන්නේ නැතිනම් එලෙස auto ලෙස එය තබන්න. Mount point යන්නෙහි එම ඩ්‍රයිව්/පාටිෂන් එක මවුන්ට් වන ෆෝල්ඩර් එක දක්වයි. අනෙක් සෙටිංස් ගැන එතරම් තකන්න එපා.

පරිගණකයට සම්බන්ධ කරන ඩ්‍රයිව්වල ක්‍රියාකාරි ඵලදායිතාව (performance) වැඩි කිරීමට කෑෂින් (caching) නම් ක්‍රියාවලියක් සිදු කෙරේ. එහිදී සිදු වන්නේ ඩ්‍රයිව් එකට ලියන ඩේටා ඒ ඒ අවස්ථාවලදීම ඩ්‍රයිව් එකේ නොලියා, තාවකාලිකව රැම් මතකයේ තබා ගෙන, සැරින් සැරේ ඩ්‍රයිව් එකේ ලිවීමයි. එහෙත්, මෙහි යම් අඩුපාඩුවක්ද පවතී. එනම්, තාවකාලිකව රැම් එකේ තබා ඇති ඩේටා ඩ්‍රයිව් එකට ලිවීමට පෙර විදුලිය විසන්ධි වීමක් නිසා හෝ ඩ්‍රයිව් එක ගැලවීම (disconnect) නිසා හෝ, ඩ්‍රයිව් එකේ නිවැරදි දත්ත සේව් නොවී පැවතිය හැකියි. මෙම අඩුපාඩුව වැලැක්වීමට ක්‍රම දෙකක් ඇත. එකක් නම්, කෑෂින් ක්‍රියාවිරහිත (ඩිසේබල්) කිරීමයි. එහෙත් එවිට, පරිගණකයේ පර්ෆෝමන්ස් එක (හොඳ ක්‍රියාකාරිත්වය) බසී. දෙවැනි ක්‍රමය නම්, කිසිවිටක ඩ්‍රයිව් එකක් පරිගණකය ඔන් එකේ තිබියදී නිකංම ඇද නොගැලවීමයි. බැරිවෙලාවත් විදුලිය විසන්ධි වුවොත් නම්, ඉතිං කරන්නට දෙයක් නැත. ඒ සඳහාද විදුලිය විසන්ධි වූ විට බැටරියෙන් යම් කාලයක් විදුලි සැපයුම ලබා දිය හැකි UPS එකක් භාවිතා කිරීම විසඳුමක්. සාමාන්‍ය හාඩ්ඩිස්ක් ඩ්‍රයිව් ඇදල ගලවන්නෙ නැති වුවත්, පෙන්ඩ්‍රයිව්වලට එහෙම කරනවා නේද? ඉතිං මෙය වඩා වැදගත් වන්නේ පෙන්ඩ්‍රයිව්වලටයි. කිසිවිටක පෙන්ඩ්‍රයිව් වැඩේ අවසානයේ නිකංම ගලවා ගන්න එපා. ඊට පෙර පෙන්ඩ්‍රයිව් එක පෙන්වන ෂෝට්කට් එක මත රයිට් ක්ලික් කර, ඉන් Eject හෝ Safely Remove Drive යන්න තෝරන්න. එවිට පෙන්ඩ්‍රයිව් එකට තවම ලියවී නොමැති කෑෂ් එකේ ඇති ඩේටා ඒ මත ලියා ඩ්‍රයිව් එක අන්මවුන්ට් වේ. (වින්ඩෝස්වලදී නම්, නිකංම පෙන්ඩ්‍රයිව් ගැලවිය හැකියි කිසිදු ප්‍රශ්නයක් නැතිව.)

7 comments:

  1. Opean Source ගැන ලිපි ලියවෙන්නෙ අඩුවෙන්. ගොඩක් හොඳ වැඩක්. ඔක්කොම කියවනව (y) .....

    -Shahsi RULZ

    ReplyDelete
  2. :) ඕපන් සෝස් හොඳයි, ලාභයි. ඒ ගැන කියවලා ඉගෙන ගෙන, පාවිච්චි කරන්නත් පටන්ගන්න.

    ReplyDelete
  3. උබුන්‍ටු පාවිච්චි නොකලෙ ඇයි? මම දන්න තරමින් ගොඩක් අය පාවිච්චිකරනව වගේම Ubuntu Software Center එකේ ගොඩක් ප්‍රයෝජනවත් වැඩසටන් ගොඩක් තියනව. ලිනක්ස් මින්ට් වල ඒ වගේ විශේෂ වැඩසටහන් එකතුවක් තියනවද? සාමාන්‍යයෙන් ලිනක්ස් වලට මාරුවෙන කෙනෙක්ට පාවිච්චි කරන්න හොඳ මොන ඩිස්ට්‍රො එකද?

    -Shashi RULZ

    ReplyDelete
  4. උබුන්ටුත් හොඳයි. මින්ට්වලට බොහෝ උබුන්ටු ඇප්ස් වැඩ කරනවා කොහොමත්. මං හිතන්නෙ ලිනක්ස් ෆ්ලේවර් එක ගැන එච්චර හිතන්නට අවශ්‍ය නැහැ කියලා මොකද මොන ෆ්ලේවර්/ඩිස්ට්‍රො එක ඉගෙන ගත්තත් වෙනත් ඕනෑම ඩිස්ට්‍රො එකක් සමග වැඩ කරන්නට හැකියාව/දැනුම ඉන් ලැබෙනවා. මං ඉස්කෝලෙ යන කාලේ රෙඩ්හැට් භාවිතා කළා ටික කලක්, එහෙත් වින්ඩෝස් තරම් ඒක මට අල්ලලා ගියෙ නැහැ. ඒ කාලේ උබුන්ටු තිබුණෙත් නැහැ. දැන් මේ බොහෝමයක් ඩිස්ට්‍රෝ හොඳයි. හොඳට යූසර්-ෆ්‍රෙන්ඩිලි. නැවත ලිනක්ස්වලට මාරුවෙන කොට, මට තෝරා ගැනීමක් කරන්නට සිදු වූවා. ඉතිං මං මින්ට් තෝරාගත්තා. ඒ ගැන සිංහලෙන් පාඩම් මාලාවකුත් ලිව්වා තවත් අයට ඕපන් සෝස් සරලව භාවිතා කිරීමට උදව්වක් වශයෙන්.

    ReplyDelete
    Replies
    1. මේ උත්සාහය ගොඩක් වටිනව. ලෝකය නිදහස් මෘදුකාංග වලින් පණගැන්වෙන්නම ඕන. ඒ වෙනුවෙන් කරන උත්සාහය අගය කරන්න ඕන. බොහොම ස්තූතියි.
      -S.Rulz

      Delete
    2. පුළුවන්නම් මේ ලින්ක්ස් ලිපිවල pdf ලින්ක් එකක් දෙන්න... :)

      Delete
    3. හරි... මං ඒක හදල අප්ලෝඩ් කරන්නම්...

      Delete