Monday, August 10, 2015

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 7

Control Center

පරිගණකයේ (මෙහෙයුම් පද්ධතියේ) සෙටිංස් වෙනස් කිරීමට බොහෝ ප්‍රෝග්‍රෑම්ස් ඇත. ඒවායෙන් බොහෝ ප්‍රමාණයක් ඔබේ පහසුව පිණිස එක තැනකට ගොනු කර ඇත. එම ස්ථානය තමයි කන්ට්‍රෝල් සෙන්ටර් එක. ප්‍රධාන මෙනු එකේ සිස්ටම් කොටසේ Control Center මත ක්ලික් කිරීමෙන් මෙම විශේෂිත ෆෝල්ඩර් එකට පිවිසිය හැකිය. මෙම ෆෝල්ඩර් එකේ තිබෙන ෂෝට්කට් ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර ඇති ප්‍රෝග්‍රෑම් අනුව වෙනස් වියද හැකිය.

මෙහි තිබෙන සෙටිං (කමාන්ඩ් හෝ applets) කිහිපයක් සලකා බලමු. About Me යන්න ඩබ්ල් ක්ලික් කර රන් කර බලන්න. එවිට පහත වින්ඩෝ එක ලැබේ.

මෙම සෙටිං එකෙන් සිදු කරන්නේ ඔබේ යූසර් එකවුන්ට් එකේ යම් යම් තොරතුරු ටිකක් බලාගැනීම හා වෙනස් කිරීමයි. එහි පිංතූරය උඩ ක්ලික් කර ඔබේ ෆොටෝ එකක් දැමිය හැකියි. යූසර්නේම් එක පෙන්වයි (එහෙත් එය වෙනස් කළ නොහැකියි මෙහිදී). Change Password... යන්න මත ක්ලික් කර ඔබේ දැනට පවතින පාස්වර්ඩ් එක වෙනස් කළ හැකියි. එහිදී ඔබේ දැනට පවතින පාස්වර්ඩ් එක Current Password එකෙහි ටයිප්කර ඊට ඉදිරියෙන් ඇති Authenticate යන්න ඔබන්න. ඉන්පසු නව පාස්වර්ඩ් එක දෙවරක් පහතින් ටයිප්කර Change password යන්න ඔබන්න.



මොනිටර් සෙටිංස්

කන්ට්‍රෝල් සෙන්ටර්වල Monitors යන්න ක්‍රියාත්මක කරන්න. ඉන් ඔබේ මොනිටරයේ යම් යම් සෙටිංස් වෙනස් කළ හැකියි. එහි යම් යම් සෙටිංස් වෙනස් කර බලන්න කැමැති නම්. Detect monitors ක්ලික් කළ විට, ඔබේ පරිගණකයට සම්බන්ධ කර ඇති සියලු මොනිටර් හඳුනාගැනේ. Show monitors in panel යන්න තේරූ විට, සිස්ටම් ට්‍රේ එකට මොනිටරයේ සෙටිංස් සෑදීමේ මෙම ප්‍රෝග්‍රෑම් එක පහසුවෙන් රන් කිරීමට හැකිවන සේ ෂෝට්කට් එකක් පිහිටුවයි. මොනිටර් කිහිපයක් ඇති විට, Make Default යන බට්න් එකෙන් ඔබට පුලුවන් එම මොනිටර් කිහිපයෙන් කුමන එක ප්‍රධාන මොනිටරය ලෙස සැලකිය යුතුදැයි සකස් කිරීමට. සමහර වැඩ සඳහා මොනිටර් දෙකක් භාවිතා කිරීමට සිදු වේ. පරිගණකය ආශ්‍රයෙන් සංගීත නිර්මාණ වැඩ, චිත්‍ර ඇඳීම, වීඩියෝ එඩිටිං කිරීම, ඔටෝකැඩ් වැඩ ආදිය සිදු කිරීමට මෙලෙස මොනිටර් කිහිපයක් තිබීම වාසිදායකයි.

ස්ක්‍රීන්සේවර් හා පවර් සෙටිංස්

පරිගණකයේ ස්ක්‍රීන්සේවර් එක සම්බන්ධව වෙනස්කම් සිදු කිරීමට කන්ට්‍රෝල් සෙන්ටර්හි Screensaver රන් කරන්න. එවිට පහත රූපය ලැබේ.

ඉන් ඔබ කැමති ස්ක්‍රීන්සේවර් එකක් වම්පැත්තේ ඇති ලිස්ට් එකෙන් තෝරාගන්න. ස්ක්‍රීන්සේවර් එක ක්‍රියාත්මක වන්නේ කොච්චර කාලයකට පසුද යන වග ඊට යටින් ඇති වෙලාව සකසන slider එකෙන් සෙට් කළ හැකියි. ඉහත රූපයේ එය විනාඩි 30කට සකසා ඇත. ස්ක්‍රීන්සේවර් එක ක්‍රියාවිරහිත කරන්න පුළුවන් Activate screensaver when computer is idle යන්න ඉදිරියෙන් තිබෙන හරි සලකුන ඉවත් කිරීමෙන්. සාමාන්‍යයෙන් ස්ක්‍රීන්සේවර් එකක් ක්‍රියාත්මක වූවාට පසුව ඔබ නැවත පරිගණකයෙන් වැඩ කිරීමට පටන් ගන්නා විට ඉබේම ස්ක්‍රීන්සේවර් එක ඉවත් වෙනවා. එහෙත් Lock screen when screensaver is active යන්න තෝරාගෙන තිබුණොත්, ස්ක්‍රීන්සේවර් එක ඉවත් වෙන විට නැවත ඔබේ පාස්වර්ඩ් එක ඉල්ලා සිටියි. එය ආරක්ෂක උපක්‍රමයකි. එනම්, වෙනත් කෙනෙකුට ඔබ පරිගණකය ඔන් එකේ තබා එහෙත් ඉන් ඉවතට ගොස් තිබෙන විටක, ඔබේ පරිගණකය පාවිච්චි කිරීම වැලැක්වීමට මින් හැකියි.
ඒ විතරක් නොවේ. ඔබ පරිගණකය හයිබර්නේට් හෝ සස්පෙන්ඩ් කර නැවත පනගන්වන විට, සාමාන්‍යයෙන් පාස්වර්ඩ් එකක් අහන්නේ නැතිවම ඩෙස්ක්ටොප් එකට ඔබව කැන්දාගෙන යයි. එහෙත් ඉහත Lock screen....... යන්න ක්‍රියාත්මක කර ඇති විට, එවිටද ඔබෙන් පාස්වර්ඩ් එක ඉල්ලා සිටියි.
සටහන
ස්ක්‍රීන්සේවර් එකක් යනු ඇත්තෙන්ම කුමක්ද? බැලූබැල්මට එය ස්ක්‍රීන් එක පුරා යම් ලස්සන රූපයක් හෝ අකුරු පෙළක් ගමන් කරන යම් ප්‍රෝග්‍රෑම් එකක් ලෙස පේනවා. එය ක්‍රියාත්මක වන්නේ ඔබ පරිගණකය යම් (සකසා ගත්) කාලයක් තුළ කිසිවක් නොකර තිබූ විටයි. එනම් කීබෝඩ් එක හෝ මවුස් එක හෝ සොලවන්නේ නැතිව සිටි විට එය ක්‍රියාකාරි වේ. එහි අරමුණ ඔබේ ස්ක්‍රීන් එක ලස්සන කිරීම නොව. අතීතයේ තිබුණේ CRT (Cathode Ray Tube) ලෙස හැඳින්වෙන මොනිටර් පමණි. ඒවා තමයි අර තඩි මොනිටර් (LCD නොවන ඒවා). එම මොනිටර් මත යම් රූපයක් වැඩි කාලයක් වෙනස් නොවී පැවතීමෙන් ස්ක්‍රීන් එකට හානි සිදු විය. එය නතර කිරීමට නම්, එකම රූපය පැය ගණනක් වෙනස් නොවී තිබීම නතර කළ යුතුය. ඔබ සාමාන්‍යයෙන් වැඩ කරනවා නම් ඉබේම මොනිටරයේ රූප වෙනස් වේ. එහෙත් ඔබ කිසිත් නොකර සිටින විට තිබෙන රූපය එලෙසම නොවෙනස්ව දිගටම දිගු කාලයක් පවතිනවා. මෙන්න මෙය වැලක්වීමට තමයි ස්ක්‍රීන්සේවර් එකක් තිබෙන්නේ. කිසිත් නොකර සිටින විට, ඉබේම එමගින් මොනිටරයේ රූප වෙනස් කරනවා. එහෙත් පසුකාලීනව සාදපු CRT මොනිටර්වලට එම දෝෂය නැත. ඊට අමතරව LCD මොනිටර්වලත් එම දෝෂය නැත. එහෙත් අදටත් ස්ක්‍රීන්සේවර් භාවිතා වෙනවා. හේතුව මා නොදනී. සමහරවිට ලස්සනට විය හැකියි.
ඉහත වින්ඩෝ එකේ Power Management යන බට්න් එක ක්ලික් කර පහත රූපයේ දැක්වෙන ඩයලොග් බොක්ස් එක ලබා ගන්න. මෙම කොටසින් ඔබට පුලුවන් ඔබේ ලැප්ටොප් එකේ විදුලිය හා බැටරිය සම්බන්ධ බොහෝ සෙටිංස් සකසන්න. මීට අමතරව Power Management නමින් කෙලින්ම කන්ට්‍රෝල් සෙන්ටර්හි මෙම ප්‍රෝග්‍රෑම් එක සඳහා ෂෝට්කට් එක ඇත.

මෙහි On AC Power යන ටැබ් එකේ ඇති සෙටිංස්වලින් ඔබේ පරිගණකය ගෙදර ප්‍රධාන AC විදුලියට සම්බන්ධ කර තිබෙන විට කෙසේ පරිගණකයේ විදුලිය හැසිරවිය යුතුදැයි ඔබට සැකසිය හැකියි. එහි Put computer to sleep when inactive for යන්න ඉදිරියෙන් මිනිත්තු 10, පැය භාගය, පැය ආදි ලෙස සැකසිය හැකියි. ඉන් කියන්නේ පරිගණකයේ ඔබ කිසිවක් නොකර නිකංම මෙම සැකසූ කාලය ඉක්ම යන විට පරිගණකය ස්ලීප් තත්වයට පත් කරන ලෙසයි. Sleep තත්වය යනු මොනිටරය හා වෙනත් විදුලිය වැඩිපුර වැයවන කොටස්වලට සැපයෙන විදුලිය විසන්ධි කර අඩු විදුලියෙන් පරිගණකය යාන්තමට පවත්වාගෙන යෑමයි. එය හරියට ටීවී එක ස්ටෑන්ඩ්බයි එකේ තබනවා වැනි වැඩක්. එහි Never යනුවෙන්ද ඔප්ෂන් එකක් තිබෙනවා. ඉන් කියන්නේ කුමන හේතුවක් නිසාවත් පරිගණකය ස්ලීප් මෝඩ් එකට පත් නොකරන ලෙසයි.
ඔබේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක (පියන) වසන විට, කුමක් විය යුතුදැයි When laptop lid is closed යන සෙටිං එකෙන් සැකසිය හැකියි. ඉහත රූපයේ දැක්වෙන්නේ එය හයිබර්නේට් කරන ලෙසයි. එනම්, ඔබේ ලැප්ටොප් එකේ ලිඩ් එක (පියන) වසන විට, පරිගණකය ඉබේම හයිබර්නේට් වේ. ඔබට පුලුවන් හයිබර්නේට් වෙනුවට එය සස්පෙන්ඩ්, ෂට්ඩවුන් වෙන ලෙස සකසන්නත්. Do nothing ලෙසත් ඔප්ෂන් එකක් එහි ඇත. ඉන් කියන්නේ, කිසිවක් නොකර පරිගණකය ඔන් එකේම තබාගන්නා ලෙසයි. එහෙත් මෙය නම් භයානක ඔප්ෂන් එකක්. එක හේතුවක් නම්, ඔබ පියන වැසූ පසු පරිගණකය තවමත් ඔන් එකේ තිබෙන බව නොපෙනී යන්නට පුලුවන්. සමහරවිට ඒ විධියට ඉතා බොහෝ කාලයක් ඔන් එකේම පැවතිය හැකියි. අනෙක් කාරණය නම් පරිගණකය ඔන් එකේ තිබෙන විට එය රත්වන බව ඔබ දන්නවා. ඉතිං මොනිටරය (ලිඩ් එක) වැසූ විට එම රස්නය මොනිටරයට කෙලින්ම වැදී මොනිටරය පිලිස්සී යෑමටත් පුලුවන්. අනෙක් ප්‍රශ්නය නම්, පරිගණකය තවමත් ඔන් එකේ කියා නොදැන එය රෙදි හෝ ගිනිගන්නාසුළු ද්‍රව්‍යක් අසල තැබීමෙන් පරිගණකය දිගින් දිගටම රත් වී ගිනි ගැනීමකටත් ලක් විය හැකියි. අනිවාර්යෙන්ම ලිඩ් එක වසන විට පරිගණකයේ විදුලිය විසන්ධි වන ආකාරයේ මෝඩ් එකකට පත් කරන්න.
එහි Spin down harddisks when possible යන්න තෝරාගත් විට, ඉන් කියන්නේ හාඩ්ඩිස්ක් එකේ කැරකෙන වේගය හැකි නම් අඩු කරන්න කියාය (පරිගණකය ඔන් එකේ නමුත් කිසිත් නොකර සිටින විට). මෙමගින් පරිගණකයෙන් එන ඝෝෂාව අඩුවෙනවා පමණක් නොව විදුලිද පිරිමැසේ. හාඩ්ඩිස්ක් එක වැඩි කාලයක් හොඳින් පවත්වා ගැනීමටත් හේතු වේවි.
Put display to sleep when inactive for යනුවෙන් ඇති සෙටිං එකේ ඔබට කැමති කාලයක් ලබා දෙන්න. ඉන් කියන්නේ පරිගණකයේ කිසිත් නොකර එම කාලය නිකංම ඉක්ම යන විට, මොනිටරයේ විදුලිය විසන්ධි කරන ලෙසයි. එය විදුලිය පිරිමැසීමට අමතරව, මොනිටරයේ ජීව කාලයද වැඩි කරයි.
Set display brightness to යන්න සකසා ඔබේ ඩිස්ප්ලේ (මොනිටර්) එකේ බ්‍රයිට්නස් (ආලෝකයේ සැර) තමන්ට කැමති ප්‍රමාණයකට සකස් කරගත හැකියි. ඇත්තටම අඩු බ්‍රයිට්නස් එකක් තිබීමෙන් විදුලිය මෙන්ම ඔබේ ඩිස්ප්ලේ එකත් ආරක්ෂා වේ. ඇසටත් සෞම්‍යයි. Dim display when idle යන්නත් එවැන්නක්. මෙහිදී සිදු වන්නේ ඔබ කිසිවක් නොකර විනාඩියක් පමණ සිටින විට ඉබේම මොනිටරයේ බ්‍රයිට්නස් එක අඩු වීමයි (dim).
ඉහත වින්ඩෝ එකේ On Battery Power යන ටැබ් එකට යන්න. එහිදි තිබෙන්නේ On AC Power එකේ තිබුණුම සෙටිංස්ය. මෙම කොටසේ තිබෙන සෙටිංස් බලපවත්වන්නේ පරිගණකය ප්‍රධාන විදුලියෙන් විසන්ධි කර ලැප්ටොප් එකේ බැටරියෙන් ක්‍රිියාත්මක වන විටයි. මෙහි When battery power is critically low යනුවෙන්ද සෙටිං එකක් ඇත. ඒකෙන් කියන්නේ බැටරියේ විදුලිය තවත් ඉතිරිව ඇත්තේ විනාඩි තුන හතරකට විතරක් නම් (එච්චරට බැටරිය දැන් බැහැලා), කුමක් කළ යුතුද කියායි. ඇත්තටම මෙතරම් බැස්ස විටක, වහම ඔබ පරිගණකය හයිබර්නේට් හෝ ෂට්ඩවුන් කළ යුතුය. නැතිනම්, පරිගණකය පටස් ගාලා ඕෆ් වෙලා යාවි ඔබේ ඕපන් කර තිබෙන ෆයිල්ස් ආදිය සේව් කරන්නේම නැතිව. එමනිසා එම සෙටිං එක අනිවාර්යෙන්ම හයිබර්නේට් එකට සෙට් කරන්න.
එහි General ටැබ් එක බලන්න. මෙහි ඇත්තේ ප්‍රධාන සෙටිංස් දෙක තුනකි. When the power button is pressed යන්නෙන් කියන්නේ ඔබේ පරිගණකයේ ප්‍රධාන ඔන්/ඕෆ් බට්න් එක එබුවහම කුමක් විය යුතුද කියා සැකසීමයි. හයිබර්නේට්, සස්පෙන්ඩ්, හෝ ෂට්ඩවුන් වන ලෙස ඔබට සැකසිය හැකිය. Ask me යන ඔප්ෂන් එක සෙට් කළ විට, එම පවර් බට්න් එක ඔබන විට ඔබෙන් අසාවි ෂට්ඩවුන්, හයිබර්නේට්, සස්පෙන්ඩ් යන තුනෙන් කුමක් කරන්නද ඔබට අවශ්‍ය කියා. Notification area යන්න යටතේ තිබෙන ඔප්ෂන් එකක් තෝරා ගන්න. ඉන් කියන්නේ මෙම පවර් සෙටිංස්වලට පහසුවෙන් ළඟාවිය හැකි ෂෝට්කට් එකක් සිස්ටම් ට්‍රේ එකට දමන හෝ නොදමන ලෙසයි.

නොටිෆිකේෂන් සෙටිංස්

කන්ට්‍රෝල් සෙන්ටර්වල Pop-up Notifications යන්න දැන් ඕපන් කරන්න. ඔබේ පරිගණකයේ සමහර දැන්වීම් (announcement) ඔබට දන්වා සිටින්නේ කොහොමදැයි මෙයින් සකස් කරනවා. කුඩා මැසේජ් එකකින් එය තිරයේ දිස් වේවි. එය තිරයේ උඩ වම් කෙළවරින්ද, නැතිනම් දකුණු පහළ කෙළවරින්ද එහෙමත් නැතිනම් වෙනත් තැනකින්ද දිස්වන්නේ යන්න සෙට් කළ හැකියි Position එකෙන්. Theme යන්නෙන් එහි පෙනුම වෙනස් කළ හැකියි. මොනිටර් කිහිපයක් ඇත්නම්, කුමන මොනිටරයේ එම නොටිෆිකේෂන් එක පෙන්විය යුතුදැයි Monitor මගින් තේරිය හැකියි. Use Active Monitor යන්න තෝරා ඇත්නම්, ඔබ දැනට වැඩ කරමින් සිටින්නේ කුමන මොනිටරය සමගද අන්න එම මොනිටරයේ මෙම නොටිෆිකේෂන් පෙන්වන් ලෙස ඉන් උපදෙස් දෙයි. Preview බට්න් එක ක්ලික් කර ඔබ සැකසූ සෙටිංස් වැඩ කරන්නේ කොහොමදැයි පෙරහුරුවක් වශයෙන් දැකගතද හැකියි.


මවුස් සෙටිංස්

මවුස් එකේ සෙටිංස් සෑදීමට Mouse ඕපන් කරන්න. එවිට පහත රූපයේ පරිදි වින්ඩෝ එකක් ඒවි. මෙහි Right-handed හෝ Left-handed තේරිය යුතුය. වමත් කරුවන් left-handed තෝරන්න. දකුණත් කරුවන් අනෙක තෝරන්න. ඔබ දකුණත් කරුවෙකු නම්, බොහෝ විට ලෙෆ්ට් මවුස් බට්න් එක වැඩිපුර ගෙවී යනු ඇත මොකද වැඩිපුර භාවිතා වෙන්නේ එම බට්න් එක බැවින් (වමත්කරුවෙකුට නම් එසේ වැඩිපුර ගෙවෙන්නේ රයිට් බට්න් එකයි). එවිට එම බට්න් එකේ යම් යම් දෝෂ මතු වේ. එවැනි අවස්ථාවක අපට මෙන්න මෙම සෙටිං එකෙන් යම් ප්‍රයෝජනයක් ගත හැකියි. එවිට, ඔබ දකුණත් කරුවෙකු වුවත් මෙම සෙටිං එකේ left-handed ලෙස තෝරාගන්න. එවිට, දැන් ඔබ ක්ලික් කිරීම සිදු කරන්නේ රයිට් මවුස් බට්න් එකෙන්ය. එනම්, වම දකුණ මාරු වී ඇත. ටික වේලාවක් යන තුරු එලෙස පැති මාරු වූ මවුසය නුහුරු වන්නට පුලුවන්. එහෙත් එය ඉක්මනින් පුරුදු වෙනවා. ඊටත් අමතරව විනෝදෙට වෙනසකටත් එක්ක මෙය කළ හැකියි (මා දකුණත්කරුවෙකු වුවත්, විනෝදෙට මෙන් මවුසය භාවිතා කරන්නේ වමතින් මෙම සෙටිං එක වෙනස් කරමින්ය).
Show position of pointer when....... යන සෙටිං එකෙන් කරන්නේ ඔබේ මවුස් පොයින්ටර් එක තිබෙන්නේ කොතනැදියි සොයා ගැනීම පහසු කිරීමටයි. මෙය තෝරා ඇති විටක, ඔබේ කීබෝඩ් එකේ control (ctrl) කී එක එබූ විට, විශාල රවුමකින් මවුස් පොයින්ටර් එක පෙන්වාවි (සමහර සොෆ්ට්වෙයාර්වල මවුස් පොයින්ටර් එක නොපෙනෙන තරමට කුඩා විය හැකියි. එවිට මෙය ප්‍රයෝජනවත් පොයින්ටර් එක සොයාගැනීමට).
Acceleration එකෙන් කරන්නේ ඔබ මවුස් එක සොලවන විට මවුස් පොයින්ටර් එක කොතරම් වේගයකින් ගමන් කළ යුතුද යන්න සෙට් කිරීමයි. සාමාන්‍යයෙන් ඉහළ වේගයකට සෙට්කර ගැනීම පහසුයි. Double-click timeout යන්නෙන් සෙට් කරන්නේ ඔබ ඩබ්ල් ක්ලික් කරන විට කොතරම් ඉක්මනින් එය කළ යුතුද යන්නයි. එය සෙට් කර ඊට පැත්තෙන් ඇති බල්බ් එක මත ඩබ්ල් ක්ලික් කර බලන්න. ඔබේ ඩබ්ල් ක්ලික් එක සාර්ථක වන විට බල්බය දැල්වෙනු ඇත.

ලැප්ටොප් එකක් නම් එහි touch pad එකක් තිබේ (මවුසය වෙනුවට භාවිතා කළ හැකි කීබෝඩ් එකේ තිබෙන උපාංගයකි ටච්පෑඩ් එක). එහි යම් යම් සෙටිංස් වෙනස් කරන්නට ඉහත වින්ඩෝ එකේ Touchpad යන ටැබ් එකට පිවිසෙන්න. එහි Disable touchpad when typing යන්න සිලෙක්ට් කළ විට, ඉන් කියන්නේ ඔබ ටයිප් කරගෙන යන විට එම කාලය තුළ ටච්පෑඩ් එක ක්‍රියාවිරහිත කරන ලෙසයි. ඇත්තටම මෙම සෙටිං එක ගොඩක් වැදගත්. ලැප්ටොප් එකක ටයිප් කරන අයට තිබෙන ලොකුම හිසරදයක් තමයි ටයිප් කරගෙන යන අතරේ ටච්පෑඩ් එකේ අල්ල ස්පර්ශවී ටයිප් කිරීමට බාධා සිදු වීම. මෙය වැලකෙනවා මෙම සෙටිං එකෙන්. සාමාන්‍යයෙන් ටච්පෑඩ් එකේ යටින් බට්න් දෙකක් තිබේ (මවුස් එකේ බට්න් දෙක සඳහා). ඊට අමතරව, ඔබට පුලුවන් ටච්පෑඩ් එක මතම ඇඟිල්ලෙන් ගසන්න (tap). එවිට එය ක්ලික් කිරීමක් ලෙස සැලකේ. දෙවරක් ටැප් කළ විට එය ඩබ්ල් ක්ලික් එකක් ලෙස සැලකේ. Enable mouse clicks with touchpad යන සෙටිං එක තෝරාගත් විට පමණි මෙම ටච්පෑඩ් එක මත ක්ලික්/ඩබ්ල් ක්ලික් කිරීම ක්‍රියාත්මක වන්නේ. Scrolling කොටස යටතේ, edge scrolling යන්න හැකි නම් තෝරාගන්න. ඉන් කියන්නේ ටච්පෑඩ් එකේ දකුණු කෙළවර මත ඇඟිල්ල ඉහළට පහළට ඇදගෙන යෑමෙන් ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කළ හැකි බවයි (හරියට මවුස් එකක් වීල් එක කරකවා ස්ක්‍රීන් එක ස්ක්‍රෝල් කරනවා වාගේ). එතැන Disabled ලෙස තැබූ විට මෙම හැකියාව ක්‍රියාවිරහිත වේ.

ස්ටාර්ට්අප් හා සර්විසස් සෙටිංස්

කන්ට්‍රෝල් සෙන්ටර්හි Startup applications යන්න ඕපන් කරන්න. මෙහි තිබෙන්නේ ඔබේ පරිගණකය ස්ටාර්ට් වන විට, ඉබේම රන් වෙන ප්‍රෝග්‍රෑම් ලිස්ට් එකකි. මේවා වෙනස් කිරීම කළ යුත්තේ ඔබ කරන දේ ගැන හොඳ වැටහීමක් තමන්ට තිබෙනවා නම් පමණි. සමහර අත්‍යවශ්‍ය ක්‍රියාකාරිත්වයන් නතර වීමට පුළුවන් මෙම ලිස්ට් එකේ තිබෙන ඒවා ක්‍රියාවිරහිත කිරීමෙන් (ක්‍රියාවිරහිත කරන්නේ ඒ ඒ ප්‍රෝග්‍රෑම් එකට ඉදිරියෙන් ඇති හරි සලකුන ඉවත් කිරීමෙන්). ඔබට කැමති නම් යම් යම් ප්‍රෝග්‍රෑම් ඊට ඇතුලු කළ හැකියි Add යන්න ක්ලික් කිරීමෙන්. එහෙත් බොරුවට ගොඩක් ප්‍රෝග්‍රෑම් මෙම ලිස්ට් එකට ඇතුලු කිරීමෙන් පරිගණකය මන්දගාමී විය හැකියි.

මෙවැනිම තවත් එකක් තමයි Services යනුවෙන් තිබෙන්නෙත්. එහි තිබෙන්නේද පරිගණකයක් ස්ටාර්ට් වීමේදී ඉබේම ක්‍රියාත්මක වන ප්‍රෝග්‍රෑම්ය. එහෙත් මෙම ප්‍රෝග්‍රෑම් මෙහෙයුම් පද්ධතියට අයත් ඒවායි බොහෝ විට. මෙම ප්‍රෝග්‍රෑම් ක්‍රියාත්මක වන්නේ පසුබිමේ (background) සිටයි. එමනිසා දන්නේ නැතිව ඒවා ක්‍රියාවිරහිත කරන්න එපා. තමන් කරන දේ දන්නවා නම්, එහි ඇති සමහරක් සර්විස් ක්‍රියාවිරහිත කර පරිගණකය වේගවත් කරගත හැකියි. උදාහරණක් ලෙස, මෙම රූපයේ ඔබට දිස්වෙනවා brltty යන්න ක්‍රියාවිරහිත කර ඇති බව. ඊට හේතුව මෙම brltty යන සර්විස් එක අවශ්‍ය වන්නේ අන්ධ අය මෙම පරිගණකය භාවිතා කරනවා නම් පමණයි.


ලොග්ඉන් ලොග්අවුට් සෙටිංස්

පරිගණකයක් ස්ටාර්ට් වීමේදී, ඔබට යූසර්නේම් හා පාස්වර්ඩ් ඉල්ලා සිටින අවස්ථාවක් ඇත. එය ලොගින් ලෙසයි හැඳින් වෙන්නේ. එලෙසම පරිගණකයක් ඕෆ් (ෂට්ඩවුන්) කිරීමේදී ඉබේම ලොග්ඕෆ් වීමක්ද සිදු වේ. ඊට අමතරව, පරිගණකයක් ඕෆ් නොකරත් ලොග්ඕෆ් වෙන්නට පුලුවන්. එලෙස ලොග්ඕෆ් වී වෙනත් යූසර් එකවුන්ට් එකකින් ලොගින් වෙන්නට හැකියි. තමන් වැඩකරමින් සිටින ෆයිල්ස් ආදිය සේව් කර මෙනු එකේ ඇති Logout ඔබන්න. එවිට කුඩා වින්ඩෝ එකක් මතු වේවි. ඉන් Log Out යන බට්න් එක ඔබන්න. එච්චරයි. එහිම තිබෙනවා Switch User ලෙසත් බට්න් එකක්. ඉන් සිදු කරන්නේ දැනට සිටින යූසර් එකවුන්ට් එකෙන් ලොග්අවුට් නොවීම, තවත් එකවුන්ට් එකකින් ලොගින් වීමට අවස්ථාවක් සලසා දීමයි.
මෙම ලොගින් වීම සම්බන්ධයෙන් යම් යම් සෙටිංස් කිහිපයක්ද ඇත. ඒවා සැකසීමට කන්ට්‍රෝල් සෙන්ටර්හි Login window යන්න ඕපන් කරන්න. ඔබෙන් රූට් පාස්වර්ඩ් එක ඉල්ලාවි. එය නිවැරදිව දුන් විට පහත රූපයේ ලෙසට වින්ඩෝ එකක් ලැබේ.

එහි වම් අත පැත්තෙන් Theme යන්න තෝරන්න. එවිට ඔබ ලොගින් වන ස්ක්‍රීන් එකේ පෙනුම වෙනස් කළ හැකියි. එහි Auto login යන්න තෝරන්න. ඉන් Enable automatic login යන්න ක්‍රියාත්මක කළ විට, ඊට පහළින් ඇති පෙට්ටියෙන් එක් යූසර් එකවුන්ට් එකක් තෝරාගන්න. මෙයින් සෙටි කරන්නේ පරිගණකය ස්ටාර්ට් වීමේදී ඉබේම මෙන්න මෙම එකවුන්ට් එකෙන් ලොගින් වෙන ලෙසයි. Enable timed login යනුද තරමක් එවැනිම සෙටිං එකක්. යූසර් එකවුන්ට් එකට අමතරව කාලයද එහි සෙට් කළ හැකියි. එහිදී සිදු වන්නේ සාමාන්‍යයෙන් ලොගින් වන ආකාරයටම ඔබට යූසර්නේම් හා පාස්වර්ඩ් එකක් ඇතුලු කර ඔබ කැමති එකවුන්ට් එකකින් ලොගින් වීමට අවස්ථාව ලබා දීමයි. එහෙත් කිසිවක් නොකර මෙම සැකසූ කාලය නිකංම ඉක්මගියොත් එබේම මෙම සැකසූ එකවුන්ට් එකෙන් ලොග් වේවි.

සවුන්ඩ් සෙටිංස්

ඔබේ පරිගණකයේ සවුන්ඩ් (ස්පීකර් හා මයික්) සෙටිංස් වෙනස් කිරීමට Sound ඕපන් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් මතු වේවි. එහි උඩින්ම ඇත්තේ (Output volume) ස්පීකර් එකේ ශබ්දය සැකසීමයි. එහි Mute යන්න තේරීමෙන් ශබ්දය නැති කළ හැකිය. ඊට යටින් ටැබ් කිහිපයක්ද ඇත. ඉන් Sound Effects යනුවෙන් ඇති ටැබ් එකෙන් දක්වන්නේ පද්ධතියේ විවිධ ක්‍රියාකාරකම් කිරීමේදී (ෆයිල් ඕපන් කිරීම, පරිගණකය ඕෆ් කිරීම ආදී) ඇති කරන ශබ්ද සකසන සෙටිංස්ය. එහි Alert volume යන්නෙන් එම ශබ්ද කොතරම් හයියෙන් ඇසිය යුතුදැයි සැකසිය හැකියි. ඔබ සිංදුවක් අසන විට තරමක හයියෙන් එය ඇසුවත් මෙවැනි පද්ධතියෙන් පිට කරන ශබ්ද (නොටිෆිකේෂන් එලර්ට්) සමහරවිට අඩු ශබ්දයකින් ඇසෙන සේ මෙයින් සැකසිය හැකියි. එලෙස ඇසෙන ශබ්දය (හෝ මියුසික් කොටස) වෙනස් කරන්නට පුලුවන් Sound theme වෙනස් කිරීමෙන් (Sound theme එකේ No sound යන්න තේරුවොත් ඉන්ද කියන්නේ කිසිදු ශබ්දයක් එපා කියාය පද්ධතියේ වැඩ සඳහා). ඊට යටින් ඇති පෙට්ටියෙන්ද ඇසෙන ශබ්දය වෙනස් කළ හැකියි.

එහි Hardware යන ටැබ් එකෙන් ඔබේ පරිගණකයේ ඇති සවුන්ඩ්කාඩ් එක තෝරාගත හැකියි (කිහිපයක් ඇත්නම්). හැමවිටම වාගේ පරිගණකයේ තිබෙන්නේ එක සවුන්ඩ්කාඩ් එකක් නිසා වෙනස්කම් කිරීමට දෙයක් එහි නැත. තවද, එම කොටසෙහිම ඔබගේ ස්පීකර් වැඩකරනවාද කියා ටෙස්ට් කළද හැකියි. එලෙසම Input ටැබ් එකෙන් microphone settings , Output ටැබ් එකෙන් Speaker settings ද සැකසිය හැකියි. තවද, සිස්ටම් ට්‍රේ එකේ ඔබට සවුන්ඩ් එක අඩු වැඩි කිරීමට හැකි volume controller එකක්ද පෙනේ.

No comments:

Post a Comment