Monday, August 24, 2015

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 13

අලුතින් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන හැටි

විවිධ පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා විවිධ සොෆ්ට්වෙයාර් නිපදවා ඇත. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සඳහා මෙන්ම ලිනක්ස් සඳහාද දහස් ගණන් සොෆ්ට්වෙයාර් නිපදවා ඇත. මේවායෙන් ඉතා ස්වල්පයක් පමණයි ඔබට මුදල් ගෙවා ලබා ගැනීමට සිදු වන්නේ. අනෙක් සියලුම සොෆ්ට්වෙයාර් නීත්‍යානුකූලවම නොමිලේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගත හැකියි. පොදුවේ කිව යුතු දේ නම්, සොෆ්ට්වෙයාර් තිබුණු පලියට ඒ සෑම එකක්ම අනර්ඝ උසස් මට්ටමේ ඒවා නොවිය හැකියි. වංචනිකයන් විසින් පරිගණකයට හානි කිරීමේ අදහසින් හෝ වෙනත් කූට වැඩ සිදු කර ගැනීමට එලෙස සොෆ්ට්වෙයාර් සාදා තිබිය හැකියි. එහෙත් මෙය වඩාත් අදාල වන්නේ ලිනක්ස් වලට වඩා වින්ඩෝස් එකටයි. ඊට හේතුවක් තිබේ. ලිනක්ස් සඳහා නිපදවා තිබෙන බොහෝ (ඇත්තටම සියල්ලම වාගේ) සොෆ්ට්වෙයාර්, ඒවා සාදන/ලියන අය විසින් ඔබට නොමිලේම ලබා දෙන ගමන්ම, එම සොෆ්ට්වෙයාර්වල කේත (කෝඩිං) පවා ලබා දෙනවා. ඉතිං, කොම්පියුටර් ප්‍රෝග්‍රැමිං ගැන දන්නා අය මෙම කෝඩ් පරික්ෂා කර ඒවායේ සැඟවුණු වංචනික වැඩ කරන කමාන්ඩ්ස් තිබේදැයි සොයා බලනවා (හොර වැඩක් කරන අය තමන් කරන හොර වැඩේ හෙළි කරන්නේ නැහැ නේද? ඉතිං මෙම සොෆ්ට්වෙයාර් සාදන අයත් ඒවායේ කෝඩිං හෙළි කරන්නේ ඒවායේ සැඟවුණු හොර වැඩ නොමැති නිසාය.) ඇත්තටම, මෙලෙස තම තමන් සාදන සොෆ්ට්වෙයාර්වල කෝඩිං නොමිලේම ප්‍රසිද්ධ කිරීම නිසාම තමයි, ලිනක්ස් මෙන්ම ලිනක්ස් සඳහා සාදනු ලබන සොෆ්ට්වෙයාර් මෙතරම් දියුණු වුණෙත්.
සටහන
ඔබ අසා ඇති Free software හෝ Open software වැනි වචන නිතරම. මේ දෙකම අඩු වැඩි වශයෙන් කියන්නේ එකම දෙයකි. එනම්, අවසාන වශයෙන් ඒවා පාවිච්චි කරන අයට (end-user) එවැනි සොෆ්ට්වෙයාර් සඳහා ගෙවීමක් සිදු නොකරම ඒවා නීත්‍යානුකූලවම යොදා ගත හැකි බවයි. තනි තනි පුද්ගලයන් සේම, විශාල ආයතන (ලාභ නොලබන හෝ ලාභ ලබන යන දෙවර්ගයේම) මෙලෙස නිදහස් මෘදුකාංග (free/open software) සාදනවා. සාමාන්‍යයෙන් අදහසක් තිබෙනවා මේ ලෝකයේ නොමිලේ කිසිවක් නොලැබෙන බව. මෙම අවස්ථාව සඳහා එම කියමන ඇත්තෙන්ම වලංගු නැත. බොහෝම වටිනා (සමහරවිට ලක්ෂ ගණන්වලට විකිණිය හැකි) සොෆ්ට්වෙයාර් අපට ලැබෙන්නේ නොමිලේය. ඊට හේතුව, මෙවැනි සොෆ්ට්වෙයාර් සෑදීමට ලොවපුරා පැතිරී සිටින සිය දහක් ගණනක් අය එකට වැඩ කිරීමයි. එනිසා, කෙනෙකුට වරු ගණන් එක දිගට වැඩ කිරීමටත් අවශ්‍ය නැත. කිසිම කෙනෙකුගෙන් බලකිරීමක්ද නැත. සතුට හා කීර්තිය සඳහා පමණක් වැඩ කරනවා. සමහරෙක් සමහර සොෆ්ට්වෙයාර් සාදන ආයතන/පුද්ගලයන්ගෙන් පලිගැනීමටද මේවාට දායක වෙනවා (උදාහරණයක් ලෙස, මයික්‍රොසොෆ්ට් ආයතනය බංකොලොත් කිරීමට). මේ සියල්ලම කිරීමට හැකි වූයේ අන්තර්ජාලය නිසාය. මේ අය එකිනෙකා සමග අදහස් හුවමාරු කරන්නෙත්, තමන්ගේ කෝඩිං අන් අය සමග ෂෙයාර් කරන්නෙත් ඉන්ටර්නෙට් එක හරහාය. මේ අය/ආයතන සොෆ්ට්වෙයාර් සාදා නිකං සිටින්නේද නැත. ඒවායේ දෝෂ ඇති විට ඒවා නිවැරදි කිරීමටත්, අලුත් අලුත් ලක්ෂණ (features) එම සොෆ්ට්වෙයාර්වලට ඇතුලු කර නව සංස්කරණ එළිදැක්වීමටත් ක්‍රියා කරනවා. ඊටත් අමතරව, මෙවැනි යහපත් අදහස් ඇති අයට ගෞරව කිරීමට මෙන්ම දිරි ගැන්වීමට විවිධ තරග හා සම්මාන උළෙලවල් පවා පවත්වනවා. සමහර අයට මුදල් ගෙවීම් පවා ලැබෙනවා (මුදල් තිබෙන අයගෙන් ඔවුන්ගේ ක්‍රියාවන් අගයමින්).
ලිනක්ස් සඳහා තිබෙන සමහර සොෆ්ට්වෙයාර් නොමිලේ ලබා නොදෙන බවත් ඉහත පැවසුවා. මෙහිදී ඔවුන් විසින් එම සොෆ්ට්වෙයාර් එක (බයිනරි ෆයිල්) පමණයි ඉදිරිපත් කරන්නේ; සෝස් කෝඩ් ඉදිරිපත් කරන්නෙ නැහැ. සමහරුන් සෝස් කෝඩ් ඉදිරිපත් නොකර බයිනරි ප්‍රෝග්‍රැම් එක පමණක් නිකුත් කරනවා, නමුත් මුදල් අය කරන්නේද නැත (උදාහරණයක් ලෙස, ස්කයිප් ප්‍රෝග්‍රැම් එක ගත හැකියි). මෙවැනි සෝස්කෝඩ් හෙළි නොකරන සොෆ්ට්වෙයාර් proprietary software යනුවෙන් හැඳින්වේ. ප්‍රොප්‍රයටර් සොෆ්ට්වෙයාර් ඇත්තෙන්ම ඉහත ඕපන්/ෆ්‍රී සොෆ්ට්වෙයාර්වලට විරුද්ධ පැත්තයි.
එකම දේ සිදු කිරීමට සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් ගණනාවක්ම පවතිනවා. එනිසා ඔබ උත්සුක විය යුතුයි ඔබේ වැඩේ කිරීමට වඩාත්ම සුදුසු සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කර ගන්නට. ඒ සඳහා ඔබට වෙනත් අය සමග සාකච්ඡා කළ හැකියි. ඉන්ටර්නෙට් එකේ සොයා බැලිය හැකියි. ඇත්තටම මෙම කාර්ය සඳහා තරමක් මහන්සි විය යුතුයි. තවද, කෙනෙකු කැමැති එකකට ඔබ අකමැති විය හැකියි. එය ස්වාභාවිකයි (විවිධ පුද්ගලයන්ගේ රුචි අරුචිකම් වෙනස්ය). උදාහරණයක් ලෙස, කෙනෙකු කැමති ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසර් එකටයි; තව කෙනෙක් කැමැති ක්‍රෝම් එකටයි.
ලිනක්ස්වල සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීම මූලිකවම හතර ආකාරයකින් සිදු කළ හැකියි. ඉන් පළමු ක්‍රමය තමයි වඩාත්ම උචිත මෙන්ම වඩාත්ම පහසු වන්නෙත්. මෙහිදී ලිනක්ස් ඔපරේටිං සිස්ටම් එකේ තිබෙනවා කුඩා ප්‍රෝග්‍රැම් (ඇප්ලට්) එකක්. එය රන් කරන්න. එක් එක් ලිනක්ස් පද්ධතිය අනුව එහි නම වෙනස්ය. ලිනක්ස් මින්ට් හි එය Package Manager ලෙසයි හැඳින් වෙන්නේ. එයම Synaptic හෝ සිනැප්ටික් පැකේජ් මැනේජර් ලෙසද හඳුන්වනවා. එය කන්ට්‍රෝල් සෙන්ටර් එකේ මෙන්ම ප්‍රධාන මෙනු එකේ System කොටස යටතේත් දක්නට ලැබෙනවා. එහි රූපයක් පහත දැක්වේ. මෙම ක්‍රමය හරියටම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්වලට ඇප්ස් ඉන්ස්ටෝල් කරන ක්‍රමය වැනිමයි. වින්ඩෝස් ෆෝන්වල හා ඇපල් ෆෝන්වල පවා ඇප්ස් ඉන්ස්ටෝල් කරන්නේත් මෙවැනි ක්‍රමයකටමයි. එක තැනකින් සියලුම සොෆ්ට්වෙයාර් ලබා ගත හැකියි. සොෆ්ට්වෙයාර් සොයමින් අන්තර්ජාලය පුරාම සැරිසරන්නට අවශ්‍ය නැත.

ලිනක්ස් යනු ඇත්තටම තනි ඔපරේටිං සිස්ටම් එකක් නොවේ. යම් මෙහෙයුම් පද්ධතියක ප්‍රධානතම කොටස Kernel කියායි හැඳින්වෙන්නේ. ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවල නිල වශයෙන් කර්නල් එකේ අයිතිය ඇත්තේ එය මුලින්ම සාදා ඉදිරිපත් කළ ලිනස් ටෝර්වල්ඩ්ස් හටයි. ඔහු ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ පියා ලෙසයි සැලකෙන්නේ. කර්නල් එක සාමාන්‍යයෙන් ඉතා කුඩාය. කලින් කලට ඔහු එහි නව සංස්කරණ (වර්ෂන්) නිකුත් කරනවා. උදාහරණයක් ලෙස මා ඉන්ස්ටෝල් කර තිබෙන එකේ ලිනක්ස් කර්නල් එක Linux 4.1.4-040104-generic (x86_64) වේ. (කර්නල් එකක් නම් කරන විට, එහි විටිනා තොරතුරුද ඇතුලත් කරනවා. අග ඇති 64 යන්නෙන් කියන්නේ මෙය 64බිට් ප්‍රොසෙසර් එකකට ගැලපෙන බවයි. එය 32 ලෙස තිබුණොත් ඉන් කියන්නේ 32බිට් ප්‍රොසෙසර් එකකට උචිත බවයි. x86 ලෙස තිබෙන්නේ මෙය බොහෝ අය භාවිතා කරන Intel හා ඊට සමාන ප්‍රොසෙසර් සඳහා භාවිතා කරන එකක් බවයි. generic යන්නෙන් කියන්නේ මෙම කර්නලය පොදුවේ භාවිතා කරන එකක් බවයි. වෙනත් සුවිශේෂි පරිගණක තාක්ෂණයන් සඳහා මෙය සුදුසු නැත.)
කර්නලය මැදිකොට ගෙන හෙවත් පාදක කොට ගෙන තව තවත් අත්‍යවශ්‍ය සොෆ්ට්වෙයාර් සිය ගණනක් (කැල්ක්‍යුලේටර්, මීඩියා ප්ලේයර්, වෙබ් බ්‍රවුසර් ආදී) ඊට එකතු කිරීමෙන් තමයි ජවසම්පන්න මෙහෙයුම් පද්ධතියක් සාදන්නේ. එලෙස එකතු කරන තනි තනි සොෆ්ට්වෙයාර්වල අයිතිය පවතින්නේ ඒවා නිර්මාණය කරපු අයටයි. ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතියේ අයිතිය පැතිරුණු එකක්. යම් කෙනෙකු හෝ ආයතනයක් එලෙස ලිනස් ටෝර්වල්ඩ්ස් විසින් නිකුත් කරන යම් කර්නල් එකක් ගෙන, ඊට ඔහු (හෝ එම ආයතනය) විසින් තෝරාගත් (වෙනත් අයගේ) සොෆ්ට්වෙයාර් එකතු කරමින් විශාල ජවසම්පන්න මෙහෙයුම් පද්ධතියක් බවට පත් කළ හැකියි. එහිදී කුමන කුමන සොෆ්ට්වෙයාර්ද එකතු කරන්නේ කියා තීරණය කරන්නේ ඔහුයි. එවිතරක් නොවේ, ඒවා හොඳින් වැඩ කරනවාද කියාද බොහෝ විට ටෙස්ට් කරනවා. ඒ කියන්නේ එලෙස එකතු කරන එක් සොෆ්ට්වෙයාර් එකක් තවත් සොෆ්ට්වෙයාර් එකක ක්‍රියාකාරිත්වයට බාධාවක් (conflict) ඇති නොකරන බවට වගබලා ගන්නවා. අවසානයේ ඔහු එය යම් නමකින් ඉදිරිපත් කරනවා අලුත් මෙහෙයුම් පද්ධතියක් ලෙස. උදාහරණ ලෙස, Redhat Linux, Fedora, Linux Mint, Ubuntu, Kali ආදී ලෙස විවිධ නම්වලින් ඇත්තේ මෙලෙස සකසා ගත් ඒවාය. ඇත්තටම මේවා එකිනෙකට ගොඩක් වෙනස් මෙහෙයුම් පද්ධති නොව, බොහෝ විට එක සමාන එහෙත් සුලු සුලු වෙනස්කම් පමණක් සහිත මෙහෙයුම් පද්ධති වේ. මේවා සියල්ලම පොදුවේ Linux මෙහෙයුම් පද්ධතිය කියායි පවසන්නේ. මේ එක් එක් නමින් ඉදිරිපත් කරන ලිනක්ස් පද්ධතිවලට Linux Distribution (Linux Distro) එකක් කියා පවසනවා. මා මෙම පොතෙන් කතා කරන්නේ Linux Mint නම් ඩිස්ට්‍රෝ එක ගැනයි. යම් ඩිස්ට්‍රෝ එකක් ඉගෙන ගත් විට, වෙනත් ඕනෑම ඩිස්ට්‍රෝ එකක් සමග වුවද පහසුවෙන් වැඩකළ හැකියි. සාමාන්‍යයෙන් ලිනක්ස් සොෆ්ට්වෙයාර් එකක් ඕනෑම ඩිස්ට්‍රෝ එකක් සමග වැඩ කරනවා. එහෙත් එක් එක් ඩිස්ට්‍රෝ එකක් සකස් කර තිබෙන සමහර සෙටිංස් නිසා, සමහරවිට සොෆ්ට්වෙයාර් යම් යම් ඩිස්ට්‍රෝ සමග වැඩ කරන විට, ක්‍රෑෂ් වීමට හැකියි. මෙවැනි ක්‍රෑෂ් වීම් මඟ හැරීමට නම්, ඒවා හොඳින් ටෙස්ට් කළ යුතුයි අදාල ඩිස්ට්‍රෝ එකක ඉන්ස්ටෝල් කරගෙන. ඒ විතරක්ද නොවේ; සමහර ඩිස්ට්‍රෝ සාදන්නේ තවත් ඩිස්ට්‍රෝ එකක් මතය. උදාහරණයක් ලෙස, ලිනක්ස් මින්ට් එක සාදා ඇත්තේ උබුන්ටු පදනම් කරගෙනය.
තවද, ප්‍රෝග්‍රැම් සාදා නිකුත් කරන අය සමහරවිට පොදුවේ ඕනෑම ලිනක්ස් ඩිස්ට්‍රෝ එකක් සමග වැඩ කරන ලෙසට ඒවා සකස් කරන අතර, තවත් සමහරුන් එක එක ඩිස්ට්‍රෝ එකට හරියටම ගැලපෙන ලෙසටත් සකස් කර ඉදිරිපත් කරනවා (මෙසේ ඉදිරිපත් කළත්, ඒවා අනෙක් ඩිස්ට්‍රෝවලත් හොඳින් වැඩ කරන බව මතක තබා ගන්න). බොහෝ අය කරන්නේ තමන්ගේ ප්‍රෝග්‍රැම් එක ප්‍රචලිත සෑම ඩිස්ට්‍රෝ එකක් සඳහාම වෙන වෙනම සාදන එකයි. එවිට, ඔබේ ඩිස්ට්‍රෝ එකට ගැලපෙන එකක් තිබේ නම්, එය ඉන්ස්ටෝල් කර ගන්න. එසේ තමන්ගේ ඩිස්ට්‍රෝ එකට ගැලපෙන එකක් නැතිනම්, ඊට ආසන්නව ගැලපෙන එකක් ලබා ගන්න. උදාහරණයක් ලෙස මින්ට් ඩිස්ට්‍රෝ එක ගමු. යම් සොෆ්ට්වෙයාර් එකක් මින්ට් සඳහාම සකසා තිබේ නම්, කිසිම ගැටලුවකින් තොරව, එය ලබා ගන්න. එහෙත් මින්ට්වලට නැතිව, උබුන්ටු, ෆෙඩෝරා ආදී ඩිස්ටෝ සඳහා ඇත්නම්, ඒ අතරින් උබුන්ටූ තෝරා ගන්න (මොකද මින්ට් සාදා ඇත්තේ උබුන්ටු මතයි). ඔව්, මෙය මතක තබා ගන්න. මින්ට් පාවිච්චි කරන කෙනෙකු, පළමුව බැලිය යුත්තේ මින්ට් සඳහාම වර්ෂන් එකක් තිබේද යන්නයි. එසේ නැතිවූ විට, උබුන්ටු සඳහා සැකසූ වර්ෂන් එකක් ලබා ගන්න. මේ දෙකම නැතිනම් Debian යන ඩිස්ට්‍රෝ එකට සැකසූ වර්ෂන් එකක් ලබා ගන්න (ඊට හේතුව මින්ට් උබුන්ටු මත සාදා ඇත්තා සේම, උබුන්ටු සාදා ඇත්තේ ඩේබියන් මතයි). මේ තුනම නැතිනම් කුමක් හෝ ලිනක්ස් වර්ෂන් එකක් ලබා ගන්න. මෙම අනුපිළිවෙලට ඔබේ සොෆ්ට්වෙයාර් තේරීම සිදු කළොත්, ගැටලු අවම වේවි. ඇත්ත වශයෙන්ම, මින්ට්වල ඇති බොහෝ සොෆ්ට්වෙයාර් උබුන්ටු සඳහා සැකසූ ඒවා වේ.
ඉහත සිනැප්ටික් එකෙන් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන විට, සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් වන්නේ එම ඩිස්ට්‍රෝ එක සමග හොඳින් වැඩ කරන සොෆ්ට්වෙයාර් වේ. ඒ කියන්නේ මෙලෙස ඔබ ඉන්ස්ටෝල් කරන සොෆ්ට්වෙයාර්වල ඔබට කරදර නොකර හොඳින් වැඩ කිරීමට ඇති සම්භාවිතාව ඉතා ඉහළය (එහෙත් ඉඳහිට මෙලෙස ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර් ක්‍රෑෂ් වෙන අවස්ථා තිබෙනවා). ඒකට හේතුව මොහොතකට පෙරත් සඳහන් කළ ලෙසට, ඩිස්ට්‍රෝ එක නිකුත් කරන අය විසින් ඒවා හොඳන් ටෙස්ට් කර තිබීමයි. එහෙත් සිනැප්ටික් එකේ සෙටිංස් වෙනස් කිරීමටත් හැකියි වෙනත් ඩිස්ට්‍රෝ සඳහා සැකසූ සොෆ්ට්වෙයාර් සිනැප්ටික් එකේ පෙන්වන ලෙස (එලෙස සෙටිංස් සාදනවා නම් ඇත්තෙන්ම සැලකිලිමත් වෙන්න).
දැන් අපි බලමු සිනැප්ටික් එකෙන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන අයුරු. වම්පස ඇති ලිස්ට් එකේ All යන්න තෝරා, දකුණුපස එහි ඇති සර්ච් බොක්ස් එක තුළ ඔබ ඉන්ස්ටෝල් කරන්නට යන සොෆ්ට්වෙයාර් එකේ නම දන්නවා නම් ඇතුලු කරන්න. එවිට, ඒ නම තිබෙන සියලු සොෆ්ට්වෙයාර් දකුණුපස විශාල බොක්ස් එක තුළ දර්ශනය වනු අැත. ඔබ එම ලිස්ට් එකේ යම් ප්‍රෝග්‍රැම් එකක් සිලෙක්ට් කළ විට ඒ ගැන විස්තර ඊට පහළින් ඇති පෙට්ටියේ දිස් වේ. එම පෙට්ටයේ Description, Common, Dependencies ආදී ලෙස ටැබ් කිහිපයක්ම ඇත. එහි ඩිස්ක්‍රිප්ෂන් ටැබ් එකේ එම සොෆ්ට්වෙයාර් එක පිළිබඳ කුඩා විස්තරයක් දැක්වේ. එය කියවා බලා, තමන්ට අවශ්‍ය මෙයදැයි නිශ්චය කළ හැකියි. කොමන් ටැබ් එකේ වටිනා විස්තර ගණනාවක් ඇත. Status යන්න ඉදිරියෙන් not installed ලෙස තිබුණොත්, ඉන් කියන්නේ මෙම සොෆ්ට්වෙයාර් එක තවම ඉන්ස්ටෝල් කර නොමැති බවයි. Maintainer යනු මෙම සොෆ්ට්වෙයාර් එක නිපදවා පවත්වාගෙන යන අයගේ නම හා ඊමේල් ලිපිනයයි. මෙම සොෆ්ට්වෙයාර් එක දැනටමත් ඉන්ස්ටෝල් කර ඇත් නම්, මෙහි Installed Version යටතේ Version (ඉන්ස්ටෝල් කර ඇති ප්‍රෝග්‍රැම් එකේ වර්ෂන් එක) හා Size (එම ප්‍රෝග්‍රැම් එකේ සයිස් එක) යන තොරතුරු දෙක දැක්වේ. සමහරවිට, ඔබ ඉන්ස්ටෝල් කර ඇති ප්‍රෝග්‍රැම් එකේ නව වර්ෂන් එකක් හෝ කිහිපයක්ම වුවද මේ මොහොත වන විට නිකුත් කර තිබීමට හැකියි. Latest Available Version යන කොටසේ දැක්වෙන්නේ එම නවතම සංස්කරණයේ (නව සංස්කරණයක් නොපවතී නම්, තිබෙන එකේම) තොරතුරුයි. පෙර සේම, Version යනු එහි වර්ෂන් අංකයත්, Size යනු එහි සාමාන්‍ය (එනම් ඉන්ස්ටෝල් කළ පසු සම්පූර්ණ) සයිස් එකත්ය. Download යනු එය අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කිරීමේදී වැය වන ඩේටා ප්‍රමාණයයි. බොහෝ විට මෙය සයිස් එකට වඩා අඩුය. ඊට හේතුව, සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් එකක් යනු ෆයිල්ස් සිය ගාණක එකතුවකි. සමහර ෆයිල්, සොෆ්ට්වෙයාර් කිහිපයක් අතරේම ෂෙයාර් වේ (shared library files) (මෙය හරියට වින්ඩෝස් ප්ලැට්ෆෝම් එකේ DLL files වැනිය). එනිසා, ඔබ ඉන්ස්ටෝල් කරන්නට යන සොෆ්ට්වෙයාර් එකේ සමහර ෂෙයාර්ඩ් ෆයිල් වෙනත් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කර තිබීම නිසා දැනටමත් පරිගණකයේ තිබීමට පුලුවන්. එවැනි අවස්ථාවක එම ෆයිල් නැවත ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය නැත. Installed Files ටැබ් එකේ පෙන්වන්නේ ඉන්ස්ටෝල් කර ඇති සොෆ්ට්වෙයාර් එකේ ෆයිල් පරිගණකයේ තැන්පත් වී ඇත්තේ කොහේ කොහේද කියාය. Versions ටැබ් එකේ දැක්වෙන්නේ මෙම සොෆ්ට්වෙයාර් එකේ දැනට ඉන්ස්ටෝල් කර ඇති හා ඊට වඩා අලුත් වර්ෂන් එකය.
දැනට ඉන්ස්ටෝල් කර ඇති සොෆ්ට්වෙයාර් ලිස්ට් එකේ පෙන්වන විට, ඊට ඉදිරියෙන් කොල පාට පෙට්ටියකින් පෙන්වයි. අලුතින් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය සොෆ්ට්වෙයාර් එකක් ඉදිරියෙන් ඇති කුඩා හිස් පෙට්ටිය මත ක්ලික් කර, ඉන් Mark for installation යන්න තෝරන්න. එලෙස ඔබට තවත් සොෆ්ට්වෙයාර් සිලෙක්ට් කළ හැකියි. ඉන්පසු Apply යන බට්න් එක ක්ලික් කරන්න. එවිට ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරන්නද කියා අසාවි. ඩවුන්ලෝඩ් වන සම්පූර්ණ සයිස් එකද එහි පෙන්වයි. එච්චරයි. සමහර ප්‍රෝග්‍රැම් ඉන්ස්ටෝල් කිරීමේදී ඒවා රන් කිරීමට තවත් ප්‍රෝග්‍රැම් ඉන්ස්ටෝල් වී තිබීමට අවශ්‍ය වෙනවා. මෙම අමතර ප්‍රෝග්‍රැම් ඒ වෙනකොටත් ඉන්ස්ටෝල් වී නැතිනම්, ඒවාද ඉන්ස්ටෝල් කරන ලෙස කියාව තවත් වින්ඩෝ එකක් මතු වී. එවිට එය පිළිගෙන ඒවාද ඉන්ස්ටෝල් කරන්න.
දැනට ඉන්ස්ටෝල් කර ඇති සොෆ්ට්වෙයාර් එකක් ඉදිරියෙන් ඇති කොලපාට පෙට්ටිය මත ක්ලික් කළ විට, එහි Mark for removal යන්න තෝරා ඇප්ලයි බට්න් එක ක්ලික් කිරීමෙන් එය අන්ඉන්ස්ටෝල් කළ හැකියි. තවද, මෙනු එකේ (All Applications) පෙන්වන ඉන්ස්ටෝල් වී ඇති ප්‍රෝග්‍රැම් එකක් මත රයිට් ක්ලික් කර ඉන් Uninstall යන්න තේරීමෙන්ද එම ප්‍රෝග්‍රැම් එක අන්ඉන්ස්ටෝල් කළ හැකියි. එවිට, ඔබට පහත දැක්වෙන පරිදි ඩයලොග් බොක්ස් එකක්ද පෙනේවි. එහි OK ඔබන්න. තවත් වින්ඩෝ එකක් මතුවේවි එය අන්ඉන්ස්ටෝල් කරන එක (progress) පෙන්වීමට (අන්ඉන්ස්ටෝල් වී අවසන් වූ පසු එම වින්ඩෝ එක ඉබේම නැති වේවි. සමහරවිට එසේ නොවීම තිරයේ තිබේවි. එවිට එහි ඇත close බට්න් එක ඔබන්න.)

ඔබට තවත් ආකාරයකින් මෙම වින්ඩෝ එකෙන් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කළ හැකියි. එනම්, වම්පස ඇති කැටගරි ලිස්ට් එකෙන් All හෝ වෙනත් සුදුසු කැටගරි එකක් තෝරාගන්න. එවිට, දකුණුපස කොටසේ එම කැටගරි එකට අදාල සොෆ්ට්වෙයාර් ලිස්ට් එක පෙන්වාවි. ඉන් තමන්ට සුදුසු එකක් පෙර ලෙස තෝරාගෙන ඉන්ස්ටෝල් කරගන්න. තවද, සිනැප්ටික් එකේ විවිධ සෙටිංස්ද සෑදිය හැකිය.
ලිනක්ස් මින්ට් හි සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කළ හැකි දෙවැනි ආකාරය නම්, .deb යන එක්ස්ටෙන්ෂන් එකෙන් අවසන් වන ෆයිල් එකක් ඩබ්ල් ක්ලික් කිරීමයි (මෙය හරියට වින්ඩෝස්වල setup.exe ෆයිල් එකක් රන් කරනවා වැනිය). උදාහරණයක් ලෙස, මාගේ පරිගණකයේ ඇති ipscan_3.3.3_amd64.deb යන ෆයිල් එක මත ඩබ්ල් ක්ලික් කළ විට, පහත ආකාරයේ වින්ඩෝ එකක් මතු වෙනවා. මෙහිදී ඔබට මෙම ප්‍රෝග්‍රැම් එක පිළිබඳ කුඩා විස්තරයක් Description ටැබ් එක යටතේද, වර්ෂන් එක සයිස් එක ආදී තොරතුරු Details ටැබ් එක යටතේද, තවත් තොරතුරු වෙනත් ටැබ්වලින්ද දැන ගත හැකියි. සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කිරීමට Install Package යන්න ඔබන්න. එය ඉන්ස්ටෝල් වේවි.

සාමාන්‍යයෙන් සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් අන්ඉන්ස්ටෝල් අප්ඩේට් කිරීම් සියල්ල සිදු කරන්නේ සිනැප්ටික් ප්‍රෝග්‍රැම් එක මඟින්ය. තවද, එකවර සිනැප්ටික් ප්‍රෝග්‍රැම් දෙකක් ඕපන් කිරීමටද බැරිය. එවැනි අවස්ථාවක දැනටමත් තවත් සිනැප්ටික් එකක් රන් වෙනවා කියා ඔබට දන්වාවි. එහෙත් ඔබ මෙලෙස deb ෆයිල් එකක් ඕපන් කරන විට, සිනැප්ටික් එක නොව Gdebi හෙවත් Package Installer නම් වෙනත් ප්‍රෝග්‍රැම් එකක් තමයි රන් වන්නේ. එනිසා අවශ්‍ය නම් මෙම වින්ඩෝ එකත් සිනැප්ටික් වින්ඩෝ එකකුත් එකවර ඕපන් කර ගෙන සිටිය හැකියි. තවද, deb ෆයිල් කිහිපයක්ම වුවත් ඕපන් කරගෙන සිටිය හැකියි.
තවද, එලෙස යම් deb ෆයිල් එකක් ආශ්‍රයෙන් ප්‍රෝග්‍රැම් එකක් ඉන්ස්ටෝල් කළ පසු, නැවත එම ඩෙබ් ෆයිල් එකම ඕපන් කළ විට පෙනෙන්නේ පහත ආකාරයටයි. පහත දැක්වෙන්නේ මා දැනටමත් ඉන්ස්ටෝල් කරගෙන ඇති Viber.deb එක නැවත ඕපන් කළ විට පෙනෙන ආකාරයයි. එහි Remove Package යන්න එබූ විට, මෙම ප්‍රෝග්‍රැම් එක අන්ඉන්ස්ටෝල් වේ. Reinstall Package යන්න එබූ විට, දැනට ඉන්ස්ටෝල් වී තිබෙන එක අන්ඉන්ස්ටෝල් වී, ඒ සමගම එය නැවත ඉන්ස්ටෝල් කරයි. ඉන්ස්ටෝල් කර ඇති සොෆ්ට්වෙයාර්වල සමහරවිට දෝෂ මතු විය හැකියි. මෙවැනි අවස්ථාවල එය නැවත රීඉන්ස්ටෝල් කිරීමට සිදු වේ. ඩෙබ් ක්‍රමයේ ඇති අවාසියක් නම්, ඔබේ ඩිස්ට්‍රෝ එකට සියයට සියයක් ගැලපෙන්නේ නැති වීමට ඇති ඉඩකඩ වැඩීවීමයි. එනිසා සොෆ්ට්වෙයාර් ක්‍රෑෂ් වීමට හැකියි. මීට අමතරව, සොෆ්ට්වෙයාර් එකට අදාල සියලු ෆයිල් එකවරම (තනි ඩෙබ් ෆයිල් එක තුළ මේ සියල්ල අැත) ඩවුන්ලෝඩ් වන නිසා, වැඩිපුර ඩවුන්ලෝඩ් ඩේට් ප්‍රමාණයක්ද වැය වේ.

සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීමේ තවත් (තුන්වැනි) ක්‍රමයක් ඇත. එහිදී, ඔබට සොෆ්ට්වෙයාර් එක ලැබෙන්නේ ෆෝල්ඩර් එකක් ලෙසයි. එම ප්‍රධාන ෆෝල්ඩර් එක ඇතුලේ තවත් සබ්ෆෝල්ඩර් හා ෆයිල් තිබේ. සාමාන්‍යයෙන් විශාල සොෆ්ට්වෙයාර්වල ෆයිල් විශාල සංඛ්‍යාවක් අඩංගු බව ඔබ දන්නවා. එහෙත් සමහරවිට සොෆ්ට්වෙයාර් පවතින්නේ තනි ෆයිල් එකක් ලෙසයි (ඒවා කුඩා ප්‍රෝග්‍රැම් වේ). මෙවැනි විටක, එම තනි ෆයිල් එක ෆෝල්ඩර් එකක් තුළ හෝ ෆෝල්ඩර් කිසිවක් නොමැතිව නිකංම තිබේ. ඔබට කරන්නට තිබෙන්නේ මෙම තනි ෆයිල් එක හෝ මුලු ෆෝල්ඩර් එකම ඔබේ පරිගණකයේ සුදුසු තැනක සේව් (කොපි) කර ගැනීමයි. අමුතුවෙන් ඉන්ස්ටෝල් කිරීමට දෙයක් මෙහි නැත. එවිට, එම ෆෝල්ඩර් එක තුළ තිබෙනවා ඔබ රන් කළ යුතු ෆයිල් එක. එය ඩබ්ල් ක්ලික් කළ විට එම ප්‍රෝග්‍රැම් එක රන් වේ. කැමැති නම්, එම රන් කරන ෆයිල් එකට ෂෝට්කට් ඩෙස්ක්ටොප් එකේ හෝ ප්‍රධාන මෙනුවේ හෝ ඔබට අවශ්‍ය වෙනත් ඕනෑම තැනකට සාදා ගන්න. ඇත්තටම, ලිනක්ස්වල සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීමේ පැරණි හා ප්‍රචලිතම ක්‍රමය මෙයයි. ඉහත පෙන්වා දුන් ක්‍රම දෙක පැමිණියේ පසුකාලීනවයි. ඔබ දන්නවා සාමාන්‍යයෙන් වින්ඩෝස්වල නම්, සෙට්අප් ෆයිල් එකක් එනවා. එය රන් කර එම ප්‍රෝග්‍රැම් එක ඉන්ස්ටෝල් කළ යුතුයි. පසුකාලීනව ප්‍රෝග්‍රැම් පැමිණියා එසේ නොකර මේ දැන් කියූ ලෙස කෙලින්ම ෆෝල්ඩර් එක කොපි කර එය රන් කළ හැකි ලෙසට (මෙය වින්ඩෝස්වල portable software/application කියායි හැඳින්වූයේ). සාමාන්‍යයෙන් ලිනක්ස් සොෆ්ට්වෙයාර් අප ලබාගන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙනයි. ඉතිං මෙම ආකාරයෙන් තිබෙන සොෆ්ට්වෙයාර් තිබෙන්නේ කම්ප්‍රෙස් ෆෝමැට් එකකිනි (බොහෝ විට .tar.gz ෆෝමැට් එකෙන්). එවිට, ඔබ කළ යුත්තේ එම තනි ෆයිල් එක ඩවුන්ලෝඩ් කර, එය ඔබට අවශ්‍ය තැනකට එක්ස්ට්‍රැක්ට් කිරීමයි. ඉන්පසු පෙර සඳහන් කළ ලෙසම, එහි සාමාන්‍යයෙන් රන් කරන ෆයිල් එකට ෂෝට්කට් සාදාගන්න. හැබැයි මෙම ක්‍රමයට සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීමේදී එම ප්‍රෝග්‍රැම් එකට අදාල සියලු ෆයිල් ඩවුන්ලෝඩ් වේ. ඒ කියන්නේ ෂෙයාර්ඩ් ෆයිල්වල වාසිය ගත නොහැකියි (ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කළ යුතු දත්ත ප්‍රමාණය වැඩි වේ). මෙහිදීද ඔබේ ඩිස්ට්‍රෝ එකට සියයට සියයක් ගැලපෙන්නෙ නැති නිසා, වැඩිපුර ක්‍රෑෂ් වීමේ හැකියාව තිබීමද මෙහි ඇති තවත් අවාසියකි.
සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීමේ අමාරුම හා පැරණිතම (හා බොහෝවිට අනර්ඝතම) ක්‍රමය නම්, බයිනර් සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් නොකර, එහි සෝස් කොඩ් (source code) ඩවුන්ලෝඩ් කිරීමයි. ඉහත අවස්ථා තුනෙහිදීම සිදු වූයේ ෆයිල් සයිස් විශාල බයිනරි ෆයිල් ඩවුන්ලෝඩ් කිරීමයි. සෝස්කෝඩ් යනු ටෙක්ස්ට් ෆයිල් විශේෂයක් නිසා ඒවා කම්ප්‍රෙස් කළ හැකියි. එනිසාම ඉතා කුඩා සයිස් එකකින් ප්‍රෝග්‍රැම් එක ඩවුන්ලෝඩ් කරගත හැකියි. එමනිසා, ඉක්මනින්ම මෙන්ම අඩු බයිට් ගණනක් පමණක් වැය කරමින් ප්‍රෝග්‍රැම් ඩවුන්ලෝඩ් කළ හැකියි. එහෙත් මෙහි ඇති අවාසිය මෙයයි. සෝස්කෝඩ් එකවර රන් කරන්නට බැහැ. ඒවා බයිනරි (එක්සිකියුටබල්) ෆයිල් බවට පත් කරගත යුතුයි. සෝස්කෝඩ් එක්සිකියුටබල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට කියන්නේ compile කරනවා කියාය. එය සිදු කරන්නේ සුදුසු compiler නම් තවත් ප්‍රෝග්‍රැම් එකකින්. ලිනකස්හි හැමවිටම සුදුසු කම්පයිලර් තිබෙනවා. ඉතිං, ඔබට කරන්නට තිබෙන්නේ ඩවුන්ලෝඩ් කරගත් සෝස්කෝඩ් කම්පයිලර් එකක් ආශ්‍රයෙන් එක්සිකියුටබල් ෆයිල් බවට කම්පයිල් කිරීමයි. තවද, ඉහත කුඩා ෆයිල් සයිස් එකකින් ඩවුන්ලෝඩ් කරගත හැකි වීමට අමතරව, මෙහි ඇති වාසි බොහෝයි. එනම්, ඔබේ ඩිස්ට්‍රෝ එකට මෙන්ම ඔබේ පරිගණකයටද සියයට සියයක් ගැලපෙන ලෙසට ඔබට සොෆ්ට්වෙයාර් එකක් අවසානයේ ලැබේ (මොකද කම්පයිල් කිරීමේදී සෑදෙන්නේම ඔබේ පරිගණකයට හැම අතින්ම ගැලපෙන එකකි). තවද, සෝස්කෝඩ් ඔබට කියවා බැලිය හැකියි එහි දෝෂ හෝ වංචනික කමාන්ඩ් තිබේදැයි සොයමින් (මෙය කළ හැක්කේ ඔබට හොඳ ප්‍රෝග්‍රැමිං දැනුමක් තිබේ නම් පමණි). සමහරවිට, ඔබේ නම හා රූපය ආදී ඔබේ දේවල් මෙන්ම, ඔබට අවශ්‍ය සුදුසු වෙනස්කම්ද ප්‍රෝග්‍රැම් එකේ සෝස්කෝඩ් එකට ඇතුලු කළ හැකියි.
ඇත්තෙන්ම ඉහත කම්පයිල් ක්‍රියාවලිය පෙනෙන තරම් අමාරු නැත. එහෙත් මෙය සිදු කරන්නේ ටර්මිනල් එක ආශ්‍රයෙන්ය. මෙම ක්‍රමයෙන් සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන අයුරු දැන් බලමු. පෙරත් කී ලෙසම, මෙය සිදු කිරීමට නම්, කම්පයිලර් (හා ඊට අදාල තවත් ප්‍රෝග්‍රැම්) තිබිය යුතුය. කම්පයිලර් එකද විවිධ අය විසින් විවිධ නම්වලින් ඉදිරිපත් කර තිබේ. සාමාන්‍යයෙන් මින්ට් සමග එවැනි කම්පයිලර් එකක් ඉබේම ඉන්ස්ටෝල් වී ඇත. එය build-essential ලෙස හැඳින්වේ. එය ඉන්ස්ටෝල් වී ඇත්දැයි සිනැප්ටික් එකේ build-essential ලෙස සර්ච් බොක්ස් එකේ ටයිප් කර බලන්න (එය ඉන්ස්ටෝල් වී ඇත්නම්, නමට ඉදිරියෙන් කොලපාටින් එය දැක්වේ). එය දැනටමත් ඉන්ස්ටෝල් වී නැතිනම්, සිනැප්ටික් එකෙන්ම එය ඉන්ස්ටෝල් කරගන්න (එනම්, එම නමට ඉදිරියෙන් ඇති හිස් පෙට්ටිය මත ක්ලික් කර, Mark for installation යන්න තෝරා ඇප්ලයි කරන්න). සිනැප්ටික් එකට යන්නේ නැතිව එයම ටර්මිනල් එකෙන්ද සිදු කළ හැකියි. ඇත්තටම සිනැප්ටික් එකෙන් කරන විටද, පසුබිමින් සිදු වූයේ මෙම ටර්මිනල් එකෙන් එම දේ සිදුවීමයි. (මේ ගැන ඉහත කතා කළා මතකද X ගැන කතා කරනකොට?) මේ සඳහා sudo apt-get install build-essential ලෙස ප්‍රොම්ප්ට් එකේ ලියන්න. මෙහි sudo යෙදී ඇති බව බලන්න (සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීමට ඇඩ්මින් බලතල අවශ්‍ය කරන නිසා මෙය යෙදීමට අවශ්‍යයි). මේ ලෙසට ඔබට අවශ්‍ය ඕනෑම සොෆ්ට්වෙයාර් එකක් ඉන්ස්ටෝල් කරන්නට පුලුවන් ඉහත build-essential යන්න වෙනුවට අදාල ප්‍රෝග්‍රැම් එකේ නම යෙදීමෙන්. සමහරවිට, ඔබෙන් යම් යම් ප්‍රශ්නද ඇසීමට හැකියි (අමතර සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරන්නද කියා අසමින්). y අකුර (yes) යොදා එන්ටර් කර ඉදිරියට යන්න. දැන් සියලු යටිතල පහසුකම් සම්පූර්ණයි. සොෆ්ට්වෙයාර් එකක් කම්පයිලර් කර ඉන්ස්ටෝල් කරන අයුරු බලමු.
දැන් ඔබට කැමති සොෆ්ට්වෙයාර් එකේ සෝස්කෝඩ් එක ඩවුන්ලෝඩ් කරගන්න. සෑම අවස්ථාවකදීම මෙන්ම, මෙම අවස්ථාවෙත් එම සෝස්කෝඩ් පවතින්නේ තනි කම්ප්‍රෙස් ෆයිල් එකක් ලෙසයි (.tar.gz වැනි එක්ස්ටෙන්ෂන් එකක් ඇතුව). දැන් මෙම ෆයිල් එක ඔබට කැමැති ෆෝල්ඩර් එකකට එක්ස්ට්‍රැක්ට් කරගන්න (මෙය කරන හැටි පෙර කතා කළා). දැන් ටර්මිනල් එකෙන් cd කමාන්ඩ් එක යොදාගෙන එම එක්ස්ට්‍රැක්ට් කරපු ෆෝල්ඩර් එකට යන්න. උදාහරණයක් ලෙස, ඔබ abc.tar.gz යන ෆයිල් එක එක්ස්ට්‍රැක්ට් කළේ /home/tekcroach/abc යන ෆෝල්ඩර් එකට නම්, cd /home/tekcroach/abc යන්න ලියා එම සොෆ්ට්වෙයාර් එකේ සෝස්කෝඩ් අඩංගු ෆෝල්ඩර් එක තුළට යන්න. මෙයම ඔබට පහසුවෙන් සිදු කරගන්නට පුලුවන් ග්‍රැෆිකල් වින්ඩෝ එකේදී එම abc ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කර ඉන් Open in terminal යන්න තේරීමෙනුත්.
දැන් ඔබ ./configure යන කමාන්ඩ් එක එනටර් කරන්න. (ටර්මිනල් එකක cd .. යනුවෙන් ඇති විට, ඉන් කියන්නේ තමන් සිටින ෆෝල්ඩර් එකට එකක් උඩින් ඇති (parent) ෆෝල්ඩර් එකට යන ලෙසයි. උදාහරණයක් ලෙස, ඔබ දැන් සිටින්නේ /home/tekcroach යන ෆෝල්ඩර් එක තුළ නම්, cd .. යන්න රන් කළ විට, ඔබව /home ෆෝල්ඩර් එකට ගෙනයාවි. එ් කියන්නේ .. යන්නෙන් කියන්නේ තමන් දැන් සිටින ෆෝල්ඩර් එකට (current folder) වඩා එකක් උඩින් ඇති ෆෝල්ඩර් එක (parent folder) යනුයි. එලෙසම, තනි ඩොට් එකක් ඇති විට, ඉන් කියන්නේ තමන් දැන් සිටින ෆෝල්ඩර් එක යන්නයි. ඒ කියන්නේ . හා .. යනු ෆෝල්ඩර් හඳුන්වන විශේෂිත ක්‍රම දෙකක් බවයි. මෙම ./configure යන කමාන්ඩ් එක ඒ අනුව තේරුම් ගත හැකියි. මෙයින් කියන්නේ තමන් දැන් සිටින ෆෝල්ඩර් එකේ (.) තිබෙන configure යන කමාන්ඩ් එක රන් කරන ලෙසයි. නිකමට හරි එය ../configure යනුවෙන් තිබුණා නම්, ඒ කියන්නේ දැන් සිටින ෆෝල්ඩර් එකට එකක් උඩින් ඇති ෆෝල්ඩර් එකේ ඇති configure යන්නයි.) configure කමාන්ඩ් එකෙන් සිදු කරන්නේ ඔබ කම්පයිල් කරන්නට යන සොෆ්ට්වෙයාර් එක වැඩ කිරීමට අවශ්‍ය වෙනත් (අමතර) ප්‍රෝග්‍රැම් ඔබේ පරිගණකයේ තිබෙනවාද යන්න සොයා බැලීමයි. ඒවා සියල්ල තිබේ නම්, කිසිදු එරර් මැසේජ් එකක් නැතිව එය සාර්ථකව නිම වේවි. එය අසාර්ථක වුවොත්, කියාවි අහවල් අහවල් ප්‍රෝග්‍රැම් ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් කර නොමැති බව. ඉතිං එවිට ඔබට පුලුවන් එලෙස නැතැයි කියූ එක් එක් සෑම ප්‍රෝග්‍රැම් එකක්ම sudo apt-get install යන කමාන්ඩ් එක හෝ සිනැප්ටික් එක හෝ භාවිතා කර ඒවා ඉන්ස්ටෝල් කරගන්නට. මෙහිදී ඇත්තටම සිනැප්ටික් එක භාවිතා කරනවාට වඩා apt-get භාවිතා කරන එක පහසු බව ඔබට දැනේවි. එලෙස සියල්ලම ඉන්ස්ටෝල් කර, නැවත configure රන් කරන්න එය සාර්ථක වනතුරු.
දැන් make යන කමාන්ඩ එක රන් කරන්න. මෙය තමයි කම්පයිලර් එක. සියලු ෆයිල් හා අවශ්‍ය ආධාරක සොෆ්ට්වෙයාර් තිබෙන බැවින්, කම්පයිල් කිරීම බොහෝවිට සාර්ථකව සිදු වේ. මේ සඳහා ටික කාලයක් ගනීවි (ප්‍රෝග්‍රැම් එක විශාල නම්, එම කාලයද විශාල වනු ඇත). මෙය අවසානයේදී සෝස් කෝඩ්වලින් බයිනරි ෆයිල් සාදාගනියි. එහෙත් තවම එම සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් වී නොමැත. එය ඉන්ස්ටෝල් කිරීමට දැන් sudo make install යන කමාන්ඩ් එක රන් කරන්න. එවිට, එම ප්‍රෝග්‍රැම් එක සුදුසු ෆෝල්ඩර් එකක ඉන්ස්ටෝල් වනු ඇත.
උදාහරණයක් ආශ්‍රයෙන් ඉහත සම්පූර්ණ ක්‍රියාවලියම මා පහත දක්වනවා. gnupg යන ප්‍රෝග්‍රැම් එකයි උදාහරණයට ගෙන ඇත්තේ. build-essential දැනටමත් පරිගණකයේ ඉන්ස්ටෝල් කරගෙන ඇත. ඉන්පසු gnupg හි සෝස්කෝඩ් එකද ඩවුන්ලෝඩ් කර ඇත (gnupg-1.2.2.tar.gz). මෙම ෆයිල් එක මත ඩබ්ල් ක්ලික් කර (එනම්, Archive Manager මඟින් ඕපන් කර), එය /usr/share යන ෆෝල්ඩර් පාත් එකේ gnupg-1.2.2 යනුවෙන් අලුත් ෆෝල්ඩර් එකකට එක්ස්ට්‍රැක්ට් කරගන්නවා. ඔබ එය සිදු කරන විට, කළ නොහැකි බව පවසාවි. ඊට හේතුව එම ෆෝල්ඩර් එක තුළ අලුත් ෆයිල් සෑදීම, තිබෙන ෆයිල් මැකීම හෝ වෙනස් කිරීමට ආදියට ඇඩ්මින් බලතල අවශ්‍ය කෙරේ. මෙහිදී කළ හැකි ක්‍රියා මාර්ග දෙකක් ඇත. එකක් නම්, share ෆෝල්ඩර් එක ඇඩ්මින් බලතල සහිතව ඕපන් කිරීමයි. ඒ සඳහා /usr ෆෝල්ඩර් එකට ගොස් එහි ඇති share ෆෝල්ඩර් එක මත රයිට් ක්ලික් කර Open as Administrator තෝරන්න. දැන් නැවත පෙර ලෙස share ෆෝල්ඩර් එක තුලට gnupg-1.2.2 එක්ස්ට්‍රැක්ට් කළ විට, එය සිදු වේවි. දෙවන ක්‍රමය නම්, ඔබ දැනට සිටින එකවුන්ට් එකට අයිති යම් ෆෝල්ඩර් එකකට එය එක්ස්ට්‍රැක්ට් කිරීමයි. මා කරන්නට යන්නේ එයයි. මා දැනට සිටින එකවුන්ට් එකට අයිති ෆෝල්ඩර් තිබෙන්නේ හෝම් ෆෝල්ඩර් එක තුලයි. මාගේ හෝම් ෆෝල්ඩර් එක /home/tekcroach වේ. එනිසා, එතුළ gnupg-1.2.2 යන ෆෝල්ඩර් එකට එක්ස්ට්‍රැක්ට් කරනවා. දැන් එම ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කර, Open in terminal තෝරාගෙන ටර්මිනල් එකක් ඕපන් කර ගන්නවා. එහි ./configure යන්න රන් කරනවා. කිසිදු එරර් මැසේජ් එකක් නැතිව එය සාර්ථකව නිමා විය (පහත රූපය).

දැන් make රන් කරන්න. එවිට එයද ටික වේලාවක් ගෙන සාර්ථකව අවසන් කරයි. පසුව make install යන කමාන්ඩ් එක රන් කරන්න. එච්චරයි. ඔබට දැන් සෝස්කෝඩ් ෆෝල්ඩර් එක මකා දැමිය හැකියි.

සිනැප්ටික් හා ඩෙබ් ක්‍රමයෙන් ඉන්ස්ටෝල් කරපු සොෆ්ට්වෙයාර්වල නව සංස්කරණ (වර්ෂන්) පිට වන විට, එම නව වර්ෂන්වලට එම සොෆ්ට්වෙයාර් update කළ හැකියි. ඒ සඳහා කන්ට්‍රෝල් සෙන්ටර්හි Update Manager නම් ඇප්ලට් එක රන් කරන්න. (මේ සමගම මෙහි කුඩා අයිකන් එකක් සිස්ටම් ට්‍රේ එකටත් වැටේ. වැඩේ අවසන් කළ පසුත් එම අයිකනය පවතීවි. එය ඉවත් කිරීමට එය මත රයිට් ක්ලික් කර Quit තෝරන්න.) එවිට පහත ආකාරයේ රූපයක් ඒවි. මෙහිදී අලුත් වර්ෂන් ඇතිනම් එය ලිස්ට් එකක් ලෙස පෙන්වනවා. පහත රූපයේ නම්, මෙම ඇප්ලට් එක රන් කරන මොහොතේ ප්‍රෝග්‍රැම් පහක අලුත් සංස්කරණ තිබෙන බව හඳුනාගෙන ඇත. ඒවායේ නම, අලුත් වර්ෂන් අංකය, එහි සයිස් එක (එනම් ඩවුන්ලෝඩ් වන දත්ත ප්‍රමාණය) පෙන්වයි. ඔබ එම ලැයිස්තුවෙන් එකක් තේරූ විට, එම ප්‍රෝග්‍රැම් එකේ කුඩා විස්තරයක් පහළින් ඇත Description ටැබ් එකේ පෙන්වනවා. ඔබට මෙම ලැයිස්තුවෙන් ඔබට අප්ඩේට් කරන්නට අවශ්‍ය යැයි සිතෙන ඒවාවල ඉදිරියන් ඇති හරි සලකුණ තබා අනෙක් ඒවා ඉවත් කරන්න. ඔබට එකවරම සියලුම හරි ලකුණු ඉවත් කිරීමට අවශ්‍ය නම්, Clear බට්න් එක ඔබන්න. එකවර සියල්ල තෝරාගැනීමට නම්, Select All බට්න් එක ඔබන්න. Refresh යන්න එබූ විට, අලුත් සංස්කරණ තිබේදැයි නැවත අන්තර්ජාලයට සම්බන්ධ වී සොයනු ඇත. අවශ්‍ය අප්ඩේට් සිලෙක්ට් කරගෙන Install Updates යන්න ඔබන්න. එවිට ඒවා ඩවුන්ලෝඩ් වී අප්ඩේට් වේවි.

සමහර අප්ඩේට් ඇත්තටම අවශ්‍ය නැති ඒවාය. එවැනි විටක බොරුවට ඩේටා වැයකරමින් ඒවා ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය නැත. ඒවා ඔබට නැවත දර්ශනය නොකරන ලෙස උපදෙස් දිය හැකියි එවැන්නක් උඩ රයිට් ක්ලික් කර Ignore updates for this package යන්න තේරීමෙන්. ඔබට තවත් සෙටිං කිහිපයක් සැකසිය හැකියි මෙහි Edit → Preferences තුළින්. ඔබ අතීතයේ කළ අප්ඩේට්වල විස්තර බැලීමට View → History of updates යන්න තෝරන්න.
ඉහත ක්‍රමයෙන් කර්නලය අප්ඩේට් නොවේ. එය අප්ඩේට් කිරීම ඇත්තටම තරමක භයානක ක්‍රියාවක්. සමහරවිට මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන්ම අක්‍රිය වීමට හැකියි. එහෙමත් නැතිනම්, සමහර ක්‍රියාකාරිත්වයන් (සවුන්ඩ් හෝ නෙට්වර්ක් සම්බන්ධතාව ආදිය) නැති වී යෑමට පුලුවන්. ඔබ කරනා දේ දැනගෙන කරනවා නම්, ගැටලුවක් නැතිව එය සිදුකර ගත හැකියි. ඔබට කර්නලය අප්ඩේට් කිරීමට View → Linux kernels යන්න තෝරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් ඒවි.

මෙහි ඔබට පේනවා කර්නල් ලිස්ට් එකක්ම. දැනට ඔබේ පරිගණකයේ ඉන්ස්ටෝල් වී ඇති කර්නල් එකත් පෙන්වාවි ඒ අතරේ (Loaded යන තීරය යටතේ එහි හරි සලකුණක් තියෙනවා). ඔබේ පරිගණකයේ ඇත්තටම කර්නල් කිහිපයක් වුවද ඉන්ස්ටෝල් කර තිබිය හැකියි. එහෙත් ඉන් එකක් පමණයි ලෝඩ් (සක්‍රිය) වන්නේ. ඉන්ස්ටෝල් කර තිබෙන කර්නල් Installed තීරය යටතේ හරි සලකුණකින් පෙන්වනවා. සමහර ප්‍රධාන දෝෂ ඉවත් කිරීමටද අලුත් කර්නල් පිට කරනවා. එවැනි දෝෂ ඉවත් කරන වර්ෂන් එකක් නම් Fixes තීරය යටතේ ඒ බව සලකුණකින් පෙන්වනවා. එම දෝෂය කුමක්දැයි යට තිබෙන Fixes ටැබ් එකේ විස්තර කෙරෙනවා. ඔබට ඇත්තටම මෙහිදී කර්නලයක් අලුත්ම වර්ෂන් එකකට මෙන්ම පරණ වර්ෂන් එකකට වුවත් අප්ඩේට් කළ හැකියි. ඔබට අවශ්‍ය කර්නලය තෝරා Install බට්න් එක ක්ලික් කර ඉදිරියට යන්න. එච්චරයි.
සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කිරීමට සිනැප්ටික් එකට අමතරව තවත් ප්‍රෝග්‍රැම් එකක් ඇත. එය කන්ට්‍රෝල් සෙන්ටර්වල හා මෙනු එකේ Software Manager යනුවෙන් දිස් වේ. එය රන් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝ එකක් පැමිණේවි. මෙහිද සොෆ්ට්වෙයාර් කැටගරි (කාණ්ඩ) වලට ගොනු කර ඇත. එක් එක් කැටගරි එක යටතේ ඇති සොෆ්ට්වෙයාර්/පැකේජ ගණනද ඒ ඒ අයිකනය යටින් දැක්වේ. තමන් සොයන සොෆ්ට්වෙයාර් එක අයත් කැටගරිය අනුමාන කර අදාල අයිකනය මත ක්ලික් කරන්න. උදාහරණයක් ලෙස, ඔබ ඉන්ස්ටෝල් කිරීමට සොයන්නේ වෙබ් බ්‍රවුසර් එකක් නම් Internet යන අයිකනය මත ක්ලික් කරන්න. එවිට දර්ශනය වෙනස් වේවි. එම කැටගරි එකට අදාල සොෆ්ට්වෙයාර් ලිස්ට් එකක් දිස් වේ. ඔබට අවශ්‍ය නම්, සොෆ්ට්වෙයාර් එකේ නම (හෝ නමේ කොටසක්) සර්ච් බාර් එකේ ටයිප් කරන්නත් පුළුවන් (එවිට දිග ලිස්ට් එකක් බැලීමට සිදු වන්නේ නැහැ). මෙම ලිස්ට් එකෙන් තමන් කැමති සොෆ්ට්වෙයාර් එකක් මත ඩබ්ල් ක්ලික් කරන්න. එවිට තවත් දර්ශනයක් මතු වේවි. මෙහි එම සොෆ්ට්වෙයාර් එක ගැන විස්තරයක් දැක්වේ. එහි ෆයිල් සයිස්ද එකත් දැක්වේ. මෙම සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන අය මෙම සොෆ්ට්වෙයාර් එක ගැන දක්වන අදහස් (user review) එහි පෙන්වනවා. ඔබට එය ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍යයි නම්, Install බට්න් එක ඔබන්න. ඔබට ආපසුසට යන්න ඕන නම්, මෙනුබාර් එකට යටින් ඇති පාත් එක පෙන්වන බට්න් පෙලේ සුදුසු බට්න් එකක් මත ක්ලික් කරන්න.



8 comments:

  1. *** You need libgpg-error to build this program.
    ** This library is for example available at
    *** ftp://ftp.gnupg.org/gcrypt/libgpg-error
    *** (at least version 1.11 is required.)
    ***
    configure:
    ***
    *** You need libgcrypt to build this program.
    ** This library is for example available at
    *** ftp://ftp.gnupg.org/gcrypt/libgcrypt/
    *** (at least version 1.5.0 using API 1 is required.)
    ***
    configure:
    ***
    *** You need libassuan to build this program.
    *** This library is for example available at
    *** ftp://ftp.gnupg.org/gcrypt/libassuan/
    *** (at least version 2.0.0 (API 2) is required).
    ***
    configure:
    ***
    *** You need libksba to build this program.
    *** This library is for example available at
    *** ftp://ftp.gnupg.org/gcrypt/libksba/
    *** (at least version 1.0.7 using API 1 is required).
    ***
    configure:
    ***
    *** It is now required to build with support for the
    *** GNU Portable Threads Library (Pth). Please install this
    *** library first. The library is for example available at
    *** ftp://ftp.gnu.org/gnu/pth/
    *** On a Debian GNU/Linux system you can install it using
    *** apt-get install libpth-dev
    *** To build GnuPG for Windows you need to use the W32PTH
    *** package; available at:
    *** ftp://ftp.g10code.com/g10code/w32pth/
    ***
    configure:
    ***
    *** The zlib compression library is required.
    *** Please install a suitable development package
    *** (e.g. Debian package zlib1g-dev) or download
    *** it from http://zlib.net and build yourself.
    ***
    configure: error:
    ***
    *** Required libraries not found. Please consult the above messages
    *** and install them before running configure again.
    ***

    ihatha error msg eke link walata giyath ewa download karanne kohomada???

    ReplyDelete
    Replies
    1. *** You need libgpg-error to build this program.
      ** This library is for example available at
      *** ftp://ftp.gnupg.org/gcrypt/libgpg-error
      *** (at least version 1.11 is required.)
      ***
      menna mekedi 1.11 version eka one kiwwata site eke ema naminma link hatharak thiyanawa ganna one mokakda??? install karanne kohomada???

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. eke kiyanne version 1.11 ekama install karanna kiyala nemene. "aduma gaane" 1.11 install karanna kiyalai. ithin 1.11 ho eeta wadi version ekak install karaganna.

    ReplyDelete
  4. tks.. mama 1.20 download kara install karanne kohomada?? mama first time linux wala wada karanne.oyagen thama etika dana gaththe..thanks

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. GnuPG v2.0.29 has been configured as follows:

    Revision: 120fc69 (4623)
    Platform: GNU/Linux (x86_64-unknown-linux-gnu)

    OpenPGP: yes
    S/MIME: yes
    Agent: yes
    Smartcard: yes (without internal CCID driver)
    Gpgtar: no

    Protect tool: (default)
    Default agent: (default)
    Default pinentry: (default)
    Default scdaemon: (default)
    Default dirmngr: (default)

    Warning: Mismatches between the target platform and the
    to be used libraries have been detected for:
    libgpg-error libgcrypt
    Please check above for more warning messages.
    MAKE INSTALL DUNNATA INSTALL WENNA ERROR MSG EKAK ENAWA

    ReplyDelete
  7. mamath tika kalekata udadi aluth pgp eka install karanna baluwa... matath prashna awa wage mathakai... mekai... mint eke package manager eken pgp eka install kara ganna... eka weda karanawane (mama tika kalak eka use karala thiyenawa)... me error msg eken kiyana widiyata nam oya download karan thiyena eka oyage machine ekata galapenne naha. oya pgp use karanna yanawa nam, man mulin kiwwa wage package manager eken install karaganna.

    ReplyDelete