Friday, August 7, 2015

ලිනක්ස් ඉගෙන ගමු (Linux) - 1

අද පරිගණකය හෙවත් කොම්පියුටරය යනු කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා හොඳින් දන්නා හඳුනන උපකරණයක් බවට පත්ව ඇත. ඔබ අතේ තිබෙන නවීන (ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනත්) මොබයිල් ෆෝන් එක යනුද ඇත්ත වශයෙන්ම විශේෂිත පරිගණකයක් බව එවැනි මොබයිල් ෆෝන් භාවිතා කරන අය පවා බොහෝ විට නොදනී. ඇත්ත වශයෙන්ම පරිගණකය විවිධ ස්වරූපයන්ගෙන් අපේ ජීවිතවලට බද්ධ වී හමාරය ඉන් නැවත ගැලවී යා නොහැකි තරමටම. මා මෙම පොතින් කතා කරන්නට බලාපොරොත්තු වන්නේ ඔබ අද ඍජුවම පරිගණකයක් කියා හඳුනාගන්නා සාමාන්‍ය පරිගණක ගැන පමණි. සෑම පරිගණකයක්ම ක්‍රියාත්මක කිරීම සඳහා "ඔපරේටිං සිස්ටම්" (operating system) එකක් හෙවත් මෙහෙයුම් පද්ධතියක් අත්‍යවශ්‍ය වේ. විවිධාකාරයේ ඔපරේටිං සිස්ටම් ඇති අතර, ඉන් "ලිනක්ස් මින්ට්" යන මෙහෙයුම් පද්ධතිය ගැන මෙම පොතින් කියා දීමට උත්සහ කෙරේ.
පරිගණක ගැන විවිධ අයට දැනුම පවතින්නේ විවිධ මට්ටම්වලින් බැවින් මූලික කරුණු කිහිපයක් ගැන පළමුව සලකා බලමු. පරිගණකයක් යනු කුමක්ද? කෙටියෙන්ම කියතොත් එය ටීවී එක, කාර් එක, ෆ්‍රිජ් එක වැනිම තවත් උපකරණයකි; විදුලි උපකරණයකි (වඩාත්ම නිවැරදිවම කියතොත් ඉලෙක්ට්‍රොනික්ස් උපකරණයකි). එක් එක් උපකරණයට සුවිශේෂි වූ කාර්ය භාරයක් ඇත. වෙනත් බොහෝ උපකරණ මෙන් නොව පරිගණකය සුවිශේෂි වන්නේ මෙන්න මෙම කාර්ය භාරය නිසාය. එය ඇත්තටම බහු-කාර්ය (multi-purpose) වේ. සිංදු ඇසීම, වීඩියෝ බැලීම, ටීවි රේඩියෝ බැලීම/ඇසීම, ෆැක්ස් යැවීම/ලැබීම, ලිපිලේඛන සැකසීම, මියුසික් වැඩ කිරීම, සන්නිවේදන කටයුතු කිරීම, චිත්‍ර ඇඳීම, විශාල යන්ත්‍රසූත්‍ර ක්‍රියා කරවීම, කැල්ක්‍යුලේටර් මෙන් ගණන් සෑදීම ආදී දහසකුත් දේවල් පරිගණකයකින් කරගත හැකිය. පරිගණකයක් මේ සියලු දේ කිරීමට තරම් දක්ෂ වන්නේ එම උපකරණය මගින් කුමන රාජකාරියක් කරන්නේද යන්න පරිගණකයට කියා දීමට අපට පුළුවන් නිසාය. ඒකට තමයි විවිධාකාරයේ ප්‍රෝග්‍රෑම්ස් තිබෙන්නේ. ඒ අනුව අතින් ඇල්ලිය දැකිය හැකි මවුස් එක, කීබෝඩ් එක, හාඩ් ඩිස්ක් එක, මොනිටර්, ප්‍රින්ටර් වැනි පරිගණක කොටස් දෘඩාංග (hardware) ලෙසද, එසේ ස්පර්ශ කළ නොහැකි පරිගණයට අත්‍යවශ්‍ය අනෙක් ප්‍රධාන කොටස මෘදුකාංග (software) ලෙසද හැඳින්වෙන අතර, හාඩ්වෙයාර් හා සොෆ්ට්වෙයාර් සාදන අය, පරිගණක භාවිතා කරන අය සියල්ලම පොදුවේ ජීවාංග (liveware හෝ humanware) ලෙසද හැඳින් වෙනවා. පරිගණකයකින් වැඩක් ගැනීමට ඉහත තුන් කට්ටුවම සිටීම අත්‍යවශ්‍ය වෙනවා. එම කොටස් තුන මැනවින් පරිපාලනය කිරීමට තමයි මෙහෙයුම් පද්ධතිය නම් මෘදුකාංගය පවතින්නේ. එනිසා තමයි මෙහෙයුම් පද්ධතියක් නැතිව පරිගණකයක් ක්‍රියාත්මක කළ නොහැක්කේ. (මෙවැනි මූලික දැනුමක් හෙවත් මූලික පරිගණක සාක්ෂරතාව ඔබ සතුව නැතිනම් පළමුව සුදුසු පොත් කියවා එය ඇති කර ගන්න.)
ඇත්තටම සොෆ්ට්වෙයාර් ගැන තවත් කරුණු කිහිපයක් සලකා බලමු. බොහෝ අය සොෆ්ට්වෙයාර් යන්න නිවැරදි අර්ථයෙන්ම තේරුම් ගෙන නැත. සොෆ්ට්වෙයාර් කිසිම විටක ඇල්ලිය හෝ දැකිය නොහැකියි. එහෙත් ඒවායේ ක්‍රියාකාරිත්වයක් පවතී. හරියට ඔබ කතාකරන වචන වගේ; ඔබේ සිතුවිලි වගේ. සීඩීවල, හාඩ්ඩිස්ක්වල, පෙන්ඩ්‍රයිව්වල, මෙමරිකාඩ්වල ගබඩා වී පවතින්නේ සොෆ්ට්වෙයාර් වේ. සීඩී එක හෝ මෙමරිකාඩ් එක හෝ දැකිය හැකි වුවත් එහි ගබඩා වී ඇති සොෆ්ට්වෙයාර් ඔබට පෙනෙන්නේ නැහැ නේද? මෙම සොෆ්ට්වෙයාර් හැමවිටම ප්‍රෝග්‍රෑම්ස්ම නොවේ. ඔබ කියවන අකුරු, අසන mp3 සිංදු, බලන චිත්‍රපට, පරිගණක තිරයේ දකින රූප ආදී මේ සියල්ලත් වැටෙන්නේ සොෆ්ට්වෙයාර් ගොඩටම තමයි. ඩේටා (දත්ත) යනු පරිගණකයට ඇතුළු කරන දේවල්ය. කීබෝඩ්, ස්කැනර්, කැමරා, මයික්, මවුසය ආදී උපාංගවලින් ඇතුළු කරන ඩේටාද අවසනායේ සොෆ්ට්වෙයාර් වේ. එම ඇතුළු කරපු දත්ත මත විවිධ වෙනසක්කම් කර හෝ නොකර ඒවා මොනිටරය මත දිස්වන විට හෝ ප්‍රින්ටර් එකකින් ප්‍රින්ට් අවුට් ගන්නා විට හෝ ස්පීකර්වලින් ශබ්ද ලෙස පිටවන විට ඒවා ඉන්ෆොමේෂන් (තොරතුරු) ලෙස හැඳින්වෙන අතර, එම ඉන්ෆොමේෂන්ද සොෆ්ට්වෙයාර් වේ. සොෆ්ට්වෙයාර් ප්‍රධාන වශයෙන් දෙයාකාරයකින් පවතී. ඉන් ඉකක් නම් පරිගණක වැඩසටහන් හෙවත් ප්‍රෝග්‍රෑම්ස් (programs) වේ. ප්‍රෝග්‍රෑම්ස් ක්‍රියාත්මක වන්නේ ඩේටා හා ඉන්ෆොමේෂන් මතය (ඩේටා හා ඉන්ෆොමේෂන් යන දෙකටම අප පොදුවේ ඩේටා යන වචනය යොදා ගන්නා බවද සිහිතබා ගන්න). උදාහරණයක් ලෙස, ඔබ අසන mp3 සිංදුව ඩේටා වේ. එම සිංදුව ප්ලේ කරන VLC හෝ එවැනි ප්ලේයර් එක ප්‍රෝග්‍රෑම් එක වේ. පරිගණකයෙන් ඔබ සැකසූ ලිපිය ඩේටා වේ. එම ලිපිය සකස් කරන්නට යොදාගත්තේ MS Word නම් ප්‍රෝග්‍රෑම් එකයි.
මේ අතර පරිගණකයක තිබිය යුතු අත්‍යවශ්‍යම ප්‍රෝග්‍රෑම් එක නම් මෙහෙයුම් පද්ධතියයි. පරිගණකයක විවිධාකාරයේ හාඩ්වෙයාර් සම්බන්ධව පවතී. කැමති නම් තව තවත් අළුත් හාඩ්වෙයාර් සම්බන්ධ කළද හැකිය. ඒ සියළුම හාඩ්වෙයාර් පරිපාලනය කරන්නේ මෙම ඔපරේටින් සිස්ටම් එකින්ය. ඔබ පරිගණකයට යම් උපාංගයක් සවිකළ පලියට ඉන් වැඩක් ගත නොහැකිය. ඔබ යම් උපාංගයක් පරිගණකයේ නිසි ලෙස සවි කර එයින් වැඩගත හැකි ලෙස සකස් කිරීමට කියන්නේ උපාංගයක් ඉන්ටෝල් (install) කරනවා කියාය. එය ඔබේ ඔපරේටින් සිස්ටම් එක විසින් හඳුනාගත යුතුය. එලෙසම, ඔබට විවිධාකාරයේ පරිගණක වැඩසටහන් හෙවත් ප්‍රෝග්‍රෑම්ස් පරිගණකයට දා ගත හැකියි (මෙයද install හෝ setup ලෙස හැඳින් වෙනවා). මෙවැනි වැඩසටහන් පරිපාලනය කරන්නේද මෙහෙයුම් පද්ධතියෙනි. තවද, යම් පරිගණකයක් කිහිප දෙනෙකුටද (user) භාවිතා කරන්නට පුළුවන්. එවිට විවිධ යූසර්ස්ලා පරිපාලනය කිරීමද මෙහෙයුම් පද්ධතියට අයිති වැඩකි. ඇත්තටම පරිගණකයේ ප්‍රයෝජනවත්බව රැඳී පවතින්නේ මෙහෙයුම් පද්ධතිය මතය. යම් පරිගණකය ඉන්ටෝල් කර ඇති මෙහෙයුම් පද්ධතිය ප්ලැට්ෆෝම් (platform) එක නමින්ද හැඳින් වෙනවා. ඒ අනුව වින්ඩෝස් ප්ලැට්ෆෝම්, ලිනක්ස් ප්ලැට්ෆෝම්, ඇන්ඩ්‍රොයිඩ් ප්ලැට්ෆෝම් ආදී වචන ඔබට නිතර අසන්නට ලැබේවි.
අද වන විට පරිගණක මෙහෙයුම් පද්ධති දුසිම් ගණනක් ඇත (සමහරවිට සිය ගණනක් වුවද පැවතිය හැකියි). මේ අතර ලෝකය පුරාම ප්‍රචලිත මෙහෙයුම් පද්ධති තිබෙන්නේ තුන හතරක් පමණය. බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් නම් ආයතනයෙන් ලබාදෙන වින්ඩෝස් (Windows) මෙහෙයුම් පද්ධති ලංකාවේ ඉතාම ජනප්‍රියයි. ඩොස්, Windows 3.5, Windows 95 (1995 දී හඳුන්වා දුන් නිසා), Windows 98, Windows NT, Windows Server, Windows 2000, Windows ME, Windows XP, Windows Vista, Windows 7, Windows 8, Windows 9 ආදී ලෙස දශක දෙකක් මුළුල්ලේ ඔවුන් විවිධ මෙහෙයුම් පද්ධති හඳුන්වා දී ඇත (පොදුවේ මේ සියල්ලම වින්ඩෝස් ප්ලැට්ෆෝම් එක ලෙස හඳුන්වමු). මේවා එකක්වත් නොමිලේ නොව අතිවිශාල මුදලකටයි ලබා දෙන්නේ. උදාහරණක් ලෙස, රුපියල් 20,000 හෝ ඊටත් ඉහළ මිලකටයි මේවා ලබාගත හැක්කේ. මේ අතර, ඇපල් නම් පරිගණක ආයතනය විසින් විකුණන ඇපල් පරිගණක සමග එම පරිගණකවලටම පමණක් ක්‍රියාත්මක වන මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කළේය. තවත් පැත්තකින් (විශේෂයෙන් විශ්වවිද්‍යාල, විද්‍යාගාර, හා උගතුන් විසින්) සුවිශේෂී මෙහෙයුම් පද්ධතියක් ඉදිරිපත් කර දියුණු වුණා Unix නමින්. ඇත්තටම මෙම මෙහෙයුම් පද්ධතියම විවිධ ආයතන විසින් සුළු සුළු වෙනස්කම් පමණක් සිදු කර විවිධ නම්වලින්ද ඉදිරිපත් කළා. මුලදී නොමිලේ ලබා දුන්නත් පසුකාලීනව යුනික්ස් ලබාගැනීමට මුදල් ගෙවීමට සිදු වූවා. මෙම යුනික්ස් පද්ධතිවල විශේෂත්වය වූයේ ඒවා අරමුණු වූයේ පරිගණක පිළිබඳ විශාල දැනුමක් තිබෙන අයගේ භාවිතය සඳහාය. බොහෝ විට ඒවා ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ රූපමය ආකාරයට නොවේ. මවුසය වෙනුවට සෑම දේකටම කීබෝඩ් එකේ ලිවීම මගින් අවශ්‍ය දේවල් කිරීමට සිදු වූවා. එනිසා, එවැනි මෙහෙයුම් පද්ධති භාවිතා කිරීමට "කමාන්ඩ්ස්" විශාල ගණනක් මතක තබාගැනීමට සිදු වූවා. එනිසා සාමාන්‍ය අයට මෙම පද්ධති භාවිතා කරන්නට අපහසු වූවා. (මොකද සාමාන්‍ය අය කැමතියි ලස්සන රූප තිබෙනවාට, "විච්චූරණ" වැඩවලට. ඒකනේ බොහෝ අය තමන්ගේ කොම්පියුටරයේ හෝ ෆෝන් එකේ තිරයේ ලස්සන රූප සහිත වෝල්පේපර් දමන්නෙත්.) මේ අතර මයික්‍රොසොෆ්ට් මෙහෙයුම් පද්ධති අරමුණු කළේ සාමාන්‍ය අයයි. පහසුවෙන් හා සිත්ගන්නාසුළු විධියට ඒවා එමනිසා නිපදවා තිබ්බා. ඇත්තටම මයික්‍රොසොෆ්ට් ආයතනයෙන් එවැනි සිත්ගන්නාසුළු නොවන මෙහෙයුම් පද්ධතිත් නිපදවූවා යුනික්ස්වලට ආදේශකයක් ලෙස. (සාමාන්‍ය අය ලස්සනට මුල්තැන දුන්නද ආයතනවල විශේෂිත රාජකාරි සඳහා ලස්සන නොව වේගවත් හා විශ්වාසනීය ක්‍රියාකාරිත්වයයි සොයා බලන්නේ.) මේ හේතු නිසා සාමාන්‍ය ජනතාව ඉබේම වින්ඩෝස් වෙත තල්ලු වූවා.
මේ අතර, එක් කඩඉමක් වන්නේ එකල ෆින්ලන්තයේ හෙල්සින්කි සරසවියේ ඉගෙනුම ලබමින් සිටි ලිනස් ටෝර්වල්ඩ්ස් නම් ශිෂ්‍යා යුනික්ස් පදනම් කරගනිමින් නවතම මෙහෙයුම් පද්ධතියක් සෑදීමයි. එය ඔහුගේ නමට ළඟින් යන සේ ලිනක්ස් (Linux) යන නමින් හැඳින් වූවා. ඒ විතරක් නොවේ, ඔහු එම මෙහෙයුම් පද්ධතිය ලියූ කෝඩිං (coding) (ඒ කියන්නේ යම් පරිගණක වැඩසටහනක සැකැස්ම) නොමිලේ බෙදා හැරියා. එවිට, ලොවපුරා පැතිරී සිටි ලක්ෂ සංඛ්‍යාත පරිගණක ප්‍රොග්‍රැමර්ස්ලා එම මෙහෙයුම් පද්ධතියට තව තව අළුත් දේවල් එකතු කර එම මෙහෙයුම් පද්ධතිය ඉතා කාර්යක්ෂම හා බලසම්පන්න කළා. එය කොතරම් දුරදිග ගියාද කියතොත් මේ වන විට ලොව හොඳම මෙහෙයුම් පද්ධතිය බවට එය පත් වී හමාරය. මෙහි විශේෂත්වය එය විතරක් නොවේ. කිසිදු ලාභ ප්‍රයෝජනයක් නොගෙනයි ලිනස් හා සෙසු අය එය ගොඩ නැඟුවේ. එනිසා අදටත් ඉදිරියටත් ලිනක්ස් මෙහෙයුම් පද්ධිතිය ඔබට ලැබෙන්නේ ශත පහක්වත් අය නොකරයි. ඒ විතරක්ද නොවේ, මූලික ලිනක්ස් එකට කුඩා වෙනස්කම් කර (හෝ නොකරම) බොහෝ කණ්ඩායම් විවිධ නම්වලින් (හරියට යුනික්ස් එකට වුණා වගේ) මෙම ලිනක්ස් ඉදිරිපත් කරනවා. උදාහරණ ලෙස, fedora, mint, ubuntu, kubuntu, Android ආදී ලෙස මේවා අද දැකිය හැකියි. මේ අතරින් මා මෙම පොතෙන් කියා දෙන්නේ Mint Linux ගැනයි. ඇත්තටම ඔබ ඕනෑම ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් ඉගෙන ගතහොත් ඉබේම අනෙක් ඒවාද ඉගෙන ගැනෙනවා.
දැන් ප්‍රශ්නය වන්නේ ඇයි ඔබ ලිනක්ස් භාවිතා කළ යුත්තේ කියායි. වින්ඩෝස් හොඳ මදිද? ලිනක්ස්වලට යෑමේ ඇති වාසි අවාසි මොනවාද? ඇත්තටම වින්ඩෝස් නරක නැත. එහෙත් එය මිල අධිකයි. මුලිනුත් පෙන්වා දුන්නා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් රුපියල් විසිදහස ඉක්මවා යන බව. ඔබ සතුව ඇති පරිගණකයට නීත්‍යානුකූලව වින්ඩෝස් දමනවා නම් එතරම් ගණනක් වැය කරන්නට සිදු වෙනවා. බොහෝ අය ලැප්ටොප් මිලදී ගන්නා විට මෙම තත්වයට නොදැනුවත්වම මුහුණ දෙනවා. ඒ කියන්නේ ඔබ මිලදී ගන්නා ලැප්ටොප් එක සමග වින්ඩෝස් එනවා නම් ඒ කියන්නේ ඔබ ඇත්තටම වින්ඩෝස් සඳහාත් රුපියල් විසිදහක් පමණ ගෙවා ඇති බවයි. ලැප්ටොප් එක මිල අධික වීමට එක් හේතුවක් එය. ඔබට පුළුවන් වින්ඩෝස් දමා නැති ලැප්ටොප් එකක් මිලදී ගන්න; එවිට ඔබට එම මුදල ඉතිරි වේවි. පසුව ඔබට කැමති මෙහෙයුම් පද්ධතියක් දමාගන්න. (එහෙත් මතක තබා ගන්න යම් ලැප්ටොප් එකක වින්ඩෝස් දැනටමත් දමා අැත්නම් ඔබට බැහැ එය ඉවත් කර මෙහෙයුම් පද්ධතිය නැතිව දෙන්න කියන්න. ඔබට කරන්නට තිබෙන්නේ එම ලැප්ටොප් එක වෙනුවට දැනටමත් වින්ඩෝස් දමා නැති වෙනත් ලැප්ටොප් එකක් මිලදී ගැනීමයි. ඇත්තටම එලෙස සිදු කරන්න. ෂෝරූම් එකේ අය කියන දේවලට රැවටෙන්න එපා. ඔවුන් අතිදක්ෂයි මිනිසුන් රවටා කෙසේ හෝ ඔවුන් ළඟ තිබෙන දේවල් විකිණීමට.) ඔබ සතුව පරිගණක දෙකක් ඇත්නම් එම ගණන දෙගුණ වෙනවා. ඔව් ඒ කියන්නේ සෑම පරිගණකයක් සඳහාම වෙන වෙනම සල්ලි ගෙවන්නට සිදු වෙනවා. ආයතනයකට මෙය විශාල වියදමක්. උදාහරණක් ලෙස යම් ආයතනයක පරිගණක සියයක් ඇත්නම්, විසිදාහේ ඒවා සියයක් ගෙවීමට සිදු වෙනවා. ලිනක්ස් භාවිතා කළේ නම් එම විශාල පිරිවැය ඉතිරි වෙනවා. බලන්න අපේ රටේ ආණ්ඩුවට කෝටි කී ගණනක් ඉතිරි කළ හැකිද වින්ඩෝස් වෙනුවට ලිනක්ස්වලට මාරු වීමෙන් මොකද රජයේ ආයතන සියල්ලේම අැති පරිගණක එකතු කළොත් එය අතිවිශාල සංඛ්‍යාවක්. (එහෙත් එය කෙරෙන බවක්ද පෙනෙන්නේ නැත. දේශපාළුවන්ට රටේ සල්ලි කාබාසිනියාවීම දැනෙන්නේ නැත.) එහෙත් ඔබට වියදම එතරම් දැනෙන කාරණයක් නොවී ඇත්තේ ලංකාවේ වින්ඩෝස් දමා ඇති සියලුම අය එය නීතිවිරෝධිව කර ඇති නිසාය. එනම් ඔබගේ පරිගණකයකට දමා ඇති වින්ඩෝස් එකට ඔබ මුදල් ගෙවා නැත. එවැනි නීති විරෝධි ප්‍රෝග්‍රෑම්වලට අප පයිරේටඩ් කොපි (pirated copy) කියා කියනවා. අපේ රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන තාක්කල් එම නීතිවිරෝධි කටයුත්ත සිදු වේවි. එහෙත් ඔබගේ පරිගණකය නිකමට හෝ එවැනි හොර සොෆ්ට්වෙයාර් සමග හසුවුවහොත් සමහරවිට ලක්ෂ ගණනක දඩයකට වුවද ලක්විය හැකි බව සිහිතබාගන්න. එහෙත් මේ කිසිම වැරද්දක් හෝ අපහසුතාවක් ඇති වන්නේ නැහැ ඔබ ලිනක්ස්වලට මාරු වූවා නම්.
ලිනක්ස්වල තවත් ප්‍රධාන වාසියක් නම් මෙහෙයුම් පද්ධතිය පමණක් නොවේ ඔබට නොමිලේ ලැබෙන්නේ, ඔබේ වැඩකටයුතු සඳහා අවශ්‍ය වෙනත් සොෆ්ට්වෙයාර්ද ලැබෙන්නේ නොමිලේය. එම සොෆ්ට්වෙයාර්ද ලිනක්ස් මෙන්ම ඉතා අනර්ඝතම මට්ටමේ ඒවාය. ඔබ දන්නවා ඇති ප්‍රෝග්‍රෑම්ස් සාදන්නේ එක් නිශ්චිත ප්ලැට්ෆෝම් එකකට පමණක් ක්‍රියාත්මක වෙන ආකාරයටයි. ඒ කියන්නේ වින්ඩෝස්වල ක්‍රියාත්මක වීමට සාදපු ප්‍රෝග්‍රෑම් එකක් ලිනක්ස් හෝ වෙනත් මෙහෙයුම් පද්ධතියක් මත ක්‍රියාත්මක නොවේ. එලෙසම, ලිනක්ස් මත ක්‍රියාත්මක වීමට සෑදූ ප්‍රෝග්‍රෑම් වින්ඩෝස් මත ක්‍රියාත්මක නොවේ. වින්ඩෝස් මත ක්‍රියාත්මකවීමට සෑදූ සොෆ්ට්වෙයාර් විශාල සංඛ්‍යාවක් ඇති නමුත් ඒවා සියල්ලම පාහේ මුදල් ගෙවා ලබාගත යුතු ඒවාය. උදාහරණක් ලෙස, ඔබ නිතර භාවිතා කරන මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය ලබා ගැනීමට 20,000ක පමණ මුදලක් ගෙවීමට සිදු වේවි. ඔබ භාවිතා කරන ෆොටෝෂොප් මෘදුකාංගය සඳහා 60,000ක පමණ මුදලක් ගෙවීමට සිදු වේ. ඔටෝකැඩ් සඳහා 80,000ක් පමණ ගෙවීමට සිදු වේ. එහෙත් ලිනක්ස් සඳහා ඇති සොෆ්ට්වෙයාර් ඔබට ලින්ක්ස් මෙන්ම නොමිලේම ලැබේ. උදාහරණක් ලෙස, GIMP නම් ලිනක්ස් සොෆ්ට්වෙයාර් එක ෆොටෝෂොප් වෙනුවට භාවිතා කළ හැකි නොමිලේ ලැබෙන එකකි. ඔබ වින්ඩෝස්හි යම් යම් වැඩකටයුතු කරගැනීමට යම් යම් සොෆ්ට්වෙයාර් භාවිතා කළේද, ලිනක්ස්වලද එම කටයුතුම එලෙසම හෝ ඊටත් වඩා හොඳින් කරගැනීමට හැකි සොෆ්ට්වෙයාර් නොමිලේම ලැබේ. නිකමට සිතන්න ඔබට අවශ්‍යකරන සොෆ්ට්වෙයාර් සල්ලි දීලා ගන්න ගියොත් ඔබට ලක්ෂ කිහිපයක්ම වියදම් කරන්නට සිදු වෙනවා වින්ඩෝස් ප්ලැට්ෆෝම් එක සඳහා.
සමහර දෙනා (ටික කලකට පෙර මාද ඇතුළුව) ලිනක්ස් ගැන අදද කල්පනා කරන්නේ දැනට වසර හත අටකට පෙර ලිනක්ස් තිබූ මට්ටම අනුවයි. එකල ලිනක්ස් එතරම් ලස්සන වුණේ නැහැ. වැඩ කිරීමට පහසු වූයේ නැහැ. බොහෝ කරුණු ඉගෙන ගැනීමට හා මතක තබා ගැනීමට සිදු වුණා. වින්ඩෝස්වලට මෙන් අපට අවශ්‍ය කරන තරමේ ප්‍රමාණයක පරිගණක වැඩසටහන් තිබුණෙත් නැහැ ලිනක්ස් ප්ලැට්ෆෝම් එකට. (එහෙත් එකලද යුනික්ස්/ලිනක්ස් යනු ලොව ඉතා ජවසම්පන්නම මෙහෙයුම් පද්ධතියයි.) ඔව්, එදා ලිනක්ස් එහෙම වුණාට අද ලිනක්ස් ඉතාමත්ම ඉදිරියෙන් සිටින්නේ ඉහත කියූ සෑම අංශයකින්ම. එනම්, අද ලිනක්ස් සෑම අතින්ම වින්ඩෝස් අභිබවා ගොස් ඇත. විශේෂඥයාගේ සිට පරිගණකයක් හසුරුවන සාමාන්‍ය ළමයා දක්වා වැඩකළ හැකි මෙහෙයුම් පද්ධතියක් බවට එය පත්ව ඇත. (උදාහරණක් ලෙස, මාගේ සහෝදරයාගේ වයස 13ක පුතා පවා දැන් භාවිතා කරන්නේ ලිනක්ස්ය.) මෙම හැකියාව වින්ඩෝස්වලට නැත. ඔබ භාවිතා කරන වින්ඩෝස් අදටත් ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියක් (desktop operating system) පමණි. (ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියක් යනු පහසුවෙන් වැඩ කිරීමට හැකි ලෙස, අලංකාරයට මුල්තැන දෙමින්, වැඩිපුර රූපමය ආකාරයට වැඩකටයුතු කළ හැකි ලෙස (එනම් කීබෝඩයට වඩා වැඩිපුර මවුසයට මුල්තැන දෙමින්) පරිගණක තාක්ෂණය ගැන එතරම් දැනුමක් නැති අය හා එතරම් බුද්ධියක් නැති අයටත් පහසුවෙන් භාවිතා කළ හැකි ලෙස සැකසූ මෙහෙයුම් පද්ධතියකට කියන පොදු නමකි.) බලගතු වැඩ සිදු කිරීමට වෙනත් වින්ඩෝස් මෙහෙයුම් පද්ධති (Windows Server, Windows Advanced Sever වැනි) වෙනම ඉතා අධික මුදලකට මිලදී ගත යුතු වෙනවා. එහෙත් ලිනක්ස් එසේ නොවේ. ලිනක්ස් එදත් අදත් (හෙටත්) බලගතු මෙහෙයම් පද්ධතියකි. ඒ සමගම දැන් එයට ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියකට අවශ්‍ය කරන ලක්ෂණද ඇතුළු කර ඇත. එනිසයි එකම ලිනක්ස් පද්ධතිය කුඩා ළමයාගේ අවශ්‍යතාවේ සිට විශේෂඥ අවශ්‍යතා දක්වාම එක ලෙස භාවිතා කළ හැක්කේ. එය ලින්ක්ස්වලටම සුවිශේෂි ගති ගුණයකි.
ලිනක්ස්වල අවාසි ඇත්තටම නැතිද? වර්ථමානයේ තත්වය සලකා බලන විට, ඇත්තටම නැහැ. ඉදිරියේදී තව තවත් එහි තත්වය දියුණුවන බව පේනවා. බොහෝ අය පරිගණකයක් අල්ලපු පළමු දවසේ සිට බොහෝවිට දැක ඇත්තේ වින්ඩෝස් විය හැකියි. ඊට පුරුදු වූ කෙනෙකුට ලිනක්ස්වලට මාරු වීමේදී සුළු අපහසුවක් ඇති විය හැකිය. එහෙත් එය ලිනක්ස්වලට සුවිශේෂි ප්‍රශ්නයක් නොව ජීවිතයේ පොදු ධර්මතාවක්. තමන් පුරුදු දෙයින් තවත් දේකට මාරුවන විට එය දැනීම සාමාන්‍යයි. එහෙත් සුමනායක් දෙකක් පමණ යන විට (ජීවිතයේ අනෙක් සෑම අවස්ථාවකදීම වගේ) ලිනක්ස්වලට ඔබ හුරු වේවි. සල්ලි ගෙවා වින්ඩෝස්වල හිරවී සිටිනවාද, නැතිනම් හොර සොෆ්ට්වෙයාර් භාවිතා කරමින් සල්ලි නොගෙවා සදාචාර විරෝධිව වින්ඩෝස්වල නිකරුණේ හිරවී සිටිනවාද කියා තමන්ම සිතා බැලුවොත් ඔබට ඇති එකම ලිනක්ස් වේ. එය එකම විකල්පය පමණක් නොව, පරිගණකයක් සඳහා පවතින හොඳම විසඳුමත් වේ.

ඔබ ලිනක්ස් ප්ලැට්ෆෝම් එකට මාරුවන්නට තීරණය කළ පසු ඇතිවන ප්‍රධානතම ගැටළුව වන්නේ කුමන ලිනක්ස් එක භාවිතා කරනවාද යන්නයි. ඇත්තටම සෑම ලිනක්ස් එකක්ම හොඳය. අහවල් එක අහවල් එකට වඩා හොඳ හෝ නරක යැයි කීම නුසුදුසුය. කෙනා කෙනාගේ රුචිකම් අනුව කුමක් හෝ ලිනක්ස් එකක් වඩා හොඳ යැයි සිතිය හැකිය. එයද බලන් ගියාම ලිනක්ස්වල තවත් හොඳ ලක්ෂණයක්. වින්ඩෝස්වල එවැන්නක් නැත. වින්ඩෝස්වලදී කොයි කාටත් ලැබෙන්නේ එකම පද්ධතියක්. ඔබ යම් ලිනක්ස් එකක් ටික දවසක් භාවිතා කරන විට, එය ඉබේම හොඳම එක ලෙස සිතේ. මා තොරා ගත්තේ ලිනක්ස් මින්ට් එකයි. මුලිනුත් සඳහන් කළ ආකාරයට සෑම ලිනක්ස් එකක්ම අඩු වැඩි වශයෙන් එක සමානය. ඔබට විවිධ වූ ලිනක්ස් පද්ධති අතරින් එකක් තීරණය කිරීමට නොහැකි නම්, මා කියන්නේ මින්ට් හෝ උබුන්ටු තෝරා ගන්නා ලෙසයි. මෙතැන් සිට මින්ට් පද්ධතියක් පරිගණකයට ඉන්ස්ටෝල් කරගැනීම, හා ඒ සමග වැඩකරන අයුරු සොයා බලමු.

2 comments: