Wednesday, July 8, 2015

මෝහනය / mohanaya (Hypnosis) - 17

සැහැල්ලු මෝහනයේදී මෙන්ම ගැඹුරු මෝහනයෙදිත් ප්‍රතිගමනය සිදු කළ හැකියි. ඔබට දැන් තේරෙනවා සැහැල්ලු මෝහනයේදී වඩා ගැඹුරු මෝහනයේදී සිදු වන ප්‍රතිගමනය හොඳ බව. ඇත්තටම මෙම අවස්ථා දෙකෙහිදි සිදුවන ප්‍රතිගමනයේ වෙනස්කමක් පවතිනවා.
සැහැල්ලු අවස්ථාවේදී ප්‍රතිගමනය මගින් සිදුවන්නේ නිකංම මතක් කිරීමක් පමණි. එහෙත් එම මතක් කිරීම වුවද සාමාන්‍ය (මෝහනය නොවූ) තත්වයේදී සිදුකරන මතක් කිරීමකට වඩා නිවැරදි හා ප්‍රතිඵලදායකය. මෙහිදී කෙරෙන්නේ මතක් කිරීමක් බැවින් බොහෝ විට ඔහු එම අතීත විස්තර කියන්නේ අප සාමාන්‍යයෙන් අතීත විස්තරයක් කියන පරිදිය. එනම් අතීත කාලයේ වාඛ්‍ය බහුලව ඔහු යොදා ගන්නවා. උදාහරණයක් ලෙස, “හොරා මං දිහා බැලුවා. මං බය වුණා. මට දුවන්න හිතුණා, එහෙත් ඒ එක්කම අල්ලපු ගෙදර අයියා දුවගෙන ආවා...” ආදී ලෙස අතීත කාලයෙන් සිදුවීම විස්තර කරයි. ඒ විතරක් නොවේ, එම සිදුවීම් තැතිගන්වනසුළු වුවත් ඔහු ඔහුගේ මුහුණින් හා ශරීරයෙන් එවැනි තැතිගැන්වීමක් ප්‍රදර්ශනය කරන්නේ නැත. සාමාන්‍යයෙන් භයානක දෙයක් වුවද එය අතීත සිදුවීමක් නම් එය මුහුණ දුන් මොහොතේ ඇති වූ තැති ගැන්ම පසු කාලයකදී එය මතක් කරන විට එලෙසම දැනෙන්නේ නැහැ නේද? මෙවැනි ප්‍රතිගමනයකදිත් සිදු වන්නේ එලෙසයි. සිද්ධිය වුණු පළමු අවස්ථාවේදී ඇති වන හැඟීම (භය හෝ සතුට හෝ) එම සිද්ධිය මතක් කරන විට ඒ ප්‍රමාණයෙන්ම දැනෙන්නේ නැත. එනිසා, හුස්ම ගැනීමේ වේගය වෙනසක් සිදු නොවේ. සමහරවිට කතා කරන ස්වරූපය පවා තැන්පත් වේ. මෙවැනි ලක්ෂණවලින් අපට කියන්නට පුළුවන් ඔහු සැහැල්ලු මෝහන ප්‍රතිගමනයක සිටිනා බව.
ගැඹුරු මෝහන ප්‍රතිගමනය තරමක් වෙනස්ය. එහිදී බොහෝ විට මෝහනලාභියාට එය අතීත සිදුවීමක් මතක් කර ගැනීමක් පමණක්ම නොවේ. එය ඔහුට දැනෙන්නේ පළමුවර එම සිද්ධියට මුහුණ දුන් විට ලැබෙන අත්දැකීමම හෙවත් දැනීමමයි. මෙවැනි ප්‍රකාශයක් මා අපසර්ජනය (abreaction) ගැන කතා කරන විටත් කිව්වා මතකද? ඒ අනුව මෙම ගැඹුරු මෝහන ප්‍රතිගමනය තුළ අපසර්ජන ස්වභාවයද පවතින බව පෙනේ. අවශ්‍ය නම්, ඔබට තර්ක කරන්නට පුළුවන් ගැඹුරු මෝහන ප්‍රතිගමනය යනු අපසර්ජනයට කියන තවත් නමක් කියාත්. මේ දෙකෙහි ඇත්තේ සියුම් වෙනස්කමකි. සාමාන්‍යයෙන් අපසර්ජනයක් යනු ඉබේ ඇතිවන්නකි. එහෙත් ප්‍රතිගමනය අප විසින් ක්‍රමාණුකූලව ඇති කරන්නකි. අපසර්ජනයකදී “ප්‍රේරිත අපසර්ජනය” (induced abreaction) යනුවෙන් සඳහන් වූ ප්‍රභේදය මේ අනුව ප්‍රතිගමනයට ඉතාම සමාන තත්වයක් නේද?
ගැඹුරු මෝහන ප්‍රතිගමනය අපසර්ජනීය (abreactive) ලක්ෂණ පවතින නිසා, මෝහනලාභියා එය ඔබට කියන විධියෙහි වෙනස්කම් ඇත. ඔහු බොහෝ විට එම සිද්ධිය කියන්නේ වර්තමාන කාලයෙනි. උදාහරණයක් ලෙස, “හොරා මං දිහා බලාගෙන ඉන්නවා... අනේ මට බයයි... මට දුවන්නමයි හිතෙන්නේ... ... අල්ලපු ගෙදර අයියා දුවගෙන එනවා...” ආදී ලෙස වර්තමාන කාලයෙන් සිදුවීම විස්තර කරයි. ඒවා කියන විට, ශරීරයේ හා මුහුණේ ඉරියව්ද අනුකූලව වෙනස් වෙනවා. කට හඬද වෙනස් වෙනවා. හුස්ම ගැනීමේ වේගයද වෙනස් වෙනවා. අපසර්ජනයකදී සිදුවෙන දේවල් මෙහිදීද වෙන්නට පුළුවන්.
(ගැඹුරු මෝහන) ප්‍රතිගමනය සිදු කර ප්‍රශ්නයට අදාල සිද්ධිය සිහිගැන්වීමම වුවත් එක්තරා විදියක සහනයක් වෙනවා ඔහුගේ ප්‍රශ්නයට. ඊට අමතරව, එම සිද්ධිය ඔහුට වැටහෙන පරිදි විග්‍රහ කොට එය දැන් අතීත සිදුවීමක් පමණයි, ඉන් තමන්ගේ ජීවිතය හැසිරවීමට බැහැ කියා පෙන්වාදීම හෝ එය විග්‍රහ කර එම සිදුවීම පිළිබඳ තමන් ඇතිකර ගෙන තිබෙන්නේ අනවබෝධයක් බව පෙන්වා දීමත් හෝ ඊට වඩා හොඳ ප්‍රතිකර්මයක්. ඒ සමගම සුදුසු ඍජු යෝජනාවලියක් දීමද වඩාත් උචිතයි.
මෙහිදී යම් ගැටළුවක් අරඹයා සාමාන්‍ය මනෝවිද්‍යාත්මක ප්‍රවේශය හා මෝහන ප්‍රවේශය අතර ඇති වෙනස්කමක් පෙන්වා දෙන්නට මා කැමැතියි. සාමාන්‍ය මනෝවිද්‍යාව තුළ යම් ගැටළුවකට විසඳුම් ක්‍රමවේද දුසිම් ගණනක් ඇත. එවැනි බොහෝ ක්‍රමවේද මගින් ගනුදෙනු කරන්නේ උඩු සිත හරහාය. එහෙත් ඔබ දන්නවා ගැටළු ඇති කරන්නේ උඩු සිත නොව යටි සිත බවත්, උඩු සිත හරහාම යටි සිත සමග ගනුදෙනු කිරීම ඉතා අකාර්යක්ෂම ක්‍රමයක් බවත්. උඩු සිත සමග හෝ එය හරහා ගනුදෙනු කිරීම කිසිදු යහපතක් නැතැයි මා කියන්නේ නැහැ. එනමුත් ප්‍රශ්න ඇති කරපු යටි සිත සමග කෙලින්ම ගනුදෙනු කළ හැකි නම් එහි ඇති සඵලතාව ඉතා විශාල බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෝහනයේදි කරන්නේ කෙලින්ම යටි සිත සමග ගනුදෙනු කිරීමක් නිසා එය බොහෝ මනෝවිද්‍යාත්මක ක්‍රමවේදවලට වඩා ඵලදායි වේ.
යම් යම් ප්‍රශ්නවලට හේතු තිබෙන්නේ යටි සිතේ නම්, එම හේතු සොයාගත යුතුය. ඉහතකදීත් සඳහන් කළා මෙවැනි මෝහනයක් තුළින් ප්‍රශ්නයකට හේතු සොයාගැනීම “මෝහන විශ්ලේෂණය” (hypno analysis) ලෙස හඳුන්වන බව. ප්‍රතිගමනය යනු මෝහන විශ්ලේෂණ ක්‍රමයක්.
ප්‍රතිගමනය මූලිකව දෙයාකාරයකින් කළ හැකියි. එකක් නම්, යම් ගැටළුවක් ඇති වූ පළමු අවස්ථාවට (හෝ අවසන් අවස්ථාවට හෝ) ඍජුවම අතීතයට ගෙන යා හැකියි. එනම්, යම් සිද්ධියක් අතීතයේ ඇති වූයේ කවදද අන්න එම අවස්ථාවට කෙලින්ම මෝහනලාභියාව ගෙන යා හැකියි. දෙවැනි අාකාරය නම්, අතීතයේ යම් නිශ්චිත කාලයකට ගෙන යා හැකියි. උදාහරණයක් වශයෙන් වයස අටට, මව් කුසේ මාස හයේදී ආදී ලෙස අතීතයේ යම් කාලයකට ඔහුව යොමු කළ හැකියි. මේ ක්‍රම දෙකෙහිම ප්‍රයෝජන ඇති අතර මේ දෙකම මිශ්‍රකර භාවිතා කිරීම නිතර සිදු වේ.
යම් අතීත සිද්ධියකට ප්‍රතිගමනය කිරීම යම් ප්‍රශ්නයකට හේතුව සොයා ගැනීමට ඉතා පහසුය. උදාහරණයක් ලෙස, ඔබට යම් භීතිකාවක් ඇතැයි සිතමු. එය හොඳ කිරීමට ඔබට අවශ්‍යයි එම භීතිකාව ඇති වූ හේතු දැන ගැනීමට. ඉතිං ඔබට ඔහුව එම භීතිකාව ඇති වූ පළමු අවස්ථාවට ප්‍රතිගමනය කළ හැකියි.
හැමවිටම මුල් සිදුවීමට කෙලින්ම ප්‍රතිගමනය කිරීමට නොහැකි වන්නටත් පුළුවන්. මෙවිට දෙවැනි ප්‍රතිගමන ක්‍රමය ප්‍රයෝජනවත්ය. භීතිකා වැනි තත්වයක් පැවතියත් එය ඔහු ජීවත් වන සෑම පැයකදීම කරදර කරන තත්වයක් නොවේ බොහෝවිට (ඇත්තටම එය භීතිකාවේ ස්වරූපය මත රඳා පවතී). එහෙත් සමහර තත්වයන් තිබෙනවා ජීවිතයේ සෑම නිමේෂයකම කරදරකාරි ස්වරූපයෙන් පවතින. උදාහරණයක් ලෙස, අනවශ්‍ය ලෙස ලැජ්ජාශීලි බව ගත හැකියි. මෙවැනි විටකත් දෙවැනි ප්‍රතිගමන ක්‍රමය වඩා සුදුසු වන්නට පුළුවන්. ඊට හේතුව නම් මෙයයි. ඔබට ඔහුගේ ජීවිතයේ යම් අතීත කාලයකට ප්‍රතිගමනය කර එම වයසේදී ඔහුට ඒ ප්‍රශ්නය තාමත් තියෙනවාදැයි ඇසිය හැකියි. ඔව් කිව්වොත්, ඔබට පුළුවන් තවදුරටත් අතීතයට ප්‍රතිගමනය කරන්න. නැවත ඇසිය හැකියි දැන් එම ප්‍රශ්නය තිබේදැයි කියා. නැහැ කිව්වොත් ඒ කියන්නේ ඔහුට ප්‍රශ්නය ඇතිවී තිබෙන්නේ ඊට පසු වයසකයි. එවිට ඔහුව ඉදිරි වයසකට ප්‍රතිගමනය කළ හැකියි. මේ ආකාරයට ඉදිරියට හා පසුපසට ප්‍රතිගමනය සිදුකර ප්‍රශ්නය ඇති වූ අවස්ථාව සොයාගත හැකියි නේද?
සැහැල්ලු මෝහනයකදී වුවද ප්‍රතිගමනයක් සිදු කළ හැකි වුවත්, ඔබ දන්නවා අප හැමවිටම සොම්නා මට්ටමින් වැඩ ආරම්භ කරන බව. (ඇනයක් තද කරන්න මිටියක් තිබියදීත් ඇඟිලි භාවිතා කිරීම මෝඩකමක් නේද?) විශේෂයෙන් ඔබ දෙන උපදෙස් සරල විය යුතුයි. ඔබ බරපතල සංකීර්ණ ආකාරයට උපදෙස් දුන්නොත් ඒ උපදෙස් තේරුම්ගැනීමට ඔහුගේ උඩු සිතේ විශ්ලේෂණ ගතිය අවධි විය හැකියි. ඒ කියන්නේ උඩු සිත ක්‍රියාත්මක වීමට පටන්ගනී. එවිට මෝහනයම අසාර්ථක විය හැකියි. එනිසා උපදෙස් සරල හා අවශ්‍ය ප්‍රමාණයට විස්තරාත්මක විය යුතුයි. විශේෂයෙන් සඳහන් කරන්න අවංකව අදහස් කියන ලෙස. සමහරවිට කුමන හෝ හේතුවක් නිසා ප්‍රතිගමනයේ සිටින විට කියනු ලබන දේවල් වුවමනාවෙන්ම සැඟවීමට හෝ වෙනස් කිරීමට ඔහු පෙළඹිය හැකියි. වෛද්‍යවරයෙකුට නීතිඥයෙකුට අප වැරදි තොරතුරු කිව්වොත් සිදුවෙන හානිය ඔබ දන්නවා නේද? එලෙසමයි මෝහනයේදිත්.

ප්‍රතිගමනයක් කරන අයුරු

පළමුව සොම්නා මට්ටම දක්වා මෝහනය කරන්න. ඉන්පසු පහත ආකාරයට යෝජනා කරන්න.
අපේ ජීවිතයේ අතීතයේ සිදු වුණු හොඳ හා නරක යන කවර ආකාරයක සිදුවීම් වුවද යටි සිතේ හොඳින් ගබඩා වී පවතිනවා. සමහර අය හිතන්නේ බොහෝ දේවල් අපට අමතක වෙලා යනවා කියා. එහෙත් ඔබ දැන් දන්නවා අතීතයේ ඔබ කරපු හා ඔබට සිද්ධ වුණු සෑම දෙයක්ම යටි සිතේ තැන්පත්ව පවතින බව. [මෙහිදී ඔබ ඇත්තටම කියන්නේ අර්ධ සත්‍යයක්. එහෙත් ඉන් ලැබෙන ප්‍රතිඵලය හොඳ එකක්. මෙම යෝජනාව විසින් ඔහුගේ අතීත සිද්ධි මතක් කර ගැනීමට ඇති හැකියාව පිළිබඳ විශ්වාසයක් ඇති කරනවා.] ඔබ මේ මොහොතේ කරන කියන විධියට ඔබ ජීවත් වෙන විධියට ඇත්තම හේතුව එසේ යටි සිතේ තැන්පත්ව පවතින එම මතකයන්. හිතන්න ගෙයක වහලයක් ශක්තිමත්ව ලස්සනට තිබෙනවා. ඒ වහලය තිබෙන්නේ බිත්ති හෝ කණු ගොඩක් මත නේද? ඒ බිත්ති හෝ කණු කැඩූ විට වහලයත් කඩන් වැටෙනවා. අන්න ඒ වගේමයි ඔබේ අතීත සිද්ධිත් අර බිත්ති හා කනු වගේ. ඒ අතීත සිද්ධි නැමැති කනු හා බිත්ති මත තමයි ඔබේ අද ජීවන රටාව ගොඩ නඟා තිබෙන්නේ. වහලය තිබෙන්නට බිත්ති තිබිය යුතුයි සේම ඔබේ ජීවිතය ඔය ආකාරයට පැවතීමට නම් අතීත සිද්ධිත් නොමැකී තිබෙන්නට ඕන. නේද? [මෙය කීමෙන් පසු ඔහුට දැඩි විශ්වාසයක් ඇති වෙනවා අතීත සිද්ධි නොමැකී තිබෙන බව. එමගින් අතීත සිදුවීම් මතක් කර ගැනීමට විශාල රුකුලක් ලැබෙනවා.]
දැන් මං ඔයාව ඔයා {ඉස්කොලේ පහේ පංතියේ / මොන්ටිසොරියේ / ඕලෙවල් කරන කාලේ / විශ්ව විද්‍යාලයේ පළමු වසර / ඔයාගේ දහවැනි උපන් දිනය / … }ඉන්න කාලයේ ඔයාට පහසුවෙන් මතක් කර ගන්නට හැකි එක්තරා දවසකට ගෙන යන්නයි හදන්නේ. [ඉහත සඟල වරහන් තුල ඇති ලිස්ට් එකෙන් සුදුසු එකක් හෝ වෙනත් සුදුසු කාලයක් වාඛ්‍ය ඛණ්ඩයක් හෝ යෙදිය හැකියි. දළ වශයෙන් ඔබට අවශ්‍ය වයසට සරිලන වාඛ්‍ය ඛණ්ඩයක් කිව යුතුයි. එහිදීත් ඔහුට පහසුවෙන් මතක් කර ගත හැකි සිද්ධි තිබිය හැකි වයසක් නම් වඩාත් උචිතයි. උදාහරණයක් ලෙස, ඕලෙවල් කරන කාලය තුල අප කාටත් මතක තිබෙන සිද්ධි ගණනාවක් තිබේ. මොන්ටිසෝරියත් එහෙමයි මොකද ගෙදරින් පිට අධ්‍යාපනය ලබන ආරම්භක අවධිය එය නිසා පළමු වරට ළමුන් විශාල ගණනක් හා ගුරුවරුන් පොත් පත් ආදිය සමග මුහුවන කාලයක් නිසා අප කාටත් විවිධාකාරයේ මතක සමූහයක් මොන්ටිසෝරි කාලයත් සමග බැඳී පවතිනවා නේද? හැබැයි කිසිවිටක ඔහු නොලබපු දෙයක් කියන්නට බැහැ. උදාහරණයක් ලෙස, ඔහු විශ්ව විද්‍යාලයකට කවදාවත් ගිහින් නැතිනම් විශ්ව විද්‍යාලයේ ඉන්න කාලෙට රැගෙන යනවා කියා කිව නොහැකියි නේද? තවද, අප ඔහුට අවස්ථාවක් දෙනවා කියන ලද කාල පරිච්ඡේදය තුල ඔහුට මතක තිබෙන එක්තරා දවසක් මතක් කරගන්නා ලෙස. මෙලෙස එක් අවස්ථාවක් ඔහු මතක් කර ගත් විට, ඒ ඔස්සේ තවත් මතකයන් අවධි කරගත හැකිය. එය හරියට නූල් බෝලයක එක් පොටක් අල්ලා ගත්තා බදුයි. එතැන් සිට පහසුවෙන් නූල් බෝලය දිග හැරගෙන යා හැකියි.] එමගින් ඔයාට මේ {කරදරකාරි ලැජ්ජාව / මකුලුවන්ට තියෙන කරදරකාරි බිය / අම්මාව දකිනකොට ඇතිවන තරහව / ... } ඔබට ඒ කාලයේත් තිබුණාද යන්න සොයා බැලීමටයි හදන්නේ. [මෙහිදීද සුදුසු වාඛ්‍යය ඛණ්ඩයක් සඟල වරහන තුල ඇති කොටස වෙනුවෙන් යෙදිය හැකියි. කෙටියෙන් ඔහුගේ ප්‍රශ්නය කිව යුතුයි. එම කරදරය කරදරකාරී බව අප්‍රසන්න බව හඟවන විශේෂණ පදයක්ද යොදන්නේ නම් තවත් හොඳයි. ඉහතදී “කරදරකාරී” යන විශේෂණය මා යොදා ඇත.]
හරි... මං දැන් ඔයාව {පහේ පංතියට / ඕලෙවල් පංතියට / ඔයාට වසය දහය පිරෙන උපන් දිනය දවසට / ... } ගෙනියන්නයි හදන්නේ. [ඉහත ඡේදයේ සඳහන් කළ කාලයට/අවස්ථාවට ගැලපෙන විධියට මෙම වාඛ්‍ය ඛණ්ඩය තැබිය යුතුය. උදාහරණයක් ලෙස, ඉහතදී ඔහුව ඕලෙවල් කරන කාලයට ගෙන යන්නයි හදන්නේ කියා කව්වොත්, මෙම අවස්ථාවේදි කියන්න ඕනේ ඕලෙවල් පංතියට ගෙන යනවා කියා. මෙම කොටසින් කරන්නේ අදාල කාල පරිච්ඡේදයට අයත් එක් නිශ්චිත තැනකට ඔහුගේ මතකය කොටු කිරීමයි.] මං ඔයාගේ අත ටිකක් උස්සා අත්හරින කොට, ඔයා ඉබේම {පහේ පංතියට / ඕලෙවල් පංතියට / ඔයාට වසය දහය පිරෙන උපන් දිනය දවසට / ... } ගිහින් තිබේවි. අමාරුවෙන් මතක් කරන්නට උත්සහ කරන්නට එපා. ඔබට ඉබේම මතක් වෙනවා. අතීතයේ අහවල් කාලයක අහවල් ස්ථානයට මං දැන් යනවා කියා හිතාගත් විට නිකංම ඔබව එතැනට යාවි. හරියට ඒ සිද්ධිය පළමු වතාවට සිදුවෙනවා වගේ බොහොම පැහැදිලිව දැනේවි. ඔව්... මං ඔයාගේ අත උස්සා අත්හරින විට මා කියන කාලයේ මා කියන ස්ථානයේ ඔබට පහසුවෙන්ම මතක් වෙන අවස්ථාවකට ඔබව ගෙන ගොස් ඔයා ඒ අවස්ථාවේ ඉන්න විදියටම මා සමග කතා කරාවි.”
හරි... ඔයා දැන් ඉන්නේ {පහේ පංතියේ / ඕලෙවල් පංතියේ / ඔයාට වසය දහය පිරෙන උපන් දිනය දවසේ / ... }. ටිකක් බලන්න වටපිට. මොනවද පේන්නේ, කවුද ඉන්නේ කියල හොඳින් බලන්න. හොඳින් බලන්න. [අවස්ථාවට ගැලපෙන ලෙස ඔහු සමග ඒ අවස්ථාව ගැන “ඕපදූප” ටිකක් කතා කරන්න. කවුද ඉන්නේ, මොනවද ඒ අය ඇඳන් ඉන්නේ, ඒගොල්ලෝ හිනාවෙනවද කතා කරකර ඉන්නවද, තමන්ට මොනවද දැනෙන්නේ, තමන් මොනාද කර කර ඉන්නේ, අදි වශයෙන් වල්පල් ටිකක් කතා කරන්න. එසේ කිරීම වැදගත්. එමගින් ඔහුගේ මතකයන් ක්‍රමක්‍රමයෙන් අවධිවෙනවා පමණක් නොව, ප්‍රතිගමනයට ඔහුගේ මනසක් හුරුවෙන්නට ගන්නවා.]
හම්... [ඔහුගේ අත උස්සා අත් හරින්න. අත පහළට වැටුණු ගමන් මෙලෙස කියන්න.] ඔයා දැන් ඉන්නේ {පහේ පංතියේ / ඕලෙවල් පංතියේ / ඔයාට වසය දහය පිරෙන උපන් දිනය දවසේ / ... }නේ. ඔයාට {ඔහුගේ ප්‍රශ්නය} මේ වෙනකොටත් තියෙනවාද? [ඔහු ඔව් කියා හෝ නැහැ කියා හෝ පිළිතුරු දේවි. ඒ දෙන පිළිතුර අනුව ඔහුව ඉදිරියට හෝ පසුපසට තවදුරටත් ප්‍රතිගමනය කළ හැකියි. පළමුවර ප්‍රතිගමනය කළ පසුව ඔහුව ඉදිරියට හා පසුපසට ප්‍රතිගමනය කිරීම පහසුය. උදාහරණයක් ලෙස ඔහු දැන් සිටින වයසේ/කාලයේ සිට තව වසරක් ඉදිරියට ප්‍රතිගමනය කිරීමට අවශ්‍ය යැයි සිතමු. එවිට පෙර සේම “මා අත උස්සා අත්හරින විට ඔයා දැන් මේ සිටින අවස්ථාවේ සිට ඉදිරියට... ඒ කියන්නේ වයස වැඩිවෙන පැත්තට... එක් වසරකින් ඉස්සරහට යාවි.” එසේ කියා ඔහුගේ අත උස්සා අත්හරින ගමන් දැන් ඔයා කොහේද ඉන්නේ කියා අසන්න. එවිට ඔහු යම් පිළිතුරක් දේවි. ඉන්පසු එම අවස්ථාව ගැනත් පෙර සේම පොඩි ඕපාදූපයක් කතා කරන්න (එලියකද ඇතුලකද ඉන්නේ, දවල්ද රෑද, තනියමද කට්ටියක් එක්කද ඉන්නේ, කට්ටියක් එක්ක නම් ඉන්නේ කවුද ඒ කට්ටිය, සතුටින්ද දුකින්ද ඉන්නේ, ඇයි එසේ සතුටින්/දුකින් ඉන්න කාරණය ආදී ලෙස). මෙම අවස්ථාවෙදිත් ප්‍රශ්නය පවතීද කියා අසන්න. මේ ආකාරයට ඉදිරියට පසුපසට ප්‍රතිගමනය කරන්න. අවස්ථාවේ හැටියට දෙබස් කියන්න. මෙම දෙබස් මෝහන යෝජනා නොව, නිකංම දෙබස් පමණි. එනිසා, යෝජනාවලි සකස් කරන විට යොදාගත් රීති පිළිපැදීම අත්‍යවශ්‍ය නොවේ.]
මෙලෙස ප්‍රශ්නය මතු වූ මුල් කාලයකට ප්‍රතිගමනය කළ පසු ප්‍රශ්නයට අදාලව සැඟව ඇති මතකයන් අවධි වේ. දැන් ඔබට පුළුවන් එම ප්‍රශ්නය ඇති කිරීමට මුල් වූ සිද්ධිය වෙතට කෙලින්ම ඔහුව ප්‍රතිගමනය කරන්න. යම් ප්‍රශ්නයක් සඳහා හේතුභූත වෙච්ච පළමු සිද්ධියට “මූලික හේතුකාරක සිදුවීම” (Initial Sensitizing Event – ISE) ලෙසද, එම ISE එකෙන් පසුව නැවත නැවත එම සිද්ධිය (දැන් තවදුරටත් එය නිකංම සිදුවීමක් නොව, ජීවිතයට කරදර කරන ප්‍රශ්නයක් බවට පත්ව ඇත.) සිදු වීමට පටන් ගනී. එමගින් එම ප්‍රශ්නය තව තවත් බලසම්පන්න වේ. එවැනි සිදුවීම් “පසුකාලීන බලාත්මක සිදුවීම්” (Subsequent Sensitizing Event – SSE) ලෙස හැඳින් වේ. දැන් බලමු මෙම මූලික හේතුකාරක සිදුවීමට ඔහුව ප්‍රතිගමනය කරන හැටි.
මං දැන් ඔයාගේ අත උස්සලා අත්හරින්නයි හදන්නේ. අත්හැරපු ගමන් ඔයාට ඔයාගේ {ඔහුගේ ප්‍රශ්නය}ජීවිතයේ පළමු වරට ඇති වූ අවස්ථාවට ගමන් කරාවි. [දැන් ඔහුගේ අත් උස්සා අත්හරින්න.] දැන් ඔයාට ඔයාගේ {ඔහුගේ ප්‍රශ්නය}ඇති කරපු දේ මොකක්ද කියා මට කියන්න. [ඔහු විස්තර කරාවි. ඔහු සමග දෙබස් කියා තවදුරටත් ඒ ගැන හාරාවුස්සා තොරතුරු දැනගන්න.]
මෙලෙස ඔහුගේ ප්‍රශ්නය හා ඊට හේතු වූ සිද්ධි ගැන වැටහීමක් ඔබට දැන් ඇත. මෝහනලාභියාද ඒ ගැන හොඳින් විමසා බලපු පළමු අවස්ථාව මෙයයි. එයම ඔහුගේ ප්‍රශ්නය සැහැල්ලු කිරීමට හේතු වේ. එහෙත් තවදුරටත් ඔහුගේ ප්‍රශ්නය ගැන ප්‍රතිකර්මයන් ඔබට කළ හැකියි. එය කරන අයුරු දැන් විමසා බලමු.

Hypnosis (mohanaya) ...


No comments:

Post a Comment