Sunday, June 21, 2015

මෝහනය / mohanaya (Hypnosis) - 8

මෝහනයේ විවිධ මට්ටම්

සෑම කෙනෙකුම එකම ආකාරයේ මෝහනයක් අත් දකින්නේ නැත. විවිධ අය මෝහනයට පත් වන්නේ විවිධ ප්‍රමාණවලිනි. ඒවගේමයි එකම කෙනා වුවද, එක් එක් අවස්ථාවන්වලදී පත්වන්නේ එකම මෝහනයටම නොවේ. ඒ කියන්නේ මෝහනයේ විවිධ මට්ටම් (depth of hypnosis හෝ level of hypnosis) පවතින බවයි.

අතීතයේ මෙම මෝහන මට්ටම් ප්‍රධාන ආකාර තුනකට බෙදා තිබුණා. ඒවා, සැහැල්ලු මෝහනය (light hypnosis), මධ්‍යම මෝහනය (medium hypnosis), ගැඹුරු මෝහනය (deep hypnosis) ලෙසයි නම් කෙ‍රුණේ. අදද මෙම වචන නිතර භාවිතයට ගැනෙනවා. මේ එක් එක් මෝහන මට්ටම හඳුනාගැනීමට යම් යම් ලක්ෂණද මෝහනලාභියා තුළින් දැක ගන්නට පුළුවන්.

ඉන්ඩක්ෂන් එකක් කියාගෙන යන විට මෝහනලාභියා පළමුව සැහැල්ලු මෝහන තත්වයට පත් වේ. එම මට්ටමේ සිට මධ්‍යම මෝහනයට පත් වේ. ‍එතැනින් ගැඹුරු මෝහනයට පත් කළ හැකිය. මෙලෙස එක් මට්ටමක සිට ඊට වඩා ගැඹුරු මෝහන මට්ටමකට පත් කිරීමද සිදු කරන්නේ මෝහනවේදියා කියන යෝජනා මගින්මය. මෙලෙස මෝහන මට්ටම ගැඹුරු කිරීම “ගැඹුරු කිරීමේ උපක්‍රමය” (deepening technique) ලෙස හැඳින් වේ. ඩීප්නින් ටෙක්නික් එකත් හරියට ඉන්ඩක්ෂන් එකක් වගේමයි; දෙකම එක්තරා විදියකට සෑදූ යෝජනාවලි වේ.

පරණ මෝහන ශීල්පීය ක්‍රම අනුව බොහෝ විට ගැඹුරු මෝහන තත්වයට ළඟා වීමට හැකි වූයේ ඉතාම සුළු පිරිසකට පමණක් නොව, බොහෝ දෙනෙකුට සැහැල්ලු මෝහනයට පවා පත් වීමට සෑහෙන්න වෙහෙස මහන්සියක් ගත යුතුව තිබුණු බව මුලදිත් මා සඳහන් කළා. ඒ විතරක් නොවේ; මෝහනලාභියා දැන් සිටින්නේ මොන මට්ටමේද කියා නිතරම “ටෙස්ට්” කිරීමේ අවශ්‍යතාවත් තිබුණා. (මා මොහොතකට පෙරත් සඳහන් කළා මෝහනලාභියා සිටින මට්ටම හඳුනාගැනීමට හැකි බව.) එහෙත් නූතන මෝහන ශිල්පීය ක්‍රම අනුගමනය කිරීමෙන් සෑම කෙනෙක්ම ඉතාම ඉක්මනින් හා පහසුවෙන් ගැඹුරු මෝහන තත්වයට පත් කළ හැකි බව ඔබ දැන් දන්නවා. ඒ විතරක් නොවේ; එල්මන් වැනි නූතන ඉන්ඩක්ෂන් ක්‍රමවල අමුතුවෙන් ටෙස්ට් කිරීමට අවශ්‍ය නැත. එම ඉන්ඩක්ෂන් එක තුළම (in-built) “ටෙස්‍ට් කිරීම” අඩංගු වේ.

කල් යත්ම ඉහත මෝහන මට්ටම් තුන තවත් සියුම්ව සලකා බලා මට්ටම් ගණනාවකටම විභේදනය කළා. (නිවැරදිවම නිශ්චිතවම මට්ටම් ගණන මෙච්චරයි කියා කිව නොහැකිය. ඊට හේතුව විවිධ ගුරුකුල මතයන් හා අදහස් පවතින බැවින්. ඇත්තටම නිශ්චිතව අච්චර ගණනක් තිබෙනනවා යැයි කීමෙහි ඇති වැදගත්කමකුත් නැත.) උදාහරණයක් ලෙස මුලදී “light” යැයි තිබූ තනි මට්ටම වෙනුවට “medium light”, “ deep light” ආදී ලෙස කුඩා සියුම් මට්ටම්වලට බෙදුවා. ඇත්තටම ප්‍රායෝගිකත්වය සලකා බලන විට, එවැනි සියුම් බෙදීමක අවශ්‍යතාවක්ද නැත. මෝහන මට්ටම් නම් කිරීමේදී ප්‍රායෝගික බව සලකා හෝ සුවිශේෂි ලක්ෂණ පමණක් මත සිදු කිරීම තමයි වඩා වැදගත් වන්නේ.

ඔබ හොඳින් මතක තබාගත යුත්තේ වර්තමානයේ පවතින මෝහන ‍මට්ටම් ගැනයි. වත්මන් බෙදීම අනුව සෑම කෙනාම පාහේ පිළිගන්නා ප්‍රධාන මට්ටම් 4ක් ඇත. ඒවා, සැහැල්ලු, මධ්‍යම, සොම්නැම්බ්‍යුලිස්ම්, අල්ට්‍රාඩෙප්ත් ලෙස නම් කෙරේ. ඇත්තටම සොම්නැම්බ්‍යුලිස්ම් යනු, මුලදී “ඩීප්”/“ගැඹුරු” යන වචනය වෙනුවට නූතනයේ භාවිතා කරන වචනය වේ.


Somnambulism යන වචනය සාදාගෙන ඇත්තේ somnambulant යන ඉංග්‍රිසි වචනයෙනි. එහි තේරුම “නින්දෙන් ඇවිදින්නා” යන්නයි. ඔබ දැක හෝ අසා ඇති සමහරුන් නින්දෙන් ඇවිදිනවා. ඇත්තටම somnambulant යන වචනයද සෑදී ඇත්තේ somna හා ambulant යන වචන දෙක සන්ධි කිරීමෙනි. මෙහි සොම්නා යන කොටස “නින්ද” යන තේරුම සහිත අතර ඇම්බ්‍යුලන්ට් යන ‍කොටස “ගමන් කරන/කරන්නා” යන තේරුම සහිත වේ. මේ වචනවලින් ව්‍යුත්පන්න වන තවත් වචන රාශියක් ඇත. උදාහරණයක් ලෙස insomnia යන්න “රෑට නින්ද නොයන රෝගය” සඳහා කියන වචනය වන අතර, ambulance යනු රෝගින් ගෙන යන වාහනය වේ. සොම්නැම්බ්‍යුලිස්ම් යන වචනය තරමක් කීමට අපහසු දිග වචනයක් නිසා “සොම්නා” ලෙස කෙටියෙන් කිව හැකියි. ‍මෝහනයේදිත් ඇස් වසා‍ගෙන මෝහනයේ සිටියදීම විවිධ ක්‍රියාකාරකම් කරවීමට සමත් නිසා මෙම වචනය යොදාගෙන ඇත.

මෙහි කෝමා යනු බොහෝ දෙනා දැනටමත් දන්නා කෝමා තත්වය නොවේ. (සාමාන්‍ය කෝමා තත්වය යනු ඉතා භයානක රෝගී තත්වයකි. එහිදී රෝගියාට බොහෝ කාලයක් සිහිය නොමැතිව විශේෂිත වෛද්‍ය ප්‍රතිකාර සහිතව කොහි මොහොතේ හෝ සිහිය එන තුරු සිටින තත්වයක්.) සාමාන්‍ය භයානක කෝමාවෙන් වෙන් කර හඳුනා ගැනීමටයි මීට හිප්නොටික් කෝමා යන නම ලබා දී ඇත්තේ. කෝමා මට්ටමට මෝහනය වූ පසු, මෝහනලාභියා සාමාන්‍ය කෝමා තත්වයේදී පෙන්නුම් කරන ලක්ෂණ පෙන්වන නිසයි මේ නම යෙදී ඇත්තේ. එනම්, හිප්නොටික් කෝමා තත්වයේ සිටින විට ඔහු මෝහනවේදියාගේ යෝජනාවලට ප්‍රතිචාර දැක්වීම අඩු කරයි. ඔහේ අත පය නොසොල්වා නිසොල්මන්ව සිටී. සාමාන්‍ය ඉමර්ජින් ටෙක්නික්වලින් මෝහනයෙන් ඉවත් කිරීමටද අපහසු වේ. හිප්නොටික් කෝමා තත්වයේ සිටින විට, ශාරීරක හා මානසික සුවය ඉතා වැඩිය (මේ ගැන වැඩි විස්තර පසුවට දැක්වේ.)

අල්ට්‍රාඩෙප්ත් යනුවෙන් නව මට්ටමක්ද එක්දහස් නමසිය හැට ගණන්වලදී හඳුනාගෙන ඇත. මෙම නම පිළිබඳ යම් ගැටළුවක්ද පවතී. මෙම මට්ටම ගැන වැඩිපුර අධ්‍යනය සිදු කර, එම මට්ටමට පහසුවෙන් පත් කළ හැකි හොඳ ඩීප්නින් ටෙක්නික් එකකුත් හඳුන්වා දී, ‍ultradepth ලෙස එම මට්ටම නම් කළේ වෝලටර් සිකෝ (Walter Sichort) නම් තැනැත්තාය. ඔහු (හෝ බොහෝ විට ඔහුගේ බුද්ධිමය දේපලවලට හිමිකම් කියන ඔහුගේම අනුගාමිකයන්) මෙම අල්ට්‍රාඩෙප්ත් මට්ටම යා හැකි ටෙක්නික් එක ultradepth process® ලෙස නම් කර, ඊට බුද්ධිමය දේපල අයිතියක් ලබා ගෙන ඇත. එමනිසා, ඔවුන්ගේ අවසරයක් නැතිව ‍එම ටෙක්නික් එක ඉගැන්වීම හෝ ප්‍රසිද්ධියේ භාවිතා කිරීම තහනම්ය. ඇත්තටම මෙය ඉතාම නරක “ජඩ” වැඩකි. ඔවුන් නම් කියන්නේ එලෙස තනි අයිතියට එය ගෙන ඇත්තේ මෙම ටෙක්නික් එක අවභාවිතාවේ යෙදීම වැලැක්වීම සඳහා කියාය. එහෙත් එහි ඇත්තේ මුදල් ගැරීමේ අභිප්‍රායකි.

මෙම නරක ක්‍රියාව පූර්වාදර්ශයට ගනිමින් අද මෝහනයට සම්බන්ද බොහෝ දෙනා තමන් විසින් සොයා ගෙන ඇති මෝහනයට සම්බන්ධ කුඩා කුඩා ටෙක්නික් මෙලෙස බර නම් යොදා බුද්ධිමය දේපල නීතිය යටතේ ලියාපදිංචි කරගෙන ඇත. ඒවා හඳුනා ගැනීම අපහසුවක් නැත. එවැනි නමකට පිටුපසින් ® යන සංඛේතය යොදා ඇත (එම සංඛේතයෙන් කියන්නේ එම නම බුද්ධිමය දේපල නීතිය යටතේ ලියාපදිංචි/Register කර ඇති බවයි). හාස්‍යයට මෙන් එම අයත් කියන්නේ තමන් එය කර ඇත්තේ එම ටෙක්නික් වැරදියට උගන්වන එක නතර කර, එම ටෙක්නික් නිවැරදි ආකාරයට පවත්වා ගෙන යෑමට බවයි. (ඒ කියන්නේ, වැරදියට ඉගෙන ගත් විට ඒ නිසාම එම ටෙක්නික් ඵලරහිත වන බව ලෝකයාට හැ‍ඟෙන බවත්, ඒ ටෙක්නික් බොරු ඒවා බවට හන්වඩු ගැහෙන බවත් ඔවුන් පවසනවා.) එහෙත් ඔබ එවැනි විශාල බර නම්වලින් සඳහන් මෝහන ටෙක්නික් පසුපස යන්න එපා. බොහෝ ඒවා ඒ කියන තරම් ඵලදායි නැත. නම දැක්කහම සිතෙන්නේ හා ඔවුන් එක් එක් ආකාරවලින් ප්‍රචාරය කර තිබෙන්නේ තමන්ගේ ක්‍රමය සාමාන්‍ය මෝහන ක්‍රමවලට වඩා ඉතාම අනර්ඝ ලෝකයේ හොඳම ක්‍රමවේදය බවයි. පුදුමයට මෙන් මෙලෙස ලස්සන නම් යොදා ඇති සියලු ක්‍රමවේද හඳුන්වා දුන් අය කියන්නේ තමන්ගේ ක්‍රමය ලෝකයේ අංක එක බවයි. ඔබ සාමාන්‍ය විද්‍යාත්මක මෝහනය ඉගෙන ගන්න. එය මේ කියන සියල්ලට වඩා අති ප්‍රබලය හා ඵලදායි වේ.

නැවතත් අල්ට්‍රාඩෙප්ත් යන වචනයට යොමු වෙමු. ඇත්තටම අල්ට්‍රාඩෙප්ත් ප්‍රොසෙස් යන වචනයෙන් හඳුන්වාදී ඇති ක්‍රමවේදය ඔවුන්ගේ අවසරයක් නැතිව ඉගැන්වීම හෝ භාවිතා කිරීම පමණයි නීති විරෝධි වන්නේ. ඒ සඳහා ඔවුන්ගෙන් අවසර ගැනීමට ඔවුන්ට විශාල මුදලක් ගෙවා ඔවුන්ගෙන් එය ඉගෙන ගැනීමට අනිවාර්ය කර තිබෙනවා. එහෙත්, අල්ට්‍රාඩෙප්ත් යන නම සාමාන්‍ය පරිදි අපට භාවිතා කළ හැකියි. ඊට නීතිමය තහනමක් නැත. මොනයම් හෝ ක්‍රමයකින් ඔබ අල්ට්‍රාඩෙප්ත් ප්‍රෝසෙස් ක්‍රමවේදයද (හෝ වෙනත් එවැනි ඕනෑම ක්‍රමවේදයක්) ඉගෙන ගෙන ඇත්නම්, එය කාටත් නොකියා ඔබට පුද්ගලික මට්ටමින් යොදාගැනීමද කිසිදු ප්‍රශ්නයක් නොමැතිව කළ හැකි බවද සිහි තබා ගන්න.

ඉහත රූපයේ පහළින් ඊතල යොදා කොටසක්ද ඇත. ඉන් කියන්නේ තවත් මට්ටම් පැවතිය හැකි බව හා අළුත් අළුත් මට්ටම් (විද්‍යානුකූල පදනමක් මත) සොයාගත හැකි බවයි. ඒ ඒ මට්ටම්වලට යොදන නම් හා තවත් කරුණු සම්බන්දයෙන් විවිධ මතද පවතී. ඒ නිසා මා එම මට්ටම් ගැන වැඩිදුර සලකා බලන්නේ නැත.

ඒ විතරක් නොවේ. සමහරෙක් හිප්නොයිඩල් (hypnoidal) ලෙසද අළුත් මට්ටමක් light මට්ටමට මුලින් පවතින බවද කියනවා. සාමාන්‍ය මෝහන ක්‍රියාවලියක් අනුගමනය නොකරන අවස්ථාවලදීද ‍අප බොහෝ දෙනා නිතර දෙවේලේ මෙම මට්ටමට පත් වන බව පේනවා. උදාහරණයක් ලෙස, ඔබ චිත්‍රපටියක් හෝ ටෙලිනාට්‍යයක් බලන වෙලාවක මොහොතකට හෝ ඔබ එහි කොටසක් බවට පත් වෙනවා. වටපිට මොහොතකට අමතක වෙනවා. මෙම තත්වය ඇත්තටම මෝහන තත්වයකි. එය ඉස්සර සැහැල්ලු මෝහන තත්වයක් ලෙස සැලකුවා. ඔබ හිප්නොයිඩල් මට්ටම පිළිගන්නවා නම්, ඒ අනුව එවැනි අවස්ථාවක් හිප්නොයිඩල් මට්ටම බව සැලකිය යුතුයි. ඔබ සිංදුවක් අසන විට, යම් කල්පනාවක හෙවත් “මනෝ පාරක/ලෝකෙක” සිටින විට, දෙයක් හෝ කෙනෙකු දෙස එක එල්ලේ බලා සිටින විටද ඔබ මෙම මට්ටමේ මෝහනයට පහසුවෙන්ම පත් විය හැකියි.

පිරිමියෙකු ලස්සන කාන්තාවක දෙස බලන විටද මෙය සිදු විය හැකියි. මේ නිසා තමයි බොහෝ වෙළඳ දැන්වීම්වල අඩ නිරුවතින් හෝ එසේ නොමැතිව ලස්සන කාන්තාවන් යොදා ගන්නේ. සමහරවිට, ඇඩ් එක කොණ්ඩයේ ගාන ෂැම්පූ එකක් ගැන වුවත්, වැඩිපුර පෙන්වන්නේ කාන්තා ශරීරයයි. තවත් දැන්වීම්වල හුරතල් කුඩා ළමුන් පෙන්වනවා. මෙමගින් ලොකු පොඩි භේදයකින් හා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියල්ලන්ම යම් මෝහනයකට පත් වෙනවා. තවත් අවස්ථාවල ඉතා ලස්සන පාරිසරික හෝ එවැනි ස්වාභාවික දර්ශන පෙන්වනවා. ඉන්ද සිදුවන්නේ එවැනිම දෙයක් බව දැන් ඔබට වැටහිය යුතුයි. මේ ආදී ලෙස උපක්‍රම බොහෝ තිබෙනවා. ඔබ ඒවා විමලිමත්ව හඳුනා ගන්න (අඩුමගානේ අභ්‍යාසයක් විදියටවත්).

සාමාන්‍යයෙන් “මනෝවිද්‍යාත්මක බලපෑමක් ඇතිවන ලෙස සෑදූ” වෙළඳ දැන්වීමකින් සිදුවන්නේ ක්‍රිටිකල් ෆැක්ටර් එක බයිපාස් කිරීමයි. එය සිදු කරන්නේ ඉහත ආකාරයේ දර්ශන ඊට ඇතළත් කරමින්. ක්‍රිටිකල් ‍ෆැක්ටර් එක බයිපාස් වූවාට පසු, වෙළඳ භාණ්ඩය ගැන ඔවුන් කියන දේ ඔබ තර්ක විතර්ක නොකරම ඔබේ මනසට ඇතුළු වෙනවා. ඇත්තටම මෙය එක්තරා විදියකට සදාචාර විරෝධි ක්‍රියාවලියක්.

ඇත්තටම, සැහැල්ලු හා මධ්‍යම මට්ටම් ගැනද අපට වැදගත් නැත. ඒ අනුව මෝහනය විවිධ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමට සිතන ඔබ සැලකිලිමත් විය යුත්තේ සොම්නා මට්ටම ගැන පමණයි නේද? ඔබ මේ ක්ෂේත්‍රය ගැන පර්යේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ නම් පමණක් වෙනත් මට්ටම් ගැන ඉගෙන ගන්න (විශේෂයෙන් සොම්නා එකටත් වඩා ගැඹුරු මට්ටම් ගැන).

ඔබ මෝහනයේ සිටින කෙනෙකුට දෙන යෝජනාවක ඵලදායිතාව එම තැනැත්තා සිටින මෝහන මට්ටම අනුව වෙනස් වෙනවා. මට්ටම ගැඹුරු වන්නට වන්නට එම යෝජනාවේ බලය/ඵලදායිතාව වැඩි වෙනවා. සැහැල්ලු මට්ටමේ සිටින කෙනෙකුට දෙන යෝජනාවක් සමහරක් විට දවසක් දෙකක් වැනි කෙටි කාලයක් සඳහා ක්‍රියාත්මක වී නැවැත පරණ හැසිරීම්/චින්තන රටාවටම හුරු වෙනවා. එහෙත් එම යෝජනාවම සොම්නා මට්ටමේ සිටි විට දුන්නේ නම්, අවුරුදු ගණනකට හෝ සමහර විට ජීවිත කාලයටම බලපැවත්වෙන්නට පුළුවන්. එනිසා හැසිරීම්/චින්තන රටාවන් වෙනස් කිරීමට යම් යම් සහන බලාපොරොත්තුවෙන් කරන මෝහනයකදී හැමවිටම ඔහුව සොම්නා හෙවත් ඩීප් මට්ටමට මෝහනය කරන්න. ඇත්තටම ඔබ එල්මන් ඉන්ඩක්ෂන් එක නිවැරදිව කළා නම්, විනාඩි පහකට අඩු කාලයකදී ඔහු සොම්නා මට්ටමට පත් වේ.

සමහරවිට ඔබට සිතෙන්නට පුළුවන් සොම්නා මට්ටමටත් වඩා ගැඹුරු මට්ටමකට මෝහනය කළොත් ඉතාම හොඳයි නේද කියා. එහෙත් මෙහි තත්වය තරමක් වෙනස් වෙනවා. සොම්නා මට්ටමට වඩා ගැඹුරට මෝහනය කළ විට, පහසුවෙන් ඔහු සමග සන්නිවේදනය කිරීමට බැරි වෙනවා. ඒ කියන්නේ ඔබ කියන දේවල්වලට ඔහු ප්‍රතිචාර දැක්වීම ඉතාම දුර්වල වෙනවා. ඊට හේතුව ඔහු දැන් සිටින තත්වය කොතරම් සැහැල්ලුද සනීපද කිව්වොත් ඔබ කතා කරන (යෝජනා කරන) දේවල්වලට ඇහුම්කන් දෙන එක පවා අඩු කරනවා. ඒ නිසා තමයි මා මොහොතකට පෙරත් කිව්වේ සාමාන්‍ය මෝහන ක්‍රියාවලිය සඳහා සොම්නා මට්ටම පමණයි ඉතාම වැදගත් වන්නේ කියා.

එහෙත් සොම්නා මට්ටමට වඩා ගැඹුරු මෝහන තත්වයන් වෙනත් වෙනත් අපූරු දේවල් සඳහා ප්‍රයෝජනවත් වන බවක් පේනවා. සමහරවිට ඔබ අසා ඇති මෝහනයෙන් පිළිකා හා වෙනත් අති භයානක රෝග සුව කළ හැකියි, වෙනත් අද්භූත දේවල් සිදු කළ හැකියි කියා පවසනවා. මෙවැනි දේවල් සිදු කිරීමට එම මට්ටම් අවශ්‍ය බව පැවසෙනවා. ඇත්තටම මා එවැනි දේවල් සිදු කළ හැකි හෝ නොහැකි බව පවසන්නේ නැහැ. ඒ ගැන හොඳින් පර්යේෂණ සිදු කළ යුතුයි. මනස හා ශරීරය අතර ඉතා කිට්ටු සම්බන්දයක් පවතින නිසා ඒ ආකාරයට ඉතා වටිනා “අද්භූත” ආකාරයේ දේවල් බොහෝ විට කිරීමට හැකියාවක් මෙහි පවතින්නට පුළුවන්.

දැන් කෙනෙකු සොම්නා මට්ටමේ සිටිනවා යැයි සිතමු. යම් මට්ටමක් තුළ වුවද විශාල පරාසයක් පවතිනවා. ඒ කියන්නේ ඔබ සිටින සොම්නා මට්ටමට වඩා මා සිටින සොම්න මට්ටම ගැඹුරු විය හැකියි. එමනිසා, ඔබ හැම විටම වෑයම් කළ යුත්තේ සොම්නා මට්ටමට මෝහනය කළ පසුත් තවදුරටත් එම මට්ටමේම ගැඹුරු කිරීමයි. තවත් විදියකින් කියතොත්, ඔබ එල්මන් හෝ වෙනත් සුදුසු ඉන්ඩක්ෂන් එකකින් සොම්න මට්ටමට කෙනෙකුව මෝහනය කළ පසුවත්, යම් ඩීප්නින් ටෙක්නික් එකක් යොදා ගෙන ඔහුව තව දුරටත් ගැඹුරු මට්ටමකට ගෙන යා යුතුයි.



ඩීප්නින් ටෙක්නික්

දැන් අප බලමු අපට පහසුවෙන් භාවිතා කළ හැකි ඩීප්නින් ටෙක්නික් කිහිපයක්.

  1. “ඔබ පිටකරන සෑම හුස්මක් පාසාම... ඔබ සිටි මට්ටමට වඩා ගැඹුරු මෝහනයකට... මානසික හා කායික සැහැල්ලුවකට ඔබ පත් වෙනවා...‍” කියා කියන්න. මෙය හොඳ යෝජනාවක්. නිරන්තරයෙන්ම ඔබ හුස්ම ගන්නවා පිට කරනවා. ඉතිං මෙම යෝජනාවෙන් එම ඉබේම වගේ සිදුවෙන ක්‍රියාව අපේ වාසියට යොදා ගන්නවා. මෙහිදී හුස්ම ගන්න අවස්ථාව නොව, හුස්ම පිට කරන අවස්ථාවයි අප යොදා ගන්නේ. ඊට හේතුව හුස්ම පිට කරන විට, ඉබේම ශරීරයට යම් සුවයක් දැනෙනවා. එය මෝහනය නොවී සාමාන්‍යයෙන් සිටින විටත් දැනෙන දෙයක්. ඔබ එය දැන් පරික්ෂා කර බලන්න. මේ දැන්ම. ඔබ හුස්ම ගන්න විටද, පිට කරන විටද ශරීරය සැහැල්ලු වන බවක් දැනෙන්නේ?

    ඒ විතරක් නොවේ; ඉහත යටින් ඉරි ගසා ඇති කොටස ඉතාම වැදගත්. ඒ නිසා ඒ කොටස වෙනස් කරන්න එපා. එම යෝජනාවෙන් කියන්නේ ඔබ දැන් මෝහනය නිසා සුවයකින් සැහැල්ලුවකින් සිටන නිසා හුස්ම පිට කරන විට එම සුවය සැහැල්ලුව තවත් ටිකකින් වැඩි වෙන්න කියායි. එවිට, එක වරක් හුස්ම පිට කරන විට, තමන් සිටි මට්ටමට වඩා වැඩි ගැඹරකට පත් වෙනවා. දෙවන වර හුස්ම පිට කරන විට, එම තත්වය තවත් ගැඹුරට පත් වෙනවා. මෙලෙස හුස්ම පිට කරන සෑම වාරයක් පාසාම ටික ටික ගැඹුරට මෝහන තත්වය පත් වෙනවා.
     
  2. “මා දැන් දහයේ සිට එකට සෙමින් ගණන් කරනවා. ඒ සෑම ඉලක්කමකට පසුව ඔබේ මානසික කායික සැහැල්ලුව ඔබ සිටි මට්ටමට වඩා වැඩි වෙනවා... ඔබේ මෝහනය ගැඹුරට යනවා... හොඳයි... දහය... ඔබේ මානසික හා කායික සැහැල්ලුව දැන් තව තවත් වැඩි වෙනවා... ඔබේ මෝහනය මට්ටම තව තවත් ගැඹුරට ගමන් කරනවා... ඔබට වැඩියෙන් සැහැල්ලුවක් සනීපයක් දැනෙනවා... නවය... ඔබ තවදුරටත් සැහැල්ලුවට පත් වෙනවා... ගැඹුරට යනවා... අට... දැන් මානසික හා කායික සැහැල්ලුව තවත් දියුණුයි... මෝහන නිද්‍රාව ගැඹුරුයි... හත... තව දුරටත් ඔබව ගැඹුරු මට්ටමට ගෙන යනවා... ඔබේ මනසට හා ශරීරයට තව දුරටත් සැහැල්ලු වීමට ඉඩ හරින්න... හය... මනස හා ශරීරය දැන් ගොඩක් සැහැල්ලුයි... පහ... තව දුරටත් සැහැල්ලු වෙනවා... හතර... ඔබගේ මෝහන නිද්‍රාව තව තවත් ගැඹුරු වෙනවා... තුන... දැන් බොහෝම ගැඹුරුයි... ගොඩාක් සැහැල්ලුයි... දෙක... ඔබට දැන් ඉතාම ‍හොඳ සනීපයක් සැහැල්ලුවක් දැනෙනවා... එක... ඔබ දැන් බොහොම සැහැල්ලුයි. ශරීරයත් මනසත් දෙකම ඉතාම සැහැල්ලුයි... ගැඹුරු නිහඩතාවක්... සනීපයක් ඔබට දැන් දැනෙනවා... දැන් ඔබ ඉන්නේ ඉතා ගැඹුරු මෝහන නිද්‍රාවකයි...”

    ඉහත යෝජනාවලිය අධ්‍යනය කරන්න. එහි වචන ඒ විදියටම කට පාඩමින් කියන්නට අවශ්‍ය නැහැ. සෑම ඉලක්කමක් පාසාම මනසත් ශරීරයත් සැහැල්ලු වෙන බව සනීපයක් දැනෙන බව කියන්න. මෝහන මට්ටම ගැඹුරු වන බව කියන්න. එකම වාඛ්‍ය “සෙට් එකම” සෑම ඉලක්කමක් පාසාම කියන්න එපා. එවිට එය නීරස වෙන්නට පුලුවන්. පෙන්වා ඇති පරිදි පොඩි පොඩි වෙනස්කම් සහිතව කියන්න.

    එම යෝජනා කරන විට සෙමින් කියන්න (‍කියාගෙන කියාගෙන යන්න එපා). සිත හා ගත සැහැල්ලු වන්නට යම් කාලයක් ගත වෙනවා. එය අප හදිසි කළ පලියට සිදු වන්නේ නැහැ. ඉතිං ඒ සඳහා කාලයක් දිය යුතුයි. ඇත්තටම අප සෑම ඉලක්කමක් පාසාම සැහැල්ලු වෙන්න කිය කියා සිටින එකේ තවත් වාසියක් තමයි ශරීරයට මනසට සැහැල්ලු වීමට අවශ්‍ය කාලය ලබා දීම. ඉලක්කමක් කියා නිකංම නිශ්ශබ්දව සිටියොත් එය තරමක අපහසුවක් ඇති කරන්නට පුළුවන්. මෙතැනදී විතරක් නොවේ; අන් අවස්ථාවලත් මෙලෙස සෙමින් කියන්න.

    කතා කරන විට “ළයාන්විත” පැහැදිලි හඬකින් ඒවා කියන්න. ක්‍රම ක්‍රමයෙන් ඔබේ හඬ අඩු කරන්න. එලෙස ඔබේ හඬ ක්‍රමයෙන් අඩු කරගෙන යෑමද මෝහනලාභියාට සංඥාවක් ලබා දෙනවා සිත හා කය සැහැල්ලු කරන්න කියා. මොහොතක් ඔබම සිතා බලන්න ඔබ සැහැල්ලුවෙන් සිටින විට අසන්නට කැමති සිංදු මොන වගේද කියා. බොහෝ විට අඩු ‍ළයක් හෙවත් “ටෙම්පො එකක්” සහිත කරච්චලය අඩු සිංදු නේද අසන්නේ? මෙහිදිත් සිදුවන්නේ එවැනි දෙයක්. අවසාන වාඛ්‍ය කියන විට කොඳුරනවා වගේ හඬකින් කියන්නාක් මෙන් කියන්න.

    ඉලක්කම් ගණන් කරන්නේ දහයේ සිට එක දක්වා අවරෝහන ආකාරයටය. සම‍හරෙක් කියනවා එකේ සිට දහයට ගණන් කරන්න කියා (ආරෝහන). එහෙත් මා යෝජනා කරන්නේද අවරෝහනව ගණන් කරන ලෙසයි. එයද ඔහුට සංඥාවක් ක්‍රම ක්‍රමයෙන් “මානසික ඝෝෂාව” අඩු කර සිත සැහැල්ලු කරන්න “ගැඹුරට” යන්න කියා.
     
  3. මෝහනලාභියාගේ සිතට සැහැල්ලුවක් ඇති කරන විදියට කුඩා නාටකයක්/සිද්ධියක් ඔහුගේ සිතේ මැවීමද හොඳ ක්‍රමයක්. මෙම සිතේ මවා ගන්නා කුඩා සිද්ධිය කියන ගමන් මෝහනය තවත් ගැඹුරු වන ආකාරයට යෝජනාද තිබිය යුතුයි. මා උදාහරණ දෙකකින් මේ ක්‍රමය පෙන්වා දෙන්නම්.

    පළමු උදාහරණය (පඩිපෙළකින් බැසගෙන යෑම)
    “ඔබ දැන් සිතින් මවාගන්න හෝ සිතන්න ඔබ සිටින්නේ පඩිපෙළක ඉහළම පඩියේ කියා. ඔබ දැන් එම පඩිපෙළ පඩියෙන් පඩිය සෙමින් බසින්නයි හදන්නේ. ඔබ එසේ බසින සෑම පඩියක් පාසාම ඔබේ මෝහන නිද්‍රාව ගැඹුරට යනවා... සිත හා ශරීරය සැහැල්ලුවට පත් වෙනවා. මේ පඩිපෙල හරිම ලස්සනයි. එය ඔබ ආසම පාටින් ආසම විදියටයි හදල තියෙන්නේ. සිතින් රස විඳින්න එය කොච්චර ලස්සනද... සිතට සැහැල්ලුවක් ඇති කරනවාද කියා. [තත්පර කිහිපයක් දෙන්න එය ඔහුට විඳින්නට.] හරි දැන් ඔබ උඩම පඩියේ සිට එක පඩියක් පහළට ගමන් කරන්න. ඔබ ගැඹුරට යනවා... හරිම සැහැල්ලුවක් දැන් ඔබට දැනෙනවා. තව පඩියක් බසින්න... සැහැල්ලු වෙන්න... තවත් පඩියක් බසින්න... සිතට හා ශරීරයට සැහැල්ලු වෙන්න ඉඩ දෙන්න... ඔබ බසින සෑම පඩියක් පාසාම ඔබ තව තවත් ගැඹුරට යනවා. තව පඩියක් බසින්න... ඔබට බසින්නට තියෙන්නේ තවත් පඩි දෙකක් විතරයි. ඔබ දන්නවා යටම පඩියට බසින විට ඔබ ඉතාම ගැඹුරු සැහැල්ලුවකට පත් වෙනවා කියලා. හරි දැන් සෙමින් ඊළඟ පඩියට බසින්න. දැන් ඔබ ඉතාම සනීපදායක සැහැල්ලුවකට ගැඹුරකට පත් වෙනවා... අවසන් පඩියට බසින්නයි ඔබ දැන් සූදානම්ව සිටින්නේ. ඊළඟ පඩියට බසින විටම ඔබට ඉතාම... ඉතාම... ගැඹුරු සැහැල්ලුවක් දැනෙනවා. එය වෙන්නට ඉඩ හරින්න. හරි... දැන් අවසන් පඩියට බසින්න... ගැඹුරුම සැහැල්ලුවට පත් වෙන්න.”

    මෙයත් පෙර දහයේ සිට එක දක්වා ගණන් කරන විට දුන් උපදෙස් අනුවමයි සාදා තිබෙන්නේ. ඇත්තටම සෑම ‍ඩීප්නිං ටෙක්නික් එකකම යම් පොදු බවක් තිබෙනු ඔබට දැනේවි. කිහිපයක් හොඳින් අධ්‍යනය කළ විට, ඔබේම වාඛ්‍ය ඒ ඒ පුද්ගලයාට ගැ‍ලපෙන ලෙස සෑදිය හැකියි. සැහැල්ලුව ඇති කරන ආකාර‍යට ලස්සනට එම වාඛ්‍ය ලාලිත්‍යයක් ඇතුව කියන්න. ගැඹුරට යන විට හඬ ක්‍රම ක්‍රමයෙන් අඩු කරන්න.

    දෙවන උදාහරණය (ලස්සන පාරක් දිගේ ඇවිදීම)
    “ඔබ සිතින් මවා ගන්න හෝ සිතන්න දැන් ඔබ ඉන්නේ අනන්තය තෙක් ඈතට... ඈතට... දිවෙන ලස්සන පාරක කියා. පාර දෙපැත්තේ තිබෙන්නේ ඔබ ආසම කරන ලස්සන ලස්සන මල්... සුවඳ හමන මලුත් තියෙනවා... අහසත් හරිම ලස්සනයි... මල් අතරේ ලස්සන සමනල්ලුත් පියාඹනවා... සමහර සමනල්ලු ඔබේ ඇ‍ඟේ ගෑවෙන නොගෑවෙන සේ පියඹලාත් යනවා... මදක් වටපිට බලන්න... කොච්චර ලස්සනද... රසවිඳින්න. [තත්පර කිහිපයක් දෙන්න.] හරි... දැන් ඔබ මේ ලස්සන පාර දිගේ ඉදිරියට ඇවිදගෙන යන්න... සෙමින් ඇවිදින්න... ඉදිරියට යන්නට යන්නට තව තවත් ලස්සනයි... හරිම සැහැල්ලුවක් දැනෙනවා දැන් ඔබට. ඔබ ඉදිරියට තබන සෑම පියවරක්ම පාසා ඔබේ ශරීරයේ හා සිතේ තිබෙන සැහැල්ලුව සැනසීම වැඩි වෙනවා. ඔබ සෙමින් පියවර තබන්න. සැහැල්ලුව ඇති වෙන්නට ඉඩ දෙන්න... රසවිඳින්න... ඔබ තවත් පියවරක් ඉදිරියට තබනවා... ඔබව ගැඹුරු සැහැල්ලුවකට පත් වෙනවා... ඉදිරියට යෑමට තබන සෑම පියවරක් පාසාම ඔබව ගැඹුරට පත් කරනවා.”

    මේ ආකාරයට එම තැනැත්තාට රස විඳිය හැකි ආකාරයේ සිද්ධියක් සිතේ මවන්න. එම සිද්ධිය ඔස්සේ ඉදිරියට යන විට, එය තව තවත් සැහැල්ලුව වැඩි කිරීම සමග සම්බන්ද කරන්න. සමහර විට, මෝහනලාභියා කැමැති දෙයක්ම මෙලෙස සිද්ධියකට ගොඩ නැගිය හැකියි. එහෙත් ඔබ මෙවැනි යෝජනාවලි කිහිපයක්ම අධ්‍යනය කර එවැනි තමන්ගේම නිර්මාණ කිරීම පටන් ගන්න. ඔබ වැරදි යෝජනා කළොත් මෝහනයට ඉන් බාධාවක් ඇති විය හැකියි.

    මෙහිදී ඔබ සැලකිලිමත් විය යුතු තත්වයක්ද පවතී. එනම්, ඔබ මෝහනලාභියාගේ සිතේ මවන රූප/සිද්ධි ඔහුට මානසික ප්‍රශ්න ඇති නොකරන ඒවා විය යුතුයි. එනම්, සමහරවිටක ඔබ මවන සිදුවීමට සමාන අතීත සිදුවීමකට භයානක හෝ දුක්ඛිත හෝ අවාසනාවන්ත ආකාරයකට මුහුණ දී තිබෙන්නට පුළුවන්. උදාහරණයක් ලෙස, මුහුදු වෙරළ හෝ දිය ඇල්ලක් හෝ බොහෝ දෙනෙකුට සුන්දර දර්ශනයක් වුවද, කලාතුරකින් කෙනෙකු සිටීමට පුළුවන් එවැනි දර්ශනවලින් අපහසුතාවක් දැනෙන. මුහුදට විශාල බියක් දක්වන අය සිටීමට පුළුවන්. එහෙමත් නැතිනම්, තමන්ගේ හොඳම යාළුවා සමග මුහුදේ නාන විට, යාළුවාව මුහුදට ගසාගෙන ගොස් තිබෙන්නට පුළුවන්. එතැන් සිට මුහුද ඔහුට භයානක තැනක් සේ දැනෙන මුහුද ගැන සිතීම පවා දැඩි අපහසුතාවක් දක්වන තැනක් වීමට පුළුවන්. එනිසා තමන් ඇති කරන්නට යන සිතේ මවාගැනීම ගැන සැලකිලිමත් විය යුතුය.

    ඇත්තටම ඉහත ගැටළුව දෙයාකාරයකින් විසාඳා ගත හැකියි. එකක් නම්, ඔහු සමග සිදු කරන පෙර-කතාව තුළ ඔහුගෙන් අසන්න අහවල් ආකාරයක තැනක්/සිදුවීමක් (ඒ කියන්නේ ඔහුගේ සිතේ මවන්නට යන තැන/සිදුවීම) ගැන තමන්ට අපහසුතාවක් හෝ ගැටළුවක් දැනෙනවාද කියා. එසේත් නැතිනම්, ඔහුගෙන් අසන්න තමන්ට යන්නට/ඉන්නට ආසම තැන මොකක්ද කියා (එවිට ඔබ එම ඔහු කැමති දේ ඔහුගේ සිතේ මැවිය හැකියි). අනෙක් විසඳුම නම්, ඔබ ඍජුවම කියන්න එපා අහවල් තැනට යන්න හෝ අහවල් සිදුවීම මවා ගන්න කියා. ඒ වෙනුවට ඔබට කිව හැකියි තමන් කැමැතිම තමන්ට ලොකු සහනයක් සතුටක් දැනෙන ස්ථානය දැන් සිතේ මවා ගන්න කියා. ඉන්පසු ඔහුගෙන් අසන්න ඒ ස්ථානය කුමක්ද කියා. එතැන් සිට එම ස්ථානය ගැන හොඳ දෙයක් නිර්මාණය කිරීමට ඔබට පුළුවන්.

    ඇත්තටම සිතේ මවාගැනීම (visualization) ඩීප්නින් ටෙක්නික් එකක් ලෙස යොදා ගැනීමට තවත් බාධයක් ඇත. එය නම්, සෑම පුද්ගලයකුටම එක සේ සිතෙන් යම් යම් දේවල් දැකීමේ හෝ මවා ගැනීමේ හැකියාව නැත. මිනිසුන් දස දෙනෙකු ගතහොත් දෙදෙනකු හෝ තුන් දෙනෙකුට පමණි එම හැකියාව පවතින්නේ (එවැනි අය “visual අය” ලෙසද හැඳින්වේ). මේ අයගේ අත්දැකීම් ලබා ගැනීමේ හා ඉගැනීමේ ප්‍රමුඛතම ඉන්ද්‍රිය ඇස (හා දර්ශන) වේ. තවත් අය කන (“auditory අය”) ප්‍රමුඛ කර ගෙනද, තවත් අය අතින් පයින් වැඩ කිරීම හෙවත් දේවල් සිදු කරමින් අත්දැකීම් ලබාගැනීම හා ඉගැනීම කිරීමද (“kinesthetic අය”) සිදු වේ. එවිට, විෂුවල් නොවන අයට සිතෙන් මවා ගැනීමේ ක්‍රමය සාර්ථක නොවන්නට පුළුවන්.
     
  4. ෆ්‍රැක්ෂනේෂන් (fractionation) නම් ක්‍රමයද ඉතාම ප්‍රබලය. මෙහිදී කරන්නේ 
    මෝහනලාභියාව මෝහනයේ සිටියදීම මොහොතකට ඇස් ඇරවා නැවත ඇස් වසන්නට උපදෙස් දීමයි. ඇස් වසන විට, තව දුරටත් සැහැල්ලු වෙන්න ගැඹුරට යන්න කියා යෝජනා කරන්න. ඇත්තටම මෙහිදී ඇස් විවෘත කළත්, ඔහු තවමත් සිටින්නේ මෝහනයේය. ඇස් ඇරගෙන වුවද මෝහනයෙන් සිටිය හැකි බව මින් පැහැදිලි වෙනවා නේද? මෙලෙස පස් හය සැරයක් කරන්න.

    ඔබට මතකද එල්මන් ඉන්ඩක්ෂන් එක තුළත් මෙම උපක්‍රමය භාවිතා කළා. එහිදීද, ඇස් ඇර වසන්නට උපදෙස් දුන්නා. එවිට, ඔහුගේ සැහැල්ලුව වැඩිවන බවද යෝජනා කළා.
     
  5. ප්‍රතිපෝෂණය (feedback) මගින් සිදුවන්නේ මෝහනලාභියාට මෝහනයේ සිටින විට දැනෙන දැනීම් ඔහුගේ අවධානයට ලක් කර, ඒවා එලෙස දැනෙන්නේ තමන් හොඳින් මෝහනයේ ගැඹුරට යන නිසා බව හේත්තු ගැන්වීමයි.

    කෙනෙකු මෝහනයට පත් වන විට, ඔහුගේ ශරීරයේ හා මනසේ යම් යම් වෙනස්කම් ඇති වේ. හදවත ගැහෙන වේගය අඩු වේ; හුස්ම ගන්න වේගද අඩු වේ; ශරීරය පණ නැති වෙනවා වැනි දැනීමක් ඇති වේ; එමනිසාම ශරීරය බර ගතියක් සෙලවිය නොහැකි ගතියක් දැනේ; ශරීරය පුරා ලේ ගමන් කරවන රුධිර නාලද ලිහිල් වීම නිසා, ඒවා තුළින් ලේ ගමනාගමනය දියුණු වේ; එමනිසාම ශරීරය තරමක් උණුසුම් ගතියක් දැනේ; මනස සන්සුන් කමක් දැනේ; කොතරම් භාහිර ශබ්ද ඇසුණත් ඒවාට ප්‍රතිචාර දැක්වීම හෝ වෙනත් භාහිර දේවලට ප්‍රතිචාර දක්වන්නට නොසිතේ; සාමාන්‍ය තත්වයේ සිටිනවාට වඩා සියුම්ව ශබ්ද ඇසෙන්නට පටන් ගනී.

    මෙන්න මෙවැනි ශාරීරක හා මානසික වෙනස්කම් රාශියක් ඔහුට දැනේ. එවැනි වෙනස්කම් කිහිපයක් ඔහුට කියන්න. “ඔබේ ශරීරය තරමක උණුසුම් බවක් දැන් දැනෙනවා. විමසල බලන්න දැනෙනවා නේද කියලා. ඒ දැනෙන්නේ ඔබ ඉතා හොඳින් ‍මෝහනය වෙලා තිබෙන නිසා හා තව තවත් ගැඹුරට මෝහනයට පත් වෙමින් තිබෙන නිසා. ඔව්... ඔබට ශරීරයේ උණුසුම්බව දැනෙනවාත් සමගම තවත් ගැඹුරට යනවා... තවත් සැහැල්ලු වෙනවා...” ආදී ලෙස සුපුරුදු පරිදි එම දැනීම හා තවත් සැහැල්ලු වීම අතර දැන් පෙන්වා දුන් පරිදි සම්බන්ධය ගොඩ නඟන්න.
ඉහත පෙන්වා දුන්නේ ඔබට පහසුවෙන්ම කළ හැකි ප්‍රධානතම ඩීප්නින් ටෙක්නික් කිහිපයකි. තවත් ක්‍රම තිබිය හැකියි. ඒ කුමන ක්‍රමය වුවත්, දැන් ඔබට වැටහීමක් තිබෙනවා ඩීප්නින් ටෙක්නික් එකකින් සත්‍ය ලෙසම සිදු කරන්නේ කුමක්ද කියා.

මෝහනයට පත්ව ඇති කෙනාට “මොහොතක් ඔබ දැන් ඔය සිටින සැනසිලිදායක සැහැල්ලුව විඳිමින් සිටින්න. එය විඳින විට ඔබ තව තවත් ගැඹුරට... තව තවත් සැහැල්ලුවට පත් වෙනවා... එය සිදු වෙන්න ඉඩ හරින්න.” කියා නිශ්ශබ්ද වෙන්න. මෙයද ඩීප්නින් ක්‍රමයකි. ඔබට විනාඩි දෙක තුනකට විරාමයක් අවශ්‍යයි නම් එසේ කියා ඔබේ අත්‍යවශ්‍ය වැඩේ කළ හැකියි. එහෙත් ඔහුගෙන් ඉවත් වෙනවා නම්, ඔහුට නොදැනෙන්නට හෙමින් සීරුවෙන් පිට වන්න. හැබැයි කිසිම විටක විනාඩි දෙක තුනකට වඩා ඔහුගෙන් ඉවත්ව සිටින්නට එපා. මෙම යෝජනාව සමගම ඔබට ඉහත පළවෙනියෙන්ම කියූ “හුස්ම පිට කිරීමෙන් ගැඹුරට යන” යෝජනාවත් ලබා දිය හැකියි. එවිට තවත් හොඳින් මෙය ක්‍රියාත්මක වේ.

අවශ්‍ය නම්, ඇත්තටම ඉහත දැක්වූ ‍යෝජනා කිහිපයක්ම වුවත් එකට මිශ්‍ර කර දිය හැකියි. විශේෂයෙන් හුස්ම පිට කරන විට ගැඹුරට යන යෝජනාව ඉතා කුඩා නිසා අනෙක් යෝජනාවලට එය එකතු කිරීම ඉතාම පහසු මෙන්ම යෝග්‍ය වේ.

තවද, කෙනෙකු නිතර නිතර මෝහනයට පත් කරන විට, ඔහු වඩා වඩා පහසුවෙන් ගැඹුරු මෝහනට පත් වෙනවා. ඒ කියන්නේ පළමු සැරේට මෝහනය වූ කෙනෙකු දෙවැනි වර මෝහනයට පත් වන විට, පළමු සැරේට වඩා ඉක්මනින් හා පහසුවෙන් මෝහනයට පත් වෙනවා පමණක් නොවේ, පළමු සැරේට වඩා ගැඹුරටත් ඔහු යනවා. තෙවැනි සැරේ ඊටත් වඩා පහසුවෙන් හා ඉක්මනින් හා ගැඹුරට යනවා. එය හරියට මනස මෝහනයට හුරු වීමක් බදුයි. බයිසිකල් පදින්න පුරුදු වුණාම, නැවත එය කිරීම ඉතා පහසුයි නේද? අන්න එවැනි දෙයක් තමයි මෙහිදිත් සිදු වන්නේ.



නැවත මෝහනය වීම පහසු කිරීම

ඒ විතරක් නොවේ. කෙනෙකු දැන් හොඳ මෝහන තත්වයක සිටී නම්, ඔබට මෝහන යෝජනාවක් දෙන්නට පුළුවන් මින්පසු මෝහනය කරන විට, වඩා ඉක්මනින් හා වඩා පහසුවෙන් ගැඹුරු මෝහනයට පත් වෙන්නට කියා. ඇත්තටම නැවත නැවත ඔහුව මෝහනයට පත් කිරීමට කල්පනා කරනවා නම්, මෙම යෝජනාව දීම ඉතාම යෝග්‍යයි.

“ඔබ දැන් සිටින්නේ හොඳ ශාරීරික හා මානසික සැහැල්ලුවකින්... ගැඹුරු සැනසිලිදායක මෝහන නිද්‍රාවකයි. ඉදිරියේදී ඔබට අවශ්‍ය හෝ සුදුසු යැයි සිතෙන ඕනෑම මොහොතක, මෝහනයට පත් වීමට අවශ්‍ය වූ විට, ඉතා පහසුවෙනුත් ඉතා ඉක්මනිනුත් ඔබ මේ දැන් අත් විඳින මෝහන නිද්‍රාවට පත් වෙනවා. ඔව්... මෙතැන් සිට ඔබ කැමති ඕනම මොහොතක, ඔබව මෝහනයට පත් කරන විට, ඉතා ඉක්මනින් හා ඉතා පහසුවෙන් ඔබ මේ දැන් සිටින ගැඹුරු මෝහනයට පත් වෙනවා.”

ඉහත යෝජනාවේ වැදගත් කරුණු කිහිපයක් ඇත. පළමුව ඔහු දැන් සිටින්නේ හොඳ සැහැල්ලු හා ගැඹුරු මෝහනයක බව ඔහුට කියන්න. එවිට ඔහු එම තත්වය “බුක්මාර්ක්” (මතක තබා ගැනීමක්) සිදු කර ගන්නවා.

ඉන්පසු, ඉදිරියේදි ඔහුට අවශ්‍ය වෙලාවක පමණක් මෝහනය වීම සිදුවන බව විශේෂයෙන් කිව යුතුයි. එසේ කීමට හේතු දෙකක් ඇත. එකක් නම්, සමහරවිට එම කොටස නොකියා නිකංම මින්පසු ඔබව ඉතා පහසුවෙන් හා ඉක්මනින් මෝහනයට පත් වේවි කියා කිව්වොත් එය ඔහුගේ සිතේ බයක් චකිතයක් ඇති කරන්නට පුළුවන්. ඒ කියන්නේ ඕනෑම කෙනෙකු තමන්ව එසේ පහසුවෙන් මෝහනය කරාවි යැයි බිය වන්නට පුළුවන්. එවිට ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. දෙවැනි කරුණ නම්, ඔහු එසේ බිය නොවී කොන්දේසි විරහිතව එම යෝජනාව පිළිගත්තොත් ඇත්තට එවැනි යම් කරදරකාරි හෝ භයානක තත්වයකට අනාරක්ෂිත බවකට ඔහුව පත් වෙනවා. ඒ කියන්නේ, ඔහුටත් නොදැනී ඔහුට මෝහනය වීමට අවශ්‍ය නැති වෙලාවකත්, යම් කෙනෙකු විසින් පහසුවෙන් මෝහනයට පත් වීමට ඉඩකඩ ලැබෙනවා. සමහරවිට, ඔහු එසේ වෙන්නේ වක්‍රාකාරයෙන් වෙන්නත් පුළුවන් (ඒ කියන්නේ වෙනත් කෙනෙකුව මෝහනය කරන දෙස බලා සිටීමෙන්, ටෙලි නාට්‍යයක මෝහනය වන සිදුවීමක් බලා සිටීමෙන් වැනි ක්‍රමවලින්).


Hypnosis (mohanaya) ...

No comments:

Post a Comment