Tuesday, June 16, 2015

මෝහනය / mohanaya (Hypnosis) - 5

මෝහනය කිරීම

නියමාකාරයෙන් සාර්ථකව මෝහනය (hypnosis) සිදු කිරීමට කොන්දේසි කිහිපයක් සැපිරිය යුතු වෙනවා. මෝහනයට පත් වල තැනැත්තාගේ (“මෝහනලාභියා” යන කෙටි නමින් ඔහුව/ඇයව මෙතැන් සිට හඳුන්වමු.) මෝහනය ගැන තිබෙන බිය පළමුව නැති කළ යුතුය. කළිනුත් සඳහන් කළ ආකාරයට, මෙම බියට ප්‍රධාන හේතුව මෝහනලාභියා මෝහනය ගැන ඇති කරගෙන ඇති වැරදි ආකල්ප වේ. ඊට අමතරව, මෝහනය ගැන යම් සැකයක් (එනම්, “මෝහනය කියන්නේ බොරුවක්”, “මෝහනය මට වැඩ කරන්නේ නැහැ”, “මෝහනය මං වගේ බුද්ධිමත් අයට හරි යන්නේ නැහැ; එය මෝඩයන්ට විතරක් වැඩ කරන දෙයක්” වැනි සැකයන්) ඇතිනම්, එවිටද මෝහනයට පත් විය නොහැකියි. (තවද, මෝහනවේදියා නිවැරදිව මෝහනය කරන්නේ නැති විටද මෝහනයට පත් නොවිය හැකියි.) ඒ වගේමයි, ඔබට මෝහනය කිරීමට අවශ්‍ය පමණට හැකියාවක් තිබේ යැයි මෝහනලාභියා තුළ විශ්වාසයක් නැති නම්, එවිටද ඔහුව මෝහනය කිරීමට බැරි වෙනවා.

ඉහත සියළු තත්වයන් මග හැරීමට මෝහනලාභියාව මෝහනයට පත් කිරීමට පෙර යම් දැනුවත් වීමක් සිදු කළ යුතු වෙනවා. මෙය “පෙර කතාව(pre-talk) යන නමින් හඳුන්වමු. මා පහත දක්වන්නේ එවැනි පෙර කතාවකි. ඔබ මෙය කටපාඩම් කිරීම අත්‍යවශ්‍ය නැත (එහෙත් එය ඔබ හොඳින් කියවා බලන්න මොකද මෙතෙක් ඔබ ඉගෙන ගත් කරුණුවලට අමතරව අළුත් කරුණුද එහි අඩංගු නිසා).  ඔබ සතුව මෝහනය ගැන තිබෙන දැනුමයි පෙර කතාවෙන් මෝහනලාභියාට කියන්නේ. එමගින් ඔබට මෝහනය පිළිබඳ හොඳ දැනුමක් තිබෙනවා යැයි විශ්වාසයක්ද ඉබේම මෝහනලාභි‍යාට ඇති වෙනවා. ඒ වගේමයි, මෝහනය පිළිබඳ ඔහු තුළ තිබෙන දුර්මත හා බියද ඉන් තුරන් වෙනවා (බිය තුරන් වෙන ආකාරයට පෙර කතාව තිබිය යුතුයි කියා දැන් ඔබට තේරෙනවා නේද?).

පෙර-කතාව
“මං ඔයාට දැන් මෝහනය ගැන කෙටියෙන් කරුණු ටිකක් කියන්නයි හදන්නේ. ඒකට හේතුව බොහෝ අය මෝහනය ගැන ටීවී එකෙන් හරි චිත්‍රපටිවලින් හරි වෙනත් කතා හා කතාන්දරවලින් හරි ඇති කරගෙන තිබෙන්නේ වැරදි මතයක් ඒ ගැන. ඒ නිසාම, මෝහනය වීමට ආශාවක් තිබුණත් සමහර අයට බයක් තිබෙනවා මෝහනයට පත් වීමට. තමන්ගේ රහස් හෙළි වේවි කියා හෝ තමන් ලවා අකමැති දෙයක් කරවා ගනීවි කියා හෝ මෝහනය කරන කෙනා තමන්ව එයාට අවශ්‍ය විදියට පාලනය කරාවි කියා සමහරුන් බය වෙනවා. තවත් සමහරෙක් බය වෙනවා මෝහනය කළාට පසු තමන්ව මෝහනයෙන් ඉවත් වෙන්නට බැරි වුවොත් සදා කාලිකව එහි සිරවී සිටීවි කියා. එහෙත් ඒ කිසිම දෙයක් සිදු වෙන්නේ නැහැ. ඊට හේතු මා හොඳට පැහැදිලි කරන්නම්. එතකොට ඔයාටම තේරෙයි මෝහනයකදී මොකක්ද වෙන්නේ කියා. මෝහනය ගැන ඔයාට පොඩි හෝ බයක් හෝ දෙගෙඩියාවක් තියෙනවා නම්, ඔයාව මෝහනය වෙන්නේ නැහැ. ඒක නිසා බිය හෝ සැකය පළමුව ඔයා ඉවත් කර ගන්න ඕන.”

“මෝහනයේදී අප වැඩ කරන්නේ මනස හෙවත් සිත සමගයි. ඔයා දන්නවා අප කාටත් සිතක් තිබෙනවා. ඒ සිතෙන් ගොඩක් දේවල් සිදු වෙනවා. වඩා පහසුවෙන් හා හොඳින් අධ්‍යනය කිරීමට විද්‍යාවේදී සිත කොටස් තුනකට බෙදා අප ඒ තුන ගැන වෙන වෙනම සලකා බලනවා. එහෙත් සත්‍ය ලෙසම එලෙස සිත් තුනක් හෝ සිතේ කොටස් තුනක් නැති බවත්, සෑම කටයුත්තකදීම තනි ඒකකයක් ලෙස එය වැඩ කරන බව සැලකිය යුතුයි. සවිඥානය, උපවිඥානය, අවිඥානය ලෙසයි සිතේ එම කොටස් තුන නම් කරන්නේ.”

“සවිඥානයට තමයි අප උඩු සිත කියා කියන්නෙත්. අප නොනිදා සිටින සෑම අවස්ථාවකම මෙම කොටස ඉතා ක්‍රියාකාරි මට්ටමින් පවතිනවා. එම කොටස නිසා තමයි අප කල්පනා කරන්නේ, හරි හෝ වැරදි; වැදගත් හෝ නොවැදගත් තීරණ ගන්නේ. “මම අද රෑට බත් කනවාද පාන් කනවාද?” “හෙට ගෙදර නවතිනවාද වැඩට යනවාද?” ආදී සෑම තීරණයක්ම උඩු සිත විසින් තමයි ගන්නේ.”

“මෙම ‍උඩු සි‍තට කුඩා මතක තබා ගැනීමේ හැකියාවක්ද තිබෙනවා. එම මතකය කුඩා පමණක් නොවෙයි ඉක්මනින්ම අමතක වෙලාත් යනවා. උදාහරණයක් ලෙස, ඔබට කෙනෙකු නමක් හෝ ටෙලිෆෝන් අංකයක් කී විට, එය ජීවිත කාලය පුරාම මතක හිටින්නේ නැහැ නේද? බොහෝ විට විනාඩියක් ගත වෙන්නටත් පෙර එය අමතක වී යනවා. ‍ඒ විතරක් නෙමෙයි; ඔබට කඩෙන් මිල දී ගෙන එන ලෙස බඩු ලිස්ට් එකක් කී විට, එය මතක තබා ගැනීමත් අපහසුයි නේද? එමනිසානේ එය කොල කෑල්ලක ලියාගෙන යන්නෙ. ඒකෙන් පේනවා උඩු සිතේ මතකය කෙටි කාලයක් පවතින කුඩා මතකයක් බව. දිගු කාලීන මතකය අයිති උපවිඥානයටයි. සවිඥානය විසින් උපවිඥානය හා අවිඥානය සම්පූර්ණයෙන් වසාගෙන සිටිනවා. ඒ කියන්නේ උඩි සිත හරහා තමයි මනසට එන සියලු දේ උපවිඥානයට හා අවිඥානයට ගමන් කරන්නේ.”

“ඒ වගේමයි උඩු සිතේ තිබෙනවා විශ්ලේෂණය කිරීමේ හැකියාව. ඒ කියන්නේ උඩු සිතට එන කාරණාවක් ගැන විවිධ පැති සලකා බලනවා. කාරණාව කුඩා කුඩා කොටස් වශයෙන්ද සලකා බලනවා. උදාහරණයක් ලෙස, ටීවී එකේ චැනල් දෙකක ඔබට බලන්නට ඕන කරන වැඩසටහන් දෙකක් එක වෙලාවෙම යන විට ඔබ කරන්නේ ඉන් එකක් තෝරා ගැනීම නේද? එවිට ඔබ ඒ වැඩ සටහන් දෙක ගැන යම් විශ්ලේෂණයක් කරනවා. අහවල් වැඩසටහන හෙට නැවත විකාශය වෙනවා එමනිසා මට එය හෙට වුණත් බලන්නට පුළුවන් කියා සිතිය හැකියි. එහෙමත් නැතිනම්, එක වැඩසටහනක් නම් චිත්‍රපටියක් නිසා එය මට සීඩී එකකින් පස්සෙ බලන්න පුළුවන් කියා කල්පනා කරාවි. විවිධ අය විවිධ විදියට එය සලකා තීරණයක් ගනීවි. එම තීරණ ගැනීමේ ක්‍රියාවලිය විශ්ලේෂණයයි.”

“ඒ වගේම උඩු සිතේ තවත් වැදගත් ලක්ෂණයක් තමයි සහේතුක බව කියන්නේ. ඉංග්‍රිසියෙන් එය රැෂනල් කියලයි කියන්නේ. එයත් අපූරු ලක්ෂණයක්. ඔයා කරන කියන දේවල් සාධාරණීකරණය කරන එක තමයි එයාගෙ රාජකාරිය. සිතන්න ටිකක්; ඔයා යමක් කරන්නේ ඇත්තටම ඔබේ සිතේ කොතැනකින් හෝ එය කිරීමට පෙළඹවූ නිසා නේද? දෙයක් ඔයා නොකරන්නේද සිතේ කොතැනක හෝ තැනකින් ඒ දේ කරන්න එපා කියා ඔයාට හේත්තු ගැන්වූ නිසා නේද? සමහරවිට ඒ කරපු දේ වැරදි කියාත් පසුව ඔබ‍ට සිතෙනවා. සමහරවිට අපරාදේ ඒ දේ කරන්න තිබුණා එහෙත් කළේ නැහැ කියලා ඔයාට හිතුනු අවස්ථා තිබෙනවා නේද? එහෙත් ඒ දේ කරන අවස්ථාවේදී ඔබට එය කිරීම සුදුසුයි කියා මෙහෙයවපු කෙනෙක් තමයි මෙම සහේතුක බව. මෙය හොඳට වගේම නරකටත් බලපානවා. ඔබට යම් යම් වැරදි දේවල් කිරීමට හෝ කිරීමට පොළඹවන කෙනෙක් මෙයා. හොඳ දේවල් කරවන විට නම් එය ඉතාම හොඳ මිතුරෙක්. ඒ විතරක් නෙමේ ඔබ යම් නරක දෙයක් කළාට පසුවද මෙයා විසින් ඒ දේ සාධාරණීයකරණය කිරීමට උත්සහ දරනවා. බොහෝ අය “ඔව් මං ඒ දේ කරපු එක වැරදියි තමයි; එහෙත් ඉතිං අහවල් දේ අහවල් විදියට සිදු වුණු නිසා මට එය කරන්න වුණා; ඉතිං ඒක මගේ ප්‍රශ්නයක්ම නෙමෙයිනේ” ආදී කියමන් කියනවා ඔබට ඇසී ඇති ඕන තරම්. ඔයත් එවැනි වාක්‍ය පවසා ඇති. මෙවැනි “එහෙත්” කියා පවසන බොහෝ දේවල්වල පිටුපස සිටින්නේ මෙම සහේතුකබවයි.”

“උඩු සිතේ තවත් එක් ලක්ෂණයක් තමයි වීර්ය කියන්නේ. අප කවුරුත් වීර්ය ගැන දන්නවා. එය හොඳ දෙයක්. ඇත්තට එය හොඳ දෙයක් වන්නේ හොඳ දේවල් කිරීමට වීර්ය කරනවා නම් විතරයි. එහෙත් අප සිතා සිටිනවාට වඩා වීර්ය කියන්නේ එච්චර ලොකු වීරයෙක් නොවෙයි. වීර්යයද කෙටි කාලීනයි. ඊට හේතුව උඩු සිතේ සියල්ලම කෙටි කාලීනයි. ඉතා ඉක්මනින් වීර්යය හීන වෙලා යනවා. ඔබට ඉන් අනගි ප්‍රයෝජන ගන්න පුළුවන් කෙටි කාලීන දේවල් වලදී. උදාහරණයක් ලෙස, ඔබ යම් තරගයකට මුහුණ දෙනවා යැයි සිතන්න. එවිට ඔබට දත් මිටි කා, අතමිට මොලවා දැඩි වීර්යෙන් අධිෂ්ඨානයක් ගන්න පුළුවන් මං කොහොම හරි මේ තරගෙන් දිනනවා කියා. ඉන් ඔබගේ සිතටත් ගතටත් ඉතා විශාල ශක්තියක් සැබවින්ම ලැබෙනවා. එහෙත් එය දිගු කාලීන දේවල් සිදු කර ගැනීමට යොදා ගන්නට බැහැ. උදාහරණයක් ලෙස, “මා මාසෙකින් කොහොම හරි සිගරට් බීම අත් හරිනවා”  කියා දැඩි වීර්යක් ගෙන එය නතර කිරීමට බැහැ. බොහෝ විට එය අධිෂ්ඨාන කරපු වීර්ය කරපු පළමු දවස හෝ දවස් කිහිපයේ පමණක් දැඩි ශක්තියකින් පිළිපදිමින් සිටීවි. එහෙත් තවත් කෙනෙකු සිගරට් බොනවා දකින විට හෝ කෙනෙකු ඔබට නොමිලේ සිගරට් එකක් දෙන විට හෝ ඔබගේ එම වීර්ය ඉතා ඉක්මනින්ම දුර්වල වෙලා යනවා. එලෙස ටික කලෙකින් නැවත සිගරට් එකක් බොන්නට සිතෙනවා. සිගරට් බීම අත් හැරීමට මෙලෙස වීර්ය කරපු අය එය කිරීමට බැරි වී තිබෙන්නේ මේ නිසාය. ඒ විතරක් නෙමෙයි; මෙලෙස වීර්ය ඇති කරගෙන එය අසමත් වූ පසුව වීර්ය ගැන තිබෙන විශ්වාසයද මනසින්ම අඩු වෙනවා. මෙලෙස නැවත නැවත වීර්ය ඇති කොට ගෙන පසුව ෆේල් වුණාම වීර්යයේ ඇත්තටම තිබෙන බලයද ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. මොකද යමක් ගැන වීර්යක් දරන්න යන විට මනස සිතනවා අයියෝ එම වීර්යය ඉක්මනින්ම ෆේල් වෙනවා මොකද අතීතයෙත් සිදු වූයේ එයයි කියා.”

“මනසේ ඇති තවත් කොටසක් තමයි අවිඥානය කියන්නේ. අවිඥානය කියන්නේ අප සිතා මතා නොකරන එහෙත් අපේ ජීවිත කාලය පුරාම ක්‍රියාත්මක වන ජෛවීය ක්‍රියා, ඒ කියන්නේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය ක්‍රියා පවත්වාගෙන යන සිතයි. ඔයාගේ හුස්මගැනීම, ලේ ගමනාගමනය, ආහාර දිරවීම ආදී බොහෝ වටිනා ක්‍රියා පාලනය වන්නේ අවිඥානයෙන්. ලෙඩ රෝග සුව කිරීමට ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතියද මේ යටතේ පවතිනවා. ඇත්තටම අපට මෝහනයේදී අවිඥානය සේම සවිඥානයද එතරම් වැදගත් නැහැ.”

“මනසේ අනෙක් කොටස නම් උපවිඥානයයි. මෝහනයේදී අපට වැදගත්ම කොටස මෙයයි. අනෙක් කොටස් දෙකට සේම, උපවිඥානයටද විශේෂ ලක්ෂණ කිහිපයක් තිබෙනවා.”

“දිගු කාලීන මතකය තිබෙන්නේ උපවිඥාන‍යේ. ‍ඔබේ උපන් දිනය ඔබට අමතක කරන්න පුළුවන්ද? බැහැනේ. එවැනි මතකයන් තමයි දිගුකාලීන මතකය කියන්නේ. ඔබේ මවගේ රූපය, කන බොන යන යන විදිය ආදී ජීවිතට අවශ්‍ය (හා අනවශ්‍ය) බොහෝ දේවල් රැඳී තිබෙන්නේ මෙම දිගුකාලීන මතකයේය. මෙම මතකය දිගු කාලීන පමණක් නොව; ‍ඉතා විශාල තොරතුරු කන්දරාවක්ද ගබඩා කර තබා ගැනීමට හැකියාව ඊට ඇත.”

“අප කාටත් බොහෝ පුරුදු තියෙනවා නේද? බොහෝ දේවල් අප කරන්නේ පුරුද්දට වගේ. යමක් දිගු කාලයක් කරන විට එය ඉබේම පුරුද්දක් බවට පත් වෙනවා. ‍හොඳ පුරුදු වගේම නරක් පුරුදුත් තිබෙනවා. හොඳ හෝ නරක නොවන පුරුදුත් තියෙනවා. මේ සියලු පුරුදු පවතින්නේ උපවිඥාන‍යේ. උඩු සිතින් කල්පනා කර අපට පුරුදු වෙනස් කිරීම ඉතා අපහසුයි. උදාහරණයක් ලෙස, ඇඟ කෙට්ටු කර ගන්නා අයට තිබෙන ලොකුම ගැටලුව එයයි. එනම්, අද ඉදන් මං අඩුවෙන් කනවා, වැඩියෙන් ව්‍යායාම කරනවා කියා ඉතා හොඳ තීරණයක් ගත්තත්, කන බොන එක ව්‍යායාම කිරීම වැනි දේවල් වැටෙන්නේ පුරුදු ගණයටයි. එමනිසා එවැනි උඩු සිතෙන් තීරණය ගත් පලියට යටි ‍සිතේ දේවල් වෙනස් කරන්නට බැහැ. පුරුදුවලටම ළඟින් යන දෙයක් තමයි ඇබ්බැහිවීම්. ඒක නිසා නේද ඇබ්බැහිවීම්වලින් නිකංම ඉවත් වෙන්නටත් බැරි?”

“උපවිඥානය සමග තමයි හැඟීම් සම්බන්ද වෙලා පවතින්නෙත්. ඒ කියන්නේ දුක, සතුට, ප්‍රීතිය, තනිකම, කේන්තිය, කරුණාව, අනුකම්පාව වැනි හැඟීම් හා භාවයන් පවතින්නේ උපවිඥානයේ. අප දන්නවා කෙනෙකුට ගහන එක නරක දෙයක්. සමහර විට හිරේ යන්නත් පුළුවන්. එහෙත් කේන්තියක් ආ විට කෙනෙකුට ගහන්නටමයි හිතෙන්නේ. සමහරවිට ගහන්නත් පුළුවන්. හැඟීම්වල හැටි එහෙමයි. ඒකනේ ගොඩක් අය කියන්නේ හදවතින් නෙමේ මොලයෙන් වැඩ කරන්න කියා. එසේ කිව්වාට එසේ කිරීම පහසු නැහැ නේද? ඊට හේතුව හැඟීම් ක්‍රියාත්මක වන්නේ උපවිඥාන මට්ටමෙ වීමයි. එනම්, විශ්ලේෂණ හා බුද්ධිය ගැබ්ව ඇති උඩු සිත අභිබවා උපවිඥානය මතු වෙනවා. එහෙත් අවශ්‍යම නම් ඉතා දිගු කාලයක් මුළුල්ලේ (යටි) සිත දමනය කර එයම පුරුදු වශයෙන් තබා ගත හැකියි. එවිට, ඔබට කේන්තියක් ආ විට වුවත් ඔබ පුරුදුව ඇත්තේ ගහන්න බනින්න නොව නිහඬව සිටීමටයි. එලෙස සිත යහපත් ආකාරයට පුහුණු කරපු උතුමන්ලා සිටිනවා.”

“උපවිඥානයේ තිබෙනවා ස්වයං-ආරක්ෂාව සලස්වන ගතිගුණයක්. ඒ කියන්නේ විවිධ ප්‍රශ්නවලින් අපට ආරක්ෂා කිරීමට උත්සහ කරන ගතියක්. මෙම ස්වයං-ආරක්ෂාව සමහර විට ඉතා මෝඩ විදියටත් ක්‍රියාත්මක වෙනවා. එය හරියට ලෙඩා මලත් බඩ සුද්ධයි කියන ආකාරයට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස, ඔබට අහල පහල අධික ශබ්දය නිසා දුක් විඳින ඊට ශාප කරමින් සිටින කෙනෙකු නම්, සමහර විට උපවිඥානයේ සිටින මෙම ආරක්ෂකයා ඔබට පිහිට වීමට පැමිණෙනවා. එයට බැහැ අද්භූත බලයක් ලෙස ගොස් අසල්වාසීන්ගේ ගුවන්විදුලි යන්ත්‍ර ඕෆ් කරන්න හෝ ඒගොල්ලන්ව බය කරන්න. ඒ වෙනුවට ඊට පුළුවන් ඔබේ කනේ ගෙඩි හට ගන්වන්න හෝ ඔබේ කන ඇසීම දුර්වල කරන්න. එහෙත් ඒ දෙකම ශබ්දයෙන් ඇති වූ කරද‍රයෙන් යම් සහනයක් ලබා දුන්නද, කිසිසේත් ඒ දෙකම වෙනවාට ඔබ කැමැති නැහැ නේද? ලංකාවේ වගේ සමාජවල යක්ෂ භූත ආරූඪවීම් ආදියටද හේතුව මෙම ස්වයං-ආරක්ෂාව නිසා ඇති විය හැකියි. එනම්, තමන්ගේ යම් ප්‍රශ්නයකට තමන් අසරණ වූ විට, යක්ෂ භූත සංකල්පය ලංකාවේ තවමත් ප්‍රචලිත විශ්වාසයක් බැවින්, යක්ෂයෙක් හෝ භූතයෙක් වැහීම මගින් සහනයක් ලබා දීමට ස්වයං-ආරක්ෂාව ඉදිරිපත් විය හැකියි.”

“උපවිඥානයේ අනෙක් ලක්ෂණය නම් එහි ඇති කම්මැලිකමයි. ඒ කියන්නේ, උපවිඥානයේ දැනට පවතින පුරුදු ආදිය ඒ විදියටම පවත්වාගෙන යන්නයි උත්සහ කරන්නේ. එනිසා තමයි උපවිඥානයේ තිබෙන ඒවා වෙනස් කිරීමට ලොකු අපහසුවකුත් පවතින‍්නේ.”

“මනස ගැන බොහෝ දේවල් දැනගත්තට පස්සෙ දැන් අප බලමු මෝහනය කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම මෝහනය කියන්නේ උඩු සිත මග හැරල උපවිඥානයට කෙළින්ම ළඟා වෙන එකයි. ඉතිං ඇයි එසේ උඩු සිත මග හැරල යන්නේ? බැරිද උඩු සිත හරහාම යන්න? අන්න එතන තමයි ප්‍රශ්නය තියෙන්නෙ. සාමාන්‍ය තත්වය යටතේ උඩු සිත හරහා යටි සිතට, ඒ කියන්නේ උපවිඥානයට පණිවිඩයක් යවන විට, උඩු සිත එම පණිවුඩ විකෘත කරනවා. එහෙමත් නැතිනම් එම පණිවුඩය දියාරු කරල දානවා. ඒකට හේතුව උඩු සිතේ තිබෙන විශ්ලේෂණය, සහේතුක බව ආදී ලක්ෂණයි. උදාහරණයක් ලෙස සිතමු ඔබ හොල්මන්වලට බයයි කියා. සමහරවිට ඔබ දන්නවා හොල්මන් කියල ජාතියක් නැහැ කියලා. එම තීරණය ඔබ හොඳින් සිතා බලා විද්‍යාත්මක කරුණු සොයා බලා බුද්ධිමත් ලෙස ගත් තීරණයක්. එය උඩු සිතින් ගත් තීරණයක්. එහෙත් හොල්මන්වලට ඇති බිය තිබෙන්නේ යටි සිතේ. එම බිය ඉවත් කිරීමට නම් යටි සිතේ ඇති එම බිය පිළිබඳ සිතුවිල්ල ඉවත් කරන්න අවශ්‍යයි. උඩු සිතෙන් හොල්මන් කියා දෙයක් නැතැයි සිතුවත් හොල්මන් ගැන බිය දුරු නොවේ. ඔබ හොඳටම දන්නවා හොල්මන් නැති බව. ඉතිං ඔබම කියන්න ඔබේ (යටි) සිතට හොල්මන්වලට බිය වන්න එපා කියා. අභාග්‍යයකට මෙන් එසේ කිව්වට වැඩක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙනවා නේද උඩු සිත හරහා යටි සිතට පණිවිඩයක් හෝ යෝජනවාක් යැව්වට එය යටි සිතට ගොස් අවශ්‍ය වැඩ‍ය කෙරෙන්නේ නැති බව. සිගරට් බොන කෙනෙක්ට කොතරම් ඕනකම තිබුණත් එය තමන් තමන්ට කියා ගත්තත් නතර කිරීමට අමාරුයි. මේ විදියට ගොඩක් උදාහරණ එදිනෙදා ජීවිතයේ දක්නට ලැබෙනවා නේද? ඉතිං මෙම උඩු සිතේ බාධාව ඉවත් කිරීමට නම්, උඩු සිත මග හැර යන්න වෙනවා නේද? මෝහනයෙන් කරන්නේ අන්න එයයි.”

“උඩු සිත මග හැර යටි සිතට පණිවුඩ යන ලෙසට මාර්ගයක් සකස් කර ගත්තත් එයද ප්‍රමාණවත් වන්නේ නැහැ. කොතරම් ගැඹුරට මෝහනයට පත් වූවත් සම්පූර්ණයෙන්ම උඩු සිත මග හැර යන්න බැහැ. ඇත්තටම එය එසේ වීම අත්‍යවශ්‍යයි. ඊට හේතුව, යටි සිතට තර්ක කරන්න තීරණ ගන්න බැරි නිසා හොඳ නරක හඳුනා ගන්නට එයට බැහැ. ඉතිං දෙන ඕනෑම පණිවුඩයක් යටි සිත විසින් භාර ගන්නවා. ඒ කියන්නේ යටි සිත ගොඩක් අනාරක්ෂිතයි කියන එකයි. ඉතිං, එය ආරක්ෂා කිරීමට උඩු සිතේ අඛණ්ඩ සහය අවශ්‍යයි. මෝහනයේදී වුවත් උඩු සිතේ ආරක්ෂාව යටි සිතට ලැබෙනවා. අන්න ඒක නිසයි මුලදිම මං කිව්වේ මෝහනය කරන කෙනා කියන කියන දේ මෝහනයට ලක් වෙන කෙනා පිළිගන්නේ නැහැ කියා. ඔයා අදහන ආගම හෝ වෙනත් විශ්වාස බලෙන් හෝ ඔයාට හොරෙන් හෝ ඔයාගේ කමැත්තෙන් තොරව වෙනස් කරන්න විදියක් නැහැ. මෝහනයේදී ඔබට යම් සහනයක් පිහිටක් ලැබීමට නම්, පළමුව ඔයාට ඒ දේ වෙනස් කර ගැනීමට ඕන කමක් තියෙන්න ඕනමයි.”

“මේ නිසාම තමයි මං ආයෙමත් කිව්වේ මෝහනයේදී තමන්ගේ රහස් හෝ තමන්ට කියන්නට ඕන කමක් නැති දේවල් ඔයා කියන්නේ නැහැ කියා. මෝහනය කරන කෙනාට බැහැ ඔයාගේ කැමැත්ත නැතිව ඒවා ඔයාගෙන දැන ගන්න. මෝහනය නොවී සාමාන්‍යයෙන් සිටිනවා වගේමයි මෝහනයට පත් වූවාට පසුත් ඔබට අවශ්‍ය දේවල් පමණයි ඔබ කියන්නේ.”

“මේ අනුව පේනවා නේද මෝහනයට පත් වෙනවා කියන්නේ අනාරක්ෂිත වෙනවා කියන එක නෙමේ කියලා. මෝහනයට පත් වෙනවා කියන්නේ ඇස් දෙක වහගෙන අමුතු දේවල් දැනෙන හෝ අමුතු දේවල් කළ හැකි තත්වයක්ද නොවේ. මීට පෙර මෝහනයට පත් වී නැතිනම්, මං දැන් කියන්නම් මෝහනය වූවාට පසු ඔබට දැනෙන දේ. ඔබට දැනේවි මෝහනය වූවාට පසුත් දැනෙන්නේ මෝහනය නොවී සිටින විට දැනෙන දේම බව. ඔව්. ඒ කියන්නේ මෝහනයේදී අමුතු දේවල් දැනෙන්නේ නැහැ. ඔබගේ සිහි‍ය විකල් වෙන්නෙ නැහැ. අමුතු ශබ්ද ඇසෙන්නේ නැහැ. අමුතු බලයක් දැනෙන්නේ නැහැ. දෙවියන් භූතයන් පෙනෙන්නේ නැහැ. දැනෙනවා නම් යම් කායික හා මානසික සැහැල්ලුවක් දැනේවි. කලබල ගතිය අඩු බවක් දැනේවි. සමහරවිට ඇග පණ නැති බවක් හෝ උණුසුම් බවක් දැනෙන්නට පුළුවන්. ඒකට හේතුව ශරීරය ගොඩක් රිලැක්ස් වීමයි. එච්චරයි.”

“ඉතිං ආයෙත් ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඉතිං ඇයි අප යටි සිතට පණිවුඩ දෙන්නේ කියා. ඒක හොඳ ප්‍රශ්නයක්. මුලදිත් මා යටි සිත ගැන සඳහන් කරන කොට කිව්වා යටි සිතේ තමයි දිගු කාලීන මතකය, හැඟීම්, පුරුදු ආදිය පවති‍න්නේ කියා. අප කෙනෙකුව මෝහනයට පත් කරන්නේ යම් ගැටළුවකට සහනයක් දීමට නම්, එම ගැටළුව පළමුව මෙම යටි සිතේ පවතින දේවල් නිසා හටගත් ප්‍රශ්න විය යුතුයි. ඒ කියන්නේ ඔබ කරුවලට බය නම්, එය පැහැදිලිවම යටි සිතේ පැලපදියම් වෙච්ච යම් යම් ප්‍රශ්නකාරී සිද්ධි හා මතක නිසා ඇති වූවක්. ඔබේ ශරීරය මහතයි නම් ඊට හේතුව ඔබ වැඩිපුර කෑම, වැරදි ආහාර ගැනීමේ රටා, හා ව්‍යායාමයන් නිසි ප්‍රමාණයට නොකිරීම ආදී හේතු නිසා ඇති වන්නක්. ඉතිං එය නරක පුරුදු නිසා ඇති වූවක්. “ඒ කාලේ හොඳට පාඩම් කළා, එහෙත් දැන් පාඩම් කරන්න හිතෙන්නෙම නැහැ”, “මට අහවලා දැක්කහම මාර කේන්ති යනවා. ඉස්සර එහෙම නැහැ” ආදී බොහෝ ගැටළුවලට මුල මෙම යටි සිතේ දිගුකාලීන මතක හෝ පුරුදු ආදිය නේද? මෙවැනි ප්‍රශ්න පැහැදිලිවම සුදුසු වැරදි නිවැරදි කරන යෝජනා යටි සිතට දීමෙන් විසඳන්න පුළුවන්. ඒකෙන් පේනවා නේද යටි සිතට සුදුසු පණිවුඩ දිය යුතුයි කියලා. ඉතිං උඩු සිතෙන් කෙරෙන බාධාවන් ඉවත් කර යටි සිතට ඍජුව බලවත් පණිවුඩ දීම මෝහනයෙන් සිදු වෙනවා.”

“මෝහනය කියන්නේ උඩු සිත බොහෝ තුනී කරපු යහපත් සැහැල්ලු මානසික තත්වයක්. එය කිසිසේත් අනාරක්ෂිත නැහැ. බොහෝ බලවත් තත්වයක්. ජීවිතය සාර්ථක කරගන්නට යොදා ගත හැකි හොඳ තත්වයක්. සමහරවිට ඔයා අහල ඇති අද මිනිසුන් විඳින බොහෝ ශාරීරක හා මානසික ප්‍රශ්නවලට හේතුව මනස කියලා වෛද්‍ය විද්‍යාවෙන් කියනවා. ඔව් එය සත්‍යයක්. ශරීරයේ විවිධ කැක්කුම්, සමේ රෝග, හා වෙනත් වෛද්‍ය පරීක්ෂණවලින් හඳුනා ගත නොහැකි බොහෝ ලෙඩ රෝගවලට හේතුව මනස. ඉතිං අප ඉස්සර සිතාගෙන සිටියාට වඩා විශාල සහනයක් පිහිටක් මෝහනයෙන් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස, යම් රෝගියෙක් ආවා වෛද්‍යවරයකු ළඟට හිටි ගමන් කන ඇසීම නතර වූවා කියා. වෛද්‍යවරයා විවිධ වෛද්‍ය පරීක්ෂණ සිදු කළා රෝගය සොයා ගැනීමට. එහෙත් බැරි වුණා. පසුව මනෝවිද්‍යාත්මක පරීක්ෂණ මගින් සොයා ගත්තා ඊට හේතුව මානසික හේතුවක් බව. පසුව ඉතාම සරල මෝහනය වැනි මනොවිද්‍යාත්මක ප්‍රතිකර්මයකින් එය ඉක්මනින්ම සුව කළා. සමහර කුඩා ළමුන් පාසල් යන්නට බැහැ කියනවා. බ‍ඩේ කැක්කුමයි කියනවා. බොහෝ විට, දෙමාපියන් සිතන්නේ ළමයා බොරුවට බඩේ කැක්කුමයි කියා පාසල් නොයා ඉන්න උත්සහ කරනවා කියා. එහෙත් බොහෝ විට ඇත්තටම ළමයාට බඩේ කැක්කුම දැනෙනවා (ළමයා අන්ත අසරණ වෙනවා නේද තමන්ගේ අම්මා තාත්තා තමන්ට ඇති අමාරුව බොරුවක් කියා සිතා ප්‍රතිකාර නොකර ඉන්න එකට?) මීට හේතුවද පෙර සේම මානසිකයි. ළමයාට පාසලේදී සිදු වූ යම් නරක කටුක අත්දැකීමක් බොහෝ විට යටි සිතේ ගබඩා වී මෙවැනි තත්වයන් ඇති කරනවා. මතකද කිව්වා යටි සිතේ ස්වයං-ආරක්ෂක ලක්ෂණය ගැන. මෙතන ක්‍රියාත්මක වෙන්නේ අන්න ඒකයි. ළමයාට අනුව පාසල යනු දැන් නපුරු තැනක්. ඉතිං එම ළමයාගේ යටි සිත එම නපුරු තැනින් ළමයා ඈත් කිරීමට උත්සහ දරනවා. එය ස්වයං-ආරක්ෂකයා විසින් සිදු කරන්නේ බඩේ කැක්කුමක් ඇති කරමින්. මෙවිටද බඩේ කැක්කුමට දෙන බෙහෙත් දී වැඩක් නැහැ. සුදුසු මනෝ ප්‍රතිකාර සඳහා ළමයා ගෙන යන්න ඕන. මෙවැනි මානසික හේතු නිසා ශාරීරකව ඇති වන රෝගවලට සයිකොසොමැටික් ලෙඩ කියලයි කියන්නේ. කිසිදු වෛද්‍ය විද්‍යාත්මක බෙලහීනකමක්/දුර්වලකමක් නැතිවත් ළමයින් සෑදීමට නොහැකි වූ කාන්තාවන් සිටිනවා. බොහෝ විට මීට හේතුවද යම් මානසික ප්‍රශ්නයක් වේ. එවිට, දේවාල ගානේ ‍ගොස් වැඩක් නැහැ. ‍ඩේව් එල්මන් කියන ලෝකප්‍රකට මෝහනවේදියා මෙවැනි ‍කාන්තාවන්ව මෝහනය කර දරුඵල ලබා දී තිබෙනවා.”

“ඔයා දැන් දන්නවා මෝහනයෙන් ඔයාට ඕන දේ විතරයි කරවා ගන්නට පුළුවන් වන්නේ කියා. තමන්ට අවශ්‍ය නැති, ඕන කමක් නැති කිසිම දෙයක් මෝහනය කරන කෙනාට කරන්නට බැහැ. නිකමට හෝ තමන් අකමැති දේවල් මෝහනය කරන කෙනා යෝජනා කරන කොට, තමන්ට කැමැති ඕනම වෙලාවකට මෝහනයෙන් ඉවත් වෙන්න ඔයාට පුළුවන්. ඔව්, ඒ කියන්නේ ඕනෑම හේතුවක් නිසා ඔයාට කැමති වෙලාවක මෝහනයෙන් ඉවත් වෙන්න පුළුවන්. එනිසා මෝහනය කළ පසු සමහර විට මෝහනයෙන් ඉවත් නොවී මෝහන නිද්‍රාවේම ජීවිත කාලයට ගෙවන්නට සිදු වේවි යන දෙය සත්‍ය ලෙස සිදු වන්නේ නැහැ. මෝහනයේ සිටින විටත්, තමන්ගේ ආරක්ෂාව පිළිබඳ තීරණ ගන්නේ තමන්මයි.”

“අනික මෝහනයට පත්වන්නේ මෝඩයන් බුද්ධිමතුන්ව මෝහනය කරන්නට බැහැ කියාද සමහර අය කියනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. තාම කතා කරන්නට බැරි ළඳරුවන් හා මානසික ආබාධ ඇති අය හැර ඕනෑම වෙනත් ඕනෑම කෙනෙකුව මෝහනයට පත් කළ හැකියි. ඇත්තටම බුද්ධිය වැඩි අය තමයි පහසුවෙන් මෝහනයට පත් වන්නේ.”

“මේ සියල්ලම සලකා බලන කොට අවසාන වශයෙන් ඉතා වැදගත් දෙයක් මං දැන් කියනවා. ඔයාව සාර්ථකව මෝහනය කරන්නට මට විතරක් කරන්න බැහැ. ඔයත් ඊට සහය දිය යුතුයි. පළමුව මෝහනය ගැන ඇති බොරු බිය නැති කරගන්නට ඕන. ඔව්, මෝහනයට යම් බියක් තියෙනවා නම් ඒක බොරු බියක්. ‍මා දැන් පෙන්වා දුන්නා විද්‍යාත්මකව මෝහනය කියන්නේ මොකක්ද කියලත්. ඒ එක්කම ඔයාට මෝහනය වීමට කැමැත්තකුත් තියෙන්න ඕන. මෝහනය කියන්නේ සියයට සීයක්ම තමන්ගේ කැමැත්ත තිබේ නම් පමණක් කළ හැකි දෙයක්. ඒ කියන්නේ ඔයාට දැන් මෝහනය වීමට කැමැත්තක් තියෙන්නට ඕන. නැතිනම් මං කොච්චර උත්සහ කළත් ඔයාව මෝහනය කරන්නට බැහැ. “මෝහනය හොඳයි; එය මට අනිවාර්යෙන්ම වැඩ කරනවා; මං ඒකට කැමැතියි” කියා ඔබ විසින්ම ඔබට කියා ගත යුතුයි. එලෙස විශ්වාස කළ යුතුයි. “මෝහනය හොඳයි එහෙත් ඒක මට වැඩ කරයිද දන්නෙ නැහැ”, “මෝහනය කියන‍්නෙ බොරු මං මේ නිකං ටෙස්ට් කරන්න ට්‍රයි කරනවා විතරයි”, “මෝහනය සමහරවිට මට වැඩ කරන්න ඉඩ තියෙනවා” වගේ සිතුවිලි තිබුණොත් මෝහනය ඔයාට වැඩ නොකරන්නට ඉඩ තිබෙනවා. එමනිසා මෝහනය ගැන විශ්වාසයක් හා එය තමන්ට කර ගැනීමට නොඉවසිල්ලක් තිබීම වැදගත්.”

ඉහත මා දැක්වූයේ ඉතා සරල පෙර-කතාවක්. ඔබ එය හොඳින් කියවා බලන්න. එහි සිත හා මෝහනය යනු කුමක්දැයි සරල වචන වලින් කියා තිබෙනවා. ඒ විතරක් නොවේ, මෝහනය ගැන ඇති අනවශ්‍ය වැරදි බිය හා සැකයන් මා ක්‍රමයෙන් දුරු කරනවා. “මෝහනය කියන්නේ සත්‍යයක් අනේ මාව විශ්වාස කරන්න” කියා බය සැක සංකා දුරු කරන්නට බැහැ. ඒවා විද්‍යාත්මකවත් පැහැදිලිවත් එකින් එක විස්තර කළ යුතු වෙනවා. ඔබගේ මනෝවිද්‍යාව හා මෝහනය ගැන දැනුම වැඩි වන විට තව තවත් විස්තරාත්මකව එම පෙර-කතාව සකස් කර ගත හැකි වෙනවා. පෙර-කතාව ඉතාම වැදගත්. එය මග හරින්න එපා. ඉස්සර කාලේ පෙර-කතාව කියා දෙයක් දැනන් සිටියේ හෝ එහි වැදගත්කම දැන සිටියේ නැහැ. එයත් එක හේතුවක් වුණා ‍ඒකාලේ බොහෝ දෙනා මෝහනය නොවී සිටීමට. ඔබේ වචනයෙන් එය කියන්න. නිකං කටපාඩම් කරපු එකක් කියාගෙන යන ආකාරයට කියන්න එපා. එවිට ඔබ මෝහනය ගැන දන්නේ නැති බවක් මෝහනලාභියාට හැඟී යනවා. ඔබ ඇත්තටම මෝහනය ගැන හොඳින් ඉගෙන ගන්න. භාගෙට ඉගෙන කරන්න එපා. ඔබ මෝහනය කරන සෑම කෙ‍නාටම ඉහත ආකාරයේ එකම පෙර-කතාව කියන්න එපා. එකවරක් ඔබ මෝහනය කරපු කෙනෙකුට නැවතත් පෙර-කතාව කීම අනවශ්‍යයි. වයසින් අඩු අයට මෝහනය ගැන කිසිදු දැනීමක් නැති වන්නට පුළුවන්. වැරදි මත ඔවුන්ගේ සිත්වලට තවම ඇතුළු වී නැත. එමනිසා පොඩි අයට එවැනි දීර්ඝ පෙර-කතා අවශ්‍ය නැත. සාමාන්‍යයෙන් පොඩි අය ඉක්මනින් මෝහනයට පත් වෙනවා. ඒ ඒ කෙනාගේ වයස, දැනුම් මට්ටම, මෝහනය ගැන තිබෙන බය හෝ දුර්මතවල ප්‍රමාණය මත ඔබට එය වෙනස් කරන්නට හැකියාව තිබිය යුතුයි. මෝහනලාභියා සමග කෙටි පිළිසඳරකින් ඒ ගැන දැන ගත හැකියි.

සමහරවිට ඔබ පෙර-කතාව කරගෙන යන අතරේ ඔහුට යම් යම් ප්‍රශ්න මතුවිය හැකියි. එවිට එම ප්‍රශ්න ඔබෙන් අසන්නට ඔවුන්ව දිරිමත් කරවන්න. ඔහු විසින්ම අසන ප්‍රශ්නවලට පිළිතුරු දීම ඉතා අනර්ඝ ක්‍රමයක් මෝහනය ගැන බිය සංකා දුරු කරන්නට. එහෙත් ඔබ මෝහනය ගැන ප්‍රමාණවත් තරම් දැන සිටිය යුතුයි අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට. කොහොමත්, පෙර-කතාව අවසානයේ ඔබම අසන්න ඇසීමට ප්‍රශ්න තිබෙනවාද කියා. පෙර-කතාවට විනාඩි දහයක් පහලොවක් පමණ ගත විය හැකියි.

පෙර-කතාවට පසු සුදුසු ඉරියව්වකින් මෝහනලාභියාව තබන්න. පුටුවක වාඩි කරවා හෝ සෝෆාවක් වැනි සැප පහසු සයනයක නිදි කරවා තබන්න. හිස පෙදෙස තරමක් ඔසවා තබන්න (කොට්ටයක් වැනි දෙයක් තබා). ඇඟට අපහසුවක් පරිදි ඇති කලිසම් සාක්කුවල ඇති මුදල් පසුම්බි (purse), මොබයිල් ෆෝන් ආදිය ඉවත් කර ශරීරයට ඇති විය හැකි අනවශ්‍ය තෙරපුම් ආදිය ඉවත් කරන්න. ඉතා තද ඇඳුම් ඇඳගෙන සිටීම බාධාවක් විය හැකියි. අවශ්‍ය නම්, බෙල්ට් බුරුල් කරන්නට හෝ බොත්තම් කිහිපයක් ගැලවීමටද හැකියි සුදුසු පරිදි. මොබයිල් ෆෝන් ඕෆ් කරන්න නැතිනම් “සයිලන්ට්” කරන්න. උපැස් යුවලක් පැළඳ සිටී නම්, එයද ඉවත් කරන්න. ඇස් කාච පැළඳ ඇතිනම් ඒවාද ඉවත් කරන්න. සමහරවිට තදට සපත්තු ආදිය ඇති නම්, ඒවාද ඉවත් කරන්න. ඇඟ සැහැල්ලු වීමට බාධා කරන සියල්ල ඉවත් කරන්න.

ඇත්තටම මෝහනයට පත්වන විට ශරීරය හොඳින් ඉහිල් වේ. එවිට, දැනට තිබෙන ප්‍රමාණයට වඩා තරමක් අත් පා හා ශරීරය මහත් වේ. දැනට තදට නැතත්, මෙම මෝහනයේදී සිදුවන මහත්වීම නිසා ශරීරයට පීඩාවක් ඇති වීමට ඇති ඉඩ අවම කිරීමත් ඔබේ යුතුකමක්.

පුළුවන් තරම් සෞම්‍ය කාමර උෂ්ණත්වයක් තිබීමද වටිනවා. දහඩිය පෙරාගෙන මෙය කිරීම අපහසුයි. වටපිට ඇතිවන වාහන හෝ වෙනත් ශබ්ද ආදිය එතරම් ගැටළුවක් නොවේ. මෝහනය කිරීමට භාවනා කිරීමට වගේ ඉතා නිශ්ශබ්ද පරිසරයක් අත්‍යවශ්‍ය නොවේ. එහෙත් පුළුවන් තරම් නිශ්ශබ්ද තැනක් නම් වැඩේ පහසු විය හැකි බවද මතක තබා ගන්න. කාමරයේ පාට හෝ ආලෝක මට්ටම හෝ වැදගත් නැත. පසුබිම් සංගීත අවශ්‍ය නැත.

පැරණි මෝහනවේදින් හා ආචාර්යවරුන් ඉගැන්නුවා මෝහනය කරන විට ඒකාකාර උස් “අණ දෙන ස්වරූපයේ” (commanding) කට හඩක් (voice) භාවිතා කරන්න කියා. එහෙත් එය අනවශ්‍ය පමණක් නොව, හොඳ මෝහනය කිරීමකට බාධාවක්ද වේ. ඔබේ සාමාන්‍ය හඬින් ‍කතා කරන්න. එහෙත් පැටළුනු හෝ කැඩි කැඩි යන ලෙසට කතා කරන්න එපා. විශ්වාසවන්තව කතා කරන්න. පුහුණුව වැදගත් වන්නේ මෙහිදීය. මෝහනයේදී එකම අවිය කට හඬයි. තවද මෝහනලාභියාට යෝජනා ඉදිරිපත් කරන විට, සරල බසින් ඒවා ලබා දෙන්න. අමාරු “බර” වචන යොදන්න එපා කිසිවිටක.

මෝහනය කිරීම ඔබට හිටගෙන හෝ ඉඳගෙන සිට කළ හැකියි. අවශ්‍ය නම් ඔහු අවට ඇවිදමින්ද මෝහනය කළ හැකියි. එහෙත් මෝහනයට පත් කරන විට ඔබ ඔහුගෙන් ‍ඉවත්ව යන්නට එපා. මෝහනයට පත් වූ පසුවත් ඔහුව එම තත්වයේ තබා වෙනත් කටයුතුවලට ඉවත්වන්නට එපා. මෝහනයට පත් වූ පසු ඔහු බොහෝ විට සිටින්නේ ඇස් දෙක වසාගෙනයි. ඊට අමතරව, ඔහු ඉතා සැහැල්ලුවෙන් සිටින නිසා භාහිර දේවලට ප්‍රතිචාර දැක්වීමද අඩුය. සමහර විට, පරිසරයෙන් ඔහුට කරදරයක් සිදු විය හැකියි. එමනිසා මෝහනයට පත් කෙ‍නා අසල ඔබ සිටිය යුතුමයි.

ඉහත සියළු කරුණු හොඳින් වටහාගෙන, ඒවායේ වැදගත්කම ගැන තවදුරටත් ඔබම සිතා බලන්න. තවත් මෝහනය ගැන දත යුතු කරුණු රාශියක් ඇත. ඒවා ක්‍රමයෙන් පොතේ ඉදිරියට දැක්වේ. එහෙත් ඔබ ඉතා ඕනෑකමින් බල බලා සිටි මෝහනයට පත් කිරීමට මෝහනලාභියාට කිව යුත්තේ කුමක්දැයි දැන් ඉගෙන ගනිමු. මෝහනය ගැන තවදුරටත් අත්‍යවශ්‍ය කරුණු රාශියක් ඇති බැවින්, මා ඉල්ලා සිටිනවා මෝහනයට පත් කළ පසු විනාඩියක් පමණ ටික වේලාවක් මෝහන නිද්‍රාවේ සිටින්නට හැර ඔහුව මෝහනයෙන් ඉවත් කරන ලෙස. ලෙඩ රෝග හෝ මානසික ප්‍රශ්න විසඳන්නට යෝජනා කරන්නට යන්න එපා දැන්ම. ඔබට පුරුදු වීමට (practice) පමණක් මෝහනයට පත් කර ඉන් ඉවත් කිරීම පමණක් සිදු කරන්න.

දෙතුන් දෙනෙකුගේ කණ්ඩායමක් ලෙස මෝහනය පුරුදුවීමේ වැදගත්කම තිබෙන්නේ දැන්. එවිට එකිනෙකා හා සාකච්ඡා කර විනෝදෙන් ඉගෙන ගැනීමට අමතරව, ප්‍රැක්ටිස් වන විට එකිනෙකාව මෝහනය කළ හැකියි. මුලදී තමන්ගේ මිතුරන් හෝ පවුලේ අයට කරන්න.


මෝහනයට පත් කිරීම ඉන්ඩක්ෂන් කියා පවසන බව දැන් ඔබ දන්නවා. මා මෙහි පළමුව කියා දෙන්නේ ඉතාම හොඳ ඉන්ඩක්ෂන් ටෙක්නික් එකක් වන Elman induction (එල්මන් ඉන්ඩක්ෂන්) එක වේ. මෙය ඩේව් එල්මන් (Dave Elman) නම් මෙතෙක් ලොව පහළ වූ අති විශිෂ්ට මෝහනවේදියකු විසින් හඳුන්වාදුන් එකකි. ඔහු ගැනද විස්තර පසුව කෙටියෙන් දැක්වෙනු ඇත.


Hypnosis (mohanaya)...

5 comments:

  1. Thank you #tekcroach
    Mohanaya lipi tika eka digata kiyawagena yana gaman..
    sahena watina blog ekak..
    Thank you

    ReplyDelete
  2. :) bohoma hondai... kiyawala igena gena practise karanna. hypnosis is really interesting.

    ReplyDelete
  3. ගොඩක් වටිනවා Thanks

    ReplyDelete
  4. ගොඩක් වටිනවා Thanks

    ReplyDelete