Sunday, June 14, 2015

මෝහනය /mohanaya (Hypnosis) - 4

ඉතිහාස කතාව හා මෝහනයේ තවත් පැතිකඩ

මෝහනය (hypnosis) කරන ආකාරය ඉගෙනීමට පෙර ඒ ගැන ඇති ඉතිහාසය ගැන මඳක් විමසා බැලීම වටිනවා. ඉතිහාසය සමගම මෝහනය පිළිබඳ සමහර න්‍යායාත්මක කාරණාද සඳහන් කරනවා. ඊට හේතුව වන්නේ අද අප මෝහනය කියා ඉගෙන ගන්නා දෙය ඉතිහාසය පුරා විවිධ නම්වලින් හා ආකාරවලින් පැවැතීමයි.

බොහෝ විට මෝහනය අවුරුදු දස දහස් ගණනක් දක්වා ඈතට දිව යන එකකි. ආදිතම මානවයාට ඉර, හඳ, අහස, පොලොව, අකුණු ගැසීම, සුළඟ, විශාල කඳු, මිය යෑම (මෘත ශරීර) ආදී ‍පහසුවෙන් තේරුම් ගැනීමට නොහැකි බොහෝ දේවල් අද්භූත බලවේග ලෙස හෝ දේවත්වයෙන් සැලකුවා. තමන්ට ඇතිවන විවිධ රෝග සුව කිරීමට ඔවුන් එම බලවේගවලින් පිහිට පැතුවා (වෛද්‍යවේදය එකල පැවතුනේ නැති නිසා). ඇත්තටම මෙවැනි දෙවියන් හෝ අදෘෂ්‍යමාන බලවේගවලින් ශාරීරික/මානසික පිහිට පැතීමත් එක්තරා ආකාරයක මෝහන ක්‍රියාවලියකි. මෙය “විශ්වාසමාත්‍ර සුවකිරීම” (faith healing) යන නමින් හැඳින්වේ. එකල ඔවුන්ට එම ක්‍රමය හැර ලෙඩ සුව කරගැනීමට වෙනත් විකල්පයක් නොතිබුණි. මලවුන් ඇඳහීම, විවිධ දෙවිවරුන් ඇඳහීම ආදීය ආරම්භ වූයේ එමනිසාය. අදටත් බෝධිපූජා, යන්ත්‍රමන්ත්‍ර, බලිතොවිල්, විවිධ ක්‍රිස්තියානු නිකායන් විසින් සිදු කරන “‍ජේසු ජීවමානයි” ආදී යාඥා මගින් ලෙඩ‍ රෝග සුව කිරීම ආදිය සියල්ලම වැටෙන්නේ මෙම ෆේත් හීලිං ලෙස හැඳින්වෙන එක්තරා ආකාරයේ මෝහන ක්‍රමයටයි. ආදිතම මානවයා මෙම ප්‍රාථමික ඇදහිලිවල එල්බගෙන සිටියේ ඔවුන් සතුව පැවැති දැනුම හා බුද්ධිය අඩුකම නිසා වුවත්, නූතන මානවයා එලෙසම මේවා අදටත් පිළිපදින්නේ හා විශ්වාස කරන්නේ මන්දැයි විමසා බලන්න.
 


ෆේත් හීලිං මගින් ඇත්තටම ලෙඩ රෝග සුව වූවාද? පැහැදිලිවම සමහර ලෙඩ රෝග සුව වූවා. මුලිනුත් සඳහන් කළා සමහර මානසික තත්වයන් ශාරීරිකව පෙන්නුම් කරන බව (somataform හෝ psycho-somatic disorders ලෙස එම තත්වය හඳුන්වනවා). මෙවැනි ශාරීරික ප්‍රශ්න ෆේත් හීලිං මගින් සුව විය හැකියි. ඊට අමතරව, හුදු විශ්වාස මාත්‍රයම තමන්ගේ සිතේ සැනසිල්ලක් ඇති කරයි (එනම්, දැන් මගේ ප්‍රශ්නයට දෙවියන්ගේ පිහිට ලැබෙනවා කියා සිතීමම සහනයකි).

විශ්වාසය (faith) යනු යටි සිතට බලපෑම් එල්ල කළ හැකි ප්‍රබලම දෙයකි. අවාසනාවකට බොහෝ විට අපට විශ්වාස ඇතිවන්නේම දෙවියන්, භූතයන් වැනි මිථ්‍යාවන් කෙරෙහිය. යමක් ඉගෙන ගෙන එය විද්‍යාත්මකව විමසා බලා විශ්වාසය කියන දේ බලෙන් ඇති කර ගත නොහැකිය. එනිසයි විද්‍යාත්මක දේවල් කෙරෙහි අපට බලවත් විශ්වාසයක්/භක්තියක් ඇති නොවන්නේ. ඔබට ප්‍රශ්නයක් ආ විට විද්‍යාවේ නාමයෙන් ප්‍රාර්ථනා නොකරන්නේ එනිසයි. එමනිසා විශ්වාසයෙන් ගත හැකි උපරිම ප්‍රයෝජනය ගත නොහැකි වෙනවා.

මෙහි තවත් පැති කඩක් තිබෙනවා. කෙනෙකුගේ හිසරදයක් හෝ වෙනත් රෝගී තත්වයක් බුදු පහන තබා හෝ දෙවියන්ට යාඥා කිරීමෙන් සුවපත් වේ නම්, එය ඇස්ප්‍රින් හෝ පැරසිටමෝල් හෝ වෙනත් රසායනික පෙත්තක් තම ශරීරය තුළට ඇතුළුකර ගන්නවාට වඩා හොඳයි නේද? ඔබ කියාවි ඔහු ලෙඩේ සුව කර ගත්තේ මිථ්‍යා ක්‍රම අනුගමනය කර කියා. එහෙත් ලෙඩේ සුව වෙනවා නම් ඔහුට අවශ්‍ය එපමණයි නේද? මට මේ වෙලාවේ මාගේ පාසල් කාලයේ යම් සිදුවීමක් මතක් වෙනවා. එකල අපේ සිංහල සාහිත්‍ය පාඩම්වල විමලරත්න කුමාරගම නම් කොළඹ යුගයේ කවියාගේ අයියනායක නම් කවි පංතියක් තිබුණා. එහි කියැවෙනවා අහිංසක ගැමියන් විශාල ගහක් යට යම් දේවාලයක් වැන්නක් තනා තම ප්‍රශ්න විසඳාගැනීමට එතැනට පුදපූජා කරන බවක්. එකල “විද්‍යාව හිස මුදුනින් තබා සිටි” මට එම මිථ්‍යාව රිස්සුවේ නැත. ඒ ගැන මා ගුරුවරයා සමග තර්ක කළ විට, එතුමා තමයි ඉහත මා සඳහන් කළ ආකාරයේ පිළිතුරක් ලබා දුන්නේ. එමනිසා, සමහර දේවල් ගැන අප සමබරව බැලිය යුතුයි.

ඇත්තටම ඉහත විශ්වාසය නිසා ලෙඩ සුව වීම හෝ සහනයක් ලැබීම විද්‍යාවේදී හඳුන්වන්නේ ප්ලැසීබෝ ආචරණය (Placebo effect) කියාය. යක් දෙස්සා, ‍මන්ත්‍රකරු, පූජකයා, කපුවා වැනි අය නොදැනුවත්වම සිදු කරන්නේ මෙම ආචරණය යොදා ගැනීමයි. එයම වෛද්‍යවරුන් දැනුවත්ව භාවිතා කරන අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස යම් රෝගින් සිටිනවා සුමානයකට සැරයක් හෝ මාසයකට සැරයක් හෝ කුමක් හෝ ලෙඩක් කියා ගෙන වෛද්‍යවරයකුගෙන් බෙහෙතක් ගන්නට එන. බොහෝ විට ඔවුනට ඇති ලෙඩකුත් නැහැ. වෛද්‍යවරයා තමන්ට ලෙඩක් නැතැයි කිව්වාට පිළිගන්නටද ඔවුන් සූදානම් නැහැ. සත්‍ය ලෙසම ලෙඩක් නැති වුවත්, විවිධ කැක්කුම් ආදිය ඔවුනට දැනෙනවා (සොමැටෆෝම් ලෙඩ). එවැනි අවස්ථාවල කිසිදු බෙහෙතක් අඩංගු නැති පෙති ඔවුන්ට ලබා දෙනවා. ලෙඩා සිතන්නේ ඒවා ඇත්ත බෙහෙත් පෙති කියාය. එමනිසා එම බෙහෙත්වලින් එම කැක්කුම් සුව වෙනවා. බලන්න මෙය හුදු විශ්වාසමාත්‍රය පමණයි නේද?

ප්ලැසීබෝ ආචරණය යොදාගත් රසවත් පැරණි ගැමි කතාවක් තිබෙනවා. ඒකාලයේ ගමේ වෙද මහතා තමයි ගැමියන්ගේ සියලු රෝග සුව කිරීමට සිටියේ. දවසක් වෙද මහ‍තා නියරක් දිගේ ගමනක් යමින් සිටියදී ගැමියෙක් මුන ගැසුණා. ගැමියාට ඇති රෝග පීඩාවක් ගැන වෙද මහතාට කියා සිටියා. මෙම රෝග විස්තරය ඇසූ වෙද මහතාට එවෙලේ දෙන්නට බෙහෙතක් තිබුණේ නැත. රෝගයත් එතරම් දරුණු එකක් නොවේ. වෙද මහතා ‍ගැමියා සමග කතා බස් කරමින් සිටින අතරේ නොදැනුවත්වම වාගේ තමන්ගේ ඇඟිලිවලින් තමන්ගේ පපු පෙදෙස අත ගාමින් තමයි සිටියේ. ටික වෙලාවක් යන විට ඇතිල්ලීම නිසා “මැරුණු සම බෝලයක්” (බොහෝ අය සිතන්නේ සමේ ඇති කුණු මෙලෙස ඇතිල්ලීම නිසා බෝලයක් ආකාරයට සෑදෙනවා කියාය) සේ සෑදුණා. වෙද මහතා කළේ හෙමින් සීරුවේ එම “කුණු බෝලය” ‍‍ගැමියාට නොදැනෙන සේ ඉනේ ඇති බෙහෙත් පෙට්ටියෙන් ගන්නාක් සේ පෙන්වා බෙහෙත් ගුලියක් සේ ගැමියාට ‍දී මෙය බී විට ලෙඩේ සුව වේවි කියා පිටව යෑමයි. කතාවේ ඇත්තටම ඉන්පසු ගැමියාට කුමක් සිදු වූ‍වාද යන්න සඳහන් නැති වුවත් බොහෝ විට ලෙඩේ සුව වීමට ඉඩ තිබෙනවා. (කෙසේ වෙතත් වෙද මහතා කර තිබෙන්නේද අශීලාචාර වැඩක් බවත් පේනවා.)

ඇත්තටම ප්ලැසීබෝ ආචරණයෙන් (එනම්, විශ්වාසමාත්‍රයෙන්) ‍ලෙඩ සුව වේ. එය හොඳින් සනාථ වුණු තත්වයක්. එනිසා නව බෙහෙත් හඳුන්වා දෙන විට “ඩබල් බ්ලයින්ඩ් ටෙස්ටිං” කියා පරීක්ෂණයක්ද කළ යුතුයි එම බෙහෙත වෙළඳ පොලට දැමීමට අනුමැතිය ලැබීමට පෙර. එම බෙහෙත හා එම බෙහෙතට පෙනුමින් සමාන බෙහෙතක් වෙන වෙනම කණ්ඩායම් දෙකකට ලබා දේ. බෙහෙත් බොන කණ්ඩායම් දෙකම දන්නෙ නැහැ තමන්ට ලැබුණේ ප්ලැසීබෝ පෙතිද ඇත්ත පෙතිද කියා. ඒ විතරක් නෙමේ, ඔවුන්ට බෙහෙත් දෙන අය පවා දන්නේ නැහැ තමන් ලබා දෙන්නේ කුමන බෙහෙතද කියා. බොහෝ විට මේ දෙගොල්ලන්ගෙන්ම පිරිස්වලට සුවයක් ලැබෙනවා. මෙම කණ්ඩායම් දෙකෙන් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායමට වඩා තීරණාත්මක ලෙස සුව වෙනවා නම්, හා එම කණ්ඩායමට දී තිබුණේ ඇත්ත බෙහෙත් නම් එම බෙහෙත ඇත්තටම ක්‍රියාකාරී බෙහෙතක් ලෙස අනුමැතිය ලැබෙනවා. මින් පෙනෙනවා විශ්වාසය කොතරම් ලෙඩ සුව වීමට බලපානවද කියා. මනස ලෙඩ සුව වීමට ඍජුවම බලපාන බවද මින් පෙනෙනවා.
 


මෙලෙස මෝහනයට ඉතා ඈත අතීතයක් පැවතුණත්, බොහෝ දෙනෙකුට මෝහනය යන වචනය ඇසෙන විටම මතක් වන්නේ වර්ෂ 1734 සිට 1815 දක්වා කාලය තුළ ජීවත් වූ ‍ෆ්‍රන්ස් ඇන්ටන් මෙස්මර් (Anton Mesmer) යන නමයි. මෝහනයේ පියා ලෙසද මොහුව හැඳින්විය හැකිය.
 


එහෙත් ඇත්තටම මෝහනය එක කෙනෙකුගේ සොයා ගැනීමක් නොවේ. මෝහනය පිළිබඳ මෑත අතීතය බොහෝ විට මෙස්මර්ගෙන් ඇරඹුණා යැයිද සිතිය හැකියි. ජර්මන් ජාතිකයකු වූ ඔහු ඔස්ට්‍රියාවේ හා ප්‍රංශයේ විසූ වෛද්‍යවරයෙකි. තාරකා විද්‍යාව ගැනද ඔහුට හොඳ දැනුමක් තිබුණි. ඔහු “මෝහනය” ගැන ඉගෙන එය ලෙඩ සුව කිරීමට ක්‍රමවත් ආකාරයෙන් යොදා ගත්තා. ඉන් ඔහු අති සාර්ථක ප්‍රතිපලද ලබා ගත්තා. එකල මෝහනය හැඳින් වූයේ animal magnetism යන නමිනි. සාමාන්‍ය කාන්දම්/චුම්භක සේ සත්ව ශරීරයේද යම් චුම්භක ගති පවතින බවත්, ලෙඩ රෝග ඇති වන්නේ මෙම ශරීරයේ ඇති සත්ව චුම්භක ශක්තිය යම් යම් අවහිරතාවලට ලක් වූ විට බවත් ඔහු අමුතු පැහැදිලි කිරීමක් හඳුන්වා දුන්නා. පසු කලෙක ඇනිමල් මැග්නෙටිස්ම් වෙනුවට මෙස්මර්ගේ නමින්ම මෙස්මරිස්ම් (Mesmerism) යන නම හඳුන්වා දුන්නා.

එහෙත් මෙස්මර්ගේ ක්‍රමය වැඩි කල් නොයත්ම විද්‍යාඥයන්ගේ විමසිල්ලට ලක් විය. ලැවෝෂියර්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් ඇතුළු සුප්‍රසිද්ධ විද්‍යාඥයන් රැසකගෙන් යුතු කමිටුවක් ලවා එකල ප්‍රංශ රජු විසින් පරීක්ෂණයක් කරවා මෙස්මරිස්ම්වල විද්‍යාත්මක බව සොයා බැලුවේය. එහිදි හෙළි වුණේ මෙස්මරිස්ම්හි අමුතු චුම්භක බලයක් ක්‍රියාත්මක නොවන බවත්, එය සිතේම ඇතිවන තත්වයක් නිසා සිදුවන්නක් බවයි. මෙයින් මෙස්මර්ට තිබූ ගෞරවයද අහිමි විය. මින්ද පැහැදිලි වන්නේ මෙසමරිස්ම් යනුද හුදු විශ්වාසමාත්‍රය හෙවත් ප්ලැසීබෝ ආචරණය නිසා ඇති වන්නක් බවයි.

මේ සියල්ල හොඳින් විමසිල්ලෙන් අධ්‍යනයක කළ පුද්ගලයෙකි ස්කොට් ජාතික ජේම්ස් බ්‍රේඩ් (James Braid). ඔහු මෙස්මරිස්ම් ගැන හොඳින් සොයා බලා, ඉන් අනවශ්‍ය (සත්ව චුම්භකත්වය යන) “අද්භූත” කොටස් ඉවත් කර අද අප ඉගෙන ගන්නා “විද්‍යාත්මක” මෝහනය හඳුන්වා දුන්නා. එය සිත යම් ආකාරයකට මෙහෙයවා සිතේ ස්වාභාවිකව පවතින බලයක් මගින් මේ දේවල් සිදු වන බව පෙන්වා දුන්නා. ඒ විතරක් නොවේ; අදටත් මෝහනයට ඉංග්‍රිසියෙන් කියනු ලබන hypnosis යන වචනය හඳුන්වා දුන්නේද ඔහුයි. නින්දට අධිපති ග්‍රීක දෙවඟනක් සිටිනවා හිප්නොස් කියා. ඔහු එම නම හිප්නොසිස් කියා වෙනස් කරමින් අලුත් නම හඳුන්වා දුන්නා. එහෙත් ටික කලකින් ඔහු එම නම monoideaism ලෙස වෙනස් කළත් එම අලුත් නම එතරම් ජනප්‍රිය වූයේ නැහැ.
 


මෙස්මරිසම්වලින් හිප්නොසිස් දක්වා නම පමණක් වෙනස් වීමක් නොව, තරමක මිථ්‍යා අදහස්වල සිට විද්‍යාත්මක ස්වරූපය දක්වා එය ඔසවා තැබීමක්ද ඉන් සිදු විය. එහෙත් මේ වන විට පවා මෝහනය ගැන බොහෝ දේවල් දැන සිටියේ නැත. තවදුරටත් මෝහනය සිදු කළේ පැරණි උපක්‍රම යොදා ගනිමිනි. එනිසා හැමවිටම සාර්ථක ප්‍රතිඵල ලැබීම තවමත් නිශ්චිත නොවීය. එමනිසා වෛද්‍ය හා විද්‍යා සංගම් එය විද්‍යාත්මක ක්‍රමවේදයක් ලෙස පිළිගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වීය.

විවිධ යුද්ධවලදී රහසිගතවත් මෝහනය යොදාගත් බවට පැවසෙනවා. ශීත කාලයේ යුධ කරන විට මෝහනය මගින් සෙබළුන්ට එම අධික සීතල නොදැනෙන ලෙසට මානසික තත්වය වෙනස් කිරීම, වේදනා නාෂක නොමැතිව මෝහනයෙන් තුවාල වුණු සෙබළුන්ගේ අනතුරට පත් අත් පා ඉවත් කිරීම ආදී ප්‍රතිකර්මද සිදු වූ බව සඳහන් වෙනවා. ‍පෞද්ගලික මට්ටමින් බොහෝ වෛද්‍යවරුන් මෙය යොදාගත්තා. බොහෝ අය ඒවා සිදු කළේ රහසිගතවයි. ඊට හේතුව තමන් විද්‍යාත්මක නොවන ක්‍රමවේද යොදාගනිමින් වෛද්‍ය සේවයේ යෙදුණා යැයි චෝදනාවට ලක් වී වෛද්‍ය වෘත්තියෙන් නෙරපා හැරීමට ලක් වේ යැයි බියෙන්. ජේම්ස් එස්ඩේල් නම් වෛද්‍යවරයා පමණක් මෝහනය රෝගින්ව නිර්වින්දනය සිදු කර සැත්කම් සිය දහස් ගණනක් සිදු කර ඇත. ඒවිතරක් නොවේ ඔහු තමන්ගේ වාර්ථා වෛද්‍ය සභාවකට ඉදිරිපත් කළත් එම ක්‍රමයේ පවතින අවිනිශ්චිත බව නිසා සභාව විසින් එය වෛද්‍යවරුන්ට යොදාගත හැකි විද්‍යාත්මක ක්‍රමයක් බවට නිර්දේශ කිරීමට ප්‍රතික්ෂේප කළා. ඇත්තට අද අප දන්නවා එවැනි අවිනිශ්චිත ප්‍රතිඵල ලැබීමට එකම හේතුව මෝහනය පත් කිරීමට යොදා ගත් වැරදි ඉන්ඩක්ෂන් ක්‍රමය බව. පුදුමය නම් අදටත් බොහෝ මෝහනවේදින් මෙවැනි ප්‍රොග්‍රෙ‍සිව් රිලැක්සේෂන් වැනි ක්‍රම භාවිතා කිරීමයි.

ඇත්තටම මෝහනය පිළිබඳ ඉතිහාසය ඉතා දීර්ඝ හා විසිතුරුය. එය විවිධ යුග පසුකරමින් අද පවතින සාර්ථක හා සරල ආකාරය දක්වා විකාශනය වී ඇත. ඔබගේ යුතුකම නම් අද පවතින දියුණු තත්වය ඉගෙන ගැනීමයි.  ප්‍රායෝගිකව කෙනෙකුව මෝහනයට පත් කරන සැටි දැන් විමසා බලමු.

Hypnosis (mohanaya)

No comments:

Post a Comment