Friday, June 12, 2015

මෝහනය / mohanaya (hypnosis) - 2

මනස

මෝහනය තේරුම් ගැනීමට මනස (mind) ගැන දැනුමක් ඇති කර ගැනීම අත්‍යවශ්‍ය වේ. බටහිර රටක සිටින කෙනෙකුට වඩා මනස ගැන අවුල් වියවුල් ලංකාවේ සිටින (‍විශේෂයෙන් බෞද්ධ) අයට ඇත. ඊට හේතුව කුඩා කළ සිටම බුදු දහම (හා හින්දු දහම) තුළ මනස හෙවත් සිත යන්නට යම් විග්‍රහයක් ඉගෙන තිබෙන නිසාත්, විද්‍යා‍ව තුළ මනස පිළිබඳ විග්‍රහය ඊට බොහෝ වෙනස් වීමය. හොඳට මතක තබා ගන්න අප විද්‍යාවේදී, මනෝ විද්‍යාවේදී හෝ මෝහනයේදී යොදා ගන්නේ විද්‍යානුකූලව විග්‍රහ කරන මනස මිස ආගම්වලින් ඔබ ඉගෙන ගත මනස නොවේ. මේ කරුණ නිවැරදිව තේරුම් නොගත් අය හා තමන්ගේ ආගමට මහත් ලැදියාවක් ඇති අය විද්‍යාත්මක කරුණු හා මෝහනය පැහැදිලි කරනවා ආගමික මත අනුව. එය කිසි සේත් නොකළ යුතු අතර, එසේ කරන අය දුටු විට ඒ අය බොරුකාරයින් හෝ වංචා කාරයින් ලෙස සිතිය යුතුය. මෝහනය ශ්‍රී ක්‍රිෂ්ණා හෝ බුදු රදුන් විසින් දේශනා කළ දෙයක් නොවේ. එමනිසා එය පැහැදිලි කිරීමට අපට ආගම්වලින් පිටුවහලක් අවශ්‍ය නැත. දැන් අප බලමු මෝහනය හොඳින් තේරුම් ගැනීමට ප්‍රමාණවත් තරමට මනස ගැන විද්‍යාත්මක විග්‍රහය.

සතුන් සේම ‍ගස් කොලංද විද්‍යාව තුළ ජීවීන් (life forms) ලෙස සැලකේ. ගස් කොලංවලට නොමැති ජීවින් තුළ පවතින ප්‍රධානම විශේෂත්වය නම් සත්වයින්ට විඥාණයක් (consciousness) හෙවත් මනසක් පැවතීම. එක් එක් සත්වයාගේ මනස විවිධ දියුණු මට්ටම්වලින් පවතින අතර, මනුෂ්‍යයාගේ මනස අන් සියලුම සතුන්ට වඩා වැඩි බව ඔබ දන්නවා (එමනිසානේ අන් සියලුම සතුන් අභිබවා මිනිසා විසින් ලෝකය පාලනය කරන්නේ).

ගොඩනැගිල්ලක් ගඩොල්වලින් සෑදී තිබෙන්නාක් සේ ශාක හා සත්ව යන ජීවින් දෙවර්ගයම සෑදී තිබෙන්නේ සෛල (cell) වලිනි. සෛලයක් තුළ විවිධ කුඩා උපාංග රාශියක් තිබෙන අතර, ඒවා විසින් රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කෙරෙන අතර, අප ශරීරයේ සිදුවන සියලු රසායනික ක්‍රියාවලින් ඇත්ත වශයෙන්ම සිදු වන්නේ එක් එක් සෛල තුළයි. තවද, ඒ ඒ ජීවින් අනෙක් ජීවින්ගෙන් වෙනස් කරන (එනම්, මිනිසා තවත් මිනිසෙකුගෙන් වෙනස් කරන, හෝ මිනිසා අලියෙකුගෙන් වෙනස් කරන හෝ මිනිසා අඹ ගසකින් වෙනස් කරන) ජාන (gene) පිහිටා තිබෙන්නේද ඒ (සෑම) සෛලයක් තුළම පවතින DNA නම් රසායනිකය/අණුව තුළයි. විවිධාකාරයේ විශේෂතා සහිතව සෛල වර්ග රාශියක් ජීවියකුගේ ශරීරයේ ඇත. සම මතුපිට සෑදී තිබෙන සෛලවලින් නොවේ සමේ ඇතුළත සෑදී තිබෙන්නේ. ඒ දෙවර්ගයේම සෛලවලට වඩා මො‍ලයේ සෛල වෙනස්ය. මේ සියල්ලට වඩා ලේ සෑදී තිබෙන රුධිර සෛල වෙනස්ය.



මෙම සෛල රාශියක් එකතු වී පටක (tissue) සාදනවා. මෙවැනි පටක කිහිපයක් එකතු වී අවයවයක්ද (organ), අවයව කිහිපයක් එකතු වී පද්ධතියක්ද (system) සාදනවා. ජීවියකුට මෙවැනි පද්ධති කිහිපයක්ම පවතිනවා. උදාහරණයක් ලෙස ආහාර ජීරණ පද්ධතිය, ස්වසන පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ස්නායු පද්ධතිය ආදී පද්ධති ගණනාවක්ම ශරීරය තුළ පවතිනවා. මේ සියලු පද්ධති අතර ඍජු හෝ වක්‍ර සම්බන්ධතා පවතිනවා. උදාහරණයක් ලෙස, ස්නායු පද්ධතිය විසින් අනෙක් සියලුම පද්ධති පාලනය කිරීමක් සිදු කරනවා (එනම් ඒ සියලුම පද්ධති සමග ඍජුව සම්බන්ධ වෙනවා). මනස ගැන කතා කරන විට අපට වැදගත් වන්නේ මෙම ස්නායු පද්ධතිය (neural system) වේ.

ස්නායු පද්ධතිය මුලු ශරීරය පුරාම විහිදී තිබෙනවා. මෙම පද්ධතියේ වැදගත්ම අවයවය මොලය (brain) වේ. 


මොලය ඉතාම සංකීර්ණ හා අදටත් එහි සම්පූර්ණ ක්‍රියාකාරිත්වයම අවබෝධ කරගෙන නැති ශරීරාවයවයකි. මොලයේ භාහිර හා අභ්‍යන්තර කොටස් විවිධ නම්වලින් හැඳින්වෙන අතර, ඒ ඒ කොටස්වලින් කෙරෙන විශේෂිත කාර්යන් රාශියක්ද හඳුනාගෙන තිබේ. ඔබේ මතකය (memory), තර්කන හැකියාව (reasoning), ශරීරයේ සියලු කොටස චලනය කරවීමට විධාන දීම (motor), ඇස-කන-නාසය-දිව-ශරීරය යන ඉන්ද්‍රියන්ගෙන් සංවේදන ලබා ගැනීම (sense) හෙවත් සංජානනය (perception), දුක-සතුට-ඊර්ෂ්‍යාව ආදී හැඟීම් (feelings) හා භාවයන් (emotions) ඇති වීම, සිතීම (thinking), ප්‍රතිභානය (intuition) ආදී ඉතාම වටිනා ක්‍රියාවන් රාශියක්ම මෙම මොලය ආශ්‍රිතව සිදු වේ. පොදුවේ මෙම ක්‍රියාවන් ඥාණන ක්‍රියාවන් (cognitive processes) ලෙස හඳුන්වමු.

මොලයේ විවිධ ස්ථාන හා එම ස්ථානවලින් කෙරෙන ක්‍රියාවන් වෙන වෙනම ඉගෙන ගැනීමත්, පොදුවේ ස්නායු පද්ධතිය ගැන ඉගෙන ගැනීමත් මනෝවිද්‍යාවෙදි අවශ්‍ය වුවත් මෝහනය ගැන එතරම් දැනීමක් අවශ්‍ය නොකෙරේ. ඇත්තටම ශාස්ත්‍රිය මට්ටමින් සැලකූ විට මෝහනය ගැන වෛද්‍ය විද්‍යාව හෝ මනෝ විද්‍යාව ඉගෙනීමෙදී මෙන් ඉතා ගැඹුරු දේවල් ඉගෙනීමට නොමැත.

විද්‍යාව අනුව, මනස යනු තවත් අවයවයක් හෝ ශරීර කොටසක් නොවේ. ඇසට නොපෙනන දේව බලයක්ද නොවේ. වෙනත් ආකාරයක “අමුතු” (භවෙන් භවයට යනවා යැයි කියන ආකාරයේ) ශක්තියක්ද නොවේ. මනස යනු මොලයේ ක්‍රියාකාරිත්වයටම කියන තවත් වචනයක් බදුයි. එනම්,

මනස යනු මොලයේ සංකීර්ණ ක්‍රියාකාරිත්ව නිසා හට ගන්නා දෙයකි.

(Mind is the manifestation of brain).


මොලයේ රසායනික ක්‍රියාකාරිත්වය සක්‍රිය (active) ක්‍රියාවලියකි. එම ක්‍රියාවලිය නිසා සත්වයාට විවිධ දේ සිදු වෙන අතර, සත්වයාගේ වෙනත් පද්ධති ක්‍රියාකාරකම් නිසා මොලයේ ක්‍රියාකාරිත්වයද වෙනස් වේ (“සක්‍රිය” යන්නෙහි තේරුම එයයි). මනස යනු මොලයේ ක්‍රියාකාරිතවය නිසා උපදින ඵලයක් නිසා එය අක්‍රිය (passive) දෙයක් යැයි සිතන්න එපා (එනම් “මොලයේ වෙනස්කම් නිතැතින්ම මනස වෙනස් වීමක් ලෙස ප්‍රකට වීමත්, මනස නිකංම ඵලයක් නිසා මනස ස්වාධීනව වෙනස් වී ඉන් මොලය හා වෙනත් ජීවි පද්ධතිවලට බලපෑමක් කළ නොහැකියි” යන අදහසින් “අක්‍රිය” යන වදන යෙදී ඇත). ඇත්තටම මනස යනුද සක්‍රිය ක්‍රියාවලියකි. මොලය හා වෙනත් පද්ධති වෙනස් වීම මනසට බලපාන අතර, මනසද ස්වාධීනව වෙනස් වීම්වලට භාජනය විය හැකි අතර, එම වෙනස් වීම මොලයට හා වෙනත් පද්ධතින්ද බලපායි. මේ නිසා තමයි, මනෝ විද්‍යාව හා මෝහනය වැදගත් වන්නෙත්. මන‍සට යම් යම් දේවල් සිදු කර යහපත් ප්‍රතිඵල ඇති කර ගැනීමට ඉන් හැකි වෙනවා.


අප මෝහනය පැහැදිලි කර ගැනීමට මනසේ ආකෘතියක් (model of mind) භාවිතා කරනවා. එම ආකෘතිය අනුව මනස සවිඥානය (conscious mind), උපවිඥානය (subconscious mind), හා අවිඥානය (unconscious mind) ලෙස කොටස් තුනකට කඩනවා. ඇත්තටම ඔබට ඇත්තේ තනි මනසකි. එහෙත් අධ්‍යයනයේ හා පැහැදිලි කරගැනීමේ පහසුව තකා මෙම බෙදීම ඉතාම වැදගත්.

උඩු සිත, යටි සිත ලෙසද සමහරුන් සිත වර්ග කිරීමට පුරුදුව සිටිනවා. මෙම ක්‍රමය අනුව සිත කොටස් දෙකක් පමණි. එම ක්‍රමයට උඩු සිත යනු සවිඥානය වන අතර, යටි සිත සඳහා උපවිඥානය හා අවිඥානය යන දෙකම ‍එකක් ලෙස සැලකේ. මනස කොටසක් දෙකකින් පමණක් දක්වන විට උපවිඥානය හා අවිඥානය යනු සමාන පද බවටද පත් වෙනවා (එනම් යටි සිත, උපවිඥානය, අවිඥානය යන පද තුනම සමාන වේ) . මේ වෙනස්කම ගැන මතක තබා ගන්න; භාවිතා වන ආකෘතිය අනුව වචනවල තේරුම වෙනස් වේ. සාමාන්‍යයෙන් උඩු සිතට වඩා යටි සිතේ ක්‍රියාකාරිත්වය ඉතා විශාල වේ. එය බොහෝ පතපොතේ උපමා කරන්නේ මුහුදේ පාවෙන හිම කුට්ටියකටයි (මුහුදේ පාවෙන හිම කුට්ටියක උඩට පේන කොටසට වඩා විශාල කොටසක් යට ඇත).

මා යොදා ගන්නේ කොටසක් තුනකින් යුතු මනස පිළිබඳ ආකෘතිය වේ. මේ එක් එක් සිතේ කොටසට නිශ්චිත කාරණා සමූහයක් බැගින් පවරා තිබෙනවා.

         1.       සවිඥානය -
·         විශ්ලේෂණය කිරීම (analysis) - මනසේ මතුවන දේවල් විශ්ලේෂණය කිරීම. වි‍ශ්ලේෂණය කිරීම යනු යම් කාරණාවක් කුඩා කොටස්වලට කඩා එම කුඩා කොටස්වල ස්වභාව විමසා, ඒ එක් එක් කුඩා කොටස්වල නිගමන සියල්ල එකතු කොට සම්පූර්ණ කාරණාව ගැන අවසන් නිගමනයකට එළඹීමයි.
 
·         තර්ක කිරීම (reasoning) - යම් කාරණා කිහිපයක් අතර සම්බන්දතා ගොඩ නැගීම මින් සිදු වේ. එනම්, අහවල් දේ අහවල් විදියට වුණු නිසා මෙය සිදු වූවා, එය එසේ සිදු නොවී මෙසේ සිදු වී නම්, ප්‍රතිඵලය මෙසේ වන්නට පුළුවන් ආදී ලෙස තර්ක කිරීම මෙහිදී සිදු වේ.
 
·         කෙටි කාලීන හා “කුඩා” මතකය - සවිඥානයට “අයත්” මතකයේ රැ‍ඳෙන දේවල් පවතින්නේ කෙටි කාලයකට (short term) පමණි. සමහර විට එය තත්පර කිහිපයකින් හෝ විනාඩි කිහිපයකින් අමතක වේ. තවද, වරකට මතක තබා ගත හැක්කේ “අයිතම” (items) දහයක් හෝ ඊට අඩු ප්‍රමාණයකි. මෙහිදී අයිතමයක් යනු ඉලක්කමක්, නමක්, වචනයක් වැනි කුඩා දෙයකි. මෙම තත්වය ඔබ නිතර අත් දකිනවා නේද?

ඇත්තටම මෙය මනසේ දුර්වලකමක් ලෙස දකින්නට එපා. සවිඥානය යනු ක්‍රියාකාරි අවස්ථාවේදී ඔබව මෙහෙය වන සිතේ කොටසයි. ටොපිකොලයක් අවශ්‍ය වන්නේ ටොපිය කටට දාගන්න තෙක් පමණි. ඉන්පසුව අප ටොපි කොලය ඉවත් කරනවා. එලෙසම එදිනෙදා ජීවිතයේදී අපට දිගු කාලීනව මතක තබා ගැනීම වැදගත් නැති බොහෝ ‍නම්ගම් හමුවනවා. ජීවිතයේ දකින කියන සෑම දෙයක්ම ක්‍රියාකාරී සිතේ තිබුණොත් කුමක් වේවිද? සිතන්න ඔබේ මේසය මත අවුරුදු ගණනාවක් මුලුල්ලේම ලියපු එහෙත් තීන්ත ඉවරවුණු පෑන් තිබෙනවා කියා හොඳ පෑන් සමග. ඔබට ඉක්මනින් හොඳ පෑනක් සොයා ගැනීමට කාලයක් ගත වනු ඇත. මතකයද එබදුයි. ක්‍රියාකාරි සාර්ථක ජීවිතකයට ඉක්මනින් තීරණ ගැනීමට අවශ්‍යයි. එනිසා එවැනි කාර්යන්ටම සකස් වූ මතකය මෙම කෙටි කාලීන කුඩා මතකයයි. එය හරියට කොම්පියුටර් එකක රැම් එක වගේ නේද? රැම් එක හාඩ්ඩිස්ක් එකට වඩා අඩු ධාරිතාවක් පවතින අතර එහි දත්ත විදුලිය විසන්ධි කළ විට මැකී යන කෙටි කාලීන වේ.

 
·         සහේතුක බව (rationality) - මින් සිදු වන්නේ ඔබ විසින් දැනට දරන අදහස සාධාරණ බව හේත්තු ගැන්වීමයි. සමහර විට වෙනත් කෙනෙකු විසින් ඔබේ අදහස වැරදි බව පෙන්වා දුන්නට උඩු සිතේ ඇති මෙම ලක්ෂණය නිසා එය නොපිළිගැනීමට ඔබ‍ව පොළඹවයි. බුද්ධිමත් නොවන කෙනෙකුට මෙය අවාසිදායක විය හැකියි.
 
·         වීර්යය (will power) - ඔබ යම් අර්බුදකාරි හෝ අභියෝගාත්මක අවස්ථාවකට පත් වූ විට, අහවල් දේ කොහොම හරි කරනවා/නොකරනවා ලෙස ඔබට සිතෙනු ඇත. යම් තරගයකදී කොහොම හරි මම වේගෙන් දුවනවා කියා සිතෙනු ඇත. මෙවැනි අවස්ථාවන් සාර්ථකව කර ගැනීමට බිය නැති වීමට වීර්යය අවශ්‍ය වේ. එහෙත් වීර්යය යනු කෙටි කාලීන දෙයකි. දීර්ඝ කාලීන චර්යා වෙනස්කම් හෝ සැලසුම් වීර්යය මගින් ඉටු කර ගත නොහැකියි.

අර්බුදකාරී හෝ අභියෝගාත්මක අවස්ථාවලදී ‍මනසට නොව ශරීරයටද යම් ශක්තියක් ජවයක් අවශ්‍ය කරනවා. එය අවශ්‍ය කරන්නේ එක්කෝ එම අභියෝගයට බය නැතිව මුහුණ දී “සටන් කිරීමට”
(fight) හෝ එයට මුහුණ දීමට ශක්තියක් නැතැයි සිතුණු විට (බිය වූ විට) ඉන් “පලා යෑමට” (flight) වේ. මෙය “fight or flight” යනුවෙන් හැඳින් වෙනවා.

ඇත්තටම මෙම ෆයිට් හෝ ෆ්ලයිට් අවස්ථාවට ශරීරයේ රසායනිකව ක්ෂණිකව සූදානම් වීමක්ද සිදු වෙනවා. එම ක්ෂණික රසායනික ක්‍රියාවලිය ඇරඹෙන්නේ “ඇඩ්‍රිනලින්” හෙවත් “එපිනෙෆ්‍රින්” නම් හෝර්මෝනය ශ්‍රාවය වීමත් සමගයි.
එවිට, හුස්ම ගැනීම වේගවත් වී වැඩිපුර ශරීරය තුළට ඔක්සිජන් ගැනීමත් කාර්යක්ෂමව ශරීරෙන් කාබන් ඩයොක්සයිඩ් ඉවත් වීමත් සිදු වෙනවා. තවද, හදවතද වේගයෙන් ගැහෙන්නට පටන් ගන්නවා. එවිට, වැඩිපුර ශරීරය තුළට ගත් ඔක්සිජන් හා වෙනත් අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අත් පා ආදී ගහගැනීමට හෝ දිවීමට අවශ්‍ය අවයවවලට වැඩිපුර ලබා දෙනවා (ශරීරයේ සෑම සෛලයක් සඳහාම ඊට අවශ්‍ය ඔක්සිජන් හා රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන්නේ රුධිරය විසින්ය. සෛල එම ඔක්සිජන් හා රසායනික උරාගෙන ඒවායෙන් අවශ්‍ය දේවල් සිදු කර ඉන් ඇතිවන අපද්‍රව්‍ය ලෙස කාබන් ඩයොක්සයිඩ් ආදිය එම රුධිරය හරහාම ඉවත් කරනවා.) සෛල වැඩි වැඩියෙන් ක්‍රියාකාරීවීම නිසා ඒවා රත්වන්නට පටන් ගන්නවා (යන්ත්‍රයක් වුණත් වේගය වැඩි කරන විට වැඩිපුර රත් වෙනවා නේද?) එම රත්වීම ශරීරයට අහිතකර වෙන නිසා, වහම ශරීරය කූල් කිරීම පිණිස දහඩිය දමනවා. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම වේගයෙන් ආරම්භ වෙනවා. මිනිසාගේ පැවැත්මට එම ක්‍රියාවලිය අත්‍යවශ්‍ය විය. සිතන්න අවුරුදු දහස් ගාණකට පෙර විසූ ආදි මිනිසා ඉදිරියට සද්දන්ත සතෙකු පැමිණියා කියා. එවිට එක්කෝ ඔහු ඌ සමග සටනට වැදිය යුතුය නැතිනම් ඌගෙන් බේරීමට දිව යා යුතුය. ඒ දෙකෙන් කුමක් වුවත් ක්ෂණිකව සිදු කළ යුතු වේ. මේ සඳහායි ඉහත ක්‍රියාවලිය අත්‍යවශ්‍ය වූයේ.

මා තරමක් ඉහත ක්‍රියාවලිය විස්තර කළේ ශරීරයේ විවිධ පද්ධති එකිනෙකට සහයෝගිව ක්‍රියා කරන බව පෙන්වීමටයි.

ශරීරයට ඇඩ්‍රිනලින්වලින් කරපු කාර්යම මනසට සිදු කරන්නේ වීර්යය විසින්ය. එමනිසා වීර්යයට “ම‍නසේ ඇඩ්‍රිනලින්”
(mental adrenalin) යන අන්වර්ථ නාමයක්ද යොදනවා.
 
·         පෙරන (mind filters) - ඉහත රූපය අනුව සවිඥානය පවතින්නේ උපවිඥානය සම්පූර්ණයෙන්ම වසා ගෙනයි. ඒ අනුව පෙනෙන්නේ යම් දෙයක් උපවිඥානයට පිවිසෙන්නට නම් පළමුව ඒ කරුණු සවිඥානය හරහා යා යුතු බවයි. සවිඥානය හරහා කරුණු “යන” විට එම කරුණුවල යම් යම් වෙනස්කම් (alteration) හා විකෘතිතා (distortion) නිතරම ඇති වේ. මා ඊට හොඳ උදාහරණයක් පෙන්වන්නම්. ඔබ පාරේ ඇවිදින විට, එක වරම සර්පයෙක් දැක තිගැස්සී පස්සට පැන්නා යැයි සිතන්න. එහෙත් තත්පර කිහිපයකින් ඔබට පේනවා ඔබ සර්පයෙක් කියා රැවටී ඇත්තේ ලණු කැබැල්ලකට බව. මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවෙනවා නේද? මෙහිදී සිදු වූයේ කුමක්ද? ඔබේ දෑසින් දැකපු දේ සවිඥානය විසින් සර්පයෙක් ලෙස විකෘතිකර පෙන්නුවේය. එය සිදු වූයේ මෙම පෙරන ක්‍රියාව නිසාය.
         2.       උපවිඥානය -
·         දිගු කාලීන මතකය (long-time memory) - පාඩම් කිරීමෙන් හෝ අත්දැකීමෙන් හෝ ඔබට දිගු කාලීනව දෙයක් මතක තබා ගැනීම මින් අදහස් කෙරේ. තවද, මෙම දිගු කාලීන මතකයේ සීමාවක්ද නැත. මඳක් සිතා බලන්න ඔබ කොච්චර දේවල් දිගු කාලීනව මතකේ තබා සිටිනවාද කියා.
 
·         පුරුදු (habits) - යමක් නිතර නිතර කිරීමෙන් (හෝ සිතීමෙන්) එය පුරුද්දක් බවට පත් වේ. පුරුද්දක ඇති විශේෂත්වය නම් පුරුදු දෙයක් කිරීම වෙනත් දෙයක් කිරීමට වඩා පහසු බවක් ‍දැනෙනවා. හොඳ හා නරක යන දෙයාකාරයේම පුරුදු පවතින්නේ උපවිඥා‍නයේය.
 
·         හැඟීම් හා භාව (feelings and emotions) - ‍සතුට, දුක, බිය, කේන්තිය, තනිකම, සාංකාව, ප්‍රීතිය ආදී හැඟීම්.
 
·         ස්වයං-ආරක්ෂාව (self-preservation) - යටි සිත නිරන්තරයෙන්ම ඔබේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. එහෙත් එම ආරක්ෂාව සිදු කරන්නේ අවි ආයුධ ආදිය යොදා ගෙන නොවේ (මනසට අවි ආයුධ දැරිය නොහැකි බව පැහැදිලියිනෙ). බොහෝ විට යටි සිතේ ආරක්ෂාව ඔබ නොසිතන අමුතු ආකාරයෙන් සිදු වේ. සමහරවිට එම ආරක්ෂාව ඔබට කරදරකාරී විදියටත් විය හැකියි. උදාහරණයක් ලෙස, ඔබ අධික ශබ්දයෙන් දැඩි පීඩාවට පත් වේ නම්, ඔබේ යටි සිතේ ආරක්ෂක යාන්ත්‍රණය ක්‍රියාත්මක වී කනේ ගෙඩි ‍හට ගැනීම හෝ කන ඇසීම දුර්වල කළ හැකිය. මෙම ආරක්ෂණය සිදු වන්නේ තමන්ගේම ශරීරයේ යම් යම් වෙනස්කම් සිදුකිරීමෙන් බව පෙනේ.
 
·         වෙනස්වීමට ඇති මැලිකම (inertia හෝ laziness) - ඔබේ මනසේ (එනම්, යටි සිතේ) යම් කාරණයක් මොනයම් විදියකින් හෝ තැන්පත් වූ විට, හෝ යම් පුරුද්දක් ඇති වූ විට, එය වෙනස් කිරීමට යටි සිත මැලි කමක් දක්වනවා. ඒක නිසානේ ඔබට සමහර පුරුදු වෙනස් කිරීමට නොහැකි බොහෝ උත්සහ දැරුවත්. 
 
         3.       අවිඥානය -
·         ඔබේ ශරීරයේ අති විශාල අවයව, ඉන්ද්‍රියන්, පද්ධතින් ප්‍රමාණයක් පවතිනවා. ඒ සියල්ලම එක විට ක්‍රියාත්මක වේ. ඔබ නිදා සිටින විට, සිහිය නැතිව සිටින විට, හා සිහිය ඇතිව සිටින විට වුවද ඒවා ක්‍රියාත්මකව පැවතිය යුතුමයි. උදාහරණයක් ලෙස, ඔබට හුස්ම ගැනීමට අමතක වුවොත් ඇති විය හැකි තත්වය කුමක් වේද? ඇත්තටම එලෙස “අමතක කිරීමට” නොහැකි බොහෝ ක්‍රියාකාරිත්වයන් ශරීරයේ ඇත. ඒවා ඉබේ ක්‍රියාකාරී වන බවක් හැඟුනත් ඇත්තටම ඒවා පවා ඔබේ මොලයේ හා මනසේ අධීක්ෂණය යටතේ සිදු වේ. එහෙත් උඩු සිතට මෙවැනි ක්‍රියාවලි කළ නොහැක්කේ එය නිතරම දේවල් අමතක කරන නිසාය. මෙවැනි ක්‍රියාවලින් අවිඥානය විසින් සිදු කෙරේ. රුධිර සංසරණය, හුස්ම ගැනීම, ආහාර ජීරණය, ශරීරයේ සාමාන්‍ය නිරෝගි මට්ටමේ පවත්වා ගැනීම, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආදී සියලුම ජීවියෙකුට අත්‍යවශ්‍ය ක්‍රියාවලින් මේ යටතට වැටේ. ලෙඩ සුව කිරීම සම්බන්දයෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය හා ඊට අයත් තවත් ක්‍රියාවලින් වැදගත් තැනක් ගන්නා නිසා, ලෙඩ සුව වීමට මනොවිද්‍යාත්මක හෝ මෝහනවේද ක්‍රම ගැන පර්යේෂන සිදු වෙමින් පවතී.
 
ඔබට මතකද මෝහනයෙන් කළ හැකි දේවල් මොනවාද කියා (ඉහතදී ඒ ගැන ලියා තිබෙනවා). ඒ සියලුම දේවල් ඇත්තටම යටි සිතේ (හෙවත් උපවිඥානයේ හා අවිඥානයේ) පවතින අර්බුද හා ගැටලු බව පේනවා නේද? උදාහරණ ලෙස පුරුදු වෙනස් කිරීම, ඇබ්බැහිවීම් සුව කිරීම, මතකය දියුණු කිරීම ආදිය යටි සිතට සම්බන්ද කාරණා නේද?

ඒ අනුව, ‍එම දේවල් සිදු කිරීමට ඔබට යටි සිත සමග ඍජුව (විකෘතිතාවලින් තොරව) ගනුදෙනු කිරීමට සිදු වෙනවා. එහෙත් සාමාන්‍ය තත්වය යටතේ යටි සිත සමග ඍජුව කටයුතු කිරීමට බාධාවක් පවතිනවා. එනම්, වෛද්‍යවරයා හෝ මනෝ වෛද්‍යවරයා හෝ මෝහනවේදියා හෝ වෙනත් කෙනෙකු හෝ ඔබ විසින්ම වුවද ඔබට (ඔබේ යටි සිතට) දෙන හොඳ යෝජනා එලෙසම යටි සිතට ගමන් කරන්නේ නැත. එය සවිඥානය හරහා ගමන් කරන විට ඒවා විවිධ විශ්ලේෂණ, සහේතුකබව, හා පෙරීම්වලට භාජනය වෙමින් යටි සිතට ගමන් ගන්නේ ඉතාම දියාරු බල-හීන යෝජනාවක් ලෙසයි. සමහර විට එය යටි සිතට ළඟා නොවන්නත් පුලුවන්.

යටි සිත හා උඩු සිත අතර තවත් වැදගත් ආරක්ෂකයෙක් සිටී. එය ක්‍රිටිකල් ෆැක්ටර් (critical factor – CF) ලෙස හැඳින් වෙනවා. සමහරෙකුට අනුව මෙය උඩු සිතට අයත් වන අතර තවත් සමහරෙකුට අනුව මෙය අයිති වන්නේ යටි සිතටයි. බොහෝ විට මෙය යටි සිතට අයත් එහෙත් උඩු සිත මට්ටමින් ක්‍රියාත්මක වන කොටසක් විය හැකියි. එය කොහේ තිබුණත් ඉන් සිදු කරන්නේ යටි සිතට යෝජනා (suggestions) පිටින් ලබා දෙන විට, විවිධ තීරණ එම යෝජනා මත ඇති කරගෙන එම යෝජනා යටි සිතට යෑම වැලැක් වීමයි.

යටි සිත නම් ඉතාම කීකරුය. එයට කුමන හෝ ක්‍රමයකින් උපදෙසක් දිය හැකි නම්, කිසිම ප්‍රතිරෝධයක් නොමැතිවම එය විසින් එම උපදෙස භාර ගන්නවා. තවද, යටි සිතට ව්‍යංගයෙන් කියන දේ තේරෙන්නේ නැත. උඩු සිත නම් විවිධ උපහැරණ, උපමා, හා ව්‍යංගයන් තේරුම් ගැනීමට හැඩ ගැසී තිබේ (එහි විශ්ලේෂණ හැකියාව නිසා). මෙය එක්තරා විදියකට යටි සිතේ අනාරක්ෂිත බවකි. එමනිසාමයි උඩු සිත යටිසිත වසාගෙන එය ආරක්ෂා කරන්නේ. ක්‍රිටිකල් ෆැක්ටර් එකක් තිබෙන්නෙත් යටි සිත ආරක්ෂා කිරීමටයි. කියන කියන දේ යටිසිතට යවන්නේ නැතිව හොඳට “චෙක් කර” කුඩා ප්‍රමාණයක් පමණක් යටි සිතට යවයි. ප්‍රශ්නය වන්නේ උඩුසිත මගහැර (උඩු සිතට “වෙට්ටු දමා”) යටිසිතට යම් යම් දේවල් ගමන් කිරීම්ද සිදුවිය හැකියි. අවාසනාවකට මෙවැනි අනියම් ක්‍රමවලින් යටි සිතට යන්නේ නරක දේවල්ය. එමනිසයි මේ ලෝකයේ ජීවත්වන අයට යහපත් දේට වඩා අයහපත් ගති ලක්ෂණ පහසුවෙන් පිහිටන්නේ.


මෝහනයේදි සිදු කරන්නේ උඩු සිත උපක්‍රමශීලීව මග හැර(යහපත් යෝජනා/කරුණු යටි සිතට ඇතුලු කිරීමට) යටි සිතට ළඟා වීමයි. මෝහනය හැර, එය සිදුවිය හැකි තවත් ක්‍රම ගණනාවක්ම තිබේ. ඒවා ගැන කෙටියෙන් පසුව සලකා බලමු. මෙම පැහැදිලි කිරීම ඉහත මනස පිළිබඳ ආකෘතිය අනුව පහසුවෙන් පැහැදිලි කර ගත හැක්කේ එලෙසයි.


Hypnosis (mohanaya) ...

No comments:

Post a Comment