Tuesday, June 23, 2015

මෝහනය / mohanaya (Hypnosis) - 10

මෝහනයෙන් යම් සහනයක් ලැබීම මෝහන ප්‍රතිකාරය (hypnotherapy) යන නමින් හැඳින් වේ. මෝහන ප්‍රතිකාරය ප්‍රධාන ආකාර දෙකකින් සිදු කළ හැකියි. මේ දෙයාකාරයම සඳහා මෙතෙක් කියූ කාරණා එකසේ වැදගත් පොදු කාරණා වේ. මෝහන ප්‍රතිකාර ක්‍රම දෙක නම්,
  1. ඍජු යෝජනා (Direct suggestion) - මෙහිදී ගැඹුරු සොම්නා මට්ටමේ සිටින විට, අවශ්‍ය සහනය/වෙනස ඇති කිරීමට අවශ්‍ය සුදුසු යෝජනාවලියක් ඔහුට කිව යුතුයි. ස්ක්‍රිප්ට් අත්‍යවශ්‍ය වන්නේ මෙහිදීය. ස්ක්‍රිප්ට් එක කියා අවසන් වූ පසු, සාමාන්‍ය පරිදි මෝහනයෙන් ඉවත් කරන්න.

    සරල වෙනස්කම් සඳහා මෙය ඉතාම ඵලදායි වේ. තවද, දැනටමත් ගැටළුව හා ඊට හේතු මූල හඳුනාගෙන ඇති අවස්ථාවලදීද මෙය අනුගමනය කළ හැකියි. පසුවට ඉගැන්වෙන ස්වයංමෝහන‍යේදීද මෙය භාවිතා වේ.
     
  2. මෝහන-විශ්ලේෂණය (Hypno-analysis) - මෙය සංකීර්ණ ක්‍රියාවලියකි. ඍජු යෝජනා ක්‍රමය මෙන් නොව, මෙය කළ හැකි ආකාරද කිහිපයක් ඇත. දැනටමත් ප්‍රශ්නය නිවැරදිව හඳුනාගෙන නැති අවස්ථාවලදී මෙය අනුගමනය කළ යුතු වෙනවා. ඇත්තටම මෙහි අනිවාර්ය අංගයක් ලෙසම ඉහත ඍජු යෝජනා ක්‍රමය අඩංගු වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නය හා ‍හේතුමූලයන් විශ්ලේෂණ ක්‍රම මගින් හඳුනා ගත් පසු, එම ප්‍රශ්න හා මූලයන්ට ගැලපෙන යෝජනාවලියක් හෙවත් “ස්ක්‍රිප්ට් එකක්” කිව යුතු වෙනවා.
    මෙය මනෝ-විශ්ලේෂණය
    (psycho-analysis) යන වචනය සමග පටලවා නොගත යුතුය. මනෝ විශ්ලේෂණ ක්‍රමය යනු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසින් මනෝවිද්‍යාවට හඳුන්වා දුන් ඉතා අනර්ඝ (එහෙත් වර්ථමානයේ එම ක්‍රමය ගැන ප්‍රශ්න මතුවෙමින් පවතී.) ‍මනෝවිද්‍යාත්මක ක්‍රමයකි.
තවද, ඔබ ස්වයංමෝහනය (self-hypnosis හෝ auto-hypnosis) යන නමද සමහරවිට අසා ඇති. සාමාන්‍ය මෝහනයේදී සිදු වූයේ මෝහනවේදියා විසින් මෝහනලාභියාව මෝහනය කිරීමයි. එහෙත් ස්වයංමෝහනයේදී තමන් විසින් තමන්වම මෝහනය කර ගැනීමක් සිදු වේ.

ඇත්තටම “සාමාන්‍ය මෝහනය” හෙවත් නිකංම “මෝහනය” (ඉංග්‍රිසියෙන් මෙය නිකංම hypnosis ලෙස හෝ hetero-hypnosis ලෙස හැඳින් වේ.) යනුද ස්වයංමෝහනයේම සුවිශේෂි අවස්ථාවකි. කෙනෙකු ඔබව මෝහනය කරනවා යැයි පෙනුනද ඇත්තටම සිදුවන්නේ ඔහු කියන උපදෙස් අනුව තමන් තමන්වම මෝහනය කර ගැනීමකි. එමනිසානේ තමන්ට අවශ්‍ය නම් විතරක් මෝහනයට පත් විය හැක්කේ. එහෙත්, කෙනෙකුට තර්ක කරන්නටත් පුළුවන් මේ දෙක ‍එකිනෙකට වෙනස් කියා. බොහෝ දෙනාගේ මතය නම් සාමාන්‍ය මෝහනය ස්වයංමෝහනයේම තවත් ආකාරයක් බවයි.

තවද, ඔබ දැක හෝ අසා ඇති මෝහන සන්දර්ශන ගැනත්. එහිදි මෝහනවේදියා එකවර මිනිසුන් ගණනාවක්ම මෝහනයට පත් කරනවා. මෙය කණ්ඩායම් මෝහනය (group hypnosis) ලෙසයි හැඳින් වෙන්නේ. ඇත්තටම සාමාන්‍ය තනි කෙනෙකු මෝහනය කරනවාට වඩා කණ්ඩායම් මෝහනය සිදු කිරීම පහසු විය හැකියි. ඊට හේතු කිහිපයක්ම ඇත.

එක් හේතුවක් නම්, සන්දර්ශනයට සහභාගි වන්නේම මෝහනය පිළිබඳ ආශාවක් තිබෙන අයයි. ඒ අය බොහෝ විට මෝහනය ගැන අපූරු කතා අසා තිබෙනවා. එමනිසයි එය අත් විඳින්නට පැමිණෙන්නේ. එසේ මෝහනය ගැන හොඳ බලාපොරොත්තු සහිතව හා ආශාවෙන් සිටින විට, ඒ අයව පහසුවෙන්ම මෝහනයට පත් කිරීමට හැකි වෙනවා. මා මුලිනුත් සඳහන් කළා මෝහනය වීමට දැඩි ආශාවක් ඇති කර ගත් විට, මෝහනය වීම පහසු වන බව.

තවත් හේතුවක් තිබේ. සන්දර්ශනය තුළ විශාල පිරිසක් සිටී. මෝහනවේදියා ඒ සියල්ලම මෝහනය කළත් ඇත්ත වශයෙන්ම ඉන් මෝහනයට පත් වන්නේ යම් පිරිසක් විතරයි. ඒ අනුව, පිරිස වැඩි වන විට මෝහනයට පත් වන ප්‍රතිශතයද වැඩි වෙනවා නේද? මෙලෙස මෝහනයට පත් වන අයගෙනුත් සමහරෙක් ගැඹුරු මෝහනයටත්, තවත් සමහරෙක් සැහැල්ලු මොහොනයටත් ආදී ලෙස විවිධ මට්ටම්වලින් තමයි මෝහනයට පත් වන්නේ. එවිට, මෝහනවේදියා එම අය අතරින් හොඳින් මෝහනයට පත්ව ඇති අය පමණක් වේදිකාව මතට ගෙන එනවා. ඇත්තටම එය ඔහුගේ වාසියට ඔහු යොදා ගත්තා ඔබට හොඳ වින්දනයකුත් දෙන ගමන්.

එලෙස මෝහනයට පත් වූයේ ඉහත පළමු හේතුව වශයෙන් මා ගෙන දැක් වූ කාරණාව ප්‍රබලව මතු වූ අයයි. එනම්, ලොකු ඕනෑකමින් මෝහනය වීමට මගබලා සිටි අයයි. ඉතිං මේ අයව වේදිකාව මතට නංවා විවිධ විනෝදාත්මක රංගනවල යෙදවිය හැකියි. ඔබට මොහොතකට සිතේවි එවැනි දේවල් කළ හැක්කේ මෝහනවේදියාගේ හපන්කමක් නිසා කියා. එහෙත් එසේ නොවේ. මෙලෙස මෝහනයට පත් වූ අය ඇත්තටම ඒවා කර යම් විනෝදයක් ලැබීමට ආශාවක් තිබෙන අයයි. සමහරවිට ඔවුන්ගේ උඩු සිතේ එවැනි ආශාවක් ප්‍රකට නොවූවත් යටි සිතේ එම ආශාව දැඩිව පැවතීමට පුළුවන්. උදාහරණයක් ලෙස ඔබට විශාල පිරිසක් ඉදිරියේ නැටීමට ආශාවක් නැතිනම්, ඔබව එලෙස නැටවීමට හැකියාවක් නැහැ ඔබ කොතෙක් මෝහනයට පත්ව තිබුණත්. එහෙත් ඔබට නැටීමට ආශාවක් තිබුණත් ලැජ්ජාව නිසා නටන්නේ නැතිව සිටින කෙනෙකු නම්, මෝහනයේදී නැටීමට ඉඩ තිබෙනවා නටන්න කියා මෝහනවේදියා යෝජනා කළොත්. මත්වතුර බී විට මිනිසුන් සාමාන්‍යයෙන් සිටින විට නොකරන දේවල් කරන්නේද මේ හේතුව නිසාමය (එනම්, යටි සිතේ ආශාවන්ට ඉඩ දීමයි). මින් මා කීමට උත්සහ කළේ මෝහන සංදර්ශනවලදී පවා තමන්ගේ කැමැත්තෙන් තොරව කිසිම දෙයක් මෝහනවේදියාට කළ නොහැකි බවයි.

ස්වයංමෝහනයේදී හා කණ්ඩායම් මෝහනයේදී ඔබ දැනටමත් ඉගෙන ගෙන ඇති එල්මන් ඉන්ඩක්ෂන් ක්‍රමය උචිත නැත. ඒ අවස්ථා දෙකට ඒ සඳහාම වෙන වෙනම වඩා ගැලපෙන ඉන්ඩක්ෂන් ක්‍රම පවතී. කණ්ඩායම් මෝහනයක් සිදු කරන්නේම විනෝදාස්වාදය සඳහාය. එමනිසා ස්ක්‍රිප්ට් කීමද ඊට වැඩක් නැත. නිකම්ම මෝහනයට පත් කර ඔවුන් ලවා විනෝදයක් ගෙන දෙන ජවනිකා ඇති කිරීමයි එහිදී සිදු වන්නේ. එහෙත් ස්වයංමෝහනය යනු සහනයක් ලැබීමට කරන වැදගත් දෙයක් වන අතර එය තමන් විසින්ම කරගන්නා දෙයක් නිසා විශේෂ ආකාරයකින් එය සිදු කරයි. පසුව මේ ගැන වෙනම ඉගැන්වේ.

මෝහනය කරන විට සෑම දෙනාම එක ලෙස මෝහනයට පත් වන්නේ නැති බව ඔබ දැන් දන්නවා. ඒ ගැන නැවත විමසා බලමු.

සාමාන්‍යයෙන් මෝහනලාභියාගේ වයස අඩුවන තරමට මෝහනය සිදු කිරීම පහසු වෙනවා. ඒ කියන්නේ කුඩා ළමුන් මෝහනය කිරීම ඉතාම පහසුයි. සාමාන්‍යයෙන් අප ඉතාම කුඩා අත දරුවන් මෝහනයට පත් කරන්නේ නැහැ. එහෙත් වයස හතක් අටක් පමණ සිට ඉහළට මෝහනය කිරීම උචිතයි.

කුඩා කාලයේ මොලයේ යම් යම් ප්‍රදේශ (විශේෂයෙන් නලලට පිටුපසින් ඇති “ෆ්‍රොන්ටල් ලෝබ්” ලෙස හැඳින්වෙන මොලයේ ප්‍රදේශය) තවම නිසි පරිදි වර්ධනය වී නොමැත. මොලයේ frontal lobe නම් ප්‍රදේශය යනු තීරණ ගැනීම හා විශ්ලේෂණ හැකියාව ඇති කරන ‍කොටසයි. මේ නිසා තමයි කුඩා ළමුන් සමග සාමාන්‍ය ජීවිතයෙදී පවා කටයුතු කරන විට පරිස්සම් විය යුත්තේ. ඔවුන්ටම කියා ඉතා නිවැරදිව විශ්ලේෂණය කිරීමක් නැති නිසා ඔවුන් කරන බොහෝ දේවල හරි වැරදි ගැන තක්සේරුවක් ඔවුනට නැත. නීතිය ඉදිරියේදී වුවද කුඩා ළමුන් අතින් සිදු කෙරෙන වැරදිවලට දඩුවම් නොලැබෙන්නේද මේ හේතුව නිසායි.

කුඩා කාලයේ ඉතා වේගයෙන් ඉගෙන ගැනීමට ප්‍රධාන හේතුවක් වන්නේද එයයි. ඒ කියන්නේ ප්‍රශ්න නොකර තර්ක නොකර තමන්ට ඇසෙන දකින දැනෙන දේ සත්‍ය ලෙස ඔවුන් පිළිගන්නවා; යටි සිතට කෙලින්ම ගමන් කර පහසුවෙන් තැන්පත් වෙනවා. කුඩා දරුවෙක් පාසල් නොගිහින් ටියුෂන් නොගිහින් තමන්ගේ මව් භාෂාව ඉබේම කුඩා කාලයකින් ඉගෙන ගන්නේ එනිසායි. වැඩිහිටියකුට වසර ගණනාවක් ගියත් භාෂාවක් ඉගෙනීමට බැරි තත්වයකි තිබෙන්නේ. එක භාෂාවක් නොව භාෂා දෙකක් වුවද එලෙසම මව් බස ලෙස ඉගෙන ගන්නට ඔවුන්ට පුළුවන් එම වයසේදී ළඳරුවා සිටින පරිසරයේ එම භාෂා කිහිපයම එක ලෙස භාවිතා වෙනවා නම්. ඒ කියන්නේ දෙමාපියන් භාෂා කිහිපයක්ම හසුරුවනවා නම් දරුවාද ඉබේම ඒ භාෂා ඉගෙන ගන්නවා.

මෙනිසා කුඩා ළමුන්ව ‍වයස දහයක් දොලහක් පමණ වන තෙක් ඉතා පරිස්සම් කර ගත යුතුය. ඒ‍වගේමයි ඔවුන්ට යහපත් ජීවිතයට වටිනා අත් දැකීම් හා අධ්‍යාපනයක් ලබා ගත හැකි වටපිටාවක් ඇති කර දිය යුතුයි. එහෙත් අභාග්‍යකට මෙන් අප රටේ “ශිෂ්‍යත්ව පිස්සුව” නිසා දරුවාට ලැබී ඇත්තේ ඉතාම කඨෝරු පරිසරයකි. දරුවාට ක්‍රීඩා කිරීමට, වතුර සමග වැස්ස සමග දූවිල්ල සමග සෙල්ල්ම කිරීමට ඉඩ දිය යුතුයි. පරිසරයේ දේවල් සොයා බැලීමට, සුරතල් සතුන් සමග සෙල්ලම් කිරීමට ඉඩ ලබා දිය යුතුයි. හොඳ සංගීතයට ඇහුම්කන් දීමට, ගෙදරදොර වැඩ කිරීමට, රෑට අහස බැලීමට (කුඩා දරුවන්ට අහස තරම් කුතුහලය හා දැනුම වඩන තවත් දෙයක් නැති තරම්ය) ආදී විවිධ ක්‍රියාකාරකම්වලට ඉඩ දීම මෙන්ම දිරි ගැන්විම කළ යුතුය. (මේ ආදී ලෙස කුඩා දරුවන්ට අධ්‍යාපනය කෙසේ ලබා දිය යුතුදැයි බොහෝ දේ කීමට ඇතත් මෙම පොතේ මුඛ්‍ය පරමාර්ථය එය නොවන නිසා වැඩි දුර ඒ ගැන කතා කරන්නේ නැත. හැමවිටම කුඩා දරුවන්ව ආදරයෙන් ආරක්ෂා කර ගන්න. )

දරුවා ක්‍රමයෙන් වැඩෙත්ම මොලයේ එම ප්‍රදේශ වර්ධනය වනවා. එවිට, ක්‍රිටිකල් ෆැක්ටර් එකද වර්ධනය වෙනවා. දැන් ඔහුව පහසුවෙන් රවටන්න බැහැ. අප කියන දේවල් එලෙසම පිළිගන්න සූදානම් නැහැ. තමන්ගේම කියා අනන්‍යතාවක් ඔහු දැන් ගොඩ නඟා ගන්නවා. එදිනෙදා ජීවිතයට ඇත්තටම එලෙස වෙනස්වීම අත්‍යවශ්‍යද වේ. එහෙත් එහි ප්‍රතිඵලයක් ලෙස මෝහනයට පත් වීමටද යම් අපහසුතාවක් ඇති කරනවා. ඒ විතරක් නොවේ, වයසට යත්ම විවිධ අත්දැකීම් නිසාද විවිධ දේවල් පිළිබඳ ‍වැරදි හා නිවැරදි යන දෙයාකාරයේම දැනුමක් ගොඩනඟා ගන්නවා. සමහරවිට ඔහු මෝහනය පිළිබඳව වැරදි දේවල් අසා තිබුණොත් එය බාධාවක් වෙනවා මෝහනය වීමට. මේ හේතු කිහිපය නිසා වයස අඩු අයට ‍මෝහනය පහසුවෙන් කළ හැකි බව වටහ ගන්නට පුළුවන් නේද? එමනිසා කුඩා දරුවන්ව මෝහනය කිරීමට එල්මන් ක්‍රමයට වඩා ඉතා පහසු විනෝදාත්මක ක්‍රම ඇත.

තවද, තර්ක කරන්නට දක්ෂ අය, ගණිතයට දක්ෂ අය, යම් යම් දේවල් හොඳින් විශ්ලේෂණය කරන්නට දක්ෂ අයව සාමාන්‍ය (එල්මන් වැනි) ඉන්ඩක්ෂන් ක්‍රම මගින් මෝහනයට පත් කිරීමට අපහසු වන්නට පුළුවන්. ඊට හේතුව ඔහුට දෙන සෑම යෝජනාවක්ම ඔහු විශ්ලේෂණය කරන්නට හදන නිසාය. ඔහුගේ මනස පුරුදුව තිබෙන්නේ එලෙසයි. ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, ගණකාධිකාරවරුන් ආදී අය විශේෂයෙන් මේ පිරිසට අයත් වේ. ඔවුන්ව මෝහනය කිරීමට නොහැකි බවක් නොවේ මා පවසන්නේ. සමහර විට, සාමාන්‍ය ක්‍රම වෙනුවට වෙනත් ඉන්ඩක්ෂන් ක්‍රමයක් ඔවුන් සඳහා යෙදීමට සිදු විය හැකියි. එහෙත්, සාමාන්‍ය එල්මන් වැනි ක්‍රමයම බොහෝ අවස්ථාවලදී මේ අයටත් ගැලපේ.

තවත් සමහරෙක් ඉන්නවා අනිත් අය කියන දේවල් තර්ක නොකරම පිළිගන්නට පුරුදු වූ අය. ඇත්තටම එම ගති ගුණය නම් හොඳ එකක් නොවේ. එවැනි අයව පහසුවෙන්ම රැවටීමට හැකි (gullible) අය ලෙස හැඳින්විය හැකියි. ඊට අමතරව තවත් අය සිටිනවා පහසුවෙන් රැවටීමට නොහැකි වුවත්, යමක් පෙන්වා/වටහා දුන් විට, සත්‍ය යැයි හෝ වැදගත් යැයි හෝ අවශ්‍ය යැයි ඔවුනට සිතුණු විට, ඒවා පහසුවෙන්ම භාරගන්නවා. මේ ගති ගුණය නරක එකක් නොවේ. මේ දෙගොල්ලන්මට තිබෙන පොදු ලක්ෂණය නම්, “පහසුවෙන් කියන දේ පිළිගන්නා” (suggestible) බවයි. පළමු වර්ගයේ අය නම් හැම දෙයක්ම ඔහේ පිළිගන්නා අතර, දෙවැනි වර්ගයේ අය තමන් කැමැති නිසා හෝ අවශ්‍ය නිසා පහසුවෙන් පිළිගන්නවා. මේ දෙවර්ගයේම අයව පහසුවෙන් මෝහනයට පත් වෙන්නට පුළුවන්. ඇත්තටම දෙවැනි වර්ගයේ අය බොහෝ විට බුද්ධිමත් අයයි. හමුදාවල හා පොලිසියේ අයද මීට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ තමන්ගේ ඉහළ නිළධාරින්ගේ අණ මොවුන් (බොහෝ විට අභියෝග නොකරම) පිළිපැදිය යුතුයි; එය අවශ්‍යතාවකි. ඔවුන් බොහෝ කාලයක් එලෙස විනයාත්මකව පුරුදු වී තිබේ. එනිසා, මෝහනවේදියා කියන දේ වැදගත් යැයි සිතා මෝහනය වීමට කැමති වූවාට පසුව, මෝහනවේදියාගේ යෝජනාද අභියෝග නොකරම භාර ගනී; පහසුවෙන් මෝහනයට පත් වේ.

ඉහත මා සඳහන් කළේ පොදුවේ කරුණුයි. ඒකෙන් කියන්නේ නැහැ සෑම හමුදා නිළධාරියෙකුවම පහසුවෙන් මෝහනයට පත් කළ හැකි කියා. සමහරවිට, ඔහුට මෝහනය ගැන බියක හෝ සැකයක් ඇති නම්, කිසිසේත් ඔහුව මෝහනයට පත් කරන්නට බැහැ එම බිය හෝ සැකය ඉවත් කරන තුරුම. මෝහනවේදියා ගැන ඔහුගේ මෝහන හැකියාව ගැන හෝ සාමාන්‍ය හැසිරීම් විලාසය ගැන හෝ සැකයක් ඇත් නම් එවිටද මෝහනය වෙන්නේ නැහැ. බිය සැක ඉවත් කරන්නට හා තමන් “වැඩකාරයෙක්” කියා පෙන්වීමට තමයි පෙර-කතාවත් අප යොදා ගන්නේ.

කෙනෙකු ඉතාමත් වෙහෙසට තෙහෙට්ටුවට පත් වී ඇති විටෙක මෝහනය කිරීම හැකි පමණ නොකළ යුතුය. ඊට හේතුව මෝහනය අතරතුර ඔහුට නින්ද යෑමට ඉඩකඩ වැඩියි. ඒ වගේමයි, සමහර මානසික රෝග (ස්කිසොෆ්‍රීනියා හෙවත් භින්නොන්මාදය වැනි) තිබෙන අයවත් මෝහනය කරන එක අනතුරුදායක විය හැකියි. විවිධ විශේෂ මෝහන උපක්‍රම (තවම ඒ ගැන අප කතා කර නොමැත.) භාවිතා කරන්නේ නම්, සමහර මානසික වගේම ශාරීරික රෝගවලින් පෙළෙන අය ගැනත් පරිස්සම් විය යුතුයි. උදාහරණයක් ලෙස අනවශ්‍ය ආකාරයේ පාලනය කළ නොහැකි මට්ටමේ අපසර්ජනයක් ඇති විය හැකියි.

මෝහනයට පත් කිරීමට යන කාලය අනුව ඉන්ඩක්ෂන් ක්‍රමවේද තුනක් ඇත.
  1. සාමාන්‍ය (standard) - නූතන ක්‍රම අනුව, සාමාන්‍ය ඉන්ඩක්ෂන් ක්‍රමයක් සඳහා විනාඩා 5ක් පමණ ගත වේ. සමහර විට, එය විනාඩි දහයක් පහළොවක් පමණද යා හැකියි. පැරණි ප්‍රොග්‍රෙසිව් රිලැක්සේෂන් ක්‍රමයද මීට ඇතුළත් වන අතර එයට සමහරවිට පැය භාගයකට වඩා ගත විය හැකියි. එල්මන් ක්‍රමයද මීට ඇතුළත්ය. ඇත්තටම අප භාවිතා කරන බොහෝ ඉන්ඩක්ෂන් ක්‍රම මීට ඇතුළත් වේ. අනෙක් ක්‍රම අනුගමනය කිරීමට පෙර මෙම ක්‍රමය හොඳින් ප්‍රගුණ කරගෙන සිටිය යුතුමය. ඇත්තටම මේ ක්‍රමය පමණක් දැන සිටීම ප්‍රමාණවත්ය.
  2. ඉක්මන් (rapid) - ‍මෙවැනි ක්‍රමයක් සඳහා විනාඩියක පමණ කාලයක් ගත වේ. සමහරුන්ට අනුව එය තත්පර 30ට වඩා අඩු විය යුතුයි. එකවරක් මෝහනයට පත් වූ පසුව පහසුවෙන්ම මෙවැනි ක්‍රමයක් අනුගමනය කළ හැකියි. ඊට අමතරව පළමු වරට මෝහනයට පත් වන අවස්ථාවකදී වුවද මෙය භාවිතා කරන්නට පුළුවන්. ඇත්තටම මෙය මෝහනවේදියාට තරමක අභියෝගාත්මක වේ.
  3. ක්ෂණික (instant) - වචනයෙන් කියන පරිදිම මෙය ක්ෂණිකවම මෝහනය කිරීමකි. තත්පර පහක් හෝ ඊට අඩු ප්‍රමාණයක් යයි. ක්‍රම තුන අතරින් වඩාත්ම අභියෝගාත්මක ක්‍රමය මෙය වේ.
Hypnosis (mohanaya) ...

No comments:

Post a Comment