Sunday, June 7, 2015

බුදු සමිඳු දැකීම (කර්මය, ලෝක, හා පුනර්භවය)

සිත පිළිබඳව සැකවින් හා සරලව දැනගත් පසු කර්මය, පුනර්භවය ආදී සංකල්ප ගැන පහසුවෙන් බුදු දහමේ ඉගැන්වෙන විග්‍රහය තේරුම්ගත හැකියි. සිත හා එකට පවත්නා චේතනාව නම් චෛතසිකය අනුව කර්මය හටගන්නා බව දැන් අප දන්නවා.
චේතනාව හොඳ නම් ‍"යහපත්" කර්මත්, චේතනාව නරක නම් "අයහපත්" කර්මත් හට ගන්නා බවද කවුරුත් දන්නවා. ඒ අනුව හොඳ හෝ නරක හෝ නොවන (එනම්, ‍චේතනාවකින් තොරව සිදු කෙරෙන) ක්‍රියා සඳහා කිසිදු කර්මයක් හට නොගන්නා බවද පැහැදිලි විය යුතුයි. උදාහරණයක් ලෙස, පාරේ යන විට අපට බොහෝ කුඩා සතුන් පෑගෙන නමුත් ඒ දේ සිදුවන්නේ අපේ (එම සතුන් මැරීමේ හෝ හානි කිරීමේ) චේතනාවකින් තොරව නිසා අපට ඉන් (අයහපත්) කර්ම සිදු වන්නේ නැහැ. ඒවගේමයි අපේ අතින් බැරිවෙලා මුදල් නැති වුවොත්, එම මුදල් තවකෙනකුට හමු වී ඉන් එම තැනැත්තාට ප්‍රයෝජනවත් දෙයක් කරගැනීමට හැකි වුවොත්, ඉන්ද අප කිසිදු (යහපත්) කර්මයක් ඇති කර නොගනී. නිවන් අවබෝධ කරනොගත් කෙනෙකුට ජීවිතයේ තමන් අතින් සිදුවන සියලුම ක්‍රියාවන් මෙලෙස කර්ම නොලබන ආකාරයෙන් පවත්වාගෙන යෑමට නොහැකියි. පව් හෝ පිං නොවන හෙවත් කර්ම ඇති නොකරන ආකාරයේ ක්‍රියාවන් අව්‍යාකෘත යනුවෙන්ද හැඳින්වෙනවා. ඒ අනුව, රහතන්වහන්සේලා සිදු කරන සියලු ක්‍රියාවන් අව්‍යාකෘත වන අතර, අන් සියලු දෙනාම පව්, පිං, හා අව්‍යාකෘත යන තුන් ආකාරයේම ක්‍රියාවන් සිදු කරයි. මෙහි ක්‍රියා යනුවෙන් හැඳින් වෙන්නේ සිත, වචනය, කය යන තුන් දොරින්ම සිදුකරන ක්‍රියා බව මතක තබා ගන්න. එනම්, සිත, කය, වචනය යන තුන් දොරින්ම කර්ම රැක් කරනවා.
චේතනාව යහපත් විට, එම යහපත් චේතනාව ආශ්‍රය කරගෙන සිටින සිතට අයහපත් චෛතසිකවලට ඉඩ ඇහිරී ගොස් යහපත් චෛතසිකවලට පමණක් ඉඩකඩ විවර වේ. එලෙසමයි, අයපහත් චේතනාවක් ඇති වූ විට, සිත විසින් එකතු කර ගන්නේ අයහපත් චෛතසිකයි. ඒ අනුව චේතනා චෛතසිකය අනෙක් චෛතසිකයන් මෙහෙයවන එක්තරා විදියක නායකයෙකි.
පිං හා කුසල් යනු ඇත්තටම දෙකකි. බැලූ බැල්මට දෙකම එකක් සේ පෙනේ. කුසලයක් යනු සි‍ත ලෝභ දෝස මෝහ යන තුන් දොස්වලින් ඉවත් කිරීම උදෙසා (එම දිශාවට) සිදු කරන දේවල්ය. උදාහරණයක් ලෙස, සිතේ ලෝභය විවිධ මට්ටම්වලින් තිබේ. එම ලෝභය ඉවත් කිරීමට අප ඉගෙන ගත යුතුය; උත්සහ දැරිය යුතුය. ඊට ඇති හොඳ ක්‍රමයක් නම් දන් දීමයි. ඒ අනුව, ඔබ සිතේ ලෝභය තුනීවන ආකාරයෙන් දානය සිදු කළේ නම් එය කුසලයකි. එක වරක් ඔබ දන් දෙන විට, සිත යම් මට්ටමකට ලෝභය තුනී වූවා නම්, එම සිත දැන් එම මට්ටමට තවත් වරක් ලෝභය තුනී කළ හැකියි. එය හරියට ඔබ කොහේ හෝ ගමනක් සිහිබුද්ධියෙන් ගිය විට, පසු දවසක නැවත එම පාරවල් ඔස්සේ ඔබට එම ගමන යා හැකියි බදු වේ. ඔබේ සිත දැන් එය ඉගෙන ගෙන ඇත. මෙලෙස කාලයක් තිස්සේ දන් දෙන විට, ඔබේ සිත ලෝභය තව තවත් අඩු තත්තවයකට පුහුණු වේ. එය එකතරා අවස්ථාවකදී සම්පූර්ණයෙන්ම ලෝභයෙන් මිදීමට උදව් වේ. ලෝභය අත් හැරීම නිර්වාණයයි. එනම්, එලෙස දන් දීමෙන් නිර්වාණයට ළංවන බැවින් ඒවා කුසල ලෙස සලකන බව පෙනේ.
කුසලයක තවත් විශේෂත්වයක් ඇත. එනම්, කුසලයකට කර්ම ඵලයක් හිමි නොවේ. හොඳ හෝ වේවා නරක හෝ වේවා ඔබ කරන ක්‍රියාවකට යම් කර්මයක් හට ගන්නේ නම්, එයම නැවත සංසාරයේ පැවැත්ම තහවුරු කරයි. එනම්, එය නිවනට ළං කරනවා නොව තවත් දුරස් කිරීමකි. ඕනෑම කර්මයක් විසින් පුනර්භවයක් සිදු කරයි.
පිං යනුද යහපත් චේතනාවකින් ඇති වන්නකි. එහි විශේෂත්වය වන්නේ ඉන් කර්මය ඵලයක් ලබා දීමයි. එම කර්ම ඵලය යහපත් ආකාරයේ එකකි. ඉහත දන් දීමේ උදාරහරණයම නැවත ගමු. ඔබ යමක් දන් දීමම පමණක් ඔබට පිනක් ඇති කරයි. යහපත් දෙයක් චේතනාන්විතව සිදු කළ පමණින් පිනක් ඇති වේ. එහෙත් පින යනු කුසලට වඩා පහත් දෙයකි. ඔබ කරන යහපත් දේකින් කුසලයක් ලබා ගැනීමට හැම විටම උත්සහ දැරිය යුතුය. සසරින් එතෙර කිරීමට පිනට බලයක් නැත. එහෙත් යම් ප්‍රමාණයකට කුසල්ද සහිත කෙනෙකුට පින ඔහුගේ සසර කෙටි කර ගැනීමට උපකාර විය හැකියි. උදාහරණයක් ලෙස, දන් දී පිංද කුසල්ද රැස් කරගත් කෙනෙකු මැරී ගොස් නැවත උපතක් සිදු කරන්නේ හොඳට සැපසම්පත් තිබෙන ස්ථානයක නම්, එම තැනැත්තාට එම සැපසම්පත්ද සුදුසු ආකාරවලින් දන් දී කුසල් හා පිං තව තවර රැස්කර ගත හැකියි. එහෙත් පෙර භවවල පිං නිසා ධනවත්ව උපදින සමහරුන් ඒවා කුසල හා පිං වැඩෙන ආකාරයෙන් භාවිතා නොකරනුද දක්නට පුලුවන්. එමනිසා පිං වැඩි කරගත් පලියට එය සසර කෙටි කර ගැනීම සහතික නොවන බව තේරුම් ගත යුතුය. සසර කෙටි කරන සහතික ක්‍රමය කුසල් පමණකි.
ඉහත ආකාරයට චෛතසික විසින් (සිත විසින් නොව) කර්මය රැස් කරයි. ඔබ මේ දැන් කරන ක්‍රියාවල කර්ම හා මෙතෙක් සංසාරේ රැස් කොට ක්ෂය වී නොමැති කර්මද ඉදිරියේ (ඉදිරිය යනු ඊළඟ තත්පරේ සිට නිවන් දැක පිරිනිවන් පාන තුරු ඕනෑම අවස්ථාවක) විපාක දීමට ඉදිරිපත් විය හැකියි. එහෙත් අහවල් අහවල් කර්ම අහවල් අහවල් කාලයේ අහවල් ආකාරයෙන් විපාක දේ යැයි පැවසිය නොහැකියි. කර්ම විපාක දෙන ආකාරය බුදු කෙනෙකුට පමණක් අවබෝධ කරගත හැකි විෂයක් බව සඳහන් වේ. යම් දෙයක් (සුභ හෝ අසුභ) මේ මොහොතේ සිදු වූ විට, එය අහවල් දේ කරපු නිසා වුණු විපාකයක් බව පැවසිය නොහැකිය.
ජීවිතයේ සිදුවන සෑම දෙයක්ම අතීත කර්මයක විපාක නොව. මීට අදාළව උතු, බීජ, කර්ම, ධම්ම, චිත්ත ලෙස නියාම ධර්ම පහක් ගැන බොහෝ දෙනා කතා කරනවා. එහෙත් එයද බුදු දහමෙ සඳහන් දෙයක් නොවන නිසා වැදගත් දෙයක් නොවන බව මතක තබා ගන්න (එය හිමිනමකගේ විග්‍රහයක් සහිත මිලින්දප්‍රශ්නය නම් ග්‍රන්ථයකින් ආ දෙයක් බව පැවසේ). ඒ විතරක් නොව අතීත කර්මවල විපාක වෙනස් කිරීමටද යම් හැකියාවක් මනුෂ්‍යයා තුළ පවතී. එවැනි කර්මය වෙනස් කරගත හැකි අවස්ථා හතරක් ගැන ධර්මයේ සඳහන් වේ. ඒවා සම්පත්ති (හා විපත්ති) ලෙස හැඳින් වේ (හොඳ ආකාරයට එම අවස්ථා හතර භාවිතා වෙන විට, අනිසි කර්මවල බලපෑම අඩු වන බැවින් සම්පත්ති යන නමින්ද, එම අවස්ථාම නරක ආකාරයට භාවිතා වෙන විට, යහපත් කර්මවල බලපෑම අඩු කරන බැවින් විපත්ති යනුවෙන්ද හැඳින් වේ).
ප්‍රිය මනාප රූප ස්වභාවක් හා ජීවන රටාවක් පවත්වාගෙන යෑම මගින් සමහර අනිටු කර්ම විපාක මග හැර ගත හැකිය (මෙය උපධි සම්පත්ති ලෙස හැඳින් වේ). සමාජයේ එවැනි අයට කවුරුත් ආදරය කරන හා සමාව දෙන ගතියක් පවතින බව ඔබ දනී. එලෙසමයි සිනහවෙන්නවත් දන්නෙ නැති, පිරිසිදු කමක් පිළිවෙළක් නැතිව අවලස්සන ආකාරයෙන් සිටින අයට සමාජයේ හිමි තැනද ඔබ දනී. ඔවුන්ගේ පෙර ‍කර්මයක් නිසා යම් හොඳ දෙයක් ලැබුණත් සමහරවිට එය ලබා ගැනීම දුෂ්කර වනු ඇත. නැතිනම් ලැබිය යුතු ප්‍රමාණය නොව බොහෝ අඩු ප්‍රමාණයක් ලැබිය හැකියි (මෙය උපධි විපත්ති නමි).
එලෙසම යමෙක් උපන් ප්‍රදේශය/ආකාරය/පවුල් පසුබිමද කර්මයට බලපෑම් එල්ල කළ හැකියි. ඔබේ තාත්තා සල්ලි කාරයකු නම්, ඔබට පෙර කර්මයක් විපාක දීමක් ලෙස සෑදිය හැකි දරුණු රෝගයක් සුව කර ගැනීමට ලොව සුපිරිතම රෝහලෙන් ප්‍රතිකාර ගෙන එය සුව කර ගත හැකියි. එහෙත් එම ලෙඩේම දුප්පත් පවුලක ඉපදුණු විට සෑදුනේ නම් මරණය සිදු විය හැකියි. (මෙය ගති සම්පත්ති/විපත්ති නමි). උපත ලබන කාලයද සම්පත්තියක්/විපත්තියක් ලෙස සැලකේ. යුධ කලකෝලාහල ඇති කලෙක ඉපුදුණු විට, ඔබේ යහපත් කර්ම විපාකයක් නිසා ඔබට ඉගෙන ගැනීමට හැකියාවක් ලැබුණත්, ඊට අවස්ථාවන් අහිමි විය හැකියි. අනෙක් සම්පත්ති තුනටම වඩා වටිනා සම්පත්තිය නම් ප්‍රයෝග සම්පත්තියයි. එනම්, තමන්ගේ බුද්ධිය හා උගත් කම මෙහෙයවා තමන්ට (කර්මානුරූපිව) එන අයහපත් අවාසිදායක විපාකවලින් බේරීමට හැකිය. එහෙත් ප්‍රයෝග යෙදීමේදී ඉන් තවත් අකුසල/පව් සිදු නොවන ආකාරයට සිදු කිරීමටද වග බලා ගත යුතුය.
සත්වයෙක් විසින් කර්ම රැස් කර, දැන් සිටින ජීවිතයෙන් සමුගන්නා අවස්ථාව දැන් සලකා බලමු. සිත යනු කැඩි කැඩී අඛණ්ඩව ඇති මුතු මාලයක් බදුය. යම් ජීවිතයක් ලැබූ මොහොතේ සිට සිත එලෙස උත්පාද-තිථි-භංග යන ආකාරයෙන් දිගටම පැවැතුණි. ජීවිතයේ අවසාන ක්ෂණයේ හටගත් සිතක් මේ අනුව තිබිය යුතුයි නේද? එය චුති සිත ලෙස හැඳින් වෙනවා. එම චුති සිතද සාමාන්‍ය අවස්ථාවකදී මෙන්ම පවතින්නේ එක් ක්ෂණයක් පමණි. ඉන්පසු එය භංග වෙනවා. එය භංග වූවාට පසුව යළිත් එම සත්ව ශරීර කූඩුව තුළ සිතක් හට ගන්නේ නැත. ඊට මරණය ලෙස පවසනවා. එම පුද්ගලයා රහතන්වහන්සේ කෙනෙකු නම්, එතැනින් එම සිත් පරම්පරාව නවතිනවා. එම සිත කවදාවත් කොතැනක හෝ නැවත හටගන්නේ නැත. නිර්වාණයේ ස්වභාවය එයයි. එහෙත් එම පුද්ගලයා රහත් වී නොසිටියේ නම්, සිත නැවත හට ගත යුතුමයි. එය මෙම ශරීරයේ හටගත නොහැකි නම්, වෙනත් තැනක හට ගත යුතුමයි. එම ඊළඟට සිත හටගන්නා තැන තීරණය කරන්නේ එම සිතේ රැස්කර ඇති කර්ම ශක්තිය විසින්මයි. එය භාරදූර වැඩක් නේද? අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් පුරා ‍ශේෂව ඇති කර්ම විශ්ලේෂණය කොට ඊළඟට සිත හටගන්නේ කොහෝදැයි තීරණය කිරීම කර්මය විසින්ම සිදු කරයි. එය තීරණය කිරීම සඳහා කාලයක් ගත නොවේ. චුති සිත භංග වූ පසු සාමාන්‍ය සිතක් පරිද්දෙන්ම එම සිත් පරම්පරාවේ ඊළඟ සිත ක්ෂණයකින් තවත් සත්ව ශරීර කූඩුවක හට ගනී. එම නව ශරීර කූඩුවේ පළමුව හටගන්නා සිත ප්‍රතිසන්ධි සිත ලෙස හැඳින් වේ. සමහරුන් සිතන ආකාරයට චුති සිත භංග වී (සමහර සත්වයන්ට) ප්‍රතිසන්ධි සිත හට ගැනීමට සුදුසු තැනක් ලැබෙන තෙක් තවත් අතරමැද "අන්තර්භව" හෝ "ගන්ධබ්භ" අවස්ථාවක තාවකාලිකව රැඳී පවතී. එය එක් මහායාන අදහසකි. ථේරවාදය තුළ එවැනි "රෙස්ට්හවුස්" වගේ අතරමැදි භව නැත. ථේරවාදය තුළ එය උපමා කරන්නේ කූඩැල්ලකු ගමන් කරන ආකාරයටයි. කූඩැල්ලකු ඉදිරියට ගමන් කරන විට, තමන් දැන් සිටින තැන අත් හරින විටම එක වරම ඉඳිරි ස්ථානය අල්ලා ගනී. එලෙසම, චුති සිත මෙම ශරීරය අත් හරින විටම, ඊළඟ සිත ප්‍රතිසන්ධිය ලබන්නේ ඊළඟ සත්ව ශරීරය තුළය.
මෙහිදී අපූර්ව දෙයක් කර්මය විසින් සිදු කරයි. එනම්, එම මිය ගිය සත්වයා ආශ්‍රය කරගෙන සිටි සිතේ ඇති කර්ම ශක්තිය අනුව ඊ ළඟට ප්‍රතිසන්ධිවන සිත හටගත යුතු භවය තීරණය කරයි. බුදු දහම අනුව භව හෙවත් ලෝක 31ක් පවතී. ඒවා සියල්ල සුගති හා දුගති ලෙස දෙකොටසකට බෙදේ. (ගතිය යනු පැවැත්ම/ඉපදීම වැනි තේරුමක් ඇත. ඒ අනුව දුගති යනු දුර්ගති හෙවත් නරක ඉපදීම යන තේරුමද සුගති යනු හොඳ ඉපදීම යන තේරුමද ඇත.)
නිරය, තිරිසන් සත්ව ලෝකය, අසුර ලොව, ප්‍රේත ලෝකය ලෙස සතර අපාය යනුවෙන් ලෝක/භව 4ක් තිබේ. ඒවා දුගති වේ. මේ දුගතිවල ඇති භයානක කම නම්, එම භවවල ඉපදුණු විට, කුසල් රැස් කිරීමට අවස්ථාවක් නොලැබී යයි.
එක් මිනිස් ලෝකයක් ඇත. එය සුගතියකි. දිව්‍ය ලෝක හයක් ඇත. අනෙක් ලෝක සියල්ල බ්‍රහ්ම ලෝක වේ. මේ සියල්ලත් සුගති වේ. බ්‍රහ්ම ලෝකද රූපාවචර බ්‍රහ්ම ලෝක හතරකින් හා අරූපාවචර බ්‍රහ්ම ලෝක 16කින් සමන්විතයි. යම් සත්වයකු තමන් රැස්කර ඇති කර්ම ශක්තිය අනුව මෙම භවවලින් එකක් හිමි කර ගනී. යම් භවයක සිටි සත්වයෙක් ඉන් චුතවී වෙනත් භවයක උපත ලැබීම පුනර්භවය ලෙස හැඳින් වේ. මෙලෙස භවයක් හිමි කර ගත් පසු එම භවයට සුදුසු සත්ව ශරීරයක් සහිතව සුදුසු ක්‍රමයකින් උපතක් ලැබේ. උදාහරණයක් ලෙස, ප්‍රේතයන්ට හා දෙවියන්ට හා බ්‍රහ්මයන්ට ඇත්තේ සියුම් ශරීර වේ. බොහෝ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල සිටින සත්වයන්ට සිත පමණක් තිබෙන බවද පැවසේ. භවයක් ලැබීම හා එම භවය තුළ සත්වයකු ලෙස උපතක් ලැබීම එකිනෙකට සම්බන්ද කාරණා දෙකක් බව පෙනේ.


Buddhism

2 comments:

  1. මරණයෙන් පසු නැවතත් ඉපදීම හා පෙර භවයේ කර්මය පසු භවයන්ගේදී ප්‍රතිඵල ගෙනදෙන බව ඇදහීමකින් තොරව ප්‍රත්‍යක්ෂ කරගැනීමට හැකිද?

    ReplyDelete
    Replies
    1. බැහැ... ඔබ නිවැරදිව පැවසූ ලෙසම එය හුදු විශ්වාස මාත්‍රයෙන් පමණක් ප්‍රකාශ කළ හැකි දෙයකි.

      Delete