Monday, May 4, 2015

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 8 (Electronics Lesson)

පරිස්සම හා ආරක්ෂාව (Safety & Security)

‍ඉලෙක්ට්‍රොනික්ස් වැඩවලදී පමණක් නොව, අප එදිනෙදා කරන ඕනෑම කටයුත්තකදී ආරක්ෂාව හා පරිස්සම ගැන ඉතා සැලකිලිමත් විය යුතුය. යම් දෙයක් 999 වරක් ‍හොඳින් සිදු කර 1000 වෙනි පාර වැරදී ගොස් ඉන් ඔබේ හෝ වෙනත් අයකුගේ ජීවිතයට කරදයක් ඇති කරයි නම් හෝ වෙනත් ආකාරයක විශාල පාඩුවක් කරයි නම්, අර 999 පාරම සාර්ථකව සිදු කරපු එකින්ද පලක් නැති වේ. එමනිසා, තමන් දක්ෂ යැයි සිතා, තමන් ගැන අධිතක්සේරු කරගෙන යම් යම් දේ අනාරක්ෂිතව සිදු කරන්නා මොඩයෙකු බව සිහි තබා ගන්න. අනතුරු සියයට සියයක්ම වැලැක්විය නොහැකි නමුත් නිසි ක්‍රම අනුගමනය කළොත් එය ඉතා අවම ප්‍රමාණයක් දක්වා අඩු කරන්නට හැකියාව තිබෙනවා. අප දැන් විදුලිය හා ඉලෙක්ට්‍රොනික්ස් සමග කටයුතු කරන නිසා, ඉන් ඇති විය හැකි අනතුරු හා ඒවා අවම කරගැනීම පිළිබඳ ‍සොයා බලමු.
තමන්ටත්, තමන්ගේ දූදරුවන්, පවුලේ උදවිය, හා වෙනත් උදවියට මෙන්ම, ගෙදර සිටින සුරතල් සතුන්ටත් තමන්ගේ ක්‍රියාකරකම් නිසා යම් යම් අනතුරු සිදුවිය හැකිය. තමන්ට වුවත්, අනෙකුට වුවත් යම් බරපතල අනතුරක් තමන් හේතුකොට ගෙන සිදු වූවාට පසු එය ජීවිත කාලය පුරාවටම ඔබ පසුතැවීමෙන් යුතුව ජීවත් වීමට හේතුවක් වේ. එවිතරක් නොවේ, ඔබගේ වටිනා උපකරණ හා උපාංගද විනාශ වී යෑමට පුලුවන්. එනිසා ආරක්ෂාව හා පරිස්සම යනු මේ සියලුම කරුණු ගැන හොඳ සැලකිල්ලෙන් සොයා බලා නිවැරදි උපක්‍රම හා චර්යා ඇති කරගැනීමෙන් පමණක් ඇති කළ හැක්කකි. පහත මා යම් යම් ආරක්ෂිත උපකරණ හා උපාංග ගැන සඳහන් කරනවා. ඒ සෑම එකක්ම හොඳ උසස් තත්වයේ ඒවා විය යුතුය. ආරක්ෂාව සලසා ගැනීමට භාවිතා කරන දේ බාල දේවල් වුවොත් ඉන් ඇති වන්නේ තවත් අනතුරු පමණි. එමනිසා, ප්‍රමිතියට ඇති විශ්වාසනීය භාණ්ඩ පමණක් විශ්වාසනීය කඩයකින් මිලදී ගන්න. සමහර උපකරණවල ඇත්තේ ප්‍රමිතියට පවතී යනුවෙන් පෙන්වීමට ව්‍යාජව සකස් කළ ලේබල් විය හැකියි. එනිසා ඒ ගැන හොඳින් සොයා බලන්න. ප්‍රමිතියට පවතින බඩු හඳුනා ගැනීමට අවශ්‍ය දැනුම හා කුසලතාව ජීවිතයට වැදගත් බව සිහි තබා ගන්න.
 

(පෞද්ගලිකව මා හට අනතුරුවලින් ආරක්ෂාවීම ගැන ඇත්තේ විශාල හැඟීමකි. ඒ ගැන සිතීම පවා මා හට සතුටක් ගෙන දේ. එමනිසා, කෙලින්ම විදුලියට අදාල නොවූවත් විවිධ අවස්ථාවන්හි ආරක්ෂාව ගැන මා මෙහිදී සාකච්ඡා කරනවා. අනෙක් අතට, මා මෙම පාඩම් ලියන්නෙම විවිධ විෂයන් හා ක්ෂේත්‍රයන්හි (interdisciplinary) වැඩකරන අයටයි.)
Security හා safety යනුවෙන් වචන දෙකක් පවතිනවා. බැලූ බැල්මට මේ දෙකම එක වගේ දැනෙන්නේ. සික්‍යුරිටි යනු යම් දෙයක් තවත් දේවලින් ආරක්ෂා කර ගැනීමයි. උදාහරණයක් ලෙස, ඔබ නිර්මාණය කරන යම් උපකරණයක් සතුන්ගෙන්, අව්වෙන් වැස්සෙන් ගින්දරින්, විදුලි දෝෂවලින් ආරක්ෂා කළ යුතුය. මේ අනුව සික්‍යුරිටි යනු “සලකා බලනු ලබන දෙය දෙසට යොමු වූ” අදහසකි. සේෆ්ටි යනු යම් සලකා බලනු ලබන දෙයින් පිටස්තර දේ/අය ආරක්ෂා කර ගැනීමයි. එනම්, ඔබ යම් උපකරණයක් නිර්මාණය කරන විට, එම උපකරණය නිසා පිටස්තරයන්ට සිදුවිය හැකි අනතුරුවලින් ආරක්ෂා කළ යුතුය. මේ අනුව, සේෆ්ටි යනු “සලකා බලනු ලබා දේ සිට පිටතට යොමු වූ” අදහසකි.
 

ශරීර‍යට සිදුවන අනතුරු හා ඒවා වලක්වාගන්නේ කෙසේදැය සොයා බලමු. ශරීරයේ බොහෝම වැදගත් අවයව සම හා අස්ථිවලින් ආරක්ෂා වී පවතින නමුත්, ඇස ආදී අවයව භාහිරයට නිරාවරණය වී පවතින නිසා, එවැනි අවයව පරිස්සම් කරගැනීමට අප බුද්ධිමත් හා සැලකිලිමත් විය යුතුය. බොහොම ලෙහෙසියෙන් ඇසට අනතුරු සිදු විය හැකියි වගේමයි බොහොම පහසුවෙන් එම සියලු අනතුරු වලක්වාගතද හැකිය. කළ යුත්තේ ඒ ඒ අවස්ථාවන්ට උචිත ඇස් ආරක්ෂා කරන කන්නාඩි පැළඳීමයි. එහෙත් හැම වැඩේටම එකම කන්නාඩි දැමිය නොහැකියි. ඇයි?
සාමාන්‍යයෙන් ඇසට පෙනෙන ගල් කැට, පතුරු, රසායනිකයන්, හා වෙනත් ඕනෑම දෙයක් වේගෙන් ඇවිත් ඇසට වැදීමට හැකිය. යමක් මිටියකින් ආදියෙන් තලන විට, යමක් කපන විට, යම් දෙයක් පුපුරා යන ආදී අවස්ථාවල මෙවැනි දේවල් සිදුවිය හැකියි. එවැනි අවස්ථා සියල්ලන්ගෙන්ම වැලකීමට පහත රූපයේ ආකාරායට ශක්තිමත් ආරක්ෂිත කන්නාඩි (safety glasses or goggles) පළඳින්න. හොඳින් විනිවිද පෙනෙන (අඳුරු නොකළ) විශේෂ ප්ලාස්ටික්වලින් සාදා ඇති වර්ගයක් මිලට ගන්න. (වීදුරු උපැස් යුගල වලින් මෙවැනි ආරක්ෂාවක් නොලැබේ මක්නිසාද යත් ඊට වේ‍ගයෙන් යමක් වැදුනොත් එය බිඳී වීදුරු කටුවලින් ඇසට තවත් හානි ඇති කළ හැකි නිසා.) මෙවැනි සේෆ්ටි ගොගල්ස් ඇහිබැම දක්වා හා ඇස වටේටම ආරක්ෂාව සපයයි.
 


ඉලෙක්ට්‍රොනික්ස් වැඩ (පෑස්සීම වැනි) කරන විටත් මෙවැන්නක් පළඳිනවා නම් වඩාත් හොඳයි. ඊයම් පාසස්නවිට සමහරවිට කුඩාවට පිපිරීම් ඇති විය හැකියි (විශේෂයෙන් පරණ ඊයම් රත් කරන විට). තවද, යම් හෙයකින් කැපෑසිටර් හෝ එවැනි උපාංගයක් පුපුරා ගියොත් ඉන්ද ඇසට හානි ඇති විය හැකියි. ඊයම්වලින් පිටවන ෆ්ලක්ස් නිතරම ඇසට වැදීමට එතරම් හොඳ දෙයක් නොවේ. එනිසා, ඒ සියල්ලෙන්ම ඇස ආරක්ෂා වේ මෙවැන්නක් පැළඳීමෙන්.
ඔබ ලේසර් සමග වැඩ කටයුතු කරනවා නම් (ලේසර් භාවිතා වෙන ඉලෙක්ට්‍රොනික්ස් සර්කිට් එමට ඇත.) ඊට සුදුසු කන්නාඩිද ඇත (පහත රූපයේ එවැනි කන්නාඩි දෙකක් පෙන්වා ඇත). ලේසර් කිරණ කෙලින්ම හෝ වෙනත් දේකින් පරාවර්තනය වී ඇස් තුලට ඇතුලු වී ඇස ක්ෂණිකව හෝ ටිකෙන් ටික අන්ධ කිරීමටද පුලුවන්. රතු ‍හෝ කොල හෝ වර්ණවත් කන්නාඩි ඇත. හොඳ ප්‍රමිතියට ඇති කන්නාඩියක් නම්, එය හරහා ලේසර් කිරණ ගමන් කිරීම අඩුම කළ යුතුය. එක් එක් කන්නාඩි එය විවිධ මට්ටම්වලින් අඩු කරනවා. එම ලේසර් කිරණ අඩාල කිරීමේ හැකියාව Optical Density (OD) ලෙස හැඳින්වෙනවා. එවැනි කන්නාඩියක OD 4, OD 5 ආදී ලෙස එය සඳහන් වෙනවා. උදාහරණයක් ලෙස, OD 4 යන්නෙහි තේරුම එම කන්නාඩියට වැටෙන ලේසර් කිරණ 104 හෙවත් 10,000ක ගුණයකින් අඩු කරන බවයි. එනම්, කන්නාඩියට එන කිරණවලින් එය හරහා ඇස දෙසට ගමන් කිරීමට සලස්වන්නේ (1/10,000 හෙවත්) 0.01% තරම් කුඩා ප්‍රමාණයක් පමණයි. එනිසා OD වැඩි අගයන් සහිත කන්නාඩි ගන්න. 4ට වඩා අඩු අගයක් සහිත ඒවා ගන්න එපා. අවශ්‍ය නම්, ප්‍රබල ලේසර් ටෝච් එකක් කන්නාඩියට අල්ලා එම කන්නාඩිය පිටුපසින් සුදු කොලයක් තබා එම කොලය මත කොපමණ ‍ලොකු (හෝ සැර) ආලෝක ලපයක් වැටෙනවාදැයි බලන්න.
 



ලේසර් සමග පමණක් නොව ඇසට අහිතකර කිරණ ඇතුලු විය හැකි තවත් අවස්ථා ගණනාවක් ඇත. වෙල්ඩිං (weldingකරන විට පිටවන ආලෝකයද ඇසට අහිතකරයි. එහිදී ඇත්තටම වඩා අහිතකර වන්නේ දීප්තිමත් ඇසට පෙනෙන සුදු ආලෝකයට වඩා ඇසට නොපෙනෙන පාරජම්බූල (UV) කිරණයි. ඒවා ඇසට දැනෙන්නේවත් නැත. එහෙත් එම නොදැනෙන කිරණ ඇසට ඇතුලු ‍වී ඔබේ ඇසේ දෘෂ්ඨිවිතානය (retina) නම් කොටස විනාශ කර දමා ඇස අන්ධ කරයි. කිසිවිටක වෙල්ඩිං එක දෙස බලන්න එපා. එවිතරක් නොවේ කුඩා ළමුන් හා දැනුමක් නැති අය ඔබ (හෝ වෙනත් කෙනෙකු) වෙල්ඩිං කරන විට ඒ දෙස බලනවා නම්, ඔවුන්ට ඒ ගැන දැනුමක් ලබා දී එය වලක්වන්න. විශේෂයෙන් අහිංසක කුඩා ළමුන් ආරක්ෂා කරන්න. වෙල්ඩිං කරන විට, හරිනම් එය පිටස්තරයන්ගේ ඇස නොගැටෙන සේ ආවරණය කරගෙන එය කළ යුතුය. (දියුණු රටවල නම් එලෙස කිරීම නීතියෙනුත් අනිවාර්ය කර තිබේ.) වෙල්ඩිං කරන විට පමණක් නොවේ, සූර්යා දෙස බලන විටත් සිදු වන්නේ එම දෙයමයි. එනිසා කිසි විටෙක සූර්යා දෙස බලන්නත් එපා. මේ දෙකම කිරීමට නම් ඒ සඳහාම සුදුසු කන්නාඩි ඇත. ඒවා UVකිරණ පෙරන කන්නාඩි වේ. වෙල්ඩිං කරන අය ලොකුවට පළඳින හෙල්මට් එක වැනි කොටසේ ඇත්තේ මෙවැනි කන්නාඩි කෑල්ලකි. ලේසර් සේෆ්ටි ගොගල්ස් සඳහා OD දර්ශකය තිබුණාක් මෙන් මෙම කන්නාඩි සඳහාShade (හෝ Shade Number – SN) නම් දර්ශකය ඇත. හැකි ඉහළම SN අගය සහිත කන්නාඩියක් ලබා ගන්න. අවම වශයෙන් 11 අගය සහිත එකක්වත් විය යුතුයි. (සූර්යා දෙස බැලීමට නම්, මෙයද ප්‍රමාණවත් නැත; සූර්යා දෙස බැලීම සඳහාම නිපදවූ කන්නාඩියක් ලබා ගන්න. නැතිනම්, SN 8 (හෝ ඊට වැඩි අගයක් සහිත) කන්නාඩි කැබැලි දෙකක් එකට තබා සූර්යා දෙස බැලිය හැකියි.) පහත රූපයේ වෙල්ඩින් ගොග්ල්ස් වර්ග දෙකක් පෙන්වා ඇත (වම් පැත්තේ රූපයෙන් දැක්වෙන්නේ ආරක්ෂිත කාචය අවශ්‍ය වෙලාට පමණක් භාවිතා කළ හැකි හොඳ වර්ගයේ එකකි.)
 


         
සටහන
ඇත්තටම 
SN හා OD අතර ගණිතම සම්බන්දතාවක් ඇත. එය,


SN = 1 + (7/3) OD

මේ අනුව, OD වලින් වුවත් SN වලින් වුවත් එම අගය දන්නේ නම්, දැන් ඔබට පුලුවන් ඇතුලුවන ආලෝක ප්‍රමාණයෙන් කොපමණ ප්‍රමාණයක් කපා දමනවාද කියා ගණනය කරගන්න ඉහත විස්තර අනුව.

සූර්යා දෙස කෙළින් නොබැලුවත් දවල් කාලයේදී පරාවර්තනව වූ සුර්යාලෝකය ඇසට ඇතුලු වේ. එය සිදුවීම වැලැක්විය නොහැකිය. එහිද අහිතකර පාරජම්බූල කිරණ ඇත. එමනිසා, එලිමහනක යන විට වුවත්, හැකි නම්, UVෆිල්ටර් කරන සන් ග්ලාසස් පළඳින්න. වීදුරු අඳුරු කළ පලියට ඉන් යූවී ෆිල්ටර් වෙන්නේ නැත. පේව්මන්ට් එකේ රුපියල් සියයට දෙසියයට විකුණන කන්නාඩි පළඳින්න එපා. එයින් සිදුවන්නේ ඔබේ ඇසට අනතුරක් පමණකි. ඒ ඇයි? ඔබ එවැනි වීදුරු අඳුරු කළ කන්නාඩියක් දමන විට, සාමාන්‍ය දෘෂ්‍ය ආලෝකය පමණක් අඩු වේ. එවිට ඔබගේ ඇස හොඳින් විවෘතව පවතී. (ඔබ දන්නවා ඔබේ ඇසට ආලෝකය වැඩිපුර ලැබෙන විට, ඔබ ඇස පුංචි කර ගන්නවා. ආලෝකය අඩුවෙන් ලැබෙන විට ඇස විශාල කර ගන්නවා. මෙය ඉබේම ‍සිදු වන දෙයක්.) මෙම විවෘත කිරීම වැඩි නිසාම ඔබගේ ඇසට දැන් වැඩිපුර යූවී කිරණ ඇතුලු වී ඔබව අන්ධ කරවනවා. යූවී ෆිල්ටර් එකට අමතරව, පොලරයිස්ඩ් (polarizedනමින් හැඳින්වෙන ගුණාංගයද සහිත සන්ග්ලාසස් පළඳිනවා නම්, ඔබේ ඇසට උපරිම ආරක්ෂාවත් පහසුවත් දැනේවි.
වෙල්ඩිං කරන විට හෝ වේවා, ලේසර් කිරණ ඇසට වදින විට හෝ වේවා, සූර්යා දෙස බලන විට හෝ වේවා මේ කුමන අවස්ථාවක වුවත්, ඔබ එම කිරණ ඇසට එන එක වලක්වන්නට ඇස් දෙක වැසුවාට ඉන් ප්‍රයෝජනයක් නැත. ඇස වසන (ඇසි පියනේ) සම ඉතා තුනී බැවින් එය හරහා පහසුවෙන්ම එම කිරණ ඇතුලු විය හැකියි. එනිසා, ‍එම කිරණ ඇසට එල්ල නොවන විදියට හෝ වෙනස් පැත්තකට ඔබේ මුහුණ හරවා ගන්න. අවශ්‍ය විටක ඉහත සඳහන් කළ ආකාරයේ ඒ ඒ අවස්ථාවට උචිත කන්නාඩියක් පළදින්න.
 

ඔබ මෝටර් සයිකලයක හෝ වෙනත් වාහනයක ගමන් කරන විට, ඇසට වේගවත් සුළං පාරක් වදිනවා. එය ඇසට හොඳ නැත. එමනිසා, එක්කෝ එවැනි අවස්ථාවල ඇස් පියාගෙන යා යුතුය. (එහෙත් එය අපට කරන්නට බැරි වටපිටාව බලන්නට සිතෙන නිසාය.) එනිසා, අඩුම ගානේ cooling glasses (මෙය අවට ආලෝක තත්තවය අනුව වීදුරුව ඉබේම අඳුරු වන ජාතියේ කන්නාඩියකි. මිලද අඩුය.) හෝ ඉහත සඳහන් කළ ආකාරයේ හොඳ සන්ග්ලාස් එකක් වත් පළඳින්න. තවද, පිහිනන (හා කි‍මිදෙන) විට, ජලය කෙලින්ම ඇසට ස්පර්ශවී තිබීම හොඳ නැත. ඒ සඳහා ඇසට වතුර නොයන සේ සෑදූ swimming goggles පළඳින්න.
ඇසට යම් ආගන්තුක දෙයක් ඇතුලු වූ විට බොහෝ විට අපට එය දැනේ (එක්කෝ දැවිල්ලක් විදියට හෝ කැසීමක් විදියට). එවැනි විටක ඇස කසන්නට පොඩි කරන්නට යන්න එපා. ඉක්මනින්ම, ගලා යන ජලයකින් (ටැප් එකකින්) වතුර අතින් ගෙන මුහුණ පහත් කර එම ඇසට තරමක් තදින් වතුර ගසන්න. එක එක “ගොඩ බෙහෙත්” කිසිවිටක කුමන හේතුවක් නිසාවත් ඇසට නොකරන්න. ගෙදර තිබෙන මොකක් හෝ බෙහෙතක් දමන්නට යන්න එපා (මෙවැනි අවස්ථාවල පවුලේ බොහෝ අය වෛද්‍යවරුන් බවට ඉබේම පත් වේ. නනාප්‍රකාරයේ ප්‍රතිකාර ඔවුන් විසින් කියනවා ඇත. ඒවා කිසිවක් නොකරන්න.) තත්වය හොඳ අතට හැරෙන්නේ නැති නම්, වහාම වෛද්‍යවරයෙකු කරා යා යුතුමය.
හැමවිටම වාගේ ඇසට හෝ ශරීරයේ වෙනත් අංගයකට යම් රසායනිකයක් (හෝ නොදන්නා ද්‍රව්‍යයක්) සපර්ශ වූ විට, එය සෝදන්නට කියන්නේ ගලා යන වතුරිනි. ඊට හේතුවක් ඇත. භාජනයක ඇති වතුරින් සෝදන විට, එම වතුර නැවත එම භාජනයට වැටෙන්නේ අර සෝදා හැරපු රසායනිකයත් සමගය. එවිට, ඔබ ඊළඟ පාර සෝදන්නේ දැනටමත් අපවිත්‍ර වූ වතුරිනි. සමහර විට එම වතුර මගින් දැනට රසායනික නොවැදුනු ප්‍රදේශවලත් රසායනිකය ගෑවිය හැකිය. මෙය මග හැරීමට නම්, ගලා යන ජලයෙන් සේදිය යුතුය.
සමහර විට පියවි ඇසට නොපෙනෙන තරමේ සිහින් දේවල් ඇස තුළ ඇනී තිබීමට පුලුවන් (ෆයිබර් ඔප්ටික් සමග කටයුතු කරන විට, යම් යම් ද්‍රව්‍ය කපන විට මෙවැනි අනතුරු සිදුවිය හැකියි). ඒවා වෛද්‍යවරයකුට පමණක් ඉවත් කළ හැකි ඒවාය. බොහෝ විට, මේවා සියුම් නිසා ඇසටද එතරම් අපහසුවක් නොදැනී තිබී එය ක්‍රමයෙන් ඇස විශාල ආසාදනයක් දක්වා වැඩි වීමට පුලුවන්. එනිසා, සුදුසු කන්නාඩි පැළඳගෙන එවැනි අනතුරු වලකා ගන්න.
 

විශේෂයෙන් ඇසට යම් යම් භයානක රසායනික ද්‍රව්‍යයක් හෝ ඔබ නොදන්නා රසායනික ද්‍රව්‍යයක් ගිය විට හෝ වහාම වෛද්‍යවරයෙකු හමුවන්න.
යමක් සිදු වූවාට පසු ඒ ගැන වද වෙනවාට වඩා එවැනි අනතුරු ඉහත උපක්‍රම භාවිතා කර අඩු කර ගැනීම හැම අතින්ම වාසිදායක බව සිහි තබා ගන්න.
විශාල ශබ්ද කන අසල ඇති නොකරන්න. එය කන බිහිරි වීමට (එකවර හෝ ක්‍රම ක්‍රමයෙන්) හේතු විය හැකියි. නිරන්තරයෙන් අධික ශබ්ද පවතින පරිසරයක සිටින්න එපා. සමහර උපකරණවලින් එවැනි අධික ශබ්ද නිකුත් කෙරේ. ශබ්ද මග හැරිය නොහැකි නම්, ඒ සඳහා හෙඩ්ෆෝන් පෙනුම ඇති කනට එන ශබ්ද අඩු කළ හැකි සරල උපාංගයක් පළඳින්න. (කඩෙන් මිළ දී ගත නොහැකි නම්, ඔබටම මෙවැන්නක සාදා ගත හැකිය.)
 


අද සමහරුන් ඉයර් ෆෝන් වලින් සිංදු අසන විට ශබ්දය ඉතා අධික වීම නිසා, ශ්‍රවණාබාධ ඇතිවන බව සොයාගෙන තිබෙනවා. එමනිසා, ඔබ වැඩක් කරන අතරේ හෝ නිදහසේ සිටින විට, එලෙස ඉයර් ෆෝන් එකකින් සිංදු අසනවා නම්, ශබ්දය අඩුවෙන් අසන්නට පුරුදු වෙන්න.
සමහරුන් යම් දෙයක් ලැබුණාම එය ගැන සොයා බලන්නේ එයට දිව තබා හා නාසයෙන් හිඹ බැලීමෙනි. ඒ දෙකම ආහාර ද්‍රව්‍යවලට කිරීම උචිත වුවත්, අනෙක් අවස්ථාවල භයානක විය හැකියි. ශරීරයට වස විස ඇතුලු වීමට එමගින් හැකියි. දූවිලි අධික නම්, නාසය වැසෙන සේ වැස්මක් (maskපැළඳීම උචිතය. (අද බොහෝ යතුරුපැදි කරුවන්ද පාරේ යන විට එවැන්නක් පළඳිනු දැකීම සතුටට කරුණකි.) තවද, වාතයේ යම් යම් රසායනික ද්‍රව්‍ය හෝ විෂ වායුන් ආදිය පවතී නම්, සාමාන්‍ය මාස්ක් එකක් පැළඳ ඉන් බේරීමට බැරි බවද මතක තබා ගන්න. එවැනි අවස්ථාවක ක්ෂණිකව එවැනි ස්ථානයකින් හැකි උපරිම දුරකට ඉවත් වන්න.
පිහි, බ්ලේඩ්, වීදුරු කෑලි, යකඩ පතුරු ආදි කැපෙන තල (sharp edges); ඇන, ඉස්කුරුප්පු නියන්, ‍ස්ටේප්ලර් කටු (සමහරුන් “ස්ටේපර් කටු” කියා කියන්නේද මෙයටයි. එහෙත් නිවැරදි වචනය “ස්ටේප්ලර්” වේ.) වැනි උල් දේවල්; මිටි, උපකරණ ආදි යම් යම් බර අධික දේවල්; ඇසිඩ් වර්ග, භෂ්ම වර්ග ආදී රසායනික ද්‍රව්‍ය නිසා බොහෝ අනතුරු සිදු විය හැකියි ඒවා නිසි ලෙස ස්ථානගත නොකර තැබුවොත්. මෙම කිසිදු ද්‍රව්‍යයක් මේසයක කෙළවර තබන්න එපා (එය පහසුවෙන් පෙරළී වැටීමෙන් අනතුරු සිදුවන්නට පුලුවන්). බර දේවල් හැකි පමණ පහත් සථානයක තබන්න. කැපෙන, ඇනෙන දේවල් යම් යම් සුදුසු භාජනවල (container) දමන්න. උදාහරණයක් ලෙස ‍බ්ලේඩ්, ඇන ආදිය තවත් බොහෝ දේවල් සමගම ලාච්චුවක දමා තිබුණොත් ඔබ හදිසියකදී ලාච්චුවට අත දමා යමක් සොයන විට, ඔබේ අත කැපීමට හෝ තුවාල වීමකට ලක් විය හැකියි. බොහෝ අය පුරුදුව සිටිනවා ස්ටේප්ලර් කටු ගලවා නිකංම එලියට විසි කරන්නට. මෙය කරන්න එපා. ඒවායේ අග්‍ර පාදයේ විලුඹට ඇනුන විට ඇති වන්නේ ඉවසාගත නොහැකි වේදනාවකි. එමනිසා, එවැනි කටු ඉවත දමන්නට පෙර ඒවායේ තියුණු අග්‍ර ඇතුලට නවන්න.
 


කොල, රෙදි ආදිය සමග ඉහත කී ද්‍රව්‍ය තබන්න එපා. උදාහරණයක් ලෙස, ඔබ රෙදි කැබැල්ලක් උස්සන විට, ඒ සමගම මෙවැනි පිහියක් කතුරක් වැනි දෙයක් ඇමිනී විත් ඔබේ ශරීරයේ වැදී තුවාල වීමට පුලුවන්. සෑම භාණ්ඩයක්ම ඒවා අනතුරු අවම වන ආකාරයට තැබිය හැකි ස්ථාන සොයා බලා එම ස්ථානවලට එම උපකරණ තබන්න. එලෙස කිරීම මගින් ඔබට යම් යම් දේවල් සොය සොයා සිටීමටද අවශ්‍ය නොවේ. කුඩා ළමුන්ගෙන්, පූසන් වැනි සුරතල් සතුන්ගෙන්, හා මීයන්, කුහුඹින් වැනි කරදරකාරි සතුන්ගෙන් උපකරණ හා උපාංග ඈත් කර තබන්න (ඔවුන්ට පහසුවෙන් ළඟා විය නොහැකි පරිදි).
යම් යම් රසායනික (chemicalsභාවිතා කරන්නේ නම්, එම සෑම රසායනිකයක් සමගම එන MSDS (Material Safety Data Sheet) නම් පත්‍රිකාද එකතු කරගන්න. එවැනි පත්‍රිකාවක සඳහන් වන්නේ එම රසායනික ද්‍රව්‍ය පරිහරණය කළ යුතු ආකාරය හා එම රසායනික ද්‍රව්‍යය සමග වැඩ කිරීමේදි ඇති වන යම් අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවයි. ඔබ යම් රසායනික එකතු කරන්නේ ඒවායෙන් ප්‍රයෝජන ගැනීමට බැවින්, ‍එම රසායනික ගැන ‍ඉගෙන ගන්න. මෙම පත්‍රිකා කියවන්න.
 


රසායනික ඕනවට වඩා මිලදී ගන්න එපා. රසායනිකයකින් සිදුවිය හැකි අනතුර එහි ගබඩා කර තබා ගන්නා ප්‍රමාණය වැඩි වන විට වැඩි වේ. අනික, රසායනික ද්‍රව්‍ය කාලයත් සමග වෙනස් වීමටද (බාල වීම) හැකියි. ඉතිං, බොහෝ කාලයකට සෑහෙන රසායනික එකවර මිලදී ගැනීම අවාසිදායකද වේ. ඒ ඒ රසායනික ගබඩා කළ යුතු ආකාරයද විවිධ වේ. සමහර ඒවා අඳුරු බෝතල් තුළ (ආලෝකය නොවැටෙන පිරිදි) ගබඩා කළ යුතුය. බොහෝ රසායනිකවලට රස්නය (තාපය) හොඳ නැත. එමනිසා, ඒවා ඉරු එලිය නොවැටෙන හා ඉඳ හිට හෝ වැඩිපුර රස්නයක් ඇති නොවන තැනක ගබඩා කළ යුතුය. විදුලි ස්විච හා විදුලි වයර් මූට්ටු කර ඇති ස්ථානවල රසායනික ගබඩා කරන්න එපා. මෙවැනි තැන්වල ඉඳ හිට හෝ තාපය වැඩි විය හැකි අතර විදුලි පුළිඟු (spark) ඇති වීමටද පුලුවන්. නිදන කාමරයක හෝ පුද්ගලයන් නිතර ගැවෙසන ස්ථානවලද මේවා ගබඩා නොකරන්න. හැකි හැම විටම, යතුරු අගුලු දැමිය හැකි කබඩ් තුළ මේවා ගබඩා කරන්න. අනිවාර්යෙන්ම කුඩා ළමුන්ට ඒවාට ළං වීමට බැරි සේ තබන්න. සමහර රසායනික ඉක්මනින් වාෂ්ප වේ. ඉතිං දොරවල් ජනේල වහපු (සංවෘත) ස්ථානයක මෙවැනි ශරීරයට අහිතකර රසායනික සමග වැඩ කටයුතු කරන්න එපා.
සම පිලිස්සුන විට, එය සාමාන්‍ය සිසිල් ජලයේ මදක් තබා සිටින්න. සම කැපුන විටකද එය පිරිසිදු ජලයෙන් සෝදන්න. මේ අවස්ථා දෙකේදිම සුදුසු විෂබීජ නාෂක ද්‍රව්‍යයකින් (antisepticඑතැන පිරිසිදු කරන්න. ලේ ගලන විටදී එය නතර කිරීමට ගවුස් (gauze) හෝ වෙනත් වෙලුමකින් වෙලන්න. පිලිස්සුම හෝ කැපුම විශාල හෝ බරපතල නම් වහාම වෛද්‍යවරයකු කරා යා යුතුය. අතට අසුවන ඕනෑම දෙයක් කැපුමට දමන්න එපා; අතට අසුවන ඕනෑම රෙදිකඩකින් තුවලය වෙලන්නත් එපා.

ප්‍රථමාධාර කට්ටලය
කැපීම් (cut/wound), පිච්චීම් (burn), උලුක්කුවීම් (sprain), සීරීම් (bruise), සුලු වේදනාවන් හා කැක්කුම් (pains) වැනි කුඩා කුඩා අපහසුතා වලට ප්‍රතිකාර කිරීමට ප්‍රථමාධාර පෙට්ටයක් (first aid box/kit) සාදා ගන්න. එම පෙට්ටිය තුළ සමේ සුලු කැපුමක් තුවාලයක් සිදු වූ විට එතැන පිරිසිදු කිරීමට ගන්නා සර්ජිකල් ස්පිරිට් බෝතලයක් තිබිය යුතුමය. අවශ්‍ය නම්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් බෝතලයක්ද ගත හැකිය. මෙයද තුවාල පිරිසිදු කිරීමට යොදා ගැනේ. මෙම ස්ප්‍රිතුවලින් පිහි, කතුරු වැනි උපාංගද පිරිසිදු කළ හැකිය. ඔලුවෙ කැක්කුමකට එහෙම බීමට ඩිස්ප්‍රින් හා පැනඩෝල් කාඩ් (හොඳ ආවරණයකින් පැමිණෙන නිසා මෙම වෙළඳ නාමයෙන් ඇති බෙහෙත් වර්ග දෙක බොහෝ කාලයක් තබා ගත හැකියි.) තිබිය යුතුය. යම් පපුවේ කැක්කුමක් ඇති වූ විටකද ඩිස්ප්‍රින් (ඕනෑම ඇස්පිරින් පෙත්තක්) පෙත්තක් බීම සුදුසුය. (දිගටම යම් රෝගි තත්වයක් පවතී නම් වහාම වෛද්‍යවරයකු හමුවිය යුතුමයි.) කිවිසුම් යන අයට සෙටරිසින් (Zin යන වෙළඳ නාමයෙන් ඇති මෙම පෙත්තක මිල රුපියලක් පමණ වන නමුත් මෙහිම තවත් වෙළඳ නාමයකින් විකුණන පෙති ඉහළ මිල ගණන් වලට ඇත.) කොට්න් (කපු) පුළුං, ඇදෙන බැන්ඩෙජ් රෝල් (compress bandage), පුළුං හා ඩ්‍රෙසිං තබා වෙළන රෙදි ‍පටි (ගවුස්), ඇලවෙන ප්ලාස්ටර් රෝල්ද තිබිය යුතුයි. කෙලින්ම කැපුම් තුවාල මත ඇලවිය හැකි ප්ලාස්ටර් (adhesive bandage, sticking plaster, elastoplast යන නමින්ද මේවා හැඳින්වේ.) කිහිපයක්ද තබා ගන්න. ඉහත විවිධ ද්‍රව්‍ය කැපීමට කතුරක්ද (එහි ඉදිරි තුඩ මොට්ට හෙවත් උල් නොවූ ආකාරයේ එකක් විය යුතුය.), ඇට්ට කටුද (safety pins) තිබිය යුතුය.විෂබීජ නාසනයට Povidone Iodine ‍හෝ වෙනත් එවැනි antiseptic තිබිය යුතුය. ප්‍රථමාධාර කිරීම පිළිබඳව තව ඉගෙන ගන්න. අන් අයටද කියා දෙන්න. තෙතමනය නැති, වැඩි රශ්නයක් නැති, පහසුවෙන් ළඟාවිය හැකි තැනක මෙය තබන්න.
 


සාමාන්‍යයෙන් ඕනෑම තුවාලයක් සිදු වූ විට පිරිසිදු ජලයෙන් එතැන සොදා පිරිසිදු කළ යුතුය. ඉන්පසු ඉහත සඳහන් ඕනෑම විෂබීජ නාශක දියරයකින් හෝ ක්‍රීම් එකකින් එම ස්ථානය තවත් පිරිසිදු කළ යුතුය. ජළයෙන් පිරිසිදු වූයේ දූවිලි, මඩ හෝ එවැනි දේවල්වන අතර, විෂබීජ නාශකයකින් පිරිසිදු කරන්නේ බැක්ටීරියා, දිලීර වැනි විෂබීජය. ඉන්පසු, එම තුවාලයට පිටතින් කුණු හා විෂබීජ පැමිණීම වැලැක්වීමට එතැන සුදුසු වෙලුම්පටියකින් ආවරණය කළ යුතුය. තුවාලය විශාල එකක් හෝ ලේ ගැලීම වැඩිපුර සිදු වනවා නම්, අනිවාර්යෙන්ම වෛද්‍යවරුයකු කරා යා යුතුමය.
දැන් අප විශේෂයෙන් විදුලිය මගින් ඇති විය හැකි අනතුරු ගැන සොයා බලමු. විදුලි සැර වැදීමෙන් දරුණු අනතුරු මෙන්ම මියයෑම්ද සිදු විය හැකිය. විදු‍ලියෙන් දෙයාකාරයකින් අනතුරු ඇති කරනවා. එකක් නම්, විදුලියේ වෝල්ටියතාව මගින් සිදුකරන අනතුරු වේ. මෙය වැඩි පුර බලපාන්නේ මාංශ පේශීන් (muscleහා හදවතටයි (heart) (අනෙක් අවයව වලටද බලපානවා.) ඔබගේ සෑම ලොකු කුඩා චලනයක්ම සිදු වන්නේ යම් කිසි පේශින්ගේ සංකෝචනයක් හෙවත් හැකිලීමක් නිසාය. ඔබගේ මොලයේ සිට ස්නායු ඔස්සේ එන විදුලි (රසායනික) පණිවිඩයක් යම් පේශියකට ලැබුණු විට, එම පේශිය හැකිලෙයි. එනම් යම් වෝල්ටියතාවක් පේශියකට ලැබුණු විට, එම පේශිය සුපුරුදු දිශාවට (එනම්, සාමාන්‍යයෙන් එය පහසුවෙන් නැවෙන දිශාවට) හැකිලෙයි.
 

සාමාන්‍යයෙන් ඔබගේ ඇඟිලි, අත් පා, හදවත ආදී සියලු අවයව චලනය වන්නේ ඔබගේ මොලයට අවශ්‍ය විදියටයි. එහෙත් විදුලි සැර වැදීමකදී පිටතින් (මොලයේ සිට එන කුඩා විදුලියට වඩා) විශාල වෝල්ටියතාවක් මාංශපේශියකට ලැබුණු විට එවිටද පේශිය සංකෝචනය වේ. ප්‍රශ්නය වන්නේ මෙම සංකෝචනය සිදුවන්නේ ඔබගේ (මොලයේ) කැමැත්ත අනුව නොවේ. උදාහරණයක් ලෙසට, ඔබේ දකුණතේ දඹර ඇඟිල්ලට එලෙස විදුලි සැර වෝල්ටියතාවක් ලැබුණේ නම්, ඇඟිල්ලේ පේශින් හැකිලීමෙන් එය (සුපුරුදු දිශාව වන ඉදිරියට) වක්‍ර වනු ඇත. දැන් ඔබගේ මොලයෙන් ලබා දෙන පණිවුඩ අනුව එය දිග හැරීමට උත්සහා දැරුවත් පිටතින් ලබා දෙන විදුලිය දිගටම ඇඟිල්ලට ලැබෙමින් පවතින බැවින් එය දිග නොහැරේ. මේ හේතුව නිසයි කියන්නේ විදුලි කම්බි ඇඟිල්ලෙන් අල්ලන්නට එපා කියා. පහත රූපයේ ආකාරයට කම්බියක් ඇල්ලුවොත් එහි පවතින වෝල්ටියතාව හේතුවෙන් ඇඟිලි විසින් එම කම්බිය අත හැරීමට බැරි විදියට කොක්කක් සේ නැවේ. එවිට ඔබට දිගටම විදුලි සැර වැදීම හේතුවෙන් අනතුරින් ගැලවීමට බැරි වේ. ඔබේ බඩට කවුරු හෝ ‍හයියෙන් පහරක් දුන් විට ඔබ ඉබේම බඩ අල්ලාගෙන ඉදිරියට වක්‍ර වනු ඇත. විදුලියෙන්ද මෙවැන්නක්මයි සිදු වන්නේ.
ඔබට විදුලි කම්බියක් ඇල්ලීමට දොලදුකක් ඇත් නම්, පහත ආකාරයෙන් එය සිදු කරන්න. එවිට විදුලිය වැදී‍ම නිසා ඇඟිල්ල (සුපුරුදු දිශාවට) නැමී කම්බියෙන් ඉවතට ඉබේම ඉවත් වේ. එහෙත් මතක තබා ගන්න අධි-ධාරා විදුලිය තත්පරයෙන් දහයෙන් එකක් පමණ ඉතා කුඩා කාලයක් වැදීමෙන් මරණය පවා සිදු විය හැකි බව. එමනිසා, ‍විදුලි කම්බි අල්ලන්න එපා. බොහෝ පිරිස් ඉන්න තැන්වල අඩුවෙන් උගත් පල් මෝඩයන් අනිත් අයට “තමන් වැඩකාරයෙක්” කියා පෙන්වීමට මෙවැනි භයානක දේවල් සිදු කරනවා මා කොතෙකුත් දැක තිබෙනවා. එසේ කිරීමෙන් තමන්ද කෙදිනක හෝ අනතුරට පත් කර ගන්නවා පමණක් නොව, එවැනි ගොන් ක්‍රියාවන් දෙස බලා සිටින සෙසු අයද (විශේෂයෙන් කුඩා ළමුන්) එය කිරීමට බය නැති කර ඔවුන්වද අමාරුවේ දමනවා.
ඔබේ ශරීරය ඇත්තටම විදුලිය ගමන් කළ හැකි සන්නායකයකි (දළ වශයෙන් ඕම්ස් 1000ක පමණ රෙසිස්ටරයක් සේ ක්‍රියා කරයි.) ඇ‍ඟේ වතුර හෝ දහඩිය දමා ඇති විටක මෙම ප්‍රතිරෝධය තවත් අඩු වී විදුලිය තවත් පහසුවෙන් ගමන් කරන තත්වයක් උදා වේ. පහත රූපයෙන් දැක්වෙන්නේ ශරීරයේ ප්‍රධාන අංග අතරේ ඇති ප්‍රතිරෝධ අගයන් දළ වශයෙනි. (මේ රූපය අනුසාරයෙන් ඔබේ කුමන ශරීර අංගයන් හරහා විදුලිය ගමන් කරන්නේද යන්න මත ප්‍රතිරෝධී අගයන් පහසුවෙන් ගණනය කළ හැකිය. නිතරම වාගේ කරන්ට් වදින ආකාරය උදාහරණයක් ලෙස පෙන්වා ඇත. එහි එක් අතකින් විදුලිය ඇතුලු වී පාද දෙකම හරහා විදුලිය පිටවන විට ශරීරයෙන් ඇති කරන සමක ප්‍රතිරෝධය ආසන්න ලෙස ඕම්ස් 1000ක් පමණ වන බව පෙනේ.)
 


හැකි හැම විටම, රබර් සෙ‍රෙප්පු හෝ සපත්තු දමාගෙන විදුලිය සමග වැඩ කරන්න. එවිට බැරිවෙලාවත් විදුලි කම්බියක් ස්පර්ශ වුවත්, (සෙරෙප්පුව පරිවාරක බැවින්) ශරීරය හරහා පොලවට විදුලිය ගමන් නොකරන නිසා ඔබට යම් ආරක්ෂාවක් ලැබේ. එහෙත් ඔබ රබර් සෙරෙප්පු දාගෙන සිටියත් තවත් කෙනෙකු හෝ විදුලිය ගමන් කළ හැකි ලෝහ පොල්ලක් හෝ ගසක අත්තක් වැනි දෙයක් ඔබේ ශරීරය ස්පර්ශ වී පොලවට සම්බන්ද වූ විට ඔබට විදුලි සැර වැදිය හැකිය.
එවිතරක්ද නොවේ, ඔබ සෙරෙප්පු දාගෙන සිටියත්, වෙනත් දෙයක් මගින් ඔබේ ශරීරය හරහා විදුලිය ගමන් නොකළත්, ඔබ ලයිව් හා නියුට්‍රල් වයර් දෙකම අල්ලන විට හෝ විදුලිය දැනටමත් ගමන් කරන පරිපථයක ලයිව් වයරය දෙකට කඩා එම කොටස් දෙක වෙන වෙනම ස්පර්ශව තිබෙන විටත් ඔබට විදුලි සැර වදී.
 

යම් කෙනෙකුට විදුලි සැර වැදී තිබෙන විට, එම තැනැත්තාව බේරා ගැනීමේ අදහසින් හෝ ඔහුව නිකම්ම අල්ලන්න යන්න එපා. හැකි නම්, අහල පහල ඇති ගෝනියක්, ගනකම් රෙද්දක්, ගනකම් පොලිතින් උරයක් වැනි දෙයක් ඔබේ අතේ වෙලාගෙන එම තැනැත්තාව ඈතින් සිට විදුලි කම්බියෙන් ගැලවී යන සේ ඇදල ගන්න හෝ තල්ලු කරන්න ඉක්මනට. (බොහෝ අය කමිස ඇඳුම් ආදිය හැමවිටම ඇඳගෙන සිටින නිසා ජීවිතයක් බේරා ගැනීම වෙනුවෙන් තම ඇඳුම ගලවා හෝ ‍එම ඇඳුමින් අත හොඳින් වෙලාගෙන මෙම වැඩේ කළ හැකියි.) වැඩිය ඔහුට ළං වීම සුදුසු නැත්තේ, සමහර විට ඔහු අසිහියෙන් මෙන් සිටින නිසා, ඔබව බදා ගැනීමට පුලුවනි. එවිට, ඔබට විදුලි සැර වදී. නිවසක නම්, මේන් ස්විචයෙන් ඕෆ් කර ඔහුව ගලවා ගන්න. මෙහිදීද තමන් සෙරෙප්පු හෝ සපත්තු දාගෙන ඔහුව බේරාගන්න උත්සහ කරන්න. වඩාත් හොඳයි කොස්සක් වැනි දිග දණ්ඩකින් ඔහුගේ ශරීරය විදුලියෙන් ඈත් කළ හැකි නම්. ඉක්මනින් එම තැනැත්තාව රෝහලකට රැගෙන යන්න. ඔහුට තිබෙන බය ඉවත් කරන්න (බය වෙන්න එපා දැන් ඔක්කොම හරි වැනි දේවල් කියමින් ඔහුගෙ සිත සන්සුන් කරමින්). බොහෝ විට අනතුරුවලින් මිය යන්නේ එම අනතුර නිසා ඔහුගේ සිතේ ඇතිවන කම්පනය (shockනිසා බව ‍වෛද්‍යවරුන් පෙන්වා දේ. විදුලි අනතුරුවලදී පමණක් නොව, සර්පයෙක් දෂ්ට කළ විටද, රිය අනතුරකදීද, වෙනත් ඕනෑම අනතුරකදී වුවද, සිත සන්සුන් කිරීම ඉතා වැදගත්ය; බොහෝ විට ජීවිතයක් බේරා ගැනීම ඉන් කළ හැකියි. අනිත් අය අනතුරුවලින් බේරාගැනීමේදී තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැන ඉහළින්ම සිතිය යුතුය. නිකම්ම වීරයකු වන්නට උත්සහ කරන්න එපා. සාමාන්‍යයෙන් විදුලි සැර වැදුනු අවස්ථාවක ‍දෙන සම්මත උපදේශය නම් ඔහුව බේරාගන්නට ළං වෙන්න එපා; විදුලිය සපයන ස්විචයක් (මේන් ස්විචය) ඇත්නම්, එය ඕෆ් කරන ලෙසයි. එහෙත් බොහෝ දෙනෙකුට විදුලිය වැදුණු කෙනෙකු දැක දැක බලාගෙන සිටීමට බැරිය. එමනිසයි ඉහත ආකාරයට උපදෙස් දුන්නේ. කිසිම අදහසක් නැතිව එවැනි කෙනෙකු බේරාගන්න උත්සහ කරනවාට වඩා විද්‍යාත්මක දැනුමක් සහිතව එය කිරීමට දැන් ඔබ දන්නවා. නිවැරදිව ක්‍රියා කළොත් ඔබටද හානියක් සිදු නොකර තවත් ජීවිතයක් බේරා ගැනීමට හැකි වෙනවා.
 


හදවත යනු උපන්දා සිට මිය යන තුරුම යම් රිද්මයකට අනුව කම්පනය වේ. ඇත්තටම මෙම කම්පනයද මාංශ පේශින් රිද්මයානුකූලව හැකිලීමෙන් සිදුවන්නකි. ඉහත ආකාරයටම භාහිර ‍විදුලි වෝල්ටියතාවක් නිසා එම කම්පනය අවිධිමත් කළ හැකිය (heart arrhythmia). එමගින් එම පුද්ගලයා මරණයට පත් විය හැකිය.
වෝල්ටියතාව ඉතා ඉහළ වීමට අවශ්‍ය නැහැ ඉහත අනතුරු ඇති කිරීමට. ඒවගේමයි වෝල්ටියතාවෙන් සිදුවන අනතුරුවලදී එම වෝල්ටයතාව සමග පවතින ධාරාවද ඉතාම කුඩා විය හැකියි. එමනිසයි ඒවාට කියන්නේ වෝල්ටියතාවෙන් සිදුවන අනතුරු කියා.
වෝල්ටියතාව අඩු වුවත් ධාරාව යම් ඉහළ අගයක පවතී නම්, එමගින්ද අනතුරු සිදු විය හැකියි. නමුත්, මෙහිදී එම අනතුර සිදුවන ආකාරයේ වෙනසක් ඇත. එනම්, යම් පේශියක් හෝ ශරීර කොටසක් හරහා ලොකු ධාරාවක් ගලා යන විට, එම ශරීර කොටසේ ස්වාභාවිකව පවතින ප්‍රතිරෝධය හරහා ධාරාව ගලා යෑමක් නිසා රත් වෙයි. සත්ව කොටස් රත් වීමේදී ඒවා උණු වෙයි. ධාරාව නිසා ඇතිවන අනතුරු එමනිසා පිලිස්සුම් තුවාලවලට සමාන වේ. ස්නායු කොටස් පිලිස්සුනොත් ඒවා නැවත සැකසිය නොහැකිය. විදුලි සැර වැදුනු සමහර අයගේ අත් ගැස්සෙන්නේ හා විකෘති ස්වභාවයක් ගන්නේ මෙවැනි ස්නායු හා පේශින් පිලිස්සීම නිසාය. සාමාන්‍ය ගින්දරට ඇතිවන පිලිස්සීම්වලට වඩා මෙම ධාරාවෙන් ඇතිවන පිලිස්සීම් භයානකද වේ. ඊට හේතුව, සාමාන්‍ය පිලිස්සීම් සම මතුපිට සිට ඇතුලට ඇති වන්නකි. එහෙත් විදුලි ධාරාව නිසා ඇති වන පිලිස්සීම ශරීරය ඍජුවම අභ්‍යන්තරයේම සිදු වේ.
 

බොහෝ විට ගෙවල්වල තිබෙන ප්‍රධාන විදුලිය ධාරාව හා වෝල්ටියතාව යන දෙකෙන්ම අධික බැවින් ‍ඉහත දෙයාකාරයේම භයානක අනතුරු මෙම ප්‍රධාන විදුලියෙන් ඇති විය හැකියි. ඔබගේ පවතින ඇ‍ඟේ ශක්තියෙන් හෝ මනසේ ඇති ශක්තියෙන් මෙම විදුලියෙන් ඇතිවන අනතුරු කිසිසේත් නතර කළ නොහැකි බව වටහ ගත යුතුයි (මක්නිසාද යත්, ඔබගේ මොලයෙන් එවන පණිවුඩ විදුලි සැර විසින් නිශේධනය කරන නිසා). පරිස්සමින් විදුලිය සමග කටයුතු කළ යුතුය.
තවද, යම් යම් උපාංගවල විශාලත්වය අනුව තීරණ ගැනීමට පෙළඹෙන්න එපා. උදාහරණයක් ලෙස සමහර උපාංග ක්‍රියා කරන්නේ අත් ඔ‍රලෝසුවලට දමන කුඩා බැටරියකින් විය හැකියි. බැලූ බැල්මට එවැනි බැටරියකින් වැඩ කරන උපාංගයක් කිසිසේත් අනතුරු ඇති නොකරන දෙයක් ලෙස සිතන්නට පෙළඹුණත් එසේ සිතන්න එපා. පහත දැක්වෙන්නේ එවැනි කුඩා බැටරියක් යොදා වැඩ කරන උපකරණයකි. එහෙත් මෙම බැටරියේ වෝල්ටියතාව ඉතා විශාල අගයක් දක්වා වැඩි කරන විදියට මෙහි පරිපථය සාදා තිබෙන්නේ. මෙම පටිය (සමහරවිට ඔබ රූපවාහිනියේද මෙවැනි ව්‍යායාම කරන පටි ගැන වෙළඳ දැන්වීම දැක ඇති.) ඉනේ බැන්ද විට මින් නිකුත් වන අධි වෝල්ටියතාව නිසා බඩේ මාංශ පේශින් හැකිලීමට පටන් ගනී. (ඔබ මෙවැනි පටියක් පැලඳ ඇති නම් මා කියන දේ ඔබට තේරේවි. ඉවසාගත නොහැකි තරම් හැකිලීමක් මෙයට කළ හැකිය. වරක් මා මෙය බෙල්ලේ ඇති මේදය දහනය කිරීමේ අටියෙන් නිකට ප්‍රදේශයට සවි කළා. එහිදී මාගේ දත් සියල්ලම ටක ටක ගා මුලු ඔලුවත් එක්කම වේදනාකාරී ලෙස දෙදරන්නට පටන් ගත්තා.) මෙය පපු ප්‍රදේශයකට හෝ හිසට ස්පර්ශ වුවොත් අනතුරක් පහසුවෙන්ම ඇති විය හැකියි. එනිසා කුඩා වූ පලියට හානිය අඩු යැයි එකවර නිශ්චය කළ නොහැකිය. විදුලිය යනු (විශේෂයෙන් වෝල්ටියතාව) එවැනි අමුතු ගති ඇති බලශක්තියකි. කුඩා පරිපථයකින් පවා ඉතා කුඩා (වෝල්ට් 1ක් හෝ සමහරවිට ඊටත් කුඩා) වෝල්ටියතාවක් වෝල්ට් සිය දහස් ගුණයකින් වැඩි කළ හැකියි. එවිට, එවැනි උපකරණ වල ධාරාව එම අනුපාතයෙන්ම අඩු වේ (මයික්‍රො ඇම්පියර් ප්‍රමාණයක් දක්වා). එබැවින් ධාරාවෙන් සිදුවන අනතුරු එතැන නැති වුවත්, වෝල්ටියතාවෙන් සිදුවන අනතුර එලෙසම පවතී.
 

තවද, කැපෑසිටර් සමග කටයුතු කරන විටද පරිස්සම් වන්න. පරිපථයක සවි වී ඇති හෝ ඉවත් කර ඇති කැප් එකක තවමත් යම් ආරෝපණයක් තිබිය හැකිය. එවැනි ධාරිත්‍රකය අග්‍ර දෙක ශරීරයේ ස්පර්ශ වුවොත් ඉන් අනතුරුදායක විදුලි සැරක් වැදිය හැකිය. බැටරි මෙන් නොව (බැටරියක ශක්තිය ක්ෂණයෙන් ඉවතට දිය නොහැකියි), ධාරිත්‍රකයක ඇති ආරෝපණය (ශක්තිය) ඉතා ක්ෂණයෙන් පිටතට ලබා දේ. එමනිසයි මෙහි භයානක බව තිබෙන්නේ.
සමහර උපකරණවලට දියර වර්ග වැටීමෙන් එවා ෂෝට් (short - ලුහුවත්) වී උපකරණය විනාශ වී යෑමටත් ගිනි ගැනීමටත් සමහරවිට පිපිරීමටත් පුලුවන්. සමහර උපකරණ කේසින් එකක් තුළ තිබේ. ඒවා ඉස්කුරුප්පු ඇනවලින් සවි වී ‍තිබේ. මෙම ඉස්කුරුප්පු ඇන හොඳට තටද සවි වී නැති විටකදී ඒවා සෙලවීමකදී ගැලවී ගොස් සර්කිට් එකේ වැදීමෙන්ද ඉහත වැනිම ෂෝට් විය හැකියි. ඇන මෙන්ම වෙනත් ලෝහ පතුරු වැනි දෑ වලින්ද එය සිදු විය හැකියි. (මාගේ පරිගණකයක්ද එලෙස පිලිස්සී ගියා වරක්.)
සමහර ප්‍රදේශවල ප්‍රධාන විදුලිය නිතරම ඉහළ පහළ යනවා. මෙය උපකරණවලට එතරම් හොඳ දෙයක් නොවේ. එවැනි දෝෂ නැවැරදි කිරීමට විදුලි බල මණ්ඩලය බැදී සිටී. එවැනි ප්‍රශ්න ඔවුන්ට දන්වා වහාම නිවැරදි කරගන්න. පරිගණක වැනි උපකරණවලට මෙය හොඳ නැත. එවැනි අවස්ථාවක ඔබට stabilizer නමින් හැඳින්වෙන උපකරණයක් හරහා ඔබේ පරිගණකය වැනි උපකරණයට විදුලිය සැපයිය හැකියි. ස්ටැබිලයිසර් එකකින් කරන්නේ, විචලනය වන විදුලිය ස්ථාවර කර දීමයි. මේ වෙනුවට UPS එකක්ද භාවිතා කළ හැකියි. යූපීඑස් එකකින් විදුලි සැපයුම නතර වූ විටකදී පවා යම් කාලයක් දක්වා අඛණ්ඩව විදුලිය සපයනවා එහි ඇති බැටරිය මගින්.
‍විදුලි කෙටීම (lightningනිසා ඇති විය හැකි අනතුරු ඉතා මාරාන්තිකය. වලාකුළු අහසේ ගමන් කරන විට, එම වලාකුළු එකිනෙකට ඇතිල්ලේ. එවිට වලාකුළුවල සමහර තැන්වලින් ඉලෙක්ට්‍රෝන ගැලවී ගොස් තවත් වලාකුළුවලට සම්බන්ද වේ. මෙලෙස වලාකුළු ධන ඍණ සේ ආරෝපිතවීම නිසා වලාකුළු වලාකුළු අතර විදුලි පුළිඟු (spark) ඇති වේ. මෙම පුළිඟු තමයි විදුලි කෙටීම් ලෙස හඳුන්වන්නේ. විදුලි කෙටීමක් යනු ‍ආරෝපණ ක්ෂණිකව ගලා යෑමක් නිසා, එය විදුලි ධාරාවකි. ඉතාමත්ම කෙටි කාලයක් තුළ අති විශාල ආරෝපණ ප්‍රමාණයක් ගමන් කරයි. මෙම විශාල ධාරාව ක්ෂණිකව වායුගෝලය හරහා ගමන් කිරීම නිසා, එම විදුලිය ගමන් කරන මාර්ගය අධික රත්වීමකට ලක් වී ඒ අවට වාතය ප්‍රසාරණය වේ. එසේ ප්‍රසාරණය වීම යනු එම ස්ථානය අඩු පීඩන කලාපයක් වීමයි. එම අඩු පීඩන කලාපයට දැන් පිටතින් ක්ෂණයෙන් වාතය ගමන් කරයි. එවිට ඉතා දැඩි ශබ්දයක් ඇති වේ. (හරියට ඔබේ අත්ල දෙක වේගයෙන් එකිනෙකට හැප්පෙන විට ශබ්දයක් ඇති වන්නාක් සේ.) මෙයයි ගෙරවීම ලෙස හඳුන්වන්නේ. එහෙත් මෙම විදුලි කෙටීම වලාකුළු වලාකුළු අතර සිදුවන අතර, ඉන් එතරම් අනතුරක් පොලොව මත සිදු වන්නේ නැත. එලෙසම, වලාකුළක සිට පොලොවටද මෙම විදුලි කෙටීම සිදුවිය හැකි අතර, එවිට එය මාරාන්තික විය හැකිය.
පොලොවට විදුලිය කොටන විට, එම විදුලි කෙටීම “වදින්නේ” පොලොවේ එම ප්‍රදේශයේ තිබෙන උසම ස්ථානයටයි. එමනිසයි කියන්නේ කුඹුරක, පිට්ටනියක, ජලාශයක, කඳු මුදුනක ආදී තැන්වල සිටින්න එපා කියලා (එවිට, එම ප්‍රදේශයේ තිබෙන අහසට ළඟම ස්ථානය ඔ‍බ (ඔබේ ඔලුව) විය හැකියි. අකුණ ඔබට වැදීමට බොහෝම ඉඩකඩ තිබෙනවා). උස් ස්ථානම නොවුණත් එළිමහනේ යන විට අකුණක් වැදීමට ඉඩකඩ වැඩියි. උස ගහක් වැනි දෙයක් යටද සිටින්න එපා. එම දෙයට අකුණ ගසන විට, අසල සිටින ඔබටද ඉන් අනිවාර්යෙන්ම අනතුරක් සිදු වේ. බසයක් කාරයක් වැනි ලෝහකින් සම්පූර්ණයෙන්ම වැසුනු වාහනයක ඇතුළේ සිටින අයට අකුණු වදින්නේ නැත. එහෙත් අකුණක බරපතලකම ඇත්තේ අකුණේ ඇති විදුලි සැරයේම ‍නොව, විදුලිය කෙටීමකදී ඇතිවන ශබ්දයෙන්ද (ගෙරවීම - thundering/thunderclaps) ආබාධ ඇති විය හැකි බව මතක තබා ගන්න.
විදුලි කොටන විටදී විදුලි උපකරණ භාවිතා කිරීම අවම කරන්න. ඊට හේතුව, ඔබේ නිවසට එන ප්‍රධාන විදුලි කම්බි රැහැනකට අකුණක් වැදීමෙන් එම රැහැනේ විදුලිය සුලු මොහොතකට ඉතා විශාල වී එමගින් විදුලියට සම්බන්ද කර ඇති ඔබේ විදුලි උපකරණ විනාශ වීමට හැකියාවක් ඇත. එවිතරක්ද නොවේ, එවැනි උපකරණයක් පුපුරා යෑමක් හෝ ගිනි ගැනීමක් හෝ සිදු වී එය භාවිතා කරන පුද්ගලයාටද විශාල අනතුරක් සිදු වේ. තවද, උපකරණය ඔන් කර නොතිබුණත්, ස්විචය ඕෆ් ස්ථානයට යොමු කර තිබුණත්, අකුණක් වැදීම නිසා මොහොතකට පරිපථයේ වෝල්ටියතාව දහස් ගණනක් දකවා වැඩි වේ. එවැනි විශාල විභව වෙනසකදී ඕෆ් කර ඇති ස්විචය හරහා විදුලි පුළිඟු හෙවත් ස්පාර්ක් එකකින් ඔන් ‍වී එම විශාල විදුලිය උපකරණයට ගොස් උපකරණය විනාශ විය හැකියි. එනිසා, නිකංම ස්විචයෙන් ඕෆ් කරලා විතරක් මදි, එම උපකරණ බිත්තියේ ස්විචවලින්ම ගලවා තබන්න. හොඳ මට්ටමේ ට්‍රිප් ස්විචයක් නිවසේ/ගොඩනැඟිල්ලේ සවි කර තිබීමෙන්ද වැදගත්ය. එමගින් විශාල විදුලියක් අකුණක් නිසා විදුලි පරිපථයට ඇතුලු වන්නට උත්සහ කළොත් ට්‍රිප් ස්විචයෙන් ක්ෂණිකව ඕෆ් වී ඔබේ නිවස ආරක්ෂා වේ. අවශ්‍ය නම්, අකුණක් නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ මෙලෙස නිවසේ විදුලිය ඉහළ යෑම වැලැක්වීමට හැකි විදුලි උපාංගයක් (surge suppressor) සවි කර තවදුරටත් ආරක්ෂාව වැඩි කරගත හැකිය. රෝහල්, කර්මාන්තශාලා ආදියේ වැඩකටයුතු විදුලි කොටන විට නතර කිරීමට බැරිය. එවැනි අවස්ථාවල මෙවැනි විශේෂ උපාංග යොදා ඇත.
සමහර උපකරණවල උග්‍ර විෂ ද්‍රව්‍ය ඇත. ඒවා පෙනුමෙන් බොහෝම අහිංසක මෙන් පෙනේ. උදාහරණ ලෙස, රසදිය හෙවත් මර්කරි (Mercury. Hg යන රසායනික විද්‍යා සංඛේතයෙන් එය හඳුන්වයි.) යනු උග්‍ර විෂ ද්‍රව්‍යයකි; පිළිකාකාරකයක් හා මොලයේ ස්නායු මරා දමන ද්‍රව්‍යයකි; කුඩා ළමුන්ට මෙය ඉතා ඉතා ඉතා අහිතකරය. සමහර උෂ්ණත්වමානවල, රීඩ් ස්විච්වල, CFL බල්බය තුළ ආදි තැන්වල මෙය අඩංගු‍ වේ. එවිතරක් නොවේ මෑතක් වන තුරු තීන්ත (paint) වලද මෙය ගැබ්ව පැවතුනි (එහෙත් නව නීති මගින් තීන්තවල මර්කරි කිසිසේත්ම නොපැවතිය යුතු බවට පැනවීය. තීන්ත ටින්වල මර්කරි නැති බව සඳහන් කර තිබිය යුතුය. එය සඳහන් කර නැති නම්, වහාම පාරිභෝගික අධිකාරියට 1977 දුරකථන අංකයට කතා කර එය දන්වන්න. එක එක්කෙනා ස්වයංරැකියා වශයෙන් සාදන තීන්තවල මර්කරි තිබිය හැකි බවද මතක තබා ගන්න.) CFL බල්බවල වීදුරු කොටස් කැඩී ඇති විට පරිස්සමින් එම කැඩුණු කොටස් ලොකු කඩදාසියක ඔතා නිවසින් පිට සුදුසු තැනක තැන්පත් කරන්න. කෙලින්ම අත්වලින් එම කොටස් අල්ලන්න එපා; ගල්වුස් භාවිතා කරන්න; නැතිනම් බ්‍රෂ් එකකින් එම කොටස් කොලයට එකතු කර ගන්න. හොඳ වාතාශ්‍රයක් ඇතිවන පරිදි ජනෙල් දොරවල් වහාම විවෘත කර තබන්න. එලෙස විවෘත කර ටික වෙලාවක් යනකල් එම ස්ථානයේ ගැවසෙන්න එපා. (පිටරටවල නම්, මෙවැනි විෂ ද්‍රව්‍ය යම් යම් ආයතනවලට භාරදිය හැකියි. ඔවුන් ඒවා පරිස්සමින් විනාශකර දමානවා.) මර්කරි සේම බෙරිලියම් (Berrylium – Be) යන මූලද්‍රව්‍යයද විෂය. විශේෂයෙන් මයික්‍රොවේව් අවන්වල මැග්නෙට්‍රොන් නම් කොටසේ යම් භාහිරව අතට ස්පර්ශ විය හැකි තැනක මෙය ඇත. මේ ආදි ලෙස තමන් වැඩකරන ‍ඒවා ගැන සොයා බලන්න. විෂ සහිත කොටස් ඇල්ලීමෙන් වැලකී සිටින්න; ඇල්ලීමට සිදු වේ නම්, රබර් (ලේටෙක්ස්) ගල්වුස් භාවිතා කරන්න; එවැනි කොටස් සූරන්නට, කුඩු කරන්නට එපා (එවිට ඒවායේ අංශු වාතයට මුසු වී නාසය ඔස්සේ ශරීරයට ඇතුලු විය හැකියි.)
ඇත්තටම පරිස්සමට තිබෙන ප්‍රබලතම ආයුධය දැනුමයි. ඔබ අනතුරු සිදුවිය හැකි ක්‍රම ගැන හා ඒවායෙන් වැලකෙන ක්‍රම හා බැරිවෙලාවත් අනතුරක් සිදු වුවොත් කළ හැකි දේවල් ගැන කොතරම් දැනුවත්ද, ඒ ප්‍රමාණෙට ඔබට අනතුරුවලින් පරිස්සම් විය හැකියි. ඒ නිසා, තමන් පරිහරණය කරන සෑම උපාංගයකින්ම හා උපකරණයකින්ම ඇති විය හැකි අනතුරු ගැන සොයා බලන්න. දැනුම ඉතා වටිනා දෙයක් බව නිතරම සිහි තබා ගන්න. ඔබ සිදුකරන විශ්මිත දේවල් අපරික්සාකාරිව සිදුකර ටික කලකින් සුව කළ නොහැකි රෝග හෝ අනතුරුවලට ලක් වන්නේ නම් හෝ මිය යන්නේ නම්, එම විශ්මිත නිමැයුම්වලින් වැඩක් නැහැ නේද? අද අන්තර්ජාල පහසුකම් ලෙහෙසියෙන්ම පවතින නිසා, ඕනෑම ද්‍රව්‍යයක්, උපාංගයක්, උපකරණයක් ගැන තොරතුරු සෙවිය හැකියි. ඒවායෙන් සිදුවිය හැකි අනතුරු හා පරිස්සම්විය හැකි අයුරු පහසුවෙන්ම ලබා ගත හැකියි. www.google.com යන වෙබ් අඩවියට ගොස් තමන්ට සෙවිය යුතු දේ ඉංග්‍රිසි වචනයෙන් ඇතුලු කිරීම පමණයි කළ යුත්තේ. ඉලෙක්ට්‍රොනික්ස් වැනි තාක්ෂණික විෂයක් ඉගෙන ගන්නා හෝ නියැලෙන අයෙක් අනිවාර්යෙන්ම පරිගණකය හා අන්තර්ජාලය සමග වැඩ කිරීමට ඉගෙන ගත යුතුමය.
 

ඔබ උපකරණ සෑදීමේදී මෙම සේෆ්ටි හා සික්‍යුරිටි යන දෙකම උපරිම වන සේ එම උපකරණ නිර්මාණය කළ යුතුය. යම් උපකරණයක් සමග බොහෝ විට, එම උපකරණය ක්‍රියා කරවන්නේ කෙසේද ආදී තොරතුරු ඇතුලත් යම් පත්‍රිකාවක් හෝ පොතක් (manual එක කියා මෙයට කියනවා.) ලැබෙන්නේද මෙම හේතු නිසාය.

No comments:

Post a Comment