Sunday, April 26, 2015

ඉලෙක්ට්‍රොනික්ස් පාඩම - 7 (Electronics Lesson)

නිවැරදිව සන්නායක සම්බන්ද කරන විදිය
සන්නායක (වයර්) නිවැරදිව සම්බන්ද කිරීම බොහෝ දෙනා නොසලකා හරිනවා. එය ඉතා පහසු කාර්යක් නිසා, එය නිවැරදිව කරන ආකාරය ඔවුන් ඉගෙන ‍නොගෙන තමන්ට හිතෙන හිතෙන විදියට කිරීමට පුරුදු වී සිටිනවා. එම කාර්ය සරල වුවත්, නිවැරදී ආකාරයට එය කිරීම ඉතා වැදගත්.
සන්නායක නොවන ලණු, නූල් වැනි දෙයක් සම්බන්ද කරන හෙවත් ගැට ගසන (knotවිට එහි අරමුණ වන්නේ එම කැබැලි දෙක නොගැලවෙන සේ ශක්තිමත්ව සවි කිරීමයි. ඊටද ඒ ඒ අවස්ථාවන්ට හා උවමනාවන්ට ගැලපෙන විවිධ ආකාරයේ ගැට පවතිනවා. එහෙත්, සන්නායක දෙකක් සම්බන්ද කරන විට නොගැලවෙන සේ එය කළ යුතුවාක් සේම, විදුලිය එක සන්නායකයක සිට අනෙකට පහසුවෙන් ගලා යන ආකාරයෙනුත් එය සිදු විය යුතුයි.
පළමුව සලකා බලමු වයර් දෙකක් සම්බන්ද කරන විදිය. වයර් යනුවෙන් හඳුන්වන්නේ යම් සන්නායක කම්බියක් (conductor) පරිවාරක කොපුවකින් ආවරණයක කර ඇති දෙයකටයි. මෙහිදී විවිධ ආකාරයේ වයර් හමු වෙනවා. සමහර වයර්වල ඇත්තේ තනි කම්බියක් පමණි (single strand හෝ single solid conductor wire). තවත් සමහරක එකිනෙකට වෙළෙමින් පවතින සිහින් කම්බි තුනක් හෝ හත්ක් පමණ තිබේ (multi-strand හෝ stranded wire). තවත් සමහරක් කම්බිවල එකට වෙළපු ඉතා සිහින් කම්බි ගොන්නක් එකට ඇත (මෙයද ඉහත සඳහන් කළ stranded wire තවත් වර්ගයක් වේ.) තවත් වයර්වල පිටතම ආවරණ කොටස ඉවත් කළ විට, ඇතුලේ තවත් පරිවරණ යෙදූ කුඩා වයර් දෙකක් හෝ කිහිපයක් තිබිය හැකියි (multi-core wire). සාමාන්‍යයෙන් කේබල් (cableයන නම යොදන්නේ එවැනි වයර් ගණනාවක් එකට සලකා බලන විටයි. ඒ අනුව පහත පළමු රූප දෙකම කේබල් වේ. පළවෙනි රූපයේ තනි තනි වයර් පහක් එක ගොන්නක් සේ සලකාද, දෙවැනි රූපයේ වයර් තුනක් තවත් රබර් කොපුවක් (jacketතුළ තනි ඒකකයක් ලෙසම නිපදවාද තිබේ.
      




මේ කුමන කම්බියක වුවත්, සම්බන්ද කළ යුතු වයර් දෙකෙහිම භාහිර pvc පරිවාරකය පළමුව සෙන්ට්මීටරයක් හෝ අඟලක් පමණ හෝ අවශ්‍යතාවේ හැටියට ඉවත් කළ යුතුයි. වයර්වල ඇති මෙම භාහිර ආවරණය ගැනද කතා කිරීමට දේවල් ඇත. මෙම පරිවාරකයේ මූලිකම අරමුණ වන්නේ සන්නායකය පරවරණය කොට ඉන් විදුලිය පිටතට වැදීමට/කාන්දු වීමට ඇති අවස්ථාව නැති කිරීමයි. මීට අමතරව, කම්බිය (සන්නායකය) මල නොකා තබා ගැනීමට (ඔක්සයිඩ් සෑදීම නතර කිරීමට) මෙය ඉවහල් වේ. තවද, කම්බියට යම් ශක්තියක්ද මින් ලැබෙන අතර, කම්බිය පළුදු වීම් ආදියද වලකී. කම්බිය පිළිබඳ යම් යම් දත්ත (තොරතුරු) දැක්වීමටද මෙය ඉවහල් වේ (බොහෝ වයර්වල මෙම පරිවාරකයේ වයරයට අදාල විවිධ දේවල් ලියා ඇත. වයරයේ ගේජ් එක, එය රත් විය හැකි උපරිම උෂ්ණත්වය, ගින්නට ඔරොත්තු දෙනවද නැද්ද යනාදි තොරතුරු මේ අතර වේ). සමහර වයර් ගිනි ගැනීමකදී වයර් ඔස්සේ එය පැතිරී යෑම වැලැක්වීමට විශේෂ ද්‍රව්‍ය යොදා ඇත (fire retardant wire).

වයරයක් තුළ කම්බි ගොන්නක් එකට ඇති විට, ඒවා සාමාන්‍යයෙන් එකිනෙකට අඹරා (twistedපවතින සේ ඇත. එවිට, ඒ සෑම කම්බියක්ම එකිනෙකට හොඳින් ස්පර්ශව පවතින බැවින් අදාල වයරය තුළින් ගලායන ධාරාව ඒ සියලු කම්බිවල සමසේ ගමන් කිරීමට ඉන් හැකි වේ (එක කම්බියකින් වැඩිපුරද තවත් කම්බියකින් අඩුවෙන්ද වන ලෙස ධාරාව ගමන් නොකිරීමට ඉන් වගබලා ගැනේ.)
 

තවද, තනි වයරය තුළ වෙන වෙනම පරවරණය කරපු වයර්ද ට්විස්ටඩ් (එකිනෙකට වෙළි) ආකාරයට සකසා තිබේ. ඊට හේතුව වෙනස් එකකි. මෙම වයර් සාමාන්‍යයෙන් යොදා ගන්නේ අධි-සංඛ්‍යාත සංඥා ගමන් කරන අවස්ථාවලදීය. Cross-talk හා interference යන සංඥාවලට ඇතිවන බාධාවන් අවම කිරීමටයි මෙය සිදු කරන්නේ. (මේ ගැන පසුවට විස්තර සඳහන් වේ.) පහත රූපයේ ඇත්තේ කේබල් එකකි. එහි ඔබට පේනවා, රතු-සුදු, නිල්-සුදු, කොල-සුදු, දුඹුරු-සුදු ලෙස වයර් ජෝඩු (pair) ලෙස සකසා තිබෙන බව. මේ එක් එක් වයර් පෙයාර් එක ට්විස්ටඩ් වී පවතී.
 

‍ඉහත අවස්ථා දෙකෙහිම කම්බි ඇඹරී පැවතීම නිසා වැඩිපුර කම්බි ප්‍රමාණයක් ඒ සඳහා වැය වේ. එලෙස වැඩිපුර කම්බි ප්‍රමාණයක් යොදා තිබීමෙන් නිෂ්පාදන වියදම තරමක් වැඩි වේ. එහෙත් එම අමතර වියදම නොසලකා වයර් එසේ සාදා තිබෙන්නේ එසේ කිරීම අත්‍යවශ්‍ය නිසා බව තේරුම් ගන්න. ඔබ එවැනි ට්විස්ටඩ් වයරයක් වෙනත් වයර් සමග හෝ ටර්මිනල් එකකට සම්බන්ද කරන විට, මෙම ඇඹරීම හැකි පමණ රඳවා තබා ගත යුතුය. (සමහරුන් වයර් මෙලෙස ඇඹරී ති‍බීමේ වැදගත් කම නොදැන, ඒවා කෙලින් කරනවා.)
යම් වයරයක භාහිර පරිවාරකය ඉවත් කළ විට, එය භාහිර පරිසරයට නිරාවරණය වී පවතින නිසා, එම මොහොතේ සිටම මල කෑමට පටන් ගනී. එමනිසා, පරිවාරකය ඉවත් කළ විගස වයර් සම්බන්ද කර, නැවත හීට් ශ්‍රින්ක් ටියුබ් හෝ ඉන්සියුලේෂන් ටේප් ආදි සුදුසු ක්‍රමයකින් එම ස්ථානය පරිවරණය කළ යුතුය. යම් හේතුවක් නිසා වයරයක එලෙස පරිවරණය ඉවත් කර යම් කාලයක් ගත වී පැවතුණොත්, හැකි නම් එම සන්නායක කොටස කපා ඉවත් කර, නැවත අලුතින් වයරයේ පරිවාරක කොටසක් ඉවත් කළ යුතුය. එසේ කපා ඉවත් කර දැමීමට තරම්වත් වයරය දිග නැති නම්, එම අවපැහැ ගැන්වුණු තඹ කම්බි දිලිසෙන තුරු තියුණු තලයකින් සීරිය යුතුය. එහෙත් වයරය ඇත්තේ සිහින් කම්බි ගණනාවක් හෙවත් ගොන්නක් ලෙස නම්, තනි තනි කම්බිය සීරීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එනිසා මෙවැනි අනවශ්‍ය බාධා අවම කරගැනීමට වයරයක පරිවාරක කොටස් ඉවත් කළ විගස වයර් අමුණන්නට වග බලා ගත යුතුය.
සංවේදී හා විද්‍යාත්මක උපකරණවලද, උසස් තත්වයේ උපකරණවලද සමහරක් තඹ කොටස් (කනෙක්ටර් අග්‍ර, එවැනි කනෙක්ටර්වලට ඇතුලු කරන වයර් අග්‍ර, ‍අයිසීවල පින් ආදිය) රිදී ලෝහය ආලේප කර ඇත. (තවත් සමහර අවස්ථාවල රිදී වෙනුවට රත්තරංද ආලේක කර තිබේ. විශේෂයෙන් සමහර අයිසීවල රත්තරං පාටින් පෙනෙන පින් මෙලෙස රන් ආලේපිත ඒවාය.) සමහරුන් මෙම රිදී ලෝහාලේපනය සූරා ඉවත් කරනවා. එය කරන්න එපා. මිල අධික රිදී තවරා ඇත්තේම විශාල ප්‍රයෝජනයක් ඉන් ලැබෙන නිසාය. එනම්, පිරිසිදු තඹ රිදී ආලේපනය නිසා මල නොකයි; රිදී ලෝහයද මල නොකයි. එමගින් හොඳ විදුලි සම්බන්දයක් ඉන් ලැබේ. මල කෑම නිසා ඇතිවන රත්වීම හා ගිනිගැනීම් මින් වැලකී යයි. ඔබද එවැනි උපකරණ නිර්මාණය කරන්නට යනවා නම්, ඔබටද ඔබේ තඹ කනෙක්ටර් හා වයර් අග්‍ර එලෙස රිදී ලෝහාලේපනය (electroplateකළ හැකියි ඉතා පහසුවෙන්ම. (මා පසු පාඩමකදී එයද කියා දෙනවා.)
 



සාමාන්‍යයෙන් ඉහත ඕනෑම වයරයක් ඉක්මනින් හා පහසුවෙන් සම්බන්ද කිරීම දෙවිදියකට සිදු කළ හැකිය. එකක් නම් පහත රූපයේ ආකාරයට කම්බි අග්‍ර දෙක එකට ගෙන ඇඹරීමයි.


ඉහතදී කෙලවර උල් දෙකක් සේ කම්බි තිබෙන නිසා, ඒවා යමෙකුට ඇනෙන්නට හෝ වෙනත් උපාංගයකට සීරීමක් කළ හැකිය. එයද වලක්වාගත හැකියි පහත රූපයේ ආකාරයට තරමක් වෙනස් කිරීමෙන්. කම්බි දෙකෙහි සම්බන්දය තවත් ශක්තිමත් වීමක්ද මින් සිදු වේ.

දෙවැනි ක්‍රමය නම්, පහත රූපයේ දැක්වෙන පරිදි කම්බි අග්‍ර දෙක අකුරක ආකාරයට තබා, දෙපසට ඇඹරීමයි.
 


මෙම දෙවන ක්‍රමය පෙනුමින් ලස්සනයි. සම්බන්දක ස්ථානය හෙවත් ජොයින්ට් එක පළමු ක්‍රමයේදී මෙන් ඉලිප්පී කැතට පෙනෙන්නේ නැත. මෙම ක්‍රම දෙකම තනි කම්බි වයර් සඳහා ඉතා හොඳම ක්‍රම දෙකකි. මේ දෙකෙන් කුමන ආකාරයකට ඇඹරුවත්, හොඳින් වයර් ඇඹරී තිබිය යුතු සේම, එම වයර් හොඳින් එකිනෙකට ස්පර්ශව පැවතිය යුතුයි හිස් අවකාශ අවම වන පරිදි (හිස් අවකාශ තිබුණොත් විදුලි පුළිඟු ඇති වීමටද පුලුවන්.)
සිහින් කම්බි ගොන්නකින් සැදුම්ලත් වයර් දෙකක්ද ඉහත දෙයාකාරයෙන්ම සම්බන්ද කළ හැකියි. එහෙත් ඊට පෙර එක් එක් අග්‍ර වෙන වෙනම හොඳින් අඹරා ගත යුතුය. සෑම සිහින් කම්බියක්ම මතුපිටට එන පරිදි එම ඇඹරීම සිදු කළ යුතුය. පෙර කී පරිදිම ඇඹරීම හොඳින් සිදු වී තිබිය යුතුයි.
      


ඉන්පසු එසේ වෙන වෙනම අඹරාගත් අග්‍ර දෙක ඉහත දෙයාකාරයෙන් ඕනම ක්‍රමයකින් සම්බන්ද කළ හැකිය. කුඩා කම්බි පහ හයක් සහිත වයර්ද මෙම ආකාරයටම සම්බන්ද කළ හැකිය. (තනි තනි වයර් අඹරන විට, සෑම කුඩා කම්බියක්ම මතුපිටට එන සේ අඹරා ගැනීම වැදගත්ය.) ඊට අමතරව, සිහින් කම්බි හත අටක් ‍පමණ හෝ ඊට අඩුවෙන් ඇති වයර් පහත ආකාරයටද සම්බන්ද කළ හැකිය.
  


එනම්, අග්‍ර දෙකෙහිම තනි තනි කම්බිය මලක් සේ විහිදුවා ගෙන (a) එම අග්‍ර එකිනෙකට ලොක් වන පරිදි (b) ඇතුලු කර, ඉන්පසු දෙපසට ගොස් ඇති තනි තනි කම්බිය ඒ පැත්තේ ඇති අනෙක් කම්බිද යටකරගෙන එතිය යුතුය(c). මෙලෙස සියලු කම්බි එතිය යුතුය. මෙම ක්‍රමය ඉතා හොඳ එකකි; තරමක් කාලයක් ගත වේ (එමනිසයි සිහින් කම්බි විශාල ගණනකින් සැදුම්ලත් වයර් සඳහා මෙය යෝග්‍ය නොවන්නේ). ශක්තිමත් අතින්ද ඉතා ඉහළය. වැඩිපුර පරිවාරක කොටසක් ඉවත් කිරීමටද සිදු වේ.
සමහර වයර්වල තනි කම්බියකුත්, තවත් සමහර ඒවායේ කම්බි ගණනාවකුත් වශයෙන් වයර් නිපදවන්නේ ඇයිද යන ප්‍රශ්නයක් මතු වනු ඇත. ඊට හේතු තිබේ. තනි කම්බියක් මහතට ඇති විට, එවැනි වයරයක් අහුමුලුවලින් නැමීමට අපහසුය (එනම්, වයරය සුනම්‍ය නැත). කම්බිය හීනි නම් එම ගැටලුව නැත. එහෙත් ධාරාව වැඩියෙන් යන වයර් මහතට තැබිය යුතුය. ඉතිං, මෙලෙස වයරයේ නියම හරස්කඩ වර්ගඵලය (effective sectional area)හෙවත් මහත අඩු නොකර, කම්බිය සුනම්‍ය (flexible) කිරීමට ඇති එක් උපක්‍රමයක් නම්, කුඩා කම්බි ගණනාවක් ලෙස එය සකස් කිරීමයි. තනි තනි කම්බිය සිහින් වුවද, එම කම්බි සියල්ලම එකක් සේ ගත් විට, මුලින් තිබූ මහතම ලැබේ.
තවද, කම්බියක් මහත වැඩි වන විට, (අඩු සංඛ්‍යාත) ධාරාව එම කම්බියේ මැද කොටස් තුලින් වැඩිපුර ගලනවා. ඉතිං තවත් කම්බියක් මෙවැනි මහත වයරයකට අමුණන විට, එම වයර් සම්බන්ද වන්නේ මතුපිටවල් ස්පර්ශ වීමෙන් නිසා, එක් කම්බියක මැදින් ආ ධාරාව (ඉලෙක්ට්‍රෝන) අනෙක් කම්බියට ඇතුලුවන්නට යම් බාධාවක් පවතිනවා. එයද මග හැරීමට ඇති එකම ක්‍රමය හැකි පමණ කම්බියේ භාහිර (පෘෂ්ඨීය) ක්ෂේත්‍රඵලය වැඩි කිරීමයි. එය කළ හැකි එකම ක්‍රමය තනි මහත කම්බියක් වෙනුවට කුඩා කම්බි ගණනාවක් යෙදීමයි. එවිට, තනි මහත කම්බියේ ගමන් කළ ඉලෙක්ට්‍රෝන තනි තනි කම්බිවල බෙදී ගමන් කරයි. කම්බි සිහින් නිසා, ඉලෙක්ට්‍රෝන වැඩිපුර ගමන්ගන්නේ කම්බිය මතුපිටේය. දැන්, එවැනි කම්බි දෙකක් අමුණන විට කම්බි දෙකෙහි මතුපිටවල් වැඩිපුර එකිනෙකට ගෑවෙන නිසා, ඉලෙකට්‍රෝන පහසුවෙන් එක් වයරයක සිට අනෙක් වයරයට ගමන් ගනී.



මොහොතකට පෙර මා සඳහන් කළා මතකද සිහින් කම්බි ගොන්නක් සහිත වයර් දෙකක් එකිනෙකට අමුණන විට, පළමුව තනි තනි අග්‍රය වෙන වෙනම අඹරාගත යුතු බවත්, එසේ අඹරන විට, සිහින් කම්බි සෑම එකක්ම මතුපිටට එන සේ ඇඹරිය යුතු බවත්? ඊට හේතුව එම තනි තනි කම්බිය අනෙක් වයරයේ තනි තනි කම්බියට ස්පර්ශ විය යුතු නිසාය.
ස්ට්‍රෑන්ඩඩ් වයරයක කෙළවර හොඳින් අඹරා ඊට ඊයම් තැවරූ විට, එය තනි කම්බියේ වයරයක් සේ ප්‍රායෝගිකව භාවිතා කළ හැකිය. මෙහිදී තනි තනි කම්බි එකට ඇලවී තිබීමට ප්‍රමාණවත් තරම් පමණක් ඊයම් (සෝල්ඩර්) යොදන්න. මුලු කම්බියම ඊයම්වලින් ආවරණය කරන්න එපා. ඊට ‍හේතුව, කම්බිය සාදා ඇති තඹවලට වඩා සෝල්ඩර්වල ඇති ටින් හා ඊයම්වල ප්‍රතිරෝධය ඉහළය. එමනිසා, මුලු කම්බි අග්‍රයම ඊයම්වලින් ආවරණය කළ විට, එතැන ඉබේම ඉහළ ප්‍රතිරෝධයක් හටගෙන රත්වීම වැඩියෙන් සිදු වේ.


සටහන
සාමාන්‍යයෙන් කම්බියක් හරහා ඒසී (හෝ විචලනය වන) විදුලිය හෝ විදුලි සංඥාවක් ගමන් කරන විට, එහි සංඛ්‍යාතය (හර්ට්ස් ගණන) වැඩි වන විට, යම් අපූරු දෙයක් එහි ගමන් කරන ඉලෙක්ට්‍රෝනවලට සිදු වේ. එනම්, සංඛ්‍යාතය වැඩි වන විට, ඉලෙක්ට්‍රෝන කම්බියේ මැදින් ගමන් කරනවා වෙනුවට කම්බියේ මතුපිටට ළං වෙමින් ගමන් කරයි. සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට, ධාරාව (ඉලෙක්ට්‍රෝන) තව තවත් කම්බියේ මතුපිටින් ගමන් කරයි. (මෙය හරියට සමහර අය බස් එකේ ඉඩ ති‍බියදිත් ෆුට්බෝඩ් එකේ ගමන් කරනවාක් වැනිය.) මෙම හැසිරීම චර්මීය ආචරණය 
(skin effect) නමින් හැඳින් වේ. පහත රූපයෙන් නිල් පාටින් පෙන්නුම් කරන්නේ ධාරාව ගමන් කරන කම්බියේ හරස්කඩ වන අතර, නිල්පාට වලල්ල ක්‍රමයෙන් සිහින් වෙනවා සංඛ්‍යාතය ක්‍රමයෙන් වැඩිවන විට.
 
 
ඉතිං මහත තනි කම්බියක් තුළින් මෙවැනි අධි-සංඛ්‍යාත ධාරාවක් යවන විට, කම්බියේ මැද කොටස කිසිදු ප්‍රයෝජනයක් නැති වේ. එවිට ඉලෙක්ට්‍රෝන කම්බියේ මතුපිට කොටස්වල පොරකමින් ගමන් කරයි. මෙම ‍”පොරකෑම” යනු ප්‍රතිරෝධයයි. අප මහත කම්බියක් භාවිතා කළේම ධාරාවට ඇතිවන මෙම ප්‍රතිරෝධය ඉවත් කිරීමටයි. එහෙත් චර්මීය ආචරණය නිසා, එලෙස මහත තනි කම්බියක් යෙදීම නිශිඵල වූ බවක් පෙනේ.
මෙයදට යම් පිළියමක් නම් තනි මහත කම්බියක් වෙනුවට සිහින් කම්බි රාශියක් යෙදීම (stranded wires) බවයි සමහරකු සිතන්නේ. මෙහිදී ඔවුන්ට සිතෙන්නේ තනි තනි සිහින් කම්බි ගණනාවක් ඇති නිසා, මේ සෑම සිහින් කම්බියක මතුපිටවල් ඔස්සේ විදුලිය ගමන් කරන බවත්, ඉන් තනි විශාල එක් කම්බියක මතුපිට ක්ෂේත්‍රඵලයට වඩා වැඩි ක්ෂේත්‍රඵලයක් සිහින් කම්බි ගණනාව නිසා ඇති බව බවත්, එමනිසා ධාරාව ගැලීමට වැඩිපුර මතුපිටවල් (ක්ෂේත්‍රඵලයක්) ඇති බවත්, එවිට, ඉලෙක්ට්‍රෝනවලට “පොර කකා” (ප්‍රතිරෝධයක් සහිතව) ගමන් කිරීමට සිදු නොවන බැවින් චර්මීය ආචරණයේ බලපෑම අඩුවන බවයි. එහෙත් සත්‍ය තත්වය එය නොවේ. තනි තනි සිහින් කම්බි පවතින්නේ එකිනෙකට ස්පර්ශවයි. ඉතිං ඉලෙක්ට්‍රෝනවලට තවමත් පහසුවෙන් වයරයේ මැද සිට මතුපිටට ගමන් කළ හැකිය (“මෙහිදී ඉලෙක්ට්‍රෝනවලට ඕවර්ටේක් කළ හැකියි”). පහත රූපයෙන් පෙන්වන්නේ එයයි. තනි කම්බි‍යෙ වයරයක් වුවත්, ස්ට්‍රැන්ඩඩ් වයරයක් වුවත් චර්මීය ආචරණය ඇති වේ. (රූපයේ මැද යම් සුදු ආලෝකයෙන් නිරූපණය කරන්නේ චර්මීය ආචරණයේ බලපෑම වන අතර වයර දෙකෙහිම එය සිදුවන බව පෙනේ.)


 
එහෙත්, තනි තනි සිහින් කම්බි වෙන වෙනම පරිවරණය කරපු ආකාරයටද ඇති අතර එවැනි වයර් Litz wire ලෙස හැඳින්වේ. ඒවා මගින් චර්මීය ආචරණය ඇත්ත වශයෙන්ම වැලක්විය හැකියි. මෙහිදී සිහින් කම්බි එකිනෙකට ස්පර්ශව පැවතියත් ඒවා ව‍ටේ ඇති තුනී පරිවාරක නිසා විද්‍යුත් වශයෙන් පවතින්නේ වෙන් වෙන්වයි. එහිදී යම් කම්බියක් හරහා යන ඉලෙක්ට්‍රෝන අනෙක් කම්බි හරහා සමස්ථ වයරයේම මතුපිටට ‍ඒමට නොහැකි වේ (“මෙහිදී ඉලෙක්ට්‍රෝනවලට ඕවර්ටේක් කළ නොහැකියි”). එනිසා තනි තනි සිහින් වයර් හරහා (එක් එක් සිහින් කම්බියේම මතුපිටට සමීපව) ධාරාව ගමන් කරයි. පහත පළමු රූපයෙන් දැක්වෙන්නේ සිහින් කම්බි තනි තනිව පරිවරණය වී පවතින බවයි. දෙවැනි රූපයෙන් පෙන්වන්නේ ඇත්තට ලිට්ස් වයර් එකක් යොදා සකසා ගන්නා ලද ඉන්ඩක්ටරයකි. තෙවන රූපයෙන් දැක්වෙන්නේ ප්‍රමාණ තුනකින් ඇති ලිට්ස් වයර්ය.


 
ඇත්තටම මෙහි ගත යුතු තවත් දෙයක් ඇත. මහත කම්බියක් මෙවැනි අධි-සංඛ්‍යාත ධාරාවක් ගමන් කරවීමට යෙදවීමෙන් අප බලා පොරොත්තුවන කාරණය ඉටු නොවනවා පමණක් නොව, එය වටිනා තඹ (හෝ වෙනත් ලෝහ) අපතේ හැරීමකි. අපට පුළුවන් නම්, එම මහත තඹ කම්බිවල ධාරාව ගමන් නොකරන මැද කොටස් ඉවත් කිරීමට? එය කම්බියේ බර අඩු වනවා පමණක් නොව, ලෝහයද ඉතිරි වේ. එවිට, කම්බිය පෙනෙන්නේ බටයක්(tube) මෙනි. මෙය ප්‍රායෝගිකව සිදු වේ. ඔබගේ ඇන්ටනා කූරු දෙස බලන්න. ඇන්ටනා කූරුවල ගමන් කරන්නේ ඉතා අධි-සංඛ්‍යාත (දුර්වල) ධාරාවකි. එමනිසා ධාරාව ගලා යන්නෙම සන්නායකයේ මතුපිටින් පමණි. ඒකයි එම කූරුවල මැද නැත්තේ (ඒවාට ඇන්ටනා “බට” කියා කියන්නේද එනිසයි.) ඇන්ටනා බටයක් ගෙන බැලුවොත් ‍තේරුම් යාවි, එහි මැද ඉවත් කර ඇති ලෝහ ‍ප්‍රමාණය ඉතා වැඩි බව (එවැනි කූරු හත අටක් අලුතින් සෑදීමට හැකි ප්‍රමාණයක් ඉවත් කර ඇත.) එසේ නොවුනා නම්, සමහර විට ඇන්ටනාව දැන් විකුණන මිල මෙන් හත් අට ගුණයක් පමණ වැඩි වනු ඇත.

ඉහත කුමන ආකාරයකින් හෝ වයර් දෙකක් සම්බන්ද කළ පසු, හැකි හැම විටම එම ස්ථාන ඊයම්වලින් පාස්සන්න. එවිට, එම සම්බන්දක සන්නායක අතර තවත් හොඳ සම්බන්දයක් ගොඩ නැගෙනවා පමණක් නොව, ශක්තිමත් බවද වැඩි වේ. පසුවට මලකඩ කෑමෙන් ඇතිවල ප්‍රශ්නයද නැති ‍වී යයි.


මෙලෙස පෑස්සුවාට පසුව එම කම්බි පෙර කීවාක් සේ ‍ඉන්සියුලේෂන් ටේප් හෝ හීට් ශ්‍රින්ක් ටියුබ්වලින් හෝ පරිවරණය කළ යුතුය.



මෙහිදී ඉන්සියුලේෂන් ටේප් එකේ කාර්ය වන්නේ එම සම්බන්දය ශක්තිමත් කිරීම නොව, එම සම්බන්දය පිටත පරිසරයට නිරාවරණය වී පැවතීම නැති කිරීමයි. මා මෙය කීමට හේතුව, සමහරුන් පහත රූ‍පයේ දැක්වෙන ආකාරයේ සම්බන්දකය යොදා එය ටේප් මගින් ඔතන විට, එම පිටතට නෙරූ කොටස නමා වයරය සමගම ටේප් කරනවා. මෙය හොඳ ක්‍රමයක් නොවේ. වයර් දෙපැත්තෙන් ඇදෙන විට, ඉබේම මෙම කොටසේ ටේප් ගැලවී ගොස් නැවත පිටතට විසි වේ. එවිට, සම්බන්දක ස්ථානයේ පරිවාරක ඉබේම ඉවත් වී පවතී.


එය වැලැක්වීමට නම්, පිටතට නෙරා ඇති කොටස පළමුව වෙනම ටේප් කළ යුතුය. ඉන්පසු එම කොටස ඉහළට එසවී තිබීම අවලස්සනයි හෝ කරදරයි නම්, එම ටේප් කළ කොටස වයරය දෙසට නමා, ශක්තිමත් කම්බියකින් එය බැඳ ඊට උඩින් නැවත ටේප් කළ හැකිය.
වයර් දෙකක් (හෝ කිහිපයක්) එකිනෙකට සම්බන්ද කරන තව ක්‍රමයක් වන්නේ කනෙක්ටර් (connector) භාවිතා කිරීමයි. මෙහිදී කනෙක්ටරය නම් උපාංගය තුළට වයර් දෙකක් ඇතුලු කර ඇන මගින් තද කරයි. සමහර ක‍නෙක්ටර් නිකංම වයර් එම කනෙක්ටරය තුළ කරකවා තද කරයි (පහත පළමු රූපයේ දැක්වෙන්නේ එම කනෙක්ටරයයි. එය wire nut ලෙස හැඳින් වේ. විවිධ වර්ණ හා සයිස්වලින් ඇත). බොහෝ කනෙක්ටර්වල ප්‍රධානම දුර්වලකම නම්, කනෙක්ටරය තුළට වාතය ඇතුලු වීමට හැකි නිසා, කනෙක්ටරය තුළට ඇතුලු කළ කම්බි කාලයත් සමග මල කෑමට හැකි වීමත්, යම් යම් ආගන්තුක ද්‍රව්‍ය හෝ කුහුඹින් වැනි සතුන් එම සිදුරු තුළට ඇතුලු වීමට හැකි වීමයි. තනි තනි කනෙක්ටර් කිහිපයක්ම එකට පවතින  connector rod/bar ද ඇත (පහත දෙවන රූපය එවැන්නකි.)
   


                
විවිධාකාරයේ කනෙක්ටර් ඇත. පහත රූපයේ එවැනි කිහිපයක් දැක්වේ.

වයර් දෙකක් සම්බන්ද කිරීමට ඇති තවත් ක්‍රමයක් වන්නේ එකිනෙකට පහසුවෙන් සවි කිරීමට හා ගැලවීමට හැකි වන අයුරින් සෑදූ කොටස් දෙකකින් යුතු කනෙක්ටර්ය. උදාහරණයක් ලෙස පහත රූප බලන්න.
       

               
මෙහි කොටස් දෙකට වයර් වෙන වෙනම සවි වේ. ඉන්පසු එක කොටසක් අනෙක් කොටස තුළට අවශ්‍ය වෙලාවට ඇතුලු කළ හැකියි; ඒ දෙක අවශ්‍ය වෙලාවට ගැලවියද හැකියි. මින් එක කොටසක් male connector ලෙස හැඳින් වෙන අතර, අනෙක් කොටස female connector ලෙස හැඳින් වේ. මෙවැනි කොටස් දෙකකින් යුතු අවස්ථාවක, උලක් හෝ කූරක් හෝ යම් දෙයක් තුළට ඇතුලු වීමට හැකි සේ දිස්වන කොටස male වන අතර, සිදුරක් සහිතව හෝ යමක් තමන් තුළට ඇතුලු කරගත හැකි ලෙස පවතින කොටස female වේ. (මෙය ඇත්තටම මිනිසාගේ පුරුෂ-ස්ත්‍රී යන ලිංග භේදය හා හැඩය අනුව කෙරුනු නාමකරණයකි.) සාමාන්‍යයෙන් jack යනුවෙන් හැඳින්වෙන්නේ ෆීමේල් වර්ගයේ කනෙක්ටර් විශේෂයයි (එහි හැඩය ඉහත පළමු රූපයේ වම් පැත්තේ ඇති උපාංගය වේ). එම ජැක් එකට ඇතුලු කරන මේල් කනෙක්ටරයි plug කියා කියන්නේ. (ඉහත පළමු රූපයේම දෙවැනියට ඇත්තේ එහි හැඩයයි.) විවිධාකාරයේ ජැක් හා ප්ලග් වර්ග තිබේ.
සමහර කනෙක්ටර් තුළ විශේෂ ග්‍රීස් වැනි ද්‍රව්‍යයක් පවතී. මෙම ද්‍රව්‍යය ඇත්තටම විදුලිය සන්නයනය කළ හැකි එකකි. ඉන් කෙරෙන රාජකාරිය වනුයේ කනෙක්ටරය තුළ ඇති කම්බිවල මෙය තැවරී මලකෑම නවතාලීමයි. එවැනි කනෙක්ටර් හොඳය. පහත දැක්වෙන්නේ (වැඩිපුර ටෙලිෆෝන් ආයතන භාවිතා කරන) එවැනි පිග්ටේල් ‍කනෙක්ටර් (pigtail wire connector) නමින් හැඳින්වෙන කනෙක්ටරයකි. මෙය තුළට වයර් දෙක වෙන වෙනම ඇතුලු කර අඩුවකින් පැතිලි පැති දෙක තද කළ විට වයර් හොඳින් සවි වේ. (වයර් තුනක් ඇතුලු කළ හැකි ඒවාද ඇත.)
 

වයර් දෙකක් එකිනෙකට සම්බන්ද කිරීම පමණක් නොව, වයරයක් (බෝල්ට් හෝ ඉස්කුරුප්පු) ඇනයකට හෝ වෙනත් “ටර්මිනල්” (terminal) එකකට හෝ එවැනි දෙයකට සම්බන්ද කිරීම ගැනද සලකා බලමු.
සමහර අවස්ථාවල තනි කම්බියේ වයරයක් බෝල්ට් ඇනයකට සම්බන්ද කළ යුතු වෙනවා. එවිට, සාමාන්‍ය පරිදිම වයරයේ පරිවාරක ආවරණය අවශ්‍ය ප්‍රමාණයට පමණක් ඉවත් කර, එය බෝල්ට් ඇනය වටා පහත රූපයේ සේහැඩයට කරකැවිය යුතුයි. එහිදී ඇනය “කරකවා තද කරන ආකාරයට” සාදා තිබෙන එකක් නම්, රූපයේ පෙන්වා ඇති පරිදිම ඇනය කරකවන පැත්තට යූ හැඩය තැබිය යුතුය (එවිට, ඇනය කරකවන විට, කම්බිය දිග නොහැරී තවදුරටත් යූ හැඩය පවත්වාගනී.)
  


ඒවිතරක් නොවේ, ‍වොෂර් එකක්ද කම්බියට උඩින් තිබිය යුතුය (නැතිනම්, කම්බිය ඇනයේ හිසින් එලියට පහසුවෙන් පැනීමට හැකිය). තවද, පොටවල් ගොඩක් ඇති කම්බියක් නම්, පෙර සඳහන් කළ පරිදි සියලු සිහින් කම්බි මතුපිටට එන පරිදි අඹරා ගත් පසු පෙර රූපයේ සේ ඇනයට තද කළ යුතුය.
කිසිවිටක පොටවල් වෙන වෙනම කොටස් දෙකකට බෙදා පහත රූපයේ අයුරින් සම්බන්ද කරන්නට එපා (මෙහිදී යම් කොටසක් අනිකට වඩා මහත වූ විට, මහත අඩු කොටස ඇනයට තද නොවී පවතී.)
 

ඔබට සීතේවි කෙලින්ම බෝල්ට් ඇනයට වයරය සවි කරනවාට වඩා හොඳයි නේද කම්බිය කෙලින්ම ඇනයේ හිසට පෑස්සුවා නම් කියා. එහෙත් අප බැලිය යුත්තේ මේ ආකාරයට සම්බන්දයක් ඇති කළ හැකි පරිදි එම උපකරණය නිර්මාණය කර තිබෙන්නේ යම් හේතුවක් නිසා විය හැකි බවයි. එනම්, පහසුවෙන් වයර් ගැලවීමට හැකි හා යම් දෙයක් ඇනය මගින් තද වීමටත් විය යුතුය. ඔබ ඇනයේ හිසට වයරය පෑස්සූ විට, මෙම දෙකම පහසුවෙන් කළ නොහැකි වනු ඇත.
වයර් ඇතුලු කිරීම සඳහාම නිපැදවූ බෝල්ට් ඇන ඇත. මේවා විවිධ ප්‍රමාණවලින් හා හැඩවලින් ලබා ගත හැකියි. වයරයේ කෙළවර සිදුර තුළින් යවා නට් එක කරකවා තද කරන්න.
 


ඉහත කාර්ය තවත් පහසුවෙන් සිදු කරගැනීමට විශේෂ උපක්‍රමයක් ඇත. එනම්, වයරය ඇනයට සම්බන්ද නොකර එය පහත රූපවලින් දැක්වෙන පරිදි (ටර්මිනල්) කනෙක්ටරයකට පළමුව සම්බන්ද කළ යුතුය.




(කෙළවර සිදුරක් සේ පවතින කනෙක්ටර් ring connector (ඉහත පළමු හා අවසන් රූප දෙකෙන් පෙන්වා ඇති) ලෙසද, යූ හැඩයට කෙළවර ඇති කනෙක්ටර් spade connector (ඉහත දෙවන හා තෙවන රූප දෙකෙන් පෙන්වා ඇති) ලෙසද හැඳින් වෙනවා. තවත් නම් වලින් හැඳින්වෙන විවිධ හැඩ ඇති කනෙක්ටර් ඇත.)
ඉන්පසු, එම වයරය සම්බන්ද කරපු කනෙක්ටරය ඇනයට පහසුවෙන් සවි කළ හැකිය. ‍මෙහිදී මෙම ‍ටර්මිනල් ඒ ඒ ඇනයට අනුව විවිධ සයිස්වලින් ලබා ගත හැකිය. හැමවිටම තඹවලින් සෑදූ ඒවා ගන්න. උසස් ගණයේ හා සංවේදී උපකරණ සඳහා සිල්වර් හෝ ගොල්ඩ් ලෝහාලේපණය කළ කනෙක්ටර් ගන්න. වෙනත් වැඩි ප්‍රතිරෝධ සහිත ද්‍රව්‍යයකින් නිපදවා ඇති ටර්මිනල් එකක් වයරයට සම්බන්ද කළ විට, වයරයේ සිට ඇනයට විදුලිය ගමන්කරන්නේ මෙම කොටස හරහා වන නිසා, අනවශ්‍ය ප්‍රතිරෝධයක් ඇති වේ. එය රත් වී ශක්තිය අපතේ යෑමටත්, සංඥාව දුර්වල වීමටත්, ගිනි ගැනීමේ අවදානම වැඩි කිරීමටත් හේතුවක් විය හැකිය. තඹ කනෙක්ටරයක් වුවත්, කම්බි සම්බන්ද කරන විට, වයර් අග්‍ර මෙන්ම කනෙක්ටරයද මල නොකා පිරිසිදුව තිබිය යුතු අතර, නිවැරදි ආකාරයට වයර් හා කනෙක්ටරය සම්බන්ද කිරීමටද වග බලා ගත යුතුය. බොහෝ විට, ඊයම් පෑස්සීමක් කිරීමද උචිතය.
වයර් කිහිපයක්ම යම් ඇනයකට සම්බන්ද කිරීමට සිදුවන විට, බොහෝ විට, එම සියලුම වයර්වල කම්බි එකට අඹරාගත් විට ඇනය වටා යැවිය නොහැකි තරම් මහතක් තිබිය හැකිය. එවිට, පහත රූපයේ පෙනෙන ආකාරයට වෙනම කනෙක්ටරයකට සියලු වයර් ඇතුලු කරන්න. තවත් එක් මහත වයර් කැබැල්ලකුත් එම වයර් සමගම ඇතුලු කර, එම වයර් කැබැල්ලේ අනෙක් කෙළවර පෙන්වා ඇති පරිදි ඇනයට සම්බන්ද කරන්න.


මෙවැනි කනෙක්ටරයකට වයරය සම්බන්ද කරන විට, පළමුව වයරයේ කම්බිය (තනි කම්බිය හෝ හොඳින් අඹරාගත් සිහින් කම්බි ගොන්නම) මෙම කොටසේ වයරය ඇතුලු කරන කොටස තුලින් ඇතුලු කොට එයට සිරකර තැබිය යුතුය. ඉන්පසු ඊයම් යහමින් යොදා පෑස්සිය යුතු වෙනවා. (පරිවාරක කොටස හැකි පමණ ටර්මිනල් එකට ළඟින් සිටන සේ සකස් කර ගන්න.)
 

ඔබ දැන් ඉහත විස්තර ‍හොඳින් අධ්‍යනය කළොත් මෙතෙක් සලකා නොබලපු අවස්ථාවක වුවත් වයරයක් සම්බන්ද කළ යුත්තේ කෙසේදැයි සිතාගත හැකි විය යුතුය. හැමවිටම සම්බන්දය ශක්තිමත් වන ලෙසත්, විදුලිමය සම්බන්දය උපරිම වන ලෙසත්, අනවශ්‍ය ප්‍රතිරෝධ ඇති නොවන ලෙසත්, අලංකාර ලෙසත් එය කිරීමට වගබලා ගත යුතුය. පරවාරක කොටස හැකි තරම් කනෙක්ටරය ළඟටම තිබෙන සේ වයර් කපා ගන්න. ඉහත රූපයේ පෙන්වා තිබෙන පරිදි කනෙක්ටරයකට වයර් සම්බන්ද කරන විට පරිවාරකය එහි තද වන කොටසට ඇතුලු කර අඬුවකින් හොඳින් තද කරන්න (crimp). එවිට, වයරය ඇදීමකදී වුවත් කනෙක්ටරයෙන් නොගැලවී පවතී. එහෙත් වයරය කනෙක්ටරයක් නොමැතිව නිකංම බෝල්ට් හෝ ඉස්කුරුප්පු හිසකට සම්බන්ද වන විට, වයරයේ පරිවාරක කොටස ඇනයේ හිසට යට නොවන සේ වැඩිපුරත් එක්ක පරිවාරක කොටස කපා දමන්න. (පහත රූපය බලන්න.) නැතහොත් ඇනය තද වන විට, පරිවාරක කොටස නිසා කම්බිය සමග ඇනය හොඳට ස්පර්ශ නොවීමට පුලුවන්.


පරිපථයකට සම්බන්ද කෙරුණු වයරයක් එම පරිපථයෙන් එලියට එන විට, එය නිතැතින්ම ඇදීමට භාජනය වේ. එවිට එම වයරය ඉක්මනින්ම පරිපථයෙන් ගැලවී යෑමට ඉඩ තිබෙනවා. එය වැලැක්විය යුතුය. පරිපථය වසා සිටින කේසින් (caseඑකේ කුඩා සිඳුරක් විද, වයරය ඇතුලින් යම් ගැටයක් දමා සිඳුරෙන් එලියට දැමිය යුතුය. එවිට, වයරය පිටින් ඇද්දත් අර ගැටය නිසා ගැටය සහිත තැන සිට පරිපථයට සම්බන්ද තැන දක්වා එම ඇදීම සිදු නොවේ.


එහෙත් ඉහත ක්‍රමය එතරම් ‍හොඳ නැත. විශේෂයෙන් සිග්නල් ගමන් කරන වයර් ගැටගසන විට එම සිග්නල් විකෘති හෝ දුර්වල විය හැකිය. එය මග හැරීමට ගැට ගසනවා වෙනුවට පහත රූපයේ දැක්වෙන පරිදි රබර් කැබැල්ලක් (rubber stopper නමින් හැඳින්වේ.) වයරයට ඇතුලු කර සුපර් ග්ලු වැනි ශක්තිමත් ගම් වර්ගයකින් අලවාගත හැකිය. (එවැනි කොටස් කඩෙන් මිලට ගැනීමට නොහැකි නම්, තමන්ටම රබර් කෑල්ලකින් පහසුවෙන්ම එවැන්නක් සාදා ගත හැකිය.)



යම් වයර් දෙකක් ඕනෑම ආකාරයකින් සම්බන්ද කර ඇති විටක, එම වයර් දෙක දෙපැත්තට ඇදීමට ඉඩ ඇති විටක, එම සම්බන්දය ගැලවී වයර් දෙක වෙන් වීමට පුලුවන්. එය වැලැක් වීමට, පහත රූපයේ පෙනෙන ආකාරයට ගැටයක් ගැසිය හැකියි. එවිට, වයර් දෙක ඇදුනත් එය ගැටය නිසා වයර් දෙක සම්බන්ද වුණු ස්ථානයට බල නොපායි. එහෙත් නිතරම මතක තබා ගන්න කුමන ආකාරයක හේතුවක් නිසා හෝ වයර්වල ගැට දැමීම විදුලිය සපයන සාමාන්‍ය වයර්වලට කළ හැකි වුවත්, සංඥා ගමන් කරන වයර්වලට කිරීම සුදුසු නොවේ. ඉන් සංඥාව විකෘති විය හැකියි.
 


නිවැරදිව පාස්සන ආකාරය
හරියාකාරව පෑස්සීම ඉගෙනගත යුතු කුසලතාවකි. නොකළ යුතු ආකාරයේ පෑස්සීම්ද සමහරුන් විසින් සිදු කෙරෙනවා. එමනිසා නිවැරදිව පාස්සන ආකාරය ඉගෙන ගන්න.
‍බවුතය හෝ සෝලඩරින් ස්ටේෂන් එකට (මෙතැන් සිට පහසුව පිණිස බවුතය කියා පමණක් සඳහන් කරන්නම්.) විදුලිය සපයා ඇති විටක එය රත් වීමට පටන් ගනී. උසස් තත්වයේ බවුතයක් නොවේ නම්, එය අවශ්‍ය ප්‍රමාණයට රත් වී ඇත්දැයි දැන ගැනීමට එකවර බැරි වීමට පුළුවන්. (උසස් තත්වයේ බවුතයක අවශ්‍ය ප්‍රමාණයට රත් වූ විට බල්බයක් දැල්වීමෙන් එය පෙන්වනු ඇත.) බොහෝ අය කරන්න පුරුදුව ඇත්තේ ඇඟිල්ල තබා එය රත් වී ඇත්දැයි බැලීමයි. එය කරන්න එපා. සමහරුන් නාසයට ළංකර එය රත්වී ඇත්දැයි බලනවා. එය කොතරම් දුරට සාර්ථකද නැද්ද කියා වැඩක් නැත. එයද කරන්නට එපා. ඔබගේ බවුතය ටික දිනක් භාවිතා කරන විට ඔබට එය රත්වීමට ගත වන කාලය ඉවෙන් වගේ දැනෙනවා. ඊට අමතරව, ඊයම් කැබැල්ලක් බිට් එකට තබා එය උණුවෙනවාදැයි බැලිය හැකිය.
බවුතයක් වැඩ කරන විට, ෆෑන් (හා ඒසී) ඕෆ් කරන්න. බවුතය රත්වන එක ඉන් ප්‍රමාද වේ. ඊට අමතරව හොඳට පෑස්සීමට බැරි වෙයි (ෆෑන් එකෙන් එන සීත සුළං බවුතයට වැදී එය රත් වනවාට වඩා සිසිල් වීමට පටන් ගන්නා නිසා.) එහෙත් දහඩිය දමමින් වැඩක් කිරීම ඉතා අප්‍රසන්න විය හැකිය. එමනිසා, කැමැති නම් කුඩා ෆෑන් එකක් (අර සමහර බස්වල එහෙම දැකිය හැකි) ඔබේ ශරීරයට පමණක් සුළං වදින සේ මේසයට සවිකර ගත හැකියි බවුතය දෙසට සුළං නොවදින සේ. (මින් විදුලියද ඉතිරි වේ.)

පාස්සන විට හැකි පමණ බ්‍රෙස්ලට් මාල මුදු ආදී පළඳනාවන් ගලවා දමා එය කරන්න. එක අතකින් ඒවා එල්ලී වැටී තිබීම කරන කාර්යට බාධාවක් වන අතර, සමහර විටක ඒවා පරිපථ කොටස්වල වැදීමෙන් ෂෝට් වීම් ආදිය සිදු වී ඔබටත් උපාංගවලටත් අනතුරු සිදු කළ හැකිය. පහසු ඉරියව්වකින් මෙම කාර්ය සිදු කළ යුතුය. නැතිනම්, ඇඟට දැනෙන අපහසුව නිසාම නොසැලකිලිමත් ලෙස පෑස්සීම සිදු විය හැකිය. ඉලෙක්ට්‍රොන්ක්ස් වලදී විතරක් නොවේ, කරන කුමන කාර්යක වුවත් ශරීරය සැහැල්ලු ආකාරයෙන් හා නිවැරදි ඉරියව්වලින් පවත්වා ගෙන යෑම වැදගත් වේ. හොඳ ආලෝකය තත්වයක් යටතේ වැඩ කළ යුතුය. කුඩා ළමුන් හා සුරතල් සතුන් ළඟ තබාගෙන වැඩ කිරීම අවදානම්ය. ඔවුන් අනපේක්ෂිත භයානක දේවල් සිදු කළ හැකි අතර, ඔබගේ අවධානයද නිරන්තරයෙන් ඔවුන් වෙත යොමු ‍වීමෙන් කෙරෙන කාර්යට බාධා පැමිණේ. යම් නිශ්චිත එක තැනක (මේසයක) පරිපථ සෑදීමේ කටයුතු කරනවා නම් වඩාත් හොඳය.
සාමාන්‍යයෙන් බවුතයක් රත් කර එකපාරට ඊයම් පෑස්සිය නොහැකිය. ඊට හේතුව නම්, බිට් එක අපිරිසිදුව තිබීම හා ඔක්සයිඩ් බැදී තිබීමයි. බිට් එක වේගයෙන් ඔක්සයිඩ් සාදනවා. (මතකද මා කිව්වා ලෝහ රත්වන විට වේගයෙන් ඔක්සයිඩ් සාදන බව?)



එලෙස ඔක්සයිඩ් නොසාදන විශේෂ සෙරමික් වැනි ද්‍රව්‍යවලින් සෑදූ බිට්ද පවතිනවා. එහෙත් ඒවා තරමක් මිල වැඩියි. කෙසේ හෝ වේවා බිට් එකක එලෙස සෑදෙන ඔක්සයිඩ් හා කුණු නිසා තාපය නිසි ලෙස බිට් එකෙන් ඊයම් වෙතට ගලා යන්නේ නැත. එමනිසා, බවුතය රත් වූ පසු පළමුව බිට් එක පිරිසිදු කළ යුතුය. ඔබට යම් තියුණු තලයක් ගෙන බිට් එක සූරා දමන්නටද සිතීමට පුලුවන්. එහෙත් එය කරන්න එපා. ඒ වෙනුවට රත් වූ බිට් එක තෙත ස්පොන්ජ් කැබැල්ලක් මත අතුල්ලන්න. තෙත ස්පොන්ජ් කැබැල්ල වෙනුවට පහත රූපයේ පෙනන පරිදි ලෝහමය කෙඳි මත එය අතුල්ලන්න. (මෙම කෙඳි ඉලෙක්ට්‍රොනික් උපාංග විකුණන කඩවල විකිණීමට තිබෙනවා. සමහර විට, ගෘහනියන් වලං ඇතිල්ලීමට ගන්නා ලෝහමය කෙඳි සහිත මුඩ්ඩක් වුවද ඔබට භාවිතා කළ හැකියි.)




එලෙස අතුල්ලා ඊයම් කැබැල්ලක් බිට් එක පුරාම වටේටම අතුල්ලන්න. එවිට ඊයම් උණුවී බිට් එකේ තැවරෙනු ඇත. බිට් එක වටේටම මෙය කළ පසු බවුතය ගසන්න. එවිට බිට් එකේ තැවරී තිබූ ඊයම් ඉවත් වනු ඇත. මෙම ක්‍රියාව බිට් එක “ට්න් කරනවා” (tinning) යනුවෙන් හැඳින් වේ. ටින් කර අවශ්‍ය නම් බිට් එක නැවත තෙත ස්පොන්ජ් එකේ හෝ ලෝහ කෙඳිවල අතුල්ලන්න. දැන් ඔබේ බිට් එක ඉතා ‍හොඳින් පිරිසිදු වී ඇත. මෙය බවුතයක් ඔන් කරන හැම විටම කරන්න. ඉඳ හිට බවුතය පාවිච්චි කරන විට, ඉහත ක්‍රියාවලිය සමහරවිට දෙතුන් පාරක් කිරීමටද සිදු වේ. ඔබටම පෙනේවි දැන් බිට් එකට ඊයම් තැබූ විට ක්ෂණිකවම ඒවා උණු වන බව (එනම්, බිට් එකෙන් ඊයම්වලට හොඳින් තාපය හුවමාරු වේ.)
ඔබ ෆ්ලක්ස් මිලදී ගෙන ඇත් නම්, ඉහත ආකාරයට ඊයම් “නාස්ති කරන්නේ” නැතිවද ටින් කළ හැකිය. ඔබ රත් වූ බිට් එක ෆ්ලක්ස් එක තුළට දමන්න. එවිට යම් දුමක්ද ඇති වේ. ඉන්පසු පෙර සේම බිට් එක අතුල්ලා පිරිසුදු කරන්න. මෙය බිට් එක පිරිසිදු වන තෙක් කිහිප වතාවක් වුවද කළ හැකිය. ටින් කරන්න පෙර හා පසු බිට් එක පෙනෙන ආකාරය පහත රූපයේ දැක්වේ.

බිට් එක ඉහත කුමන ආකාරයකින් හෝ ටින කර අවසන් වූවාට පසුව, අවසාන වශයෙන් නැවත ඊයම් ඉතා ස්වල්පයක් බිට් එක මත තවරන්න. (එම ඊයම් බවුතය ගසා ඉවත් කරන්නට එපා.) ඉන්පසු අපට අවශ්‍ය උපාංගය පෑස්සීමට පටන් ගන්න. යම් උපාංගයක් හෝ කුමක් හෝ පාස්සන හැමවිටම බිට් එකට ඊයම් ස්වල්පයක් තැවරීම සිදු කළ හැකි නම්, එය හොඳ පුරුද්දකි. පෑස්සීම ඉක්මන් වීමට එය හේතුවක් වේ.
 

දැන් පෑස්සීමට බවුතය සූදානම්ය. පාස්සන විදිය ගැන දැන් බලමු. කිසිවිටක සෝල්ඩර් වයර් එක බිට් එක මත තබා ඊයම් තලියක් (ගුලියක්) බිට් එකට ගෙන (පහත රූපයේ දැක්වෙන පරිදි), එම ඊයම් ගුලිය පෑස්සිය යුතු තැනට තැන්පත් කිරීම නොකරන්න. ඇත්තටම, එලෙස පෑස්සීම කිසිසේත් සුදුසු නැතිවාක් පමණක් නොව, එලෙස පෑස්සීමම ඉතා අපහසුය. ඊට හේතු දෙකක් තිබේ.
 

එක හේතුවක් නම්, මා මුලදිත් පැවසුවා සෝල්ඩර් වයර් තුළ ෆ්ලක්ස් තිබෙන බව (ෆ්ලක්ස් ගැන මා ඉහතකදී ඉතා ‍හොඳින් විස්තර කළා.). මෙලෙස බිට් එක මතට පළමුව ඊයම් ගුලිය ගන්නා විට, එම ෆ්ලක්ස් ගලා යන්නේ බිට් එකට මිස පාස්සන සන්නායක කොටස මතට නොවේ. එවිට, ෆ්ලක්ස්වලින් සිදු කිරීමට තිබූ රාජකාරිය සිදු නොවේ.
දෙවැනි හේතුව නම්, පාස්සනවා යනු ඊයම් ගුලි සන්නායක දෙකක් මත නිකම්ම තැබීමක් (“ඇලවීමක්”) නොවේ. යම් සන්නායකයක් මතට සොල්ඩර් තබන විට, එම සෝල්ඩර් එම සන්නායකය සමග යම් රසායනික සම්බන්දයක් ගොඩ නැගිය යුතුය. එය සිදුවන්නේ ඊයම් සේම එම සන්නායකයත් හොඳින් රත් වී ඇත්නම් පමණයි. එනිසා, ඊයම් ගුලිය පමණක් රත් වීම ප්‍රමාණවත් නැත. එලෙස රත් වූ ඊයම් ගුලයක් සන්නායක් මතට අත් හැරීමෙන් මෙම රසායනික සම්බන්දය ඇති නොවන බව සිහිතබා ගන්න. එලෙස රසායනිකව ඊයම් සන්නායකය සමග සම්බන්ද නොවූ විට, එය නිකම්ම ගම්වලින් ඇලෙව්වාක් බදු වේ. මතුපිටින් ඔබට හොඳට පෑස්සී තිබෙනවා සේ පෙනුනත් සත්‍ය ලෙස එතැන නියම පෑස්සීමක් සිදු වී නැත. මෙවැනි පෑස්සීමක් ඩ්‍රයිසෝල්ඩර් (dry solder) යන නමින් හැඳින් වේ. ඩ්‍රයිසෝල්ඩර් ජොයින්ට් එකක් පහසුවෙන් ගැලවී යයි. එනම්, යම් පීඩනයක් එම ඊයම් ගුලියට ලබා දුන් විට, එය ගැලවී යයි. සමහර විට ගැස්සීමකදී වුවද එය ගැලවී යයි. එලෙස ගැලවී යන කොටස් සමහරවිට සර්කිට් එකේ වෙනත් තැනක ෂෝට් වීම්ද ඇති කළ හැකිය. බොහෝ විට ඩ්‍රයිසෝල්ඩර් ජෙයින්ට් හඳුනාගත හැකිය. සමහරවිට එවැනි ජෙයින්ට්ස් ඉරිතැලී පවතී. නැතහොත් බොහොම අක්‍රමවත් හා කැතට ඒවා පෙනේ. සමහරවිට ඊයම් යොදපු තැන ඊයම් ගුලියක් සේ දිස් ‍වේ.


ඉහත ක්‍රමය වැරදි නම්, නිවැරදි ක්‍රමය කුමක්ද? එකට පෑස්සිය යුතු සන්නායකය හෝ සන්නායක කිහිපය මත පළමුව බවුතය මොහොතක් තබන්න. එවිට, සන්නායක (හෝ සන්නායක කිහිපය) රත්වනු ඇත. තබාගත යුතු කාලය සන්නායකයේ විශාලත්වය හා බවුතයේ වොට් ගණන අනුව තීරණය වේ. වොට් ගණන වැඩි නම් අඩු කාලයක් තබන්න. සන්නායකය විශාල නම් වැඩි කාලයක් බවුතය තබා සිටින්න. (මෙලෙස තබා සිටිය යුතු කාලය ටික කළකින් ඉවෙන් මෙන් ඔබට තේරෙනවා.) දැන් සෝල්ඩර් වයර් එක සන්නායකයත් බවුතයේ බිට් එකත් යන දෙකම තිබෙන තැනට ස්පර්ශ කරන්න. බවුතයේ බිට් එක මතට පමණක් ඊයම් වයරය තබන්න එපා. බිට් එක හා සන්නායක දෙකම තිබෙන තැනටම එය තබන්න.
 

සන්නායක කොටස් හොඳින් රත් වී තිබෙන නිසා, ඉබේම ලස්සනට ඊයම් වයරය උණු වී සන්නායක කොටස නැහැවී යයි. (සන්නායක කොටස් අවශ්‍ය ප්‍රමාණයට රත් වී නොමැති නම්, මෙලෙස ඊයම් නැහැවී යන ආකාරයට ගලා නොගොස් ඉහතකදී රූපවල පෙනුනු ආකාරයට බෝල හෝ අක්‍රමවත් කැත ස්වරූපයෙන් තැන්පත් වේ. එවිට එය ඩ්‍රයිසොල්ඩර් එකකි.) මෙලෙස ඊයම්වලින් සන්නායක කොටස් නැහැවී යන්නට මොහොතකට පෙර ෆ්ලක්ස්වලින් එම කොටස් නැහැවී ගොස් ඔක්සයිඩ ඉවත් කරයි. පෑස්සුනාට පසුව පළමුව ඊයම් කැබැල්ල ඉවතට ගෙන දෙවනුව බවුතය ඉවතට ගත යුතුය. බවුතය ඉවතට ගෙන ඉන්පසු ඊයම් කැබැල්ල ඉවත් කරන්නට ගියොත් ඊයම් කැබැල්ල එම පාස්සපු සන්ධියට ඇලවී තිබීමට පුලුවන් (මක්නිසාද යත් ඊයම් ක්ෂණයෙන් “ගල් වේ”.) බැරිවෙලාවත් එලෙස ඊයම් වයරය ඇලවුණොත් එය අදින්නට යන්න එපා. නැවත බවුතය සන්ධිය වෙත ස්පර්ශ කරන්න. එවිට සෝල්ඩර් වයරය බුරුල් වනු ඇත.
 

නිවැරදිව පෑස්සූ විට ඉහත රූපයේ ආකාරයට ත්‍රිකෝණාකාරයට එම ඊයම් රැ‍‍ඳෙනු ඇත. අනවශ්‍ය ප්‍රමාණයට වැඩිපුර ඊයම් යොදන්නත් එපා. එවිට පහත ආකාරයට බෝලයක් සේ ඊයම් ඉතිරි වේ. සිහින් ඊයම් වයර් භාවිතා කරන්නේ නම් ඉහත පෑස්සුම කදිමට සිදු වේ. අඩුවෙන් ඊයම් ‍යොදන්නත් එපා. එවිටද පෑස්සුම හරිහැටි සිදු නොවේ. ඔබට ඉබේම අවශ්‍ය ප්‍රමාණය තේරේවි. ඉහත ආකාරයට ලස්සන ත්‍රිකෝණාකාර පෙනුමක් සහිත ජොයින්ට් එකක් ලබා ගන්නට උත්සහ කරන්න.
 

හෝල්-තෲ (එනම්, SMD නොවන) උපාංගවලට දිගු පින් ඇත. ඒවා සර්කිට් බෝඩ් එකේ සිදුරු තුලින් යැවිය යුතුය. එලෙස සිදුරු තුලින් යවන විට, ඔබට කැමැති උසකින් උපාංගය රඳවා ගත හැකිය. ඔබට ඇත්තේ අත් දෙකකි. එක අතකින් බවුතයක් තවත් අතකින් ඊයම්ද අල්ලා සිටිය යුතු නිසා, උපාංගය අවශ්‍ය උසින් යුතුව රඳවා තබා ගැනීමට (තවත් කෙනෙකුගේ සහය නැතිව) ඒ සඳහා යම් උපක්‍රම යෙදිය යුතුය. යම් උපාංගයක් රැඳවිය යුතු උස නිශ්චය කර, එම උපාංගයේ කූරු ඇඟිල්වලින් ‍හෝ උල් අඬුවෙන් දෙපැත්තට විහිදින සේ නමන්න (splay). එවිට උපාංගය පහලට රූටා වැටෙන්නේ නැත.


එහෙත් හැකි පමණ උපාංගය පහතින් රඳවන්න (එනම්, පාස්සනු ලබන උපාංගය බෝඩ් එකට හැකි තරම් ආසන්නව තබන්න). එමගින් පරිපථය සිහින් වෙනවා පමණක් නොව; කූරු උස වැඩි වන්නට වැඩි වන්නට ඉන් අමතරව අනවශ්‍ය ප්‍රතිරෝධයක්ද ඇති වෙනවා. ඉන්පසු ඉහත කියූ පරිදි එම කූරු පාස්සා, සයිඩ් කටරයකින් වැඩි පුර ඇති කූරු කොටස් කපා දමන්න. මෙම කැපීම තියුනු කටරයකින් කළ යුතුය. නැතිනම්, මොට්ට කටරයකින් කපන විට පෑස්සූ උපාංගය අනවශ්‍ය (එහාට මෙහාට) චලනයන් සිදු වී පරිපථයට හානි විය හැකියි. ඉහත රූපයේම පින් නොකපා ඇති එකකුත් කපා ඇති අවස්ථාවකුත් යන දෙකම පැහැදිලිවම දැකිය හැකියි.
සාමාන්‍යයෙන් වයර් එකක් එලෙස පාස්සන්නට පෙර එම වයර් එකේ අග්‍රයට පළමුව යම් ඊයම් ප්‍රමාණයක් තවරා ගැනේ. (එය කරන්නේ මෙසේය. පරිවාරකය ඉවත් කළ කම්බි අග්‍රය යටින් බිට් එක තබා රත් කරන්න. දැන් ඊයම් කැබැල්ලක් රත් වූ කම්බිය මත අතුල්ලන්න.) මෙය හැඳින්වෙන්නේ “වයරය ටින් කරනවා” (බිට් එක ටින් කිරීම මීට පෙර කතා කළ මතකද?) යනුවෙනි. එවිට, ‍මෙම වයරය තව සන්නායකයකට පාස්සන විට මෙලෙස තවරාගත් ඊයම් නිසා ඉතා පහසුවෙන් පෑස්සේ. ඔබ ගාව ෆ්ලක්ස් ඇත් නම්, වයරයේ අග්‍රය එහි වරක් ඔබා ෆ්ලක්ස් තවරා ගන්න. එයින් හොඳ පෑස්සීමක් කළ හැකියි.
 


ඉහත පෙන්නුවේ වයර් එකක් (සන්නායක කම්බියක්) පැතිලි සන්නායකයක් (උදාහරණයක් ලෙස සර්කිට් බෝඩ් එකක්) මත පාස්සන ආකාරයයි. සර්කිට් සාදන විට බහුලවම කිරීමට සිදු වන්නේ එයයි. එනම්, රෙසිස්ටර්, ට්‍රාන්සිස්ටර්, වයර් ආදි කම්බි/පින් බෝඩ් එකට පෑස්සීමයි. දැන් බලමු වයර් දෙකක් එකට පාස්සන අයුරු. මෙහිදී මීට පෙර අවස්ථාවක සඳහන් කළ එක් සුදුසු ආකාරයකින් කම්බි දෙක එකිනෙකට සම්බන්ද කළ යුතුය. දැන් බවුතයේ බිට් එක එම ජොයින්ට් එක යටින් සුලු වෙලාවක් තබාගෙන එම සන්ධිය රත් කරන්න. ඉන්පසු ඊයම් කැබැල්ල එම රත් වූ සන්ධිය උඩින් තබන්න (බිට් එකට ගෑවෙන්නේ නැත.) කම්බිය හොඳින් රත් වී ඇති නම්, ඊයම් උණු වී මුලු සන්ධිය පුරාම පැතිරී නැහැවී ගොස් ලස්සන පෑස්සීමක් සිදු වේ.
 


මතක තබා ගත යුතු කාරණය නම්, පාස්සන සන්නායක හැමවිටම බිට් එක තබා රත් කළ යුතු අතර, ඊයම් තබන්නේ එම සන්නායක මතට මිස බිට් එක මතට නොවන බවයි. තවද, ඔබ ගාව ෆ්ලක්ස් ඇත් නම්, ‍වයර් දෙක අමුණා එම සන්ධියට ෆ්ලක්ස් ටිකක් අතුල්ලන්න. දැන් පෙර කියූ සේ ඊයම් යොදා පාස්සන විට, ඉතා ලස්සනට හා ඉක්මනට පෑස්සේ.
සමහර සංවේදි හෝ සියුම් උපාංගවලට බවුතයෙන් පිටවන තාපය ගමන් කර පිලිස්සීමට පුලුවන්. එවන් විටක, උපාංගයේ පින් ඔස්සේ උපාංගය තුළට තාපය ගමන් කිරීම අඩු කිරීමට උපක්‍රමයක් යෙදිය යුතුය. පහත රූපයේ දැක්වෙන ආකාරයට යම් ලෝහ ක්ලිප් (thermal shuntඑකක් ගැසිය හැකියි පාස්සන්නට පෙර. එවිට, පින් එක ඔස්සේ ගමන් කරන තාපය ලෝහ ක්ලිප් එක විසින්ද උරා ගන්නා බැවින්, උපාංගය තුළට ගමන් කරන්නේ අඩු තාපයක් නිසා එය විනාශ වීම වලකිනවා. උපාංගය සියුම් වුවත් නැතත් වැඩි කාලයක් බවුතයක් උපාංගයක පින්වලට ස්පර්ශ කරගෙන සිටීම යෝග්‍ය නැත.

සන්නායක නොවන දෙයක් මතට ඊයම් තැන්පත් කිරීම කළ නොහැකිය. එවැනි අවස්ථාවකදී යම් උපක්‍රමයක් භාවිතා කළ හැකිය. එනම්, සිහින් තඹ (හෝ වෙනත් සන්නායක) තහඩුවක් ගෙන, ඉන් අවශ්‍ය හැඩයට හා ප්‍රමාණයට කොටස් කතුරකින් කපාගෙන හොඳ ගම්වර්ගයකින් (වීදුරු හෝ ලී හෝ) සන්නායක නොවන පුවරුව මත පළමුව අලවා ගන්න. ඉන්පසු එම සන්නායක කොටස් මතට ඊයම් “ඩොට්” තැබිය හැකිය.
බවුතයකින් වැඩ ගෙන අවසන් වුණ වහාම එය විදුලියෙන් විසන්ධි කර එය කූල් වන තෙක් වෙනත් දෙයක නොගැටෙන සේ තැබිය යුතුය. කැමැති නම්, බවුතයෙන් වැඩ අරන් ඉවර වුණාට පසු, එහි බිට් එක වටේට ඊයම් තවරන්න (අර බිට් එක ටින් කරපු විදියටම). එම ඊයම් ගසා ඉවත් නොකර බිට් එකේම රඳවා තබා බවුතය ඕෆ් කරන්න. මෙමගින් බිට් එක අපිරිසිදු වීම වැලකී යයි. ඊළඟ පාර බවුතය ඔන් කරන විට, එම ඊයම් ඉබේම උණු වී යන විට, එය ගසා ඉවත් කරන්න.
පාස්සපු උපාංග, වයර් ආදිය නැවත ගැලවීමට සිදු වේ. පිච්චුණු කොටස් ඉවත් කිරීමේදී, වැරදියට පාස්සපු ඒවා ඉවත් කිරීමේදි මෙය කිරීමට සිදු වේ. තවද, ඩ්‍රයිසොල්ඩර් ඉවත් කිරීමටද සිදු වේ. මෙය desolder කරනවා යනුවෙන් හැඳින් වේ. (desolder යන ඉංග්‍රිසි වදනේ තේරුම solder යන්නට විරුද්ධ තේරුම වේ.) මෙය දෙයාකාරයකට සිදු කළ හැකිය. පළමු ආකාරය වන්නේ ඩිසොල්ඩර් පම්ප් එකක් භාවිතා කිරීමයි.
 

මෙහි අග සිහින් බටයක් ඇත. එය තාපයට ඔරොත්තු දෙන ප්ලාස්ටික් වර්ගයකින් බොහෝ විට සාදා ඇත. එහි අනෙක් කෙළවර ඇත්තේ ඇඟිල්ලෙන් (මාපොට ඇඟිල්ලෙන්) තද කළ හැකි පිස්ටනයක් වැනි කොටසකි. මෙය ස්ප්‍රින් එකකට සවි කර ඇත. එය පහතට තද කළ විට ලොක් වේ. එම ලොක් එක රිලීස් කිරීමට පොඩි බට්න් එකක් ඇත. එය එබූ විට, එකවරම අර පිස්ටන් කොටස පස්සට ගමන් කරයි. මෙම ක්‍රියාව නිසා අනෙක් කෙළවර ඇති සිහින් බටය තුළින් එකවර ඇතුලට ඇඳ ගැනීමේ ක්‍රියාවක් (suction) සිදු වේ. එහි අරමුණ මෙම සක්ෂන් එකයි. දැන් ඔබ කළ යුත්තේ මෙයයි. රත් වූ බවුතයක් ගෙන ඉවත් කළ යුතු ඊයම් උඩින් තබන්න. දැන් ඊයම් උණුවනු ඇත. එවිට, පිස්ටන් එක පහතට ඔබපු පම්ප් එකේ සිහින් බටයේ කට මෙම උණු වූ ඊයම් අසලින් තබා බට්න් එක ඔබන්න. උණු වූ ඊයම් පම්ප් එක තුළට ඇඳ ගනු ඇත. බොහෝ මිට මෙය කිහිප වතාවක් සිදු කිරීමට සිදු වේ. ඇතුලට ඇදගත් ඊයම් පිස්ටනය නැවත එබීමෙන් ඉවත් කළ හැකිය.
 

ඊයම් ඉවත් කරන අනෙක් ක්‍රමය සඳහා desoldering wick නමින් හැඳින්වෙන් පටියක් යොදාගත යුතුය. (පහත රූපය බලන්න.) මෙහිදී කෙරෙන්නේ වික් එකේ කොටසක් ඉවත් කළ යුතු ඊයම් උඩින් තබා බවුතයෙ බිට් එක එම වික් කොටස උඩින් තැබීමයි. එවිට, වික් එක හරහා යට ඇති ඊයම් උණු වී වික් එකට උරා ගනී.
 


SMD උපාංග පෑස්සීමට හොට්ගන් භාවිතාවන බව මා පැවසුවා. ඒ ගැන පසුවට විස්තර කරනවා. හොට්ගන් එකක් නැතිනම්, බවුතයකින් වුවද එය (අමාරුවෙන්) කළ හැකියි. ‍
 
සර්කිට් බෝඩ්
ඔබ දකින හා නිර්මාණය කරන සෑම පරිපථයක්ම යම් කිසි ආකාරයක පුවරුවක් (board) මත සාදා ඇති අතර පොදුවේ circuit board ලෙස එම පුවරුවට කියනවා. අද කර්මාන්තශාලාවලින් සාදා වෙළඳපොලට එන සෑම උපකරණයකම පරිපථ එන්නේ PCB (Printed Circuit Board) ලෙස හැඳින්වෙන බෝඩයක් මතය.
 


මෙම පුවරුව මූලික වශයෙන් විශේෂ පරිවාරක ද්‍රව්‍යයක් මත විදුලිය ගමන් කරවීමට සෑදූ තඹ සන්නායක කොටස් (පුවරුව මත රේඛා සේ මේවා දිස් වේ.) සහිත පුවරුවකි. මෙහි තඹ කොටස් හරියට බෝඩ් එක මත ප්‍රින්ට් කර ඇති සේ පෙනෙන නිසයි ප්‍රන්ටඩ් සර්කිට් බෝඩ් හෙවත් පීසීබී යන නම ලැබී ඇත්තෙත්. මෙම “තඹ රේඛාවලට” ප්‍රින්ට්ස් (printsකියා කියනවා. සාමාන්‍යයෙන් වයර් වෙනුවට ඇති මෙම තඹ ප්‍රින්ට්ස් ඔස්සේ විදුලිය ගමන් කරනවා.
දෙවන ලෝක යුද්ධ කාලේදීයි (එකදහස් නවසිය හතලිස් ගණන්වල) ප්‍රථම වරට පීසීබී ක්‍රමය හඳුන්වා දී තිබෙන්නේ. ඊට පෙර තිබුණේ සෑම උපාංගයක්ම වයර්වලින් එකිනෙකට පාස්සා “නූඩ්ල්ස්” ගොඩක් සේ එක අවුල් ජාලයක් ‍සේ දිස්වන අයුරින් සැකසූ පරිපථයි.
 

මෙවැනි පරිපථ සෑදීමද හිසරදයකි. වයර් පැටලී දකින කොටත් හිසරදය ඇතිවන ආකාරය ඉහත රූපය බැලූ විට ඔබටද පෙනී යයි. වැරදියට පෑස්සීම නිතර සිදු වුණා. සෑම පෑස්සීමක්ම මනුෂ්‍යයකු විසින්ම කළ යුතු වුණා. ඒ විතරක් නොවේ, එලෙස සකස් කළ උපකරණයක යම් දෝෂයක් නිසා එය සෑදීමේදී ලෙඩේ සොයා ගැනීමද ඉතා අසීරු වූවා මක්නිසාද වයර් පහසුවෙන්ම පැටලෙන නිසාත්, ඔබ කොලයක ලස්සනට දකින පරිපථ සටහන ප්‍රායෝගිකව මෙවැනි අවුල්සහගත පරිපථයකින් දැකිය නොහැකි නිසා. ඉතිං එම ප්‍රශ්න සියල්ලටම විසදුමක් ලෙසයි පීසීබී තාක්ෂණය හඳුන්වා දු‍න්නේ. කොලයේ ලස්සනට ඇඟිල්ල තබාගෙන පරිපථය ඔස්සේ සංඥා ගමන් කරන ආකාරය හා දිශාව පහසුවෙන් සෙවිය හැකි ආකාරයටම දැන් පීසීබී එකේ ප්‍රින්ට් ඔස්සේ එම සංඥා ගමන් කරන ගමන් මග සොයා ගත හැකියි. එමගින් කිසිදු පැටලීමකින් තොරව දෝස සොයා (troubleshoot) ඒවා නිවැරදි කළ හැකියි. එවිතරක් නොවේ, මනුෂ්‍යයන් විසින් කළ පෑස්සීම් රොබෝ අත්වලට පැවරිය හැකි වුණා. එමගින් මිනිසුන් සිය දහස් ගණනක් විසින් කරන පෑස්සීම් ප්‍රමාණයක් එක් රොබෝ අතකට කළ හැකි වූවා. SMTතාක්ෂණය සොයාගත්තෙත් මෙම පීසීබී තාක්ෂණයේ අතුරු ඵලයක් වශයෙන්ය. නිෂ්පාදනය ඉහළ ගොස් නිෂ්පාදන වියදම පහත ගියා. එනිසා උපකරණ මිළද පහත ගියා. සංකීර්ණ පරිපථ නිර්මාණයද පහසු වූවා. බැලූ බැල්මට ඔබටද පෙනෙනවා පීසීබී පරිපථ හුරුබුහුටියි කියා.
කර්මාන්තශාලාවල පීසීබී එක මෙන්ම එය මත උපාංග පෑස්සීමට බොහෝ විට සිදුවන්නේ ස්වයංක්‍රියවයි. එහෙත් සාමාන්‍ය ඔබට අපටද කර්මාන්තශාලාවල පවතින ඉහළ තාක්ෂණ පහසුකම් නැතිවත් පහසුවෙන් පීසීබී සෑදිය හැකියි. (මෙම අවස්ථාවේදී මා එය කියා දෙන්නේ නැහැ පසු පොතක එය සඳහන්වන නිසා.)

සමහරුන්ට පීසීබී සමග පරිපථ සෑදීමට උනන්දුවක් නැත. ඒ අය වෙනත් ආකාරයේ පුවරු භාවිතා කරනවා. පහත දැක්වෙන්නේ එවැනි පුවරු විශේෂයක්. පර්ෆ්බෝඩ් (Perfboard) ලෙස මෙය හැඳින් වෙනවා.





මෙහිදි යම් පරිවාරක ලෑල්ලක් මත විධිමත්ම ළඟින් ළඟින් පිහිටි “පෑඩ්” (pad) නමින් හැඳින් වෙන තඹ ඩොට් (රවුම් හෝ හතරැස් හැඩයට) ඇත. ඒ සෑම  ඩොට් එකක් මැදම සිදුරක් බැගින්ද ඇත. උපාංගයක ඇති පින් යාබද සිදුරු තුළින් බස්සා තඹ ඩොට් මතට පෑස්සිය හැකියි. මේ කිසිදු ඩොට් එකක් එකිනෙකට සම්බන්ද නැති බව ඔබට පේනවා. එමනිසා, උපාංග අතර සම්බන්ද ඇති කරන්නේ සර්කිට් වයර් මගිනි. මෙයද ඉතා ඉක්මනින් පහසුවෙන් හා ලස්සනට පරිපථ සෑදීමට ඇති ක්‍රමයක් බව පෙනෙවා.



පර්ෆ්බෝඩ් වැනිම තවත් ප්‍රචලිත බෝඩ් වර්ගයක් තමයි වේරෝ බෝඩ් (Veroboard) කියන්නේ. මෙම බෝඩ්වල තනි තනි තඹ ඩොට් වෙනුවට ඇත්තේ තඹ තීරුය (strip). එමනිසා stripboard ලෙසද මේවා හැඳින්වෙනවා. මේ එක් එක් තීරුවක් node හෝ track එකක් ලෙසද හැඳින්වෙනවා. පර්ෆ්බෝඩ්වල මෙන්ම මෙහිද සිඳුරු තිබෙනවා.
 



මෙහි එක් තීරුවක් තනි සන්නායකයකි. එනම්, එක් තීරුවක සිදුරු සියල්ල එකිනෙකට විද්‍යුත් වශයෙන් සම්බන්දව පවතිනවා. ඔබට අවශ්‍ය නම්, ඕනෑම තීරුවක් සූරා දමා මෙම තනි තීරු කොටස් කළ හැකියි (break). සීරීමට තියුණු තුඩක් භාවිතා කළ හැකිය. තවද, වේරෝබෝඩ් මෙලෙස අවශ්‍ය තැන් වලින් සූරා දැමීමට stripboard cutter ලෙස හැඳින්වෙන වෙනමම සරල උපකරණයක්ද (පහත රූපයක දැක්වෙන පරිදි) ඇත. මෙහිදී කළ යුත්තේ ‍මෙහි තුඩ සිදුරක් තුළට දමා (ඉස්කුරුප්පු නියනක් කරකවන ආකාරයට) කැරකැවීමයි. එවිට, එම සිදුර වටා ඇති තඹ කොටස් ගැලවී යයි. මේ වැඩේම ‍ඩ්‍රිල් එකක් ආධාරයෙන්ද කළ හැකියි. එනම්, බෝඩ් එකේ සිදුරට වඩා විශාල ඩ්‍රිල් බිට් එකක් (3mm සයිස් බිට් එකක්) දමා, යාන්තමට ඩ්‍රිල් එක කරකවන්න තඹ පතුරු ගැලවී යන තෙක්. පර්ෆ්බෝඩ් මෙන් නොව මේවායේ දිග තඹ තීරු පවතින නිසා, උපාංග සම්බන්ද කිරීමෙදී වයර් අවශ්‍ය වන්නේ අඩුවෙනි.
 





පර්ෆ්බෝඩ් ‍වේවා වේරෝබෝඩ් වේවා, මෙම බෝඩ්වල තඹ මලබැදීමට ලක් වේ. එමනිසා, එම බෝඩ් එකකට උපාංග පෑස්සීමට පෙර මෙම මලකඩ (ඔක්සයිඩ්) ඉවත් කළ යුතුය. ඉතා සිනිදු වැලිකඩදාසියකින් තඹ කොටස් දිලිසෙන තෙක් සෙමින් බෝඩ් එක ඇතිල්ලිය හැකිය (අත තද කර අතුල්ලන්න එපා; එවිට, මලකඩ පමණක් නොව තඹද සූරා දැමේ.) පහත දැක්වෙන්නේ බෝඩ් එකේ එක පැත්තක් මලකඩ කෑ විට පෙනෙන අයුරුත් අනෙක් පැත්තේ මලකඩ ඉවත කළ විට දිලිසෙමින් පෙනන අයුරුත්ය. වැලිකඩදාසි වෙනුවට විශේෂ රබර් වැනි ද්‍රව්‍යයකින් සෑදූ ස්කොරින් පෑඩ් (scouring pad) යනුවෙන් (පහත රූපයක පෙන්වා ඇති) හැඳින්වෙන අතුල්ලන මුඩ්ඩක් භාවිතා කිරීම තවත් හොඳය (මින් තඹ කොටස් ඉවත් නොවී මලකඩ පමණක් ඉවත් වේ.)



මෙම බෝඩ්වලද විවිධ වෙනස්කම් සහිතව වෙළඳපොලේ ඇත. සාමාන්‍යයෙන් ඉහත බෝඩ්වල සිදුරු අතර දුර අගල් 0.1 වේ. එහෙත් වෙනස් ප්‍රමාණවලින් යුතු පරතරයන්ද ඇත. මේ හැර තවත් බෝඩ් වර්ගද ඇත. මේ සියලු බෝඩ් circuit prototype boards ලෙස පොදුවේ හැඳින් වේ. (‍ප්‍රොටෝටයිප් යන්නෙහි සිංහල තේරුම වන්නේ යම් දෙයක් චෙක් කිරීමට හෝ ප්‍රථම වතාවට සෑදීමේදී  ආකෘතිය යන්නයි. “මූල ආකෘතිය”.)

ඉහත ආකාරයේ බෝඩ් නැතිව නිකංම වයර් උපාංගවල පින්වලට සම්බන්ද කර සර්කිට් සෑදිය හැකියි. පැහැදිලිවම මෙම ක්‍රමය සංකීර්ණ හා උසස් වර්ගයේ සර්කිට් සඳහා සුදුසු නැත. එහෙත් සමහර අවස්ථාවලදී මෙම ක්‍රමයද ප්‍රයෝජනවත් වේ. උදාහරණයක් ලෙස, අවශ්‍ය බෝඩ් සොයා ගැනීමට නොහැකි හෝ ඊට වෙලාවක් නැති විටක මෙම ක්‍රමය නැතිවම බැරිය. සමහර සර්කිට්වල ඇත්තේ උපාංග කිහිපයක් පමණක් වන විටක, බෝඩ් අවශ්‍ය නැති වීමටද පුලුවන්. මෙහිදී වයර් උපාංගවල පින්වලට කෙලින්ම පෑස්සිය හැකියි. එලෙසම එක් උපාංගයක පින් සම්බන්ද කළ යුතු අනෙක් උපාංගයේ පින්වලට කෙලින්ම පෑස්සිය හැකියි. (පීසීබී තාක්ෂණය එන්නට පෙර ඇත්තටම සියලු පරිපථ නිර්මාණය කළේ මේ ආකාරයට තමයි.) මෙහිදී පළමුව සන්නායක කොටස් අඹරා ගෙන ඉන්පසු ඊයම්වලින් පෑස්සිය යුතුයි. පරිපථය සාදා නිම කළ පසු එක් එක් කොටස් ගෑවි ෂෝට් වීමට ඇති ඉඩකඩ වැඩි නිසා, එසේ සිදු නොවීමට වගබලා ගත යුතුය. ‍ටේප් හෝ මැලියම් යොදා අග්‍ර එහේ මෙහේ යන එක නතර කළ හැකියි (එමගින් ෂෝට් වීම් මග හැරිය හැකියි.)


තවද, පෑස්සීමක් සිදු නොකරද, ඉහත ආකාරයටම (සරල) සර්කිට් සෑදිය හැකියි. එහිදී, වයර් හා පින් අග්‍ර ඇඹරීම පමණක් සිදු කරයි. මෙය තාවකාලිකව කුඩා පරිපථ සෑදීමට පමණක් යොදාගන්න. පාස්සන‍්නේ නැතිවට, ඉක්මනින් වයර් අග්‍ර හා පින් මලකා විදුලිය ගමන් කිරීමට බාධා ඇති වේ. එමනිසා, යම් යම් සරල පරිපථ ටෙස්ට් කිරීමට මෙය උචිතය.


යමක් පාස්සා අවසන් වූ පසු එම ජොයින්ට් හොඳට බලන්න. විශාල කර බලන කාචයකින් ඒවා පිරක්සන්න. ඔබ පාස්සන හැම ජොයින්ට් එකක්ම මෙලෙම පිරික්සීම අත්‍යවශ්‍ය නැත. ඔබ පෑස්සූ ඒවා මෙන්ම වෙනත් අය පෑස්සූ ඒවා සමගද ඔබට වැඩ කිරීමට සිදු වෙනවා. එමනිසා, එම පෑස්සීමවල ගුණාත්මක බව පිළිබද ඔබට සැක උපදවා ගත හැකියි. ඒවා මෙලෙස පරික්ෂා කරන්න, ඔබට අවශ්‍ය නම්. සමහර පෑස්සීමවලට ඊයම් අඩුවෙන් යොදා තිබෙනවා. එවැනි ජොයින්ට් දුටුවිට, එම ජොයින්ට් එකට බවුතය තබා රත් කර, එම ඊයම් උනු කර, අලුතින් තවත් ඊයම් එහි තබන්න. යම් ජොයින්ට් එකක් පෙනුමින් ඩ්‍රයිසෝල්ඩර් එකක් සේ පෙනේ නම්, එම ජොයින්ට් බවුතයකින් හොඳින් රත් කරන්න. ඉහතදී රූපයක පෙන්වා දී තිබූ ලෙසට කේතු ආකාරයට එම ඊයම් සකස් වූයේ නම් බොහෝ විට එම රත් කිරීම පමණක් ප්‍රමාණවත්ය (එලෙසට ඊයම් පෑස්සීම පෙනෙන්නේ පෑස්සීම හොඳින් සිදු වී ඇති විටය.) සමහර විට රත් කිරීමෙන් පසුද එලෙස හොඳ පෙනුමක් සහිත පෑස්සීමක් සිදු නොවේ නම්, එම ‍ජොයින්ට් එකේ දැනට ඇති ඊයම් පළමුව සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න. ඉන්පසු ෆ්ලක්ස් ස්වල්පයක් තඹ පෑ‍ඩ් හා උපාංග කූරුවල ගල්වා අලුතින් නිවැරදි ක්‍රමයට පාස්සන්න. තවත් අවස්ථාවල ඔබ යමක් පාස්සන විට, ඊයම් යාබද ‍ජොයින්ට් එකකටද ගලා ගොස් ෂෝට් විය හැකියි. විශේෂයෙන් ළඟින් ළඟින් පිහිටා ඇති අග්‍ර පාස්සන විට මෙය සිදු වේ. සිහින් ඊයම් කම්බි භාවිතා කිරීම මෙවැනි අවස්ථාවල උච්තය. වැඩිපුර අනෙක් අග්‍රවලට ගලා ගිය ඊයම් මත බවුතයේ බිට් එක තබා ඉවත් කරන්න. (ඊයම් සාමාන්‍යයෙන් “ඇලවෙන්නේ” වැඩියෙන් රත් වී ඇති සන්නායකය මතයි. එමනිසා, මෙලෙස බිට් එක ඊයම් මත තැබූ විට, එම ඊයම් බිට් එකට ඇලී එයි.) විශාල කරන කාචයකින්ද ‍බලන්න.

8 comments:

  1. බොහොමත්ම පින් මෙලෙස දැනුම බෙදා හදා ගන්නවාට. මින් පෙර දැන නොසිටි බොහමයක් කරුණු හොඳින් වටහා ගත්තා

    ReplyDelete
  2. Godak de igana gatta tava deval danna thanks obata

    ReplyDelete
  3. " කම්බි ඇඹරී පැවතීම නිසා වැඩිපුර කම්බි ප්‍රමාණයක් ඒ සඳහා වැය වේ. එලෙස වැඩිපුර කම්බි ප්‍රමාණයක් යොදා තිබීමෙන් නිෂ්පාදන වියදම තරමක් වැඩි වේ. එහෙත් එම අමතර වියදම නොසලකා වයර් එසේ සාදා තිබෙන්නේ එසේ කිරීම අත්‍යවශ්‍ය නිසා බව තේරුම් ගන්න. ඔබ එවැනි ට්විස්ටඩ් වයරයක් වෙනත් වයර් සමග හෝ ටර්මිනල් එකකට සම්බන්ද කරන විට, මෙම ඇඹරීම හැකි පමණ රඳවා තබා ගත යුතුය. (සමහරුන් වයර් මෙලෙස ඇඹරී ති‍බීමේ වැදගත් කම නොදැන, ඒවා කෙලින් කරනවා.) "

    Ai mehema wire abarala thiyenne ? attatama eken wire eke diga adu wenawa. ai mehema karanne ?

    ReplyDelete
    Replies
    1. ඒකට හේතු මා ඔබ උපුටා දක්වපු ඡේදයට මුලින් ඡේද දෙකෙහි කියා තිබෙනවා නේද? තවද, කම්බි මෙලෙස සකස් කළ විට කම්බිවලට සුනම්‍ය (flexible) ගතිය ලැබේ.

      Delete